Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 19
1,014
Views
මෑතයුගයේ සංගීත ක්ෂේත්‍රයේ මහා පෙරළිකාර හඬ පෞර්ශයක් වුණු උමාරියා සිංහවංශ පසුගිය දිනවල යුගදිවියට එළඹුණා. ඉතාම උත්කර්ශවත් ලෙස ප්‍රංශයේ දී පැවැත්වුණු විවාහ උත්සවයෙන් පසුව පසුගිය දිනවල ඇය ලංකාවේදිත් විවාහ සැමරුමක් පැවැත්වුවා. ඒ නිසාම ප්‍රංශ කුමාරයෙකු සමග අතැඟිලි බැඳුණු උමාරියාගේ අලූත් ජීවිතේ සහ කලා ජීවිතේ තොරතුරු එක්ක ඇය වෙනුවෙන් සඳැල්ල අපි ඉඩක් වෙන් කරන්න හිතුවා.

කොහොමද අලූත් ජීවිතේ තොරතුරු?

අලූත් ජීවිතේ නම් ටිකක් කාර්යබහුලයි.

 

දිමිත්‍රි කියන්නේ උමාරියාගේ පවුලේම ඥාතින්.... කොහොමද මේ ආදර කතාව පටන් ගත්තේ?

දිමිත්‍රි සංගීතයට සම්බන්ධ කෙනෙක්. ඒ නිසා සංගීත කටයුතු වලදි දිමිත්‍රිත් මාත් හොඳ යාළුවෝ. ඒත් විවාහ යෝජනාවක් ගෙනාවේ දිමිත්‍රිගේ ආච්චියි, සීයයි. ඊට පස්සේ අපි දෙන්නා කතා බහ කළා. අපේ ආදර කතාවට නම් ලොකු කාලයක් නැහැ. දිමිත්‍රිගේ ආච්චි, සීයයි මේ යෝජනාව ගෙනාපු නිසා අපි දෙන්නා මැදිහත් වුණේ නැහැ. අපේ දෙමාපියනුත් මැදිහත් වෙලා තමයි විවාහ වෙන්න කියලා තීරණය කළේ.

 

මේ තරම් ඉක්මණටම විවාහයක් ගැන හිතුවෙ?

අපි දෙන්නට දෙන්නා හොදින් දන්න නිසා, අපි දෙන්නම හිතුවා අදහස් එක්ක ජීවිතේ ඉදිරි ගමනක් එකට යන්න පුළුවන් කියලා. ඉක්මන් වුණා කියලා මට හිතෙන්නේ නැහැ. පාර්ශව දෙකෙන්ම දෙමාපියන්ගේ කැමැත්ත පරිදි තමයි විවාහය සිද්ධ වුණේ.

 

ප්‍රංශයේ විවාහ උත්සවය සමරන්න හිතුවේ දිමිත්‍රි ප්‍රංශ ජාතිකයෙක් නිසාද?

දිමිත්‍රියි නංගියි දෙන්නම ප්‍රංශයේ ඉපදුනාට අම්මයි, තාත්තයි ශ්‍රී ලංකාවේ ජීවත් වුණ දෙපළක්. විවාහ උත්සවයක් කියන දේ අඬබෙර ගහලා කරන දෙයක් නෙමෙයිනේ. ඒ නිසා අපිට ඕන වුණා අපේ පවුලේ අය, ලඟින්ම ඇසුරු කරන අය එක්ක ප්‍රංශයේදි විවාහ උත්සවය චාම්ව පවත්වන්න.

මම ගායිකාවක් විදිහට ජනප්‍රිය වුණාට මේක මගේ පෞද්ගලික ජීවිතේ. පෞද්ගලික ජීවිතේ දේවල් ප්‍රසිද්ධියේ කතා කරන්න මම කැමති නැහැ. මේ හැම දෙයක්ම අවශ්‍ය වෙලාවට කියනවා කියලා තමයි මම හිතාගෙන හිටියේ. ඒ වෙලාව ඇවිල්ලා කියලා මම හිතෙනවා. මට ඕන වුණා මගේ විවාහ උත්සවය වෙනස් විදිහට පවත්වන්න. ඇත්තටම ඒකයි ප්‍රංශයේ විවාහ උත්සවය ගන්න තීරණය කළේ.

 

ලංකාවේදිත් මඟහැරුණු මිත්‍රයින්ට පසුගිය දිනවල විවාහ සැමරුමක් පැවැත්වුවා?

ඔව්. ඇත්තටම මට වචනයකින් හරි ආශිර්වාද කරපු හිතට ගොඩාක් සමීප මිතුරන් කිහිප දෙනෙකුට මම ආරාධනා කරලා ලංකාවේ උත්සවය ගන්න ඕන කියලා හිතුණා. විශේෂම කාරණය වුණේ දිමිත්‍රි මගේ සැමියාගේ පවුලේ අය මගේ දෙමාපියන්ව ප්‍රංශයේදි බොහොම ඉහළින් පිළිගත්තා වගේම ලස්සන විවාහ උත්සවයක් එයාලා ලෑස්තිකරලා තිබුණා. ඒ වගේම මගේ සැමියාගේ මව්පියන්වත් ගෞරවයෙන් පිළිගන්න තමයි විශේෂයෙන්ම ලංකාවේ විවාහ උත්සවයක් ගත්තේ.

 

දිමිත්‍රි උමාරියාගේ ජීවිතේ සුවිශේෂ කෙනෙක් වෙන්න විශේෂ වූ කාරනාවක් ඇති?

අනිවාර්යයෙන්ම ඔව්. මගේ ජීවිතේ මට මුන ගැහුණු කරුණාවන්තම කෙනා දිමිත්‍රි වෙන්න ඇති. ඒ තරමට ඔහු හරිම කරුණාවන්තයි. එයා වැදගත් පවුලකින් එන හොඳ ගුණයහපත් විදිහට හැදුණු කෙනෙක්. හරිම නිහතමානීයි. අපි දෙන්නාගේ චරිත බොහෝ තැන් වලදි ගොඩක් සමානයි. දිමිත්‍රි කියන්නේ කවදාවත් කෙනෙකුගේ හිත රිදෙන්න කතා කරන කෙනෙක් නෙමෙයි. ඔහු විදෙස් රටක හැඳුණත් හොඳ හැඳියාවක් තියෙන කෙනෙක්. ඒ වගේම ඔහු හරිම අවංක පුද්ගලයෙක්. මම ඒ අවංක කමට ගොඩක් ආදරෙයි. ඔහු ගැන මට වචනයෙන් කියලා නිම කරන්න බැහැ. ඒ දෙමාපියන්ට ස්තූති වෙනවා ඒ වගේ ගුණයහහපත් දරුවෙක් දායාද කරපු එකට. ඔහු සමඟ විවාහ වෙන්න ලැබීම මම ජීවිතේ ලබපු ලොකු වාසනාවක්. ඒ වගේම එයාලගේ පවුලේ අය මාව පුදුම ආදරයකින් තමයි ඒ පවුලට භාර ගත්තේ.

 

උමාරියාට ජීවිතේ මුහුණ දෙන්න සිදුවුණ සමහර දේවල් එක්ක මේක ජීවිතේ ගත්ත හොඳම තීරණය කියලා හිතනවද?

අපි හිතන පතන විදිහට ජීවිතේ කිසිම දෙයක් අපට ලැබෙන්නේ නැහැ. දෙවියෝ අපට දීලා තියෙනවා අවස්ථාවක් ඒවායින් අපට හොඳ අද්දැකීම් ලැබෙනවා. ජීවිතේ මට පසුගිය කාලේ ලොකු අද්දැකීම් ටිකක් ලැබුණා. උමාරියාට විතරක් නෙමෙයි ඕනට පුද්ගලයකුට ජීවිතේ වැරදීම් සිද්ධ වෙන්න පුළුවන්. මට එකම දුක මගේ ජීවිතේ හොඳම කාලයක් අවංකත්වයෙන් ප්‍රයෝජනයක් නැති දේවල් වලට කැප කරපු එක.

මට මම ගැන දුකක් නැහැ. මොකද මගේ හෘද සාක්ෂිය දන්නවා මම මොනවද කළේ කියන එක. මගේ අම්මියි තාත්තියි මට මේ සමාජයේ ජීවත් වෙන්න ඕන විදිහ හොඳට කියලා දීලා තියෙන්නේ. කවුරු මොනවා කිව්වත් මොන මඩගැහුවත් මම මගේ ගමන යනවා. මගේ ප්‍රේක්ෂකයෝ මාව ලඟින් ඇසුරු කරන අය දන්නවා උමාරියා කියන චරිතය කොයි වගේද, මම කොහොම කෙනෙක්ද කියලා. මම හරි කියලා කියන්නේ යන්නේ නැහැ. අපේ හෘද සාක්ෂිය ඒ දේවල් දැනගත්තම ඇති. මම වැරැදක් කළේ නැහැ කියලා මගේ හෘද සාක්ෂිය හොඳට දන්නවා.

 

පසුගිය දවස්වල විවිධ පාර්ශ්ව වලින් විවිධ චෝදනාත් එල්ල වුණා?

චෝදනා එල්ල කරාට, මම ඒවට ප්‍රතිචාර දක්වන්න ගියේ නැහැ. කියමනක් තියෙනවනේ තමන්ගේ වැරදි වහගන්න අනුන්ට ඇඟිල්ල දික් කරනවා කියලා. අපි නිශ්ශබ්ද වෙලා ඉන්න තරමට ප්‍රශ්න අඩුයි. මම ජීවිතේ හැමදාම ගත්තේ හරි තීරණ. පෙර ආත්මයක කරපු පවක් නිසා මම ඒ පව ගෙව්වා. කරපු හොඳ දෙවල් එක්ක පෙර පිනක් නිසා මේ ආත්මයේම මට දිමිත්‍රි වගේ සැමියෙක් මුණ ගැහුණා. ජීවිතේ අද මම හරිම සතුටින් ජීවත් වෙනවා. බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නේ නෑනේ. ඒ දේවල් වලට කෑගහන්න ගියොත් අපිත් මෝඩයෝ වෙනවා. මගේ අම්මයි, තාත්තයි අක්කවයි, මාවයි අයියලා දෙන්නවයි වැදගත් විදිහට හදලා තියෙනවා අපි කාටවත් වැරැද්දක් කරලා නැහැ.

 

සැමියා ප්‍රංශයේ නිසා උමාරියත් ලංකාව අතෑරලා ප්‍රංශයට යනවද?

මීට දවස් දෙකකට ඉහතදී සැමියා නැවත ප්‍රංශයට ගියා. මට ලංකාව අතාරින්න බැහැ. මම ලංකාවේ වගේම ප්‍රංශයෙන් ජීවත් වේවි. ලංකාවේ ප්‍රේක්‍ෂකයින් නිසා තමයි උමාරියා කියලා චරිතයක් ඔයාලා අඳුරන්නේ කවදාවත් ලංකාව අතෑරලා යන්නේ නැහැ.

 

ඔබේ සැමියත් සංගීත මහාචාර්යවරයෙක්. සංගීතය පැත්තෙන් උමාරියට ලොකු සහයෝගයක් ලැබෙනවා ඇති?

ඇත්තටම ලොකු සහයෝගයක් ලැබෙනවා. ඔහු ගොඩක් දක්ෂයි. මට එයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ශ්‍රී ලාංකික කෙනෙක් විදිහට ඔහුත් සමඟ, ඔහුගේ සහයෝගයෙන් මම ජාත්‍යන්තරයට යන්න බලාපොරොත්තු වෙනවා. ඒක මගේ හීනයක්.

 

උමාරියාගෙන් විවාහයත් සමඟම අලූත් ගීතයකුත් රසිකයන් අතරට ආවා ‘තුරුල් කරන්’ ඒ ගැනත් අපි කියමු?

විවාහ කටයුතු සිද්ධ වුණ දවස් වලම දවසක් මම ලංකාවට ආපු වෙලවකදි නවරත්න ගමගේ මහත්තයා මට කතා කරලා කිව්වා තලවතුගොඩ චන්ද්‍රවිමල හාමුදුරුවෝ ගීතයක් ලියලා තියෙනවා ඔයා කැමතිද කියලා පොඞ්ඩක් බලන්න කියලා. ගීතය බැලූවම මට ඒක කියන්න ලොකු ආසාවක් ආවා. හොඳ නිර්මාණයක් ලැබුණු ගමන් උපරිමයෙන්ම මම ඒක කරනවා. විවාහයත් එක්කම ‘තුරුල් කරන්’ කියන ගීතයත් රසිකයන් අතරට ගේන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මට ලැබුණා. මේක හරිම ලස්සන ආදර කතාවක්.

 

මොනවද අලූත් ජීවිතේ උමාරියාගේ බලාපොරොත්තු?

මමත් ආසයි විවාහ වෙලා දරුවෝ ලබලා සතුටින් ඉන්න. ජීවිතේ එක කලෙකදි මම ඒ සිහිනය අතහැරලා දාලා තිබුණා ගොඩක් හේතු නිසා. මම අතහැරලා දාලා තිබුණ හීන වලට දැන් අලූත් පණක් ලැබුණා කියලා හිතනවා. මම ජිවිතේ වැඩිපුරම සතුටු වුණා නම් ඒ දිමිත්‍රි මගේ සැමියා මගේ ජීවිතේට ආපු දවස.

 

නදීශා අතුකෝරළ

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top