Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 13
1,243
Views
"මම කැමැතියි ලොකු කෙනෙක් වෙලා හිටපු කාලෙට..."

"සුදු පැහැති විශාල ගෙයක් තිබුණා, එහි පිහිනුම් තටාකයකුත් තිබුණා.."

පුනර්භවය සනාථ කෙරෙන පුනර්භව සිද්ධීන් මෑත කාලයේ ලොව දස දෙසින්ම වාර්තා විය. පෙරදිග රටවලින් පමණක් නොව අපරදිග රටවලින්ද මෙසේ පුනර්භව සිද්ධීන් බොහෝ සෙයින් වාර්තා වූ අතර ඒ නිසාම අපරදිග රටවලද අවධානය ඒ කෙරේ යොමු විය. මේ අන්දමින් මෑතකදී වාර්තා වූ පුනර්භව සිද්ධියක් ලොව පුරා ප්‍රසිද්ධ විය.

රයන් හැම්මොන්ස් නම් බිලිඳු පිරිමි දරුවා උපන්නේ වර්ෂ 2005දී ඇමෙරිකාවේ ඔක්ලහෝමාහිදීය. ඔහුගේ මවුපියෝ ක්‍රිස්තු භක්තිකයෝ වූහ. ඔහුගේ පියා පොලිස් නිලධාරියකු වූ අතර මව කාර්යාල සහායිකාවක වූවාය.

රයන්ට වයස අවු. 4 සපිරෙද්දී ඔහු විශේෂ ක්‍රීඩාවක් කිරීම ආරම්භ කළේය.

එනම් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස පෙනී සිටිමින් චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමය. ඉන්පසු ඔහු රාත්‍රි නින්දෙන් අවදි වන්නේ බියකරු සිහින දැකීමෙනි. තමාගේ හදවත රිදුම් දෙන බව කියමින් ඔහු කෑගන්නට විය. මේ අතර ඔහු කිසිදාක දැක අසා නොතිබුණු දේ ගැන කීමට පටන් ගත්තේය. බොහෝ විට ඔහු විස්තර කීවේ හොලිවුඩය ගැනය. ඔහු හොලිවුඩය ගැන විස්තර කළේ බොහෝ හුරුපුරුදු පරිද්දෙනි. ඉන් වසරකට පමණ පසු දිනක් රයන් සිය මව වූ සින්ඩිට කියා සිටියේ තමා මීට පෙර වෙනත් කෙනකු වී සිටි බවයි. 'මම ලොකු කෙනෙක් වෙලයි හිටියේ. ඒත් දැන් මම පොඩියි. මම කැමැතියි ලොකු කෙනෙක් වෙලා හිටපු කාලෙට.

එතකොට මට ඕන දෙයක් කරන්න පුළුවන්. ඕන තැනකට යන්න පුළුවන්, ඒත් දැන් එහෙම බැහැ' ඔහු කීවේය. රූපවාහිනියෙන් හොලිවුඩය දකින විට රයන් පැවැසුවේ ඒ තමාගේ නිවෙස බවත් එහි යෑමට අවශ්‍ය බවත්ය.

මුලදී රයන්ගේ මව සින්ඩි මේ කිසිවක් විශ්වාස නොකළාය. නමුත් රයන් වයසින් වැඩෙත්ම ඔහු පවසන දේවල් වඩාත් සවිස්තර වූ අතර විශ්වාසදායීද විය. රීටා හේවොත් වැනි පැරැණි හොලිවුඩ් තරු මුණ ගැසුණු අයුරු ඔහු හෙළි කළේය. තමා විදේශයන්හි ගත කළ සුපිරි නිවාඩු, උණුසුම් සන්ධා්‍යාවන්හි පැවැත්වූ නැටුමෙන්, ගැයුමෙන්, සුසැදි සාද යනාදිය ගැන ඔහු මහත් අභිරුචියෙන් කතා කරන්ට විය.

තමාට සුදු පැහැති විශාල ගෙයක් තිබූ බවත් එහි පිහිනුම් තටාකයක්ද තිබූ බවත් ඔහු හෙළි කළේය. තමා පස් වරක් විවාහ වූ බවත් පුතුන් තිදෙනකු වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. තම පුතුගේ කතාවල සත්‍යතාව සෙවීමට සිතා ගත් සින්ඩි පුස්තකාලයෙන් හොලිවුඩය ගැන ලියැවුණු පොතක් රැගෙන විත් එය රයන්ට පෙන් වූවාය. පොතේ පිටුවෙන් පිටුව පෙරළා ගෙන යන විට එහි එක් පිටුවක 1932 වසරේ තිරගත වූ චිත්‍රපටයක පින්තූරයක් විය. එහි මිනිසුන් දෙදෙනකු මුහුණට මුහුණ බලාගෙන සිටින අතර පසුබිමෙන් මිනිසුන් සතර දෙනෙක් වූහ. පින්තූරයේ මැද සිටි පුද්ගලයා පෙන්වූ රයන් ඒ ජෝර්ජ් නම් තම යහළුවා බවත් ඔවුන් එකට චිත්‍රපටයක් කළ බවත් පැවැසීය. ඊට අනෙක් පසින් සිටි උඩු කබායක් පැලැඳ සිටි පුද්ගලයා දෙසට ඇඟිල්ල දිගු කළ රයන් පැවැසුවේ ඒ තමන් බවයි. මේ අවස්ථාවේ සින්ඩි මහත් පුදුමයට පත් වූවාය.

එම පින්තූරයේ සිටි කිසිවකු ඇය නොහඳුනන අය වූහ. ඒ පිළිබඳව කළ සොයා බැලීමේදී ඇය අනාවරණය කර ගත්තේ රයන් තමා යැයි පැවැසූ පුද්ගලයා මුලදී හොලිවුඩයේ අතිරේක නළුවකු වී සිට පසුව හොලිවුඩ් ඒජන්තවරයකු බවට පත් වූ මාර්ටි මාර්ටින් නම් තැනැත්තා බවයි. සින්ඩි ඉන්පසුව තීරණය කරනුයේ තම පුතු රයන්ගේ කතාව පිළිබඳව පර්යේෂණයක් කිරීමට වෛද්‍ය ජිම් ටකර් හට භාර දීමටය. ඔහු පුනර්භව ගවේෂණ ගැන නම් දරා සිටින්නකු විය.

වෛද්‍ය ටකර් රයන්ව සම්මුඛ පර්යේෂණයකට භාජන කළ අතර ඒ මඟින් මාර්ටි මාර්ටින් පිළිබඳව බොහෝ තොරතුරු එළි කරගත හැකි විය.

වෛද්‍ය ටකර් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ වුවද මාර්ටි මාර්ටින්ගේ දියණිය සම්බන්ධ කරගැනීමට සමත් විය. රයන් විසින් මාර්ටින් පිළිබඳව පැවැසූ සියල්ල නිවැරැදි බව ඇය පවසා සිටියාය. රයන්, මාර්ටින්ට සිටි සහෝදරියන් ගණන පිළිබඳව නිවැරැදිව පවසා සිටි අතර ඒ ගැන ඔහුගේ දියණිය පවා නිවැරැදිව නොදැන සිටීම විශේෂ සිදුවීමක් විය. එසේම මාර්ටින් බෙවර්ලි හිල්ස්හි පිහිටි සුවිශාල නිවෙසක ජීවත් වූ බව වෛද්‍ය ටකර් විසින් සොයා ගන්නා ලදී. මාර්ටින්ගේ විවාහයන් හා දරුවන් පිළිබඳවද රයන් පැවැසූ සියල්ල නිවැරැදි විය. රයන්ගේ මව සින්ඩි රයන් පැවැසූ දේවල් මාර්ටින්ගේ ජීවිතය හා සැසඳුණු බව දැන පුනර්භවය පිළිබඳ විශ්වාස කිරීමට පෙලඹුණාය.

මේ අතර රයන් පැවැසූ එක් කරුණක් කෙරේ වෛද්‍ය ටකර්ගේ විශේෂ අවධානය යොමු විය. රයන් පවසා සිටියේ මාර්ටින් මියගියේ වයස 61දී බවයි. නමුත් ඔහුගේ මරණ සහතිකයේ සඳහන් වූයේ මාර්ටින් මියගියේ වයස 59දී බවයි.

මේ කරුණ සම්බන්ධයෙන් රයන් වැරැදිද යන්න පිළිබඳ තවදුරටත් ගවේෂණය කළ වෛද්‍ය ටකර් දැන ගත්තේ මාර්ටින් ඉපදී ඇත්තේ 1905දී නොව 1903දී බවයි. ඒ අනුව වැරැදී තිබුණේ මරණ සහතිකයය. රයන් පැවැසූ කරුණ සත්‍ය බව අනාවරණය විය. මේ වනවිට රයන් යොවුන් වියට එළැඹ සිටී. ඔහුගේ අතීත භව මතකයන් දැන් ඔහුගේ මතකයෙන් බැහැර වී ඇත. වෛද්‍ය ටකර්ට අනුව එය සාමාන්‍ය දෙයකි. ළමයින් වයසින් වැඩෙද්දී ඔවුන්ගේ අතීත භවයන් පිළිබඳ මතකයන් ඔවුන්ගෙන් ඉවත්ව යන බව ඔහු පවසයි. කෙසේ නමුත් මෙම පුනර්භව ගවේෂණය පුනර්භවය සනාථ කිරීමට බටහිර රටකින් ලැබුණු ප්‍රබල සාධකයක් ලෙස නම් කළ හැකිය.

විශේෂයෙන් මීට අදාළ විධිමත් පර්යේෂණයක් කර තිබීම නිසා මේ පිළිබඳ සත්‍ය බැහැර කළ නොහැකි බවට පත් වී ඇත. අතීතයේ පෙරදිගට පමණක් සීමා වූ පුනර්භව සිද්ධාන්තය දැන් දැන් අපරදිග පුරාද පැතිර යන බවට මේ සිදුවීම ප්‍රබල සාක්ෂියකි.

එල්. ජයසේකර


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top