Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 14
703
Views
කෝටි පනහක් දෙන්නම් කිව්වා. මම වැඩේට කැමති වුණා. 
 
මදූෂ්ව මුලින්ම හම්බවුණේ හිරේදී 
 
මේ කතාවේ මූලිකයා ඩේවිඩ් ක්‍රිෂාන් පීරිස්. ඔහු තමයි පසුගිය දිනවල මාධ්‍ය නිරන්තරයෙන් කතා කරන්නට යෙදුණු “කෝටි පන්සියේ දියමන්ති මංකොල්ලයේ“ දියමන්තිය අයිතිව තිබූ පුද්ගලයා. මේ ඔහුගේ කතාව. 
 
සෞදි අරාබියේ නිවසක රැකියාව කළ ඔහුට වැලි ගොඩක තිබී මැණිකක් ලැබෙන්නේ පෙර පිනකටයි. 
 
එය එසේ මෙසේ මැණිකක් නොව කෝටි 500ක් වටිනා දියමන්තියක්. ඔහු එහි වටිනාකම තහවුරු කරගන්නේ ලංකාවට ආවට පස්සේ, ස්වර්ණාභරණ මණ්ඩලයට පෙන්වා තක්සේරු කිරීමෙන්. 
 
පසුව ඔහු ඒ දියමන්තිය විකිණීම සඳහා බලපත්‍රයක්ද ලබා ගන්නවා. මැණික් ව්‍යාපාරයටත් අත ගහන ඔහු කෝටි දෙසීයක් පමණ වටිනා මැණික් ගල්ද මිලදී ගෙන ඒවා විකිණීම සඳහා පුද්ගලයෙකු සොයමින් හිටියා. කිහිප දෙනෙක් ඇවිත් මිල ගණන් බැලුවත් කවුරුත් ඒවා මිලදී ගන්නේ නැහැ.

පසුගිය පස්වනදා හවස් භාගයේ මැණික් මිලදී ගැනීමට පිලිපීන ජාතිකයෙකු පැමිණෙන්නේ ඔය අතරතුරයි. 
 
මැණික් හිමි ඩේවිඩ් ක්‍රිෂාන් පීරිස් මහතා පදිංචිව සිටින්නේ මහරගම පොලිස් වසමේ, පන්නිපිටිය, ඇරැව්වල ලිපිනයේයි. තැරැව්කරුවෙකුගේ මඟ පෙන්වීමෙන් එම නිවසට පැමිණී පිලිපීන ජාතිකයා මැණික් පිළිබඳ කතාබහකින් අනතරුව ඒවා බැලීමට අවශ්‍ය බව කියනවා. 
 
ඒ අනුව පීරිස් මහතා තමා සතු කෝටි පන්සීයක් පමණ වටිනා දියමන්තිය (මැණික් ගල) ආරක්ෂිතව තිබූ ස්ථානයෙන් රැගෙනවිත් ඔහුට පෙන්වීමට සුදානම් වුණා. 
 
ඒ සමඟම නිවස අසලට වෑන් රථයක් හා යතුරු පැදියක් පැමිණ ඇති අතර එහි සිටි පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු කණ්ඩායම නිවස වටලනවා. අනතුරුව නිවෙස තුළට එන පොලිස් පරීක්ෂකවරයා, මැණික් බලමින් සිටි පිලිපීන ජාතිකයාගේ දෑත්වලට මාංචු දමමින් පවසන්නේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ මොහු අත්අඩංගුවට ගන්නා බවයි. 
 
ඒ අතර පොලිස් පරීක්ෂකවරයා රුපියල් කෝටි දෙසීයක් වටිනා කුඩා මැණික් ගල් සිය භාරයට ගන්නා අතර ඔහු සමඟ සිටි තවත් පුද්ගලයෙකු රුපියල් කෝටි පන්සියක් වටිනා දියමන්තිය අතට ගත්තා. 
 
‘‘මහරගම පොලීසියට එන්න. අපි මෙයාව මහරගමට භාර දෙනවා...‘‘ ලෙසින් පවස පොලිස් කණ්ඩායම එම නිවසෙන් පිටව යන්නේ පිලිපීන ජාතිකයා පමණක් නොව රුපියල් කෝටි පන්සීයයක් වටිනා මැණිකක්ද රැගෙනයි. 
 
සිද්ධ වුණ දේ අදහාගත නොහැකි වූ පීරිස් මහතා මහරගම පොලීසියට මේ බව දැනුම් දෙන අතර ඔවුන් පවසන්නේ එවැනි සිදුවීමක් ගැන කිසිත් නොදන්නා බවයි. 
 
මේ අතර මහරගම පොලීසියට යන පිලිපීන ජාතිකයා පැමිණිල්ලක් කරන අතර ඔහු පවසන්නේ තමා පැහැරගත් පිරිස අතරමඟදී මාංචු ගලවා තමා වෑන් රථයෙන් බස්සවා යන්නට ගිය බවයි. 
 
ඒ අනුව පැහැදිලි වුණේ කොල්ල කල්ලියක් සංවිධානාත්මකව මේ කාර්යයේ යෙදී ඇති බවයි. මැණික් කොල්ලය පිළිබඳ විමර්ශනය ඇරඹෙන්නේ ඉන් අනතුරුවයි. රහසින් තොරතුරු සෙවූ පොලීසියට මීළඟට දැනගන්නට ලැබෙන්නේ අදාළ පුද්ගලයෙකු පාදුක්ක ඉංගිරිය පාරේ සිටින බවටයි. 
 
තොරතුර ලද සැනින් මිරිහාන ඒකකයේ කණ්ඩායමක් පාදුක්ක බලා පිටත් වී අනතුරුව අදාළ සැකකරු අත්අඩංගුවට ගත්තා. ඔහු අතුරුගිරිය පොලිස් වසමේ ඔරුවල පදිංචි නම් දැරූ කොල්ලකරුවෙක්. 
 
මැණික් ව්‍යාපාරිකයාගේ නිවසට ගිය ව්‍යාජ පොලිස් කණ්ඩායමේ පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස නිල ඇඳුම් ඇඳ සිටියේ ඔහුයි. කෝටි දෙසීයක් වටිනා කුඩා මැණික් ගල් ටික කොල්ල කෑවේ ඔහුයි. 
 
ප්‍රශ්න කිරීමේදී ඔහු පැවසුවේ දැනට ඩුබායි සිටින මාකඳුරේ මදූෂ්ගේ සැලසුමකට අනුව මෙම මැණික් කොල්ලය සිදු කළ බවයි. 
 
‘‘මදූෂ් මට කෝල් කරලා කිව්වා මෙහෙම වැඩක් තියනවා. උඹ පොලිස් යුනිෆෝම් එක ඇඳගෙන පලයන්, එතන සුද්දෙක් ඉඳියි. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ එකෙක් කියලා උඹ පොඩි මැණික් ගල් ටික ගනින් කියලා..‘‘ 
 
‘‘අපිත් එක්ක හිටපු මාතර මල්ලි තමයි සුද්දගේ අත්වලට මාංචු දැම්මේ. මම අයි.ජි. කෙනෙක් වගේ හිටපු නිසා මම කට්ටියම යටත් කරලා මැණික් ගල් ටික මගේ අතට ගත්තා. ලොකු මැණික ගත්තේ මදූෂ් එවපු වෙන කෙනෙක්..‘‘ 
 
‘‘පස්සේ මදූෂ් මට කෝල් කරලා කිව්වා, ඔය මැණික් ගල් ටික ගෙදර අරගෙන ගිහින් ඒකේ ෆොටෝ ගහලා වයිබර් කරලා මට එවපං කියලා. මම ඒ විදිහට කළා. පස්සේ මට කිව්වා, ඒවා හොඳට පැක් කරලා මරදානට ගිහින් මදූෂ් එවපු කෙනාට දුන්නා. ඒ කෙනා ඒවා ඩුබායි වලට අරගෙන ගියා...‘‘ 
 
මොහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. මොහු සතුව තිබූ ජංගම දුරකථනයේ මැණික් ගල්වල ජායාරූප හා දුරකථන සංවාදද බොහෝමයක් පටිගතව තිබුණා. 
 
මිරිහාන පොලීසිය මීළඟට අත්අඩංගුවට ගන්නේ මාතර මල්ලිවයි. ඔහුගේ වයස අවුරුදු තිස් අටක්. මොහු දැනට පදිංචි කැලණිය, කෝරලේගම ප්‍රදේශයේ කූලී නිවසකයි. 
 
මොහුගේ රැකියාව වුණේ තංගල්ල ප්‍රධාන විහාරස්ථානයක වාහනය පැදවීමයි. එසේ පෙනී සිටිමින් ඔහු මිනීමැරුම් හා මංකොල්ලකෑම්වල නියලෙමින් සිටිනවා. මීට පෙර රත්මලානේදී සිදුවූ ද්විත්ව ඝාතනයකට ද ඔහු චෝදනා ලැබ සිටියා. නඩු කිහිපයක් විභාග වන නමුත් සමහර සිද්ධි වලින් ඔහු නිදහස් වන්නේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසයි. 
 
මොහුට මදූෂ් මුණගැසී ඇත්තේ සිරගෙදරදීයි. අපරාධ ලෝකයේ කැපී පෙනෙන ‘‘පොරක්“ වීමට මාතර මල්ලිට මඟ පෑදෙන්නේ ඒ විදිහටයි. 
 
“ඔය විදිහට ඇතුළට ගිහින් එළියට ඇවිත් ඉඳලා මේ අවුරුද්දේ අප්‍රේල් වල මම ගමට ගියා. ඒ ගිය ගමන ආරංචි වුණ රසික ඇතුළේ ඉඳලා මාව මරවන්න ප්ලෑන් කරලා කට්ටියක් දාලා තියනවා කියලා. මම රත්මලානේ රෝහණට කිව්වා මට ප්‍රශ්නයක් තියනවා, මදූෂ්ව සම්බන්ධ කරලා දෙන්න කියලා. රොහා මට මදූෂ්ව සම්බන්ධ කරලා දුන්නා...‘‘ 
 
‘‘පස්සේ මදූෂ් මට කෝල් කරලා කිව්වා උඹ ගමේ යන්නේ නැතුව හිටපන්, මම මොනවා හරි කරලා දෙන්නම් කියලා. මදූෂ් මට ෆෝන් එකකුත් එවලා තිබුණා. ඒකෙන් එයාට කතා කරන්න කියලා..‘‘ 
 
‘‘ජූනි මාසේ අන්තිමට වගේ මට මදූෂ් කෝල් කරලා වැඩක් කිව්වා, ලක්ෂ පනහක් විතර ගන්න පුළුවන් වැඩේට සෙට් වෙන්න පුළුවන්ද කියලා ඇහුවා. මම වැඩේට කැමති වුණා..‘‘ 
 
‘‘නොවැම්බර් පස් වැනිදා දවස් කිහිපයකට කලින් මට කිව්වා මහරගම එක්කෙනෙක්ගේ ළඟ විකුණන්න ගෙනාපු දියමන්තියක් තියනවා, වැඩේ කරගත්තොත් උඹට ලක්ෂ පනහක් නෙවෙයි, කෝටි පනහක් දෙන්නම් කියලා. පස්සෙ මම වැඩේට කැමති වුණා..‘‘ 
 
මෙම මෙහෙයුම සඳහා පුද්ගලයින් හත් දෙනෙකුගේ පමණ දායකත්වය ලැබි තිබුණා. පැහැරගෙන ගිය පිලීපින ජාතිකයාව මොවුන් මුදවා ඇති අතර තැන නොතැන සොයා ගැනීමට නොහැකව ඔහු අතරමං වී තිබෙනවා. 
 
පසුව ඔහු සිය මඟ පෙන්වන්නාට දුරකථන ඇමතුමත් දී වයිබර් තාක්ෂණය ඔස්සේ මාර්ගය හොයාගන්න පුළුවන් වෙනවා. සිද්ධිය නිසා මැණික් ව්‍යාපාරිකයා පසුවන්නේද කනස්සල්ලෙන්. 
 
මෙරට මත්කුඩු ජාවාරමක් හසුවුවහොත් සාහසික ලෙස මනුෂ්‍යයකු ඝාතනය කළොත්, විශාල ප්‍රමාණයේ කොල්ලයක් සිදු වුවහොත්, ව්‍යාපාරිකයෙක්ගෙන් කප්පම් ඉල්ලුවහොත්, එවැනි බොහෝ සිදුවීම් පිටුපස සිටින්නේ මාකඳුරේ මදූෂ්. 
 
ඒ බව තහවුරු වන්නේ එවැනි සිදුවීම්වලට අත්අඩංගුවට ගත් අයවුන්ගේ පාපොච්චාරණවල මදූෂ්ගේ නමම සඳහන් වීමයි. 
 
මොහුගේ අවශ්‍යතා මත පසුගිය සමයේ අපරාධ ඝාතන රැසක් සිදුවූ අතර ඒ සඳහා සැකපිට අත්අඩංගුවට පත් වූ පිරිසද බොහෝයි. 
 
මෙම අපරාධ නිසා ජිවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූයේ ඝාතනයට හවුල් වූවන්ටම පමණයි. එරට සිටියත් මදූෂ් මෙරට සිදුවෙන බොහෝ දේ දැන සිටිනවා. ඒ සඳහාම වන පිරිසක් ඔහු නිර්මාණය කරගෙන ඇත්තේ පාතාල ලෝකයේ ගෝඩ් ෆාදර් නම් නාමයෙන් පිදුම් ලබන නිසාමයි. 
 
කොල්ල කෑ රුපියල් කෝටි පන්සියක් වටිනා දියමන්තිය දැන් මදූෂ් අතේයි. මාතර මල්ලිට ඒ සඳහා ලක්ෂ දෙකක් ලබා දී තිබුණේ පසුව කෝටි පනහ දෙන පොරොන්දුව පිටයි. 
 
හිරේ ගියත් මාතර මල්ලිට ඉදිරියේදී එම කෝටි පනහද ලැබෙනු ඇති.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top