Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 10
680
Views
වික්ටර් රත්නායක කියන්නේ ශ්‍රී ලාංකීය සංගීතය වෙනුවෙන් ඉමහත් සේවයක් කල කලාකරුවෙක්. හැමෝටම වගම ඔහුටත් සුන්දර තරුණ කාලයක් තිබුණා. පාසල් වෙලාවෙ පාඩම් කරමින් වේවැල් කසායෙන් වගේම දඟයෙන් මිදිලා හිටපු වික්ටර් රත්නායකයන්ගේ ඒ ඉලන්දාරි කාලේ ගැන ඔහු කියන්නේ මේ විදිහටයි. 
 
ඉලන්දාරි කාලෙ...
කඩුගන්නාව කියන මගේ ගම් ප්‍රදේශයේ තිබුණ සුන්දර පරිසරයට ආදරය කරමින් ජීවත් වුණා. යාළුවො එක්ක එකතුවෙලා අලගල්ල කන්ද” බලන කන්ද”
 
හුන්නස්ගිරිය” උතුවන්කන්ද කියන කඳු නැඟලා ඇළේ දොළේ නාලා උපරිම ලෙස සොබා සෞන්දර්ය වින්දා. අවුරුදු නවයෙ ඉඳලා සංගීතයට යොමුවෙලා ඉන්න අතරේ තාත්ත මට හාමෝනියම් එකක් අරන් දුන්නා. ඒ නිසා මම ඉලන්දාරි කාලෙ ගමේ මඟුල් ගෙවල් සහ විවිධ උත්සව වලට ගායනයෙන් වගේම වාදනයෙන් නැතුවම බැරි චරිතයක් වෙලා හිටියා.
 
පාසල් ජීවිතේ
කඩුගන්නාව කනිෂ්ඨ විදුහලෙන් තමයි මූලික අධ්‍යාපනය ලැබුවෙ. එතැනින් පස්සෙ කඩුගන්නාව මධ්‍ය මහා විද්‍යලයේ ඉගෙනුම ලැබුවා. සාමාන්‍ය පෙළ හොඳින්ම සමත් වුණා. සංගීතයට වැඩි ඉඩක් දීල කටයුතු කළ නිසා උසස් පෙළ ගැන හිතුවෙම නෑ.
 
ඇසුරු කරපු යාළුවෝ
හෝඩියේ පංතියේ ඉඳල ළඟින්ම හිටපු යාළුවා තමයි කේ. එච්. කුලරත්න. අදත් මාව බලන්න මගේ ගෙදරට එනවා. මමත් යනවා ඔහුව බලන්න. අපේ යාළුකම ඒ විදියමයි. ඊට අමතරව සිරිල් සුමනදාස” ජී. බී. අතපත්තු” එල්.බී. අතපත්තු ඇතුළු මිතුරන් රාශියක් මට හිටියා. අද වෙද්දි සිරිල් සුමනදාස අප අතර නෑ.
 
කල්ලි ගැහැනු තැන්
ගෙවල් වටපිටාවෙ තිබුණ සුන්දර පරිසරයෙ රස විඳින්න පුළුවන් හැම තැනකම අපි කල්ලි ගැහුණා. කඩුගන්නාවෙ රේල් පාර දිගේ පල්ලෙහාට ඇවිදින්න යනවා. බිංගෙවල් නරඹන්න” වතුර පිහිලිවල නාන්න අපි හරි කැමැතියි. ඒ තැන්වලදි තමයි අපි කල්ලි ගැහිල කතාබහ කරන්නෙ.
 
කරපු දඟවැඩ
තව කෙනෙකුට රිද්දල කරදරයක් වෙන විදියෙ දඟ වැඩ කළේ නෑ කවදාවත්. කට්ටිය සෙට් වුණාම විනෝදෙට අහල පහල ගෙවල්වල මල් පෝච්චි මාරු කළානම් හොඳට මතකයි. ඉතින් පහුවදා උදේට හැම ගෙදරකම ලොකු කලබලයක්” ඒවා නැවත මාරුකර ගන්න. ඒව බලල හරියට විනෝද වුණා.
 
කරපු හොඳ වැඩ
අනන්තයි. අප්‍රමාණයි. ගමේ ඕනම පොදු කටයුත්තකදි අපි තමයි මූලික වෙන්නෙ. විශේෂයෙන් කඩුගන්නාවෙ අපේ පන්සලේ ඕනම උත්සවේකට කොඩි දාන්න” සැරසිලි” තොරණ් හැදිලි අපේ අතින්මයි සිදුවුණේ. වෙසක් පොසොන් උත්සව වලට පන්සල ඇතුළු මුළු ගමම අපි වෙසක් කූඩුවලින් සරසනවා.
 
පටබැඳි නම්
පංතියේ නාමලේඛනය උදේට ලකුණු කරන්නෙ ඞී.වී. රත්නායක කියලා. මගේ සම්පූර්ණ නම ඞී. වී. රත්නායක නිසා යාළුවො ඒ නම කෙටි කරල මට කතා කළේ ඞී.වී. කියල. සංගීත ක්ෂේත්‍රයේ දී තමයි වික්ටර් රත්නායක වුණේ.
 
අහපු කයි කතන්දර
කවුරුත් මට නරකක් දොසක් කිව්වෙ නෑ. සංගීත කටයුතුවලට යොමුවෙලා ගමේම අයගෙ විවිධ අවස්ථාවන්ට සංගීතය සපයන්නත් ගායනයෙන් දායක වෙන්නත් ගිය නිසා හැමෝම මාව අගය කළා.
 
ගැහැනු ළමයින්ගෙ ආශ්‍රය
මිශ්‍ර පාසලක ඉගෙන ගත්තු නිසා ඒ ආශ්‍රය ඕනවටත් වඩා තිබුණා. ඒ කාලෙ ගැහැනු ළමයි පිරිමි ළමයි කියල කිසිම භේදයක් නෑ. අපි එකම පවුලක් වගේ ලොකු සහෝදර බැඳීමකින් තමයි ජීවත් වුණේ. සිංදු කියන නිසා මම ගෑනු ළමයින්ගෙ ආදරයට ලක්වෙලා හිටපු එක තමයි විශේෂය.
 
කරපු විලාසිතා
ලොකු නැඹුරුවක් තිබුණෙ නෑ විලාසිතාවලට. අද වගේ කන් විදින්න” කරාබු දාන්න” මාල දාන්න අපිට අවස්ථාව තිබුණෙ නෑ. පාසලේ දී අපි කොණ්ඩෙ කපපු විදිය” නියපොතු වගේ හැම දේම බලනව. ඒ විදියට හිටියා. අම්ම තාත්ත අරන් දෙන ඇඳුම් ඇන්දා එච්චරයි.
 
තිබුණ බලාපොරොත්තු
ඔය අහන කාලෙදි නම් මම සංගීතය පැත්තෙන් ගොඩක් ඉදිරියට ගමන් කරමින් හිටපු නිසා සංගීත ගුරුවරයකු හැටියට පත්වීමක් ලබාගන්න ඕන කියන බලාපොරොත්තුව මගේ හිතේ තිබුණා. ඒ වගේම 1966 අවුරුද්දෙ මට සංගීත ගුරුවරයෙක් ලෙස පත්වීමක් ලැබුණා. ඒත් එක්කම 1973 වසරෙදී මම සෞන්දර්ය විශ්වවිද්‍යලෙටත් ඇතුළත් වුණා.
 
දුක හිතුන අවස්ථා
පුංචි ළමයින්ට වැළඳෙන වලිප්පුව කියන රෝගී තත්ත්වය නිසා මගේ මල්ලි කෙනෙක් පුංචි කාලෙම ජීවිතයෙන් සමුගත්තා. ඒ සිදුවීම නිසා තමයි මම වැඩිපුරම දුක් වුණේ.
 
සැබෑ නොවුණ හීන
මම කවදාවත් සිහින දැකපු සහ දකින කෙනෙක් නෙමෙයි. එන එන විදියට ජීවිතේට මුහුණ දෙමින් ඒ ඒ අවස්ථාවට උචිත විදියට ක්‍රියා කරනවා විතරයි කවදත්.
 
අමතක නොවන සිදුවීම්
ඉලන්දාරි කාලයත් එක්ක බැඳුණු ඒ වගේ සිදුවීම් නම් මහ ගොඩක් තියනවා. ඒ අතරින් මතක් වෙනකොටත් ඇගේ  හිරිගඩු පිපෙන සිදුවීම තමයි ගෙවල්වලට නොකියා යාළුවොත් එක්ක මහවැලි ගෙඟ් නාන්න ගිහින් මාව ගිලෙන්න ගිය සිදුවීම. මගේ පෙර පිනකට යාළුවෙක් ලණුවක් වීසි කළා. ඒකෙ එල්ලිලා යාන්තම් පණ බේර ගත්තා. ඒ සිදුවීම නම් මගේ ජීවිතේ තියෙනකන් මට අමතක වෙන්නෙත් නෑ. අමතක කරන්නත් බෑ.
 
 ධම්මික හේවාවසම්
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top