අරණායක සාමසාර ඇතුළු කඳු පන්තියක් එකම දිනයේ නාය යැමට ගොදුරු වීම නිසා ඉන් අවතැන්වී වසරකට වැඩි කාලයක් අවතැන් කඳවුරක දැඩි දුෂ්කරතා මධ්‍යයේ අභියෝග රැසකට මුහුණ දෙමින් මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 185 ක් ලබා ගෙන උසස් ලෙස ශිෂ්‍යත්ව විභාගය සමත්වීමට උස්‌සාපිටිය ශ්‍රී සුමංගල කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දැරියක් සමත්වී ඇත.
මෙලෙස සිය දිවිගමනේ මුල්ම අභියෝගය ජය ගනිමින් පහේ ශිෂ්‍යත්ව හපනියක වී ඇත්තේ අරණායක දෙයියන්වල වසමේ බෙරවිල ජනපදයේ අති දුෂ්කරව දිවි ගෙවමින් සිටි පවුලක දෙවැනි දරුවා වූ ඩබ්. ඒ. සේමිණි උදානධවනි විඡේසූරිය නමැති නව හැවිරිදි දියණියයි.
2016 වසරේ මැයි මස සිදුවූ මහා ව්‍යසනයෙන් අනතුරුව අරණායක කොට්‌ඨාසය පුරා පිහිටු වූ අවතැන් කඳවුරු හතක මාරුවෙන් මාරුවට දිවි ගෙවමින් ජීවත් වී තිබේ
සිය දියණිය ශිෂ්‍යත්ව කඩඉම පසුකොට ලැබූ ජයග්‍රහණය පිළිබඳ දැඩි ලෙස සතුටුවන සේමිණිගේ මව වන තල්ගස්‌පිටිය පණපුරේ වත්තේ පදිංචි ඩී. පී. ස්‌වර්ණා පත්මකුමාරි මහත්මිය.
අපිට දූවරු තුන්දෙනෙක් ඉන්නවා. මෙවර ශිෂ්‍යත්වයෙන් සමත්වී සිටින්නේ මගේ දෙවැනි දුවයි. මගේ ලොකු දුවත් 2011 වසරේ පහේ ශිෂ්‍යත්වයෙන් ලකුණු 159 ක් ලබාගෙන සමත් වුණා. සේමිණි දුව ඉගෙන ගන්නේ උස්‌සාපිටිය ශ්‍රී සුමංගල විදුහලේ. එයා ශිෂ්‍යත්වයට මුහුණ දෙන කොට අපි නායට අහුවෙලා කඳවුරු ගානේ දුක්‌විඳ විඳ ජීවත් වුණේ. සමහර දවස්‌වල දුවට පාඩම් කරන්න ලයිට් එළියක්‌වත් තිබුණේ නෑ. ලන්තෑරුම් එළියෙන් තමයි එයා කූඩාරමේ පාඩම් කළේ.
කඳවුරුවලදී අපි ගොඩක් දුක්‌වින්දා මානසික වශයෙන් බිංදුවටම වැටිලයි හිටියේ. දුවට මේ ජයග්‍රහණය ලබල දෙන්න දුවගේ තාත්තාත් මමත් ලොකු කැපවීමක් කළා. ඒ වාගේම සුමංගල විදුහලේ විදුහල්පති ජයසිංහ මහත්තයත් පංති භාර ගුරුතුමී සුජාතා මාවෙල මහත්මිය ඇතුළු ගුරුමණ්‌ඩලයත් දුවට ගොඩක් උදව් කළා.
විශේෂයෙන්ම කියන්න ඕනේ මාවෙල මහත්මිය අපෙන් සතයක්‌වත් ගන්නේ නැතිව අපේ දුවට එයාගේ මුදල් වියදම් කරලා උගන්වන්න ගොඩක් කැපවීම් කළා. අපට ඒක කවදාවත් අමතක කරන්න බෑ. නාය ගියාට පස්‌සේ අපි ගොඩක් අසරණ වෙලා හිටියේ. අතේ මුදල් තිබුණේ නෑ. නමුත් අපිට මොන අගහිඟකම් තිබුණත් අපේ දරුවන්ට උගන්වන්න අපි මුල්තැන දුන්නා. දරුවෝත් අද ඒ අපේ කැපවීම්වල ප්‍රතිඵලය අපට අරන්දීලා.
දුව ශිෂ්‍යත්වයෙන් පාස් වුණත් එක්‌කම මොන අමාරුකම් තිබුණත් හොඳ පාසලක් හොයල දෙන්න අපට සිද්ධ වෙනවා. දුව මුල ඉඳලම කීවේ කොහොම හරි ශිෂ්‍යත්වයෙන් පාස්‌වෙලා මහනුවර මහාමායා විදුහලට යනවමයි කියල. දැන් අපිට තියෙන ප්‍රශ්නය තමයි දුවගේ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්නේ කොහොමද කියන එක. මම හිතන්නේ කවුරුහරි දානපතියෙක් ඉදිරිපත්වෙලා මගේ අහිංසක දරුවාගේ ඒ සිහිනය සැබෑ කරාවි කියල.
සේමිණිගේ පියා වන ඩබ්ලිව්. ඒ. ඩබ්ලිව්. විඡේසූරිය මහතා
මම රස්‌සාව වශයෙන් කෙරුවේ පිංතාරු වැඩ. ඒ රස්‌සාවෙන් ජීවිකාව කරගෙන යද්දි තමයි අපිට උන් හිටිතැන් දලා කඳවුරුවල ජීවත් වෙන්න සිද්ධ වුණේ. අපි ගමේ ඉන්න කොට සමෘද්ධියවත් ලැබුණේ නෑ. අඩු වශයෙන් 2011 වසරේ ශිෂ්‍යත්වයෙන් පාස්‌වෙච්චි මගේ ලොකු දුවටත් ශිෂ්‍යාධාර ලැබුණේ නෑ. අද ඒ දරුවා රාජගිරි විද්‍යාලයේ ඉගෙනුම ලබමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම් වෙනවා. අපිට ඒ දවස්‌වල සමෘද්ධිය ලබාගන්න කොච්චර උත්සාහ කළත් රුපියල් 250 ක් විතරයි ලැබුණේ. නමුත් මොන දුක හරි විඳලා අපි අපේ දරුවන්ට හොඳට උගන්වන්න කැපවීම් කෙරුවා. අද අපට එහි ප්‍රතිඵල ලැබී තිබෙනවා.
සේමිනි දුව පෙර පාසල් ගියේ ගැවිලිපිටිය සිතාරා පෙර පාසලට. ඒ ගුරුතුමිය පෞද්ගලිකව මැදිහත්වෙලා තමයි දුවව සුමංගල විදුහලට ඇතුළත් කරල දුන්නේ. මේ වෙලාවේ එතුමිය කරපු උදව්වත් ආදරයෙන් සිහිපත් කරනවා.
