Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 01
973
Views
"මම මේ ගෙදරින් යනවා. අම්මා තාත්තා, අයියා. මීට, ගවේෂා" 
 
"අම්මා බයවුණාද? මං මැරෙන්නෙ මෙහෙමයි, කීර්තිනාම"
අනාගතයේ සිදුවන දේ කල් ඇතිව මනසට දැනුණු අවස්ථා පිළිබඳව මනෝ විද්‍යා පර්යේෂණවලදී අනාවරණය වේ. (EXTRA SENSORY PERCEPTION) යනුවෙන් හැඳින්වෙන අධි මානසික පර්යේෂණ අතර ද එවැනි සිදුවීම් දක්නට ඇත. 
 
තම මරණය කල් ඇතිව හෙළි කළ දරුවෝ ද මෙම පර්යේෂණ අතර සිටිති. තම මරණය සිදුවන ආකාරය කල් ඇතිව සිතුවම් කළ දරුවෙකු ගැන අතිශය පුදුම සිදුවීමක් මීට වසර කීපයකට උඩදී කඩවත ප්‍රදේශයෙන් හෙළිවිය. 
 
කීර්තිනාම නම් එම පාසල් සිසුවාගේ මරණය සිදුවන ආකාරය සටහන් මඟින් චිත්‍රයට නඟා තිබුණේ අතිශය පුදුම උපදවන අයුරිනි.

ඒ වන විට නවවැනි ශ්‍රේණියේ පාසල් සිසුවෙකු වූ ඔහු පාසලේ දීප්තිමත් ශිෂ්‍යයකුව සිටියේය. ඔහු ගණිතයට විශේෂ දක්ෂතා දැක්වූ අතර චිත්‍ර ඇඳීමට ද දක්ෂයෙක් වූයේය. නිවෙස ආසන්නයේ තිබූ පුස්තකාලයට ගොස් පොත් කියවීම ද ඔහුගේ සිරිත විය. මේ අතර ඔහු වෙතින් දක්නට ලැබුණු තවත් විශේෂ ගති සිරිතක් විය. එනම් ඔහු නිතර ම මරණය ගැන කතා කිරීමය. 
 
ඉන් තවත් විශේෂත්වයක් වූයේ ලොරි රථවලට යටවීමෙන් සිදුවන මරණය ගැන කතා කිරීම ය.
 
 ඇතැම්විට නිවෙසට එන කීර්ති මව අමතමින් “අන්න ළමයෙක් ලොරියකට යටවෙලා” යැයි ද කිසිදු හේතුවක් නොමැතිව ප්‍රකාශ කරන අවස්ථාද තිබිණි. 
 
තවත් විටෙක නිවෙසේ සාලයට පැමිණ බිම දිගාවී මළ සිරුරක් ලෙස දෑත් විහිදුවා සිටියි. තම පුත්‍රයාගේ මෙම හැසිරීම් රටාව මව්පියන්ගේ මවිතයට ද හේතුවී තිබිණි. පාසල් ගුරුවරියක වූ මෙම දරුවාගේ මව ද ඔහුගේ මෙම හැසිරිම ගැන පුදුමයට පත්ව සිටියාය. දිනක් මව පාසල අවසන්ව නිවෙසට පැමිණ ආලින්දයට ගොඩ වූවාය. 
 
ඇයට දක්නට ලැබුණේ මළ සිරුරක් ලෙස බිම පතිත වී සිටින පුත්‍රයාය. වහා අවදිවූ කීර්ති “අම්මා බය වුණාද? මම මැරෙන්නෙ මෙහෙම තමයි” යනුවෙන් කීය. 
 
එවැනි ප්‍රකාශ නොකරන ලෙස මව ඔහුට අවවාද කළාය. මේ අතර ඔහු නිතර ම චිත්‍ර සටහන් මඟින් ද මියගිය පුද්ගලයන්ගේ සිතුවම් ඉදිරිපත් කළේය. වරක් ඔහුගේ පාසල් අභ්‍යාස පොතක පිටු ගණනක් පුරා චිත්‍ර රැසක් ඇඳ තිබිණි. ඒවායේ දක්නට ලැබුණේ‍ ලොරි අනතුරකින් මියගිය අයෙකුගේ මරණය සිදුවන අයුරුය. 
 
තම මල්ලීගේ මෙම චිත්‍රය පවුලේ වැඩිමල් සොහොයුරියක් ද දුටුවාය. එහෙත් ඔහුගේ ක්‍රියා කලාපය නිසා ඒ පිළිබඳ එතරම් අවධානයක් යොමු නොකළාය. එම චිත්‍රය ඇඳ දින කීපයක් ගතවිය. 
 
එදා 1984 මාර්තු 21 වැනිදාය. සිරිත් පරිදි පාසල් ගිය කීර්ති පාසල අවසන්වී සුපුරුදු ලෙසින් නිවෙස අසල පුස්තකාලයට ගියේය. එහිදී පුරා පැයක් පමණ පොත් කියවීමේ යෙදී සිටි ඔහු නිවෙසට පැමිණීම සඳහා බස්රියකට නැගුණි. බස්රිය නිවෙස අසල බස් නැවතුම් පොළට පැමිණි විගස ඔහු බස් රියෙන් බැස්සේය. එතැන් සිට පයින්ම නිවෙසට එමින් සිටි ඔහුට වැඩි දුරක් මහා මාර්ගයේ ගමන් කිරීමට නොලැබිණි. පිටුපසින් පැමිණි ලොරි රථයක් ඔහු යටකර ගෙන ගියේය. රෝදයේ පැටලී ටික දුරක් ඇදී ගිය ඔහුගේ සිරුර ලෙයින් තෙත් විය. සිද්ධිය දුටුවෝ මහ හඬින් කෑගසන්නට වූහ. 
 
පිටුපසින් පැමිණි මෝටර් රථයක් වහා නතර කැරිණි. රියේ පැමිණි යුරෝපීය ඇඳුමෙන් සැරසුණු අයෙක් වහා ඔහු වෙත ළඟාවිය. සිසුවාගේ කකුලේ අස්ථියක් ද කැඩී පාරේ තිබිණි. හෙතෙම වහා කොළඹ මහ රෝහලට ඇතුළත් කළ නමුත් මරණයට පත්විය. මෙම පාසල් සිසුවාගේ හදිසි වියෝව පිළිබඳ පාසලේ ගුරු සහ සිසු පිරිස ද දෙමව්පියෝද ඉමහත් ශෝකයට පත්වූහ. 
 
ඔහුගේ මරණය සිදුවූ ආකාරය සහ එහි දර්ශනය ඔහු විසින් අභ්‍යාස පොතක කර තිබූ චිත්‍රය ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වූයේ පුදුමාකාර අයුරිනි. ලොරි රථය පැමිණෙන අයුරුත් ඔහු එයට යටවී බිම පතිත වන අයුරුත් ඔහු සිතුවමට නැඟූ චිත්‍රවලට බෙහෙවින් සමාන බවක් දක්නට ලැබිණි. 
 
එම චිත්‍රයේ ඔහු යුරෝපීය ඇඳුමෙන් සැරසී සිටි අයෙකු ද චිත්‍රයට නඟා තිබුණේ පුදුමසහගත අයුරිනි. අනතුර සිදුවූ පසු අස්ථියක් කැඩී මහමඟ වැටී තිබූ අයුරු ද සිසුවා මැනවින් චිත්‍රයට නඟා තිබිණි. මෙම සිදුවීම පිළිබඳ විමර්ශනයක් කිරීමට අපට ද අවස්ථාව ලැබිණි. 
 
එහිදී කීර්තිගේ මව ඒ පිළිබඳ අප සමඟ තොරතුරු විස්තර කළේ මෙසේය. 
 
“මේ මරණය සිදුවුණාට පස්සෙ එයා අභ්‍යාස පොතේ ඇඳල තිබුණු චිත්‍ර අපි පරීක්ෂා කළා. ඒ චිත්‍රවල දක්වල තිබුණු දර්ශන එයාගෙ අනතුරට සමානයි. අනතුර සිදුවූ වෙලාවෙ පැමිණ රෝහලට ගෙන ගිය පුද්ගලයාට සමාන අයකුවත් එයා නිවැරදිව චිත්‍රයට නඟා තිබුණා.” 
 
මෙම සිසුවා විසින් ඇඳ තිබූ චිත්‍රත් අනතුර සිදුවූ ආකාරයත් අතර ඇති සබඳතාව ම‍නෝ විද්‍යා පර්යේෂණ අතර ඉතා වැදගත් සිදුවීමක් බවට පත්වී තිබේ. මේ හා සමානව ම මරණයට පෙර නිවෙසේ බිත්තියක කරන ලද සටහනක් මඟින් මරණයේ සංඥාවක් සිදු කළ දැරියක ගැනද මීට වසර කීපයකට උඩදී පන්නල ප්‍රදේශයේදී අපගේ පරීක්ෂණවලට ලක් කෙරිණි. 
 
ඇගේ මරණය සිදුව තිබුණේ ඇය පාසල් ගිය වෑන් රියට යටවී සිදුවූ බරපතළ අනතුරකිනි. 
 
2001 වසරේදී කුලියාපිටිය රෝහලේදී උපත ලද එම දැරිය ගවේෂාය. පන්නල ජාතික පාසලේ දීප්තිමත් දැරියක වූ ඇය ඉගෙනීමට ඉමහත් ආසාවක් දැක්වූවාය. ඒ වනවිට හත්වැනි වියේ පසුවූ ගවේෂා සියලු ම විෂයන්ට එක හා සමානව දක්ෂ වූවාය. ඇතැම්විට ඇය විසින් ම සකසා ගන්නා ප්‍රශ්නවලට පිළිතුරු ලියන්නට තරම් ඇය ඉගෙනීමට උනන්දුවක් දැක්වූවාය. ඇගේ මතක ශක්තිය පිළිබඳ ද දෙමවුපියන්ට දක්නට ලැබුණේ සුවිශේෂි බවකි. 
 
කුඩා දැරියක වුවද දෙමවුපියන් ඇතුළු ඥාතීන් රැසකගේ උපන් දින පවා ඇගේ මතකයේ තිබිණි. මරණය පිළිබඳ නිතර කතා බහ කිරීම ඇගේ ද සිරිත විය. දිනක් ඥාතිවරියක ඇමතූ ඇය “මම මැරුණොත් වැඩියෙන් ම අඬන්නේ කවුදැ”යි ඇගෙන් ප්‍රශ්න කළාය. එවැනි වදන් නොකියන ලෙස ඥාතිවරිය ඇයට උපදෙස් දුන්නාය. එහෙත් ඇය බොහෝවිට මරණය පිළිබඳ කතා බහ කිරීමට උත්සාහ කළාය. 
 
නිවෙසේ බිත්තියේ විවිධ කුරුටුගෑම් කරමින් සලකුණු කිරීමට ද ඇය පුරුදුව සිටියාය. ඇගේ පොත්වල ද එවැනි සටහන් සහ චිත්‍ර නොඅඩුව තිබිණි. ඇය විසින් බිත්ති‍යේ අඳින විවිධ සටහන් අතරත් දිනක් ඇය විසින් සටහන් කර තිබූ වදන් කීපයක් විය. 
 
එහි ලියා තිබුණේ, ‘මම මේ ගෙදරින් යනවා. අම්මා තාත්තා, අයියා. මීට, ගවේෂා’ යනුවෙනි. මෙම සටහන දුටු මව සිය දියණිය ලියා ඇති වදන් පෙළ පිළිබඳව පියාට ද කීවාය. ඒ පිළිබඳව දියණියගෙන් විමසීමට සිතූ මව “ඔයා මොකක්ද මේ ලියල තියෙන්නේ?” යයි ප්‍රශ්න කළාය. 
 
එයට කිසිදු පිළිතුරක් නොදුන් දැරියගේ මුවට සිනහවක් මතුවී තිබිණි. දියණියගේ එම වදන් සටහන් කිරීම කිසිදු අදහසක් නොමැතිව කරන ලද්දක් ලෙස මව සිතුවාය. 
 
ගතවූයේ මාස තුනකි. බිත්තියේ ලියා ඇති සටහන එලෙසම පැවතිණි. එදා සැප්තැම්බර් මස 15 වැනිදාය. සිරිත් පරිදි පාසල් ගිය දැරිය නිවෙසට එනතුරු මව මඟ බලමින් සිටියාය. ඇය පැමිණෙන්නේ පාසල් දරුවන් රැගෙන යන වෑන් රථයෙනි. මව සිටියේ නිවෙස ඇතුළේය. පැමිණි වෑන් රථයෙන් බැසගත් දැරිය එහි ඉදිරිපසින් නිවෙසට පැමිණීමට ගමන් කළාය. ක්ෂණයෙන් ඉදිරියට ඇදුණු වෑන් රථයේ ගැටුණු දැරිය බිම ඇද වැටුණි. නාසයෙන් රුධිරය ගලමින් සිටි දැරිය වහා රෝහල් ගත කැරිණි. දින පහක් පමණ සිහිසුන්ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය දෙමව්පියන්ගෙන් සහ ඥාතීන්ගෙන් සමුගෙන ගියාය. 
 
සිය දියණියගේ අකල් මරණය නිසා දැඩි සිත් වේදනාවෙන් හා කම්පාවෙන් පසුවූ දෙමව්යන් හමුවීමට අපට අවස්ථාව ලැබිණි. ඒ වන විටත් ඔවුහු දැඩි කම්පනයට පත්ව සිටියහ. ගවේෂා තුළ තිබූ ඉදිරිය පිළිබඳ දැනුම් දීමේ හැකියාව ඇගේ මව විසින් අප සමඟ හෙළි කළේ මෙසේය. 
 
“ඇතැම් දිනවල නිවෙසට එන අමුත්තන් ගැන ඇය කියනවා. ඒ කී ලෙසටම ඔවුන් ගෙදරට එනවා. ඥාති පුත්‍රයෙක් නිවසට එන දිනය ඇය කීප විටක්ම නිවැරදිව කීවා. එයා බිත්තියේ ලියල තිබුණ සටහන දැකල එවැන්නක් ලිව්වේ ඇයි කියල මම ඇසුවා. එයා උත්තරයක් දුන්නේ නෑ. ඒ සටහන ලියල තිබුණේ මිය යන්න මාස තුනකට කලින්. ඒ විදියට ම එයා ගෙදරින් ගියා.” යැයි මව දුක්බරව පැවසුවාය. එදා අප ඇගේ නිවෙසට යන විටත් ඇය විසින් ලියන ලද සටහන එලෙස ම දැක ගත හැකි විය. 
 
දරුවන් මඟින් ඇතැම් විට අනාවරණය වන මෙවැනි සිදුවීම් ද මනෝ විද්‍යා පර්යේෂණවලට ඇතුළත් වී තිබේ. 
 
තිස්ස ජයවර්ධන 
දිනමිණ
 
මේ ජායාරූපයන්හි සිටින්නේ කීර්තිනාම සිසුවා සහ ගවේෂා දැරියයි.






 
 


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top