Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 January 07
504
Views
බුදුරුවගල වැල්ලවායට සම්පතකි. 

එක් පැත්තකින් වැල්ලවාය නගරයට සමීපවම පිහිටි පුරාවිද්‍යා ස්මාරකයකි. අනෙක් පැත්තෙන් සොබා සෞන්දර්යයෙන් පිරුණ චමත්කාර ජනක ජලාශයකි. ඒ සොඳුරු ජලාශය වට කරගත් රක්ෂිත වන පෙතකි.

වැල්ලවාය නගර මධ්‍යයෙන් ඇති මාර්ගය දිගේ කිලෝ මීටර් හතරක පමණ දුරක් ගිය විට හමුවන බුදුරුවගල යෝජිත රක්ෂිත වන භූමිය සිත නිවන නවාතැන් පළක් වැනිය. විවිධ තුරු ලතාවලට නිජ බිමක් වූ මේ සොඳුරු වන පියස නිබඳවම හරිත වර්ණයෙන් බැබළෙයි. නම නොදන්නා විවිධ හැඩැති පත්‍ර සහිත, මල් පිපෙන මල් නොපිපෙන ශාක ප්‍රජාවකින් යුතු වන රොද අතරින් හමා එන්නේ සිහිලැල් පවනකි.

මම මොහොතකට පාර අද්දර නතර වෙමි.

වන පෙතෙහි ඇති තුරු අතුපතර සමඟ රහසින් මුමුණවා පවන් රොද කියන්නේ කුමක්දැයි අසා සිටිමි. වනරොද කියන සොබා දහමේ ආදරණීය රහස් සමූහය තේරුම් ගන්නට නම් මේ අයුරින් නිහඬව අසා සිටිය යුතු වේ. වනාන්තරයක් යනු රහස් රැසක එකතුවකි. සියවස් ගණනක් තිස්සේ සුරැකිව පවතින මෙවැනි වන රොදක් අප නොදන්නා අතීතයක් සඟවාගෙන සිටින ආදරණීය මුතුන් මිත්තන්ය. ගෙවී ගිය යුගයක ඓතිහාසික තොරතුරු නිහඬවම බලා සිටී එහෙත් අදටත් නිහඬවම සිටින මේ තුරුලතා කතා කරන්නේ කවදාක ද කොයි වෙලාවට දැයි නොදනිමි. ඔවුන් රහස් කියන්නේ පවනට පමණක්ම විය යුතු යැයි මම විශ්වාස කරමි. වාහන එක දෙක මා පසුකර යන හැටි පෙනෙයි. ඒ වාහනවල සිටින්නේ වැඩියෙන්ම සුදු හම සහිත ගැහැනුන් හා පිරිමින්ය. විදේශීය සංචාරකයන් වන ඔවුන් මේ පැමිණෙන්නේ බුදුරුවගල යන නම් ගත් ඓතිහාසික ගල් පර්වතය දැක බලා ගැනීමටය.

20190106Travel-(1)

සිහිල් පවන් රොදකින් ගත විඩා නිවාගත් මම කෙටි පියවර තබමින් මඩ වුණු පාර දිගේ ඉදිරියටම යමි.

 

බුදුරුවගල පුරා විද්‍යා කාර්යාලය හමු වන්නේ ඊළඟට ය. විදේශික සංචාරකයන් මේ සොඳුරු පුද බිමට පිවිසෙන්නේ නම් ඔවුන් ප්‍රවේශ පත්‍ර ගත යුතුය. එහෙත් ශ්‍රී ලාංකිකයන්ට තවමත් නොමිලයේ මෙම ඓතිහාසික ස්ථානය දැක බලා ගැනීමට අවසර තිබේ. එබැවින් මේ පුරා විද්‍යා භූමියේ දකුණු පැත්තෙන් පෙනෙන ඉපැරැණි චෛත්‍යයක නටබුන් ගොඩැල්ල දෙස බලමින් මම ඉදිරියට ගියෙමි.

 

නීල වර්ණ තණ පත් සහිත මේ බිමේ රූස්ස වනස් පතින් රැසකි. ඉපැරැණි පුද බිමකට මෙවැනි පරිසරයක් තිබීම මොන තරම් උචිත දැයි මම කල්පනා කරමි. මෙහි එන හැම සංචාරකයකුම වන්දනා කරුවකු විය යුතුය. එසේ වීමට නම් පරිසරය සොබා සොඳුරු පරිසරයක් විය යුතුමය.

මෙන්න වැවක්.

මඳක් දකුණට වන්නට පිහිටි සොරොව්වකි.

මම එතැනට දිව ගියේ ආශාවෙනි. බැලූ බැලූ අතට විහිදුණු විසිරුණු මේ ජලාශය නීල වර්ණ පිරිසුදු ජල තලයකින් යුක්තය. ඒ ජලය සිප වැළඳ ගත් පවන් රොදක් වහා පැමිණියේ මා පිළිගන්නටය. මේ වැව වට කරගත් වනාන්තරය තුළ අලි කොටි වැනි සතුන්ද සිටින්නට පුළුවන. වැල්ලවාය යනු අලින් ගැවසෙන ඉසව්වකි. මේ අවට ඇති හඳපානාගල වැවට හැම සන්ධ්‍යාවකටම වල් අලි පැමිණෙති. ඒ අලින්ටම එහා මෙහා යන්නට මේ යෝජිත රක්ෂිතය ද හඳපානාගල වනය හා සම්බන්ධව තිබේ. ඉතින් බොහෝ සන්ධ්‍යාවන්හි රාත්‍රීන්හි අලි පැමිණ මේ වැව් දියේ පහස ලැබ සිසිල විඳිනවා සිකුරුය.

20190106Travel-(2)

වැව මැද ඉපල් වුණු තුරු කඳකි. කවදාක හෝ ගොඩබිම හැදුණු මේ ගස වැව් දියට ගොඳුරු වූ ඉක්බිති මිය යන්නට ඇත. එහෙත් එහි මැරුණ කඳ තවමත් ජලයෙන් මතුවී අහස දෙස බලා හිඳී. අද එයට අතු පතර අහිමි වුණ ද කොළ දලූ අහිමි වුණ ද මල් සම්පත අහිමි වුණ ද තනිකමක් නම් නැති පාටය. මේ දැනුත් එහි වියලි කඳ මත කොකුන් යුවළක් රැඳී හිඳිති.

 

මේ කොක් යුවළ බඩ කට පුරවාගෙන ගඟට පැමිණ ප්‍රේමණීය කතා බහක යෙදී සිටිති. කුරුල්ලන්ට මහ ලොකු අවශ්‍යතා නැත. ආහාර කැදැලි වැනි පුංචි පුංචි  ඕනෑ එපාකම් කිහිපයක් පමණක් ඇත. එබැවින්ම ඔවුන්ගේ ජිවිත සුන්දරය, සැහැල්ලූය. මටත් කුරුල්ලකු වී මේ වැව් දිය උඩින් ඉගිල ගොස් වනාන්තරයේ උස ගසක උඩ අත්තක වසා සිටින ආශාවක් පහළ විය.

 

එහෙත් මට පියාපත් නැත. පියාපත් ඇත්තේ අනන්ත සිතිවිලවලට පමණි. මම ඒ සිතිවිලි සමුදායට පණ දෙමි. පියාපත් දෙමි. වැවට උඩින් ඉගිල ගොස් වන රජ දහනේ තනි වුුණු අලියකු අසල නතර වෙමි.

දිවියකු සොයා තව දුර ඉගිලෙමි. එහෙත් බත් කූරන් රංචුවක්ම පැමිණ වැව් දියට පහත්වී යළි ඉහළට ඉගිලේ. ඔවුන්ගේ අසුන මගේ දුර බැහැර ඉගිල ගිය සිත ආපසු ගෙනාවේය. ඉතින් එම බත් කූරන් දෙස බලා හිඳිමි. ඔවුන් ජලයට පහත්වන විට ජලය මත රැඳුණ මකුලූ විශේෂයක් වේගයෙන් එහා මෙහා පිහිනති. ඔවුන් දිය මකුළුවන් විය යුතුය. උන්ගේ ස්වභාවය මකුළුවන්ගේ මෙනි. සැබෑ නම කුමක් වුවත් මම උන් දිය මකුළුවෝ නමින් හඳුන්වමි.

දිය මකුළු රොත්තකි.

මා සමඟ සිටින ඡායාරූප ශිල්පී ඇලෙක්සැන්ඩර් බාලසූරිය තම කැමරාව දිය මකුළුවන් වෙත යොමු කළේය. එහෙත් උන්ගේ රූ පැහැදිලි දසුන් ලබා දේ දැයි සැක සහිතය.

කිසියම් හඬකින් වන පෙත දෙදරා ගියේය. ඒ හඬෙයි හුරු පුරුදු කුමක් ද තිබිණි.

මොනරෙක් මගේ යටි හිත වහා පිළිතුරු දුන්නේය.

20190106Travel-(3)

මොනරු යනු මේ ඉසව්වට අමුත්තන් නොවේ. වතාවත් කිරිඳිඔය පාමුල අලි මංකඩක පිහිටි හෝටලයකට ගිය වතාවක මොනරු රංචුවක්ම දකින්නට ලැබිණි. පාළුවට ගිය ළිඳක් වටකර ගත් උන් එදා කිසියම් රහස් සාකච්ඡාවක යෙදෙමින් සිටියහ. ඒ සාකච්ඡාව කුමක්දැයි මට සිතා ගත නොහැකි වුවත්, ඒ මතකය  මගේ හිත හැර ගියේ නැත. උඩවලවේ වනෝද්‍යානය මැද වූ සංචාරක බංගලාවක නතරවී සිටි රැයක ද, ? මැදියමේ පවා මට ඇසුණේ මේ කඨෝර මොනර හඬයි. වියරු බළලකු යටි ගිරියෙන් කෑ ගහන්නාක් වැනි ඒ ඥාව් හඬ මොනරාට දුන්නේ කව්දැයි නොදනිමි.

අර තරම් ලස්සන පිල් කළඹක් සතු මොනරාට මනරම් ගී හඬක් දුන්නා නම් මොන තරම් සුන්දර ද? ලොව මැවූ දෙවියන් ලෝකය සමපාත කළේ මෙවැනි අඩු ලූහුඬුකම් කරමින් විය යුතුය.

මම වට පිට බැලූවේ මොනරාගේ රුව දැක ගන්නටය. එහෙත් ඌ මට දුන්නේ රුව නොව හඬයි. හරියටම අර ඉන්දියන් ටෙලි නාට්‍යවල හමුවුණ හඬ කැවීම් නළුවන් ලෙසිනි.

ඉතින් අපි නික්මුණෙමු. තව දුරටත් වනගහනය බැවින් හිතේ නිවන එසේම රැඳී තිබේ. තුරු ලතා කී කතා අසමින් අපි ඉදිරියට පියවර තබමු.

මීටර් දෙතුන් සියයට ඔබ්බෙන් යළිත් වැවය. මෙවර පාර දෙපැත්තෙන්ම වැවේ කොටස් විහිද තිබුණත් වැවේ පුළුල් දැක්ම හමුවන්නේ දකුණු පැත්තෙනි. වම් පස වැව තිබුණ ද ඒ වැව් දිය අතරේ විසල් ගස් හැදී තිබිණි. ඒවා කුඹුක් සහ තවත් ජලයට ඔරොත්තු දෙන ගස් වර්ගයන්ය.

කොහේ දෝ යන රිළවෙක් පාර මැදය.

මොහොතක් නතරවී අප දෙස බැලූ ඌ දත නියෙව්වේය.

මේ මොන රිලවුන් දැයි කල්පනා කළ ඌ උගේ පාඩුවේ ගහකට නැග ගත්තේය.

මේ වන රජ දහන උන්ගේය. අපි එහි සැරි සරණ වන්දනා කරුවන් පමණක්වෙමු.

අප වනාන්තරයකට ඇතුළු විය යුත්තේ වන්දනා කරුවන් ලෙසින්ම පමණකි. සංචාරකයන් ලෙස නොවේ. දඩයම්කරුවන් ලෙසද නොවේ. වන රජ දහනේ ජෛව විවිධත්වය පාලනය කිරීමට සොබා දහම සියලූ සැලසුම් සකස් කර තිබේ.

මුවන් වැනි සතුන් සිය ගණනින් බෝ වෙද්දී දිවියන් බෝ වන්නේ දෙතුන් දෙනෙකි. උන් අර මුවන්ගේ වැඩි වන ගහනය අඩු කරන්නේ උන්ගේ ආහාරය මස්වන නිසාය. ඉතින් වනයෙන් පිට මංවූ මිනිසා යළිත් තුවක්කුව අරගෙන වනයට දඩයමේ යා යුතු නැත. එබැවින් අප වනයට යා යුත්තේ වන්දනාකරුවන් ලෙසිනි. අපේ අවිය විය යුත්තේ කැමරාව පමණක් මය. මා සමඟ දැන් යන්නේ ඡායාරූප දඩයක්කාරයා පමණි. මම දෙනෙතින් මේ වන රජ දහන මටම පවරා ගතිමි.

20190106Travel-(5)

දකුණ පැත්තේ වැව මැද වූ ඉපල් වූ ගසක් මත කොකුන් රංචුවකි. හරියටම ඔවුන්ට අඩි දාහකට පමණ ඉහළින් අහස මැද සරණ උකුස්සෙකි.

අත්තටු නොසොල්වා අහස මත වක්‍රාකාරව සැරි සරණ ඌ ගැන මගේ හිතේ ඇත්තේ ඊර්ෂ්‍යාවකි. මටත් ඒ උකුස්සා මෙන් ඉහළ අහසේ සරන්නට හැකි නම් කොයි තරම් සොඳුරු දසුන් පොළොවෙන් දැක ගන්නට හැකි වනු ඇද්ද?

මේ වැව කොයි තරම් විශාල විය හැකිද? වනය හා එකට පැටලී පැතිර පවතින මේ වැවේ කිඹුලන් සිටිය යුතුමය. මා දෙනෙත් යොමුකර කිඹුලන් සෙවුමුත් එකද කිඹුලකුවත් හමු නොවීය. උන් මිනිස් ඇස නොගැටෙන ඈත ඉසව්වක රැඳී සිටිනවා විය යුතුය. වැවෙන් ඔබ්බට ඇවිද ගියවිට දෙනෙත පැහැර ගත්තේ බුදුරුව රැගත් ගලයි. ඈත කළෙවරක වූ ඒ ගල සෘජු බිත්තියක හැඩය ගත්තේය. එහෙත් ඒ බිත්තිය සොබා දහම ලබා දුන්නා ද නැතිනම් මිනිසා විසින් යම් කලෙක මේ බිත්තිය සෘජු හැඩයක් දෙන ලෙස කඩා ඔප මට්ටම් කළාද යන්න අවිනිශ්චිතය. සැබෑවින්ම එය මට සිතා ගත නොහැකිය.

කෙසේ වෙතත් පුරා විද්‍යාඥයන් පවසන්නේ මෙය මහායාන බොදු උරුමයක් බවය. ඒ අනුව මේ පිළිම හතෙන් නිරූපණය වන්නේ මහායාන බුදු දහමේ කියැවෙන ප්‍රධාන චරිත හතකි. ප්‍රධානම පිළිමය වන්නේ ගලින් නෙළා සුදුපාට ආලේප කර ඇති උසැති ප්‍රතිමාවයි. එය මීටර් දහ තුනක් උස වන අතර ලංකාවේ පිහිටි ගලක නෙළා ඇති උසම පිළිමය සේ වාර්තා ගතය  දීපංකර බුදුන්ගේ පිළිමයක් ලෙස මේ පිළිමය හඳුනාගෙන තිබේ. අනෙක් පිළිම හය නෙළා ඇත්තේ අර කී දීපංකර බුදු පිළිමය මැදිවන ලෙසිනි. ඒ අනුව වම් පස ඇති පිළිම තුන මංජු ශ්‍රී මෛත්‍රී බෝධි සත්ත්ව සහ වජ‍්‍රපානි ලෙස ද දකුණු පස ඇති පිළිම තුන සුධන කුමාර අවලෝකිතේශ්වර සහ තාරාගේ බව ද පැවසෙයි.

අතීත ගති ලක්ෂණ පෙන්නුම් කරන පිය ගැට පෙළකි. ඒ පිය ගැට පෙළ යොමුව ඇත්තේ අර කී බුදුරුවගල වෙතටය. රියගාලේ රිය නතර කර ඒවායින් බැසගත් සංචාරකයෝ මේ පිය ගැට පෙළ දිගේ ඉදිරියට යති. ඔවුන් ඇඳ සිටින්නේ කොට කලිසම්ය. සුදු යුවතියන්ගේ ධවල දඟ යුග වැසෙන පරිදි සළු පළඳවන තැන ඉදිරියෙනි. එතැන රැඳී ඉන්නා සේවකයා තම සළු පිළි ගබඩාවෙන් එක් එක් වස්ත්‍රය බැගින් ගනිමින් යුවතියන්ට සළු පළඳවයි.

මම මඳක් බලා සිටියෙමි. එහෙත් ඔහු ඔවුන්ගේ තොල් ආලේපන ගෑවේ නැත.

බුදුරුවගල යනු පුරා විද්‍යා ස්ථානයක් පමණක් නොවේ. පුදු බිමකි. අර පුද්ගලයා යුවතියන්ට සළු පළඳවන්නේ පුද බිමකට සංවරව පිවිසිය යුතු නිසාය. අපේ රටේ මිනුම් දණ්ඩට අනුව දඟ යුඟ පෙන්වීම අසංවර කමකි. සළු පැළඳ සංචාරකයන් අසංවර ගමන් විලාසයෙන්ම ඉදිරියට ඇවිද යද්දී අපි ද ඔවුන්

පසු පසින් ගියෙමු.

බුදුරුවගල ළඟට ගොස් බුදුන් වැඳ පසෙකට වීමි. දුර බැහැර රටක සිට පැමිණි සංචාරක යුවළක් බුදුරුවගල ද අසු වනසේ ඡායාරූප සැසියකය.

නිල් ඇස් ඇති සුරූපිනිය සිය අත වූ කැමරාව අපේ බාලසූරිය අතට දී ඡායාරූපයක් රැගෙන දෙන්නැයි කීවාය. අනතුරුව ඒ සුදු යුවළ, බුදුරුවගල පසු බිම්වනසේ සිටගෙන ඡායාරූපයකට මුහුණ දුන්හ.

මෙබඳුම යුවළක් අනිත් පැත්තේ ද සිටිති. 

බුද්ධ වන්දනාවට පසුව මම යළිත් පරිසර වන්දනාවට එකතු වෙමි. අවට වන ගහනයේ රූස්ස ගස්ය. අඳුරු හේඩාවන් වැටුණ ඒ ඉසව්වේ තැන තැන තිබෙන අලි වසුරු මට පෙනේ. මම පසෙක සිටින පුරා විද්‍යා ආරක්ෂක නිලධාරියා වෙත සමීප වීමි.

20190106Travel-(6)

මේ හරියට අලි එනවද?

ඔව් ඔය හැම තැනම බෙටි තියෙන්නෙ..... හැන්දෑ වෙනකොට අලි ඇවිත් වටේ කැරකිලා යන්න යනවා.

ඒ අලි එන්නෙත් වන්දනා ගමනක් විය හැකිය. වන මැද හැංගුණ විවිධ පුද බිම් අලින්ගේ වන්දනාවට නිරතුරුවම පාත්‍ර වූ බව රහසක් නොවේ.

බොහෝ වේලාවක් බුදුරුවගල අසල ගත කළ මම ආපසු යන ගමන් සළු අන්දන නිලධාරියාගෙන් විස්තර පත්‍රිකාවක් ඉල්ලා ගත්තෙමි. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් නිකුත් කෙරුණ එහි වූයේ මොණරාගල දිස්ත්‍රික්කයේ පුරා විද්‍යා සංචාරක ස්ථාන ගැනය.

එයට අනුව මොණරාගල දිස්ත්‍රික්කය සතු පුරා විද්‍යා සංචාරක ස්ථාන ගණන අටකි. ඉන් එකක් වන්නේ මේ බුදුරුවගලය.

බුදුරුවගල පර්වත පෘෂ්ඨයට අමතරව තවත් නටබුන් රැසක් අවට භූමියේ විසිර ඇති බව එහි සඳහන්ය. ප්‍රවේශ පත්‍ර නිකුත් කරන භූමියේ තිබූ නටබුන් චෛත්‍යය ද මේ නටබුන් ගොන්නට අයත් වන්නක් බව මට සිතිණි. එසේ නම් එදා එනම් ක්‍රිස්තුවර්ෂ අට සියවසේ දී පමණ මේ බුදුරුවගල දැවැන්ත ආරාම සංකීර්ණයක්ව පවතින්නට ඇත.

මම තවත් වරක් අර මනරම් පර්වත පෘෂ්ඨය දෙස බලා දෝත් එක් කර වැඳ වන්දනාව අවසන් කරමි. එහෙත් සිතෙහි හටගත් පහන් හැඟුම්වල නම් කෙළවරක් ඇත්තේම නැත.

මම යළිත් සාධුකාර දෙමි.

 

ශාන්ත කුමාර විතාන / සේයා: ඇලෙක්සැන්ඩර් බාලසූරිය

20190106Travel-(4)20190106Travel-(7)20190106Travel-(8)

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top