Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 13
1,188
Views

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමට එරෙහිව විරුද්ධ පක්ෂ ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අඟහරුවාදා (නොවැම්බර් 13) දක්වා කල් තබන ලද බව නීතිඥ අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

පෙත්සම්කරුවන් සහ එම පෙත්සම්වලට එරෙහිව කරුණු දැක්වීම පිණිස කල් ලබා දෙන මෙන් නීතිපතිවරයා කළ ඉල්ලීම සලකා බලා විභාගය අඟහරුවාදා දක්වා කල් දැමීමට තීරණය කෙරුණු බව ද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව පෙත්සම් 17ක් ගොනු කර තිබෙන බව ජනාධිපති නීතිඥ එම්ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා මාධ්‍යට පැවසීය.

පෙත්සම්වලට අදාළ කරුණු දැක්වීම අගවිනිසුරු නලීන් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ආරම්භ කෙරිණි

එය ආරම්භ වූ අවස්ථාවේ දී අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිපති ජයන්ත ජයසූරිය මෙම පෙත්සම්වලට අදාළ ලේඛන තමන් වෙත ලැබුණේ අද දිනයේ බැවින් මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර දේශන ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටියේය.

එහෙත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කළේ පෙත්සම්වලට අදාළ කරුණු විමසීම ඒ අවස්ථාවේම ආරම්භ කිරීමටය

ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ පෙත්සම වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ කනගේශ්වරන් කරුණු ඉදිරිපත් කළේය.

ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ ඉකුත් 09 වෙනි දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ අවස්ථා දෙකකදී පමණක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු හතර හමාර ඉක්මවා ගිය පසුව එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරීම ඉන් එක් අවස්ථාවක් බව පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුව විසුරුවා හරින මෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් යෝජනාවක් සම්මත කර ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අවස්ථාවක එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරීම අනෙක් අවස්ථාව බව ද ජනාධිපති නීතිඥ කේ කනගේශ්වරන් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

එහෙත් ඉකුත් නව වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මුළුමනින්ම පටහැනි නීති විරෝධී ප්‍රකාශනයක් බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

එබැවින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය නීතිය ඉදිරියේ බලරහිත ප්‍රකාශනයක් බව සඳහන් කළ ඔහු, එය අවලංගු කිරීමට අධිකරණයට බලයක් පවතින බව ද සඳහන් කළේය.

ඉන් අනතුරුව පෙත්සම්කාර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් හිටපු විදේශ අමාත්‍ය, ජනාධිපති නීතිඥ තිලක් මාරපන කරුණු ඉදිරිපත් කළේය.

ජනාධිපති නීතිඥ මාරපන මහතා ද අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ඉකුත් සිකුරාදා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවය.

මේ ආකාරයෙන් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පටහැනිව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට කිසිදු බලයක් නොමැති බව ද ජනාධිපති නීතිඥ මාරපන පෙන්වා දුන්නේය.

ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන් සහ එම්ඒ සුමන්දිරන් වෙනුවෙන් ද නීතිඥවරු කරුණු දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී බවය.

අඟහරුවාදා පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු දක්වන අවස්ථාවේ නීතිපතිවරයා විසින් කරුණු දැක්වීමට නියමිතය.



එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, නීතිඥ අරුණ ලක්සිරි සහ ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව ගණනාවක් විසින් පෙත්සම් ඉදිරිපත් කරනු ලැබ තිබුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති මහින්ද රාජපක්ෂ, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය ප්‍රකාරව මේ ආකාරයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවට එම පෙත්සම් සියල්ලෙන්ම පෙන්වා දී තිබේ.

එසේ තිබියදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බව ද පෙත්සම්කරුවෝ පවසති.

එබැවින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත්, විභාගය අවසන් කර තීන්දුවක් ලබාදෙන තුරු පැවැත්වීමට නියමිත මහ මැතිවරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top