Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 13
336
Views
‘‘මේක මට බොහෝ පිටස්තර චරිත ලක්ෂණ ඇති භූමිකාවක්. හේතුව ක්‍රීඩාවට මගේ ජීවිතයෙ කිසිම සම්බන්ධයක් තිබුණෙ නැහැ. නමුත් මම ඉතා හොඳ ක්‍රීඩා රසිකයෙක්.

ක්‍රීඩා අංශයෙන් කිසිඳු ඉසව්වක් ගැන මගේ හිතේ උනන්දුවක් තිබුණෙ නැහැ. පාසල් කාලයේදී පාසල් සරඹ කණ්ඩායමේ නායකයා වෙලා හිටියා. 12න් පහළ තරගවලට ගිහින් ජය ලැබුවා. එච්චරම තමයි ක්‍රීඩා කියලා කරලා තිබුණෙ. කොටින්ම කිව්වොත් මට තිබුණෙ වැලිබත් ඉව්ව, කෝම් පිට්ටු හදපු ළමා වියක් නෙවෙයි. මගේ ළමා කාලයේදී එක්කෝ පිනුමක් ගැහුවා, නැත්නම් නැටුමක් නැටුවා. ඒ කලාවේ ආභාෂය තමයි මට තිබුණෙ. ඒ නිසාම එවැනි ජවයෙන් යුතු චරිත සොයාගෙන ගියා. මේක මට ඇත්තටම වෙනස්ම අත්දැකීමක්. ’’

ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනි මේ විදියට පවසන්නේ මේ දිනවල ඔහු දායකව සිටින උදුම්බරා චිත්‍රපටයේ චරිතය ගැනයි. ‘ආනන්ද සර්’ නමැති එම චරිතය සමග හමුවන මේ ප්‍රවීණ රංගවේදියා සඳැල්ල පිළිසඳරකට එක් වූ අයුරුයි මේ.

 

‘ආනන්ද සර්’ ගැන හිතෙන්නේ කොහොමද?

ක්‍රීඩා උපදේශකවරයෙකුගේ චරිතයක්. පුද්ගලික ජීවිතයෙ ඛේදවාචකයකට මුහුණ දුන් මිනිහෙක්. ඒ කියන්නේ බිරිඳ, දියණිය අහිමිවූවෙක්. ඔහු තුළ ජීවත් වන තාත්තා, වෙනත් දැරියකට, ඒ දැරිවිය තමන්ගේම දියණිය යැයි සිතාගෙන ඇගේ ක්‍රීඩා කුසලතාවය හඳුනාගෙන ඇයව ජාත්‍යන්තරයට ගෙනයාමට උත්සාහ දරනවා. ආනන්ද සර් චරිතයෙන් මා අල්ලා ගත් දේ එයයි. ඒක මට වෙනස්ම අත්දැකීමක්.

කොහොම වුණත් ධර්මයුද්ධයෙන් පසුව මහ රාජා එන්ටර්ටේන්මන්ට් ඉදිරිපත් කරන චිත්‍රපට එක්ක දිගටම ගිවිසගෙන වගෙයි?

මුළු ලෝකයේම කලා සම්ප්‍රදායේ ප්‍රවණතාවයන් තියෙනවා. ඒවා කලින් කලට මතුවෙනවා. ඉන්දීය මුල කතා සම්ප්‍රදායේ ප්‍රවණතාවයක් යළි ඇතිවෙලා. ප්‍රවේගය, ධර්මයුද්ධය වගේ චිත්‍රපට නැවත නිර්මාණය වුණේ ඒ ප්‍රවණතාවය එක්කයි. ප්‍රති නිර්මාණය කිරීම ලෝක සිනමාවේම ප්‍රවණතාවයක්. උදුම්බරා ස්වතන්ත්‍රයක් වුණත්, අධ්‍යක්ෂණය සහ එහි නිර්මාණ කණ්ඩායම ඉන්දීය කණ්ඩායමක්. මේ විදියට ඉන්දීය මූල සම්ප්‍රදායකින් ප්‍රති නිර්මාණය වූ ධර්මයුද්ධය, ප්‍රවේගය අති සාර්ථක වුණා. එහෙම වූ නිසා තමයි ප්‍රවණතාවයක් හැදෙන්නෙ. ඒ නිසා ඒ සම්ප්‍රදායට අයත් කාර්යය මගෙන් බලාපොරොත්තු වනවා ඇති. විශේෂයෙන්ම ජනප්‍රිය කියන සිනමාවේ මට ඒ විදියට ආරාධනා ලැබෙන්නේ ඒ නිසා වෙන්න ඇති.

මේ විදියට සිනමාවෙන් හමුවුණත් ටෙලි තිරයේදී අප්පච්චිගෙන් පසුව ජවයක් දුන්නේ නැහැ?

එහෙම කිසිම තීරණයකට එළැඹිලා නෙවෙයි. මගේ හිත පැහැර ගත්ත ආරාධනාවක් මට ආවේ නැහැ. අප්පච්චි වුණත් මම රඟපෑවෙ. ‘අකාල සන්ධ්‍යා’ රඟපාලා වසර 15කට පසුවයි. ඉන්පසු ‘බණ්ඩාර දෙයියෝ’ බාර ගත්තා. එයින් පසුව ආරාධනා ලැබුණත් පස් මහ බැලූම් බලනවා. ලැබෙන චරිත සමග මට ඒ පරිසරය වසන්න පුළුවන් තැනක් ද කියා සොයා බලනවා.

ටෙලිවිෂනයට මගේ අකමැත්තක් නැහැ. ප්‍රේක්ෂකයන් වෙතයාමට තියෙන ලොකුම අවස්ථාවත් එය. කොටින්ම කිව්වොත් සිනමා ශාලාවල ඇති අඩු ලූහුඬුකම් මත මිනිස්සු චිත්‍රපට නරඹන්නෙත් ටෙලි තිරයෙන්. ඒ නිසා මම ටෙලි තිරයට කොහොමටත් කැමැතියි.

කෙසේ වෙතත් දැන් මේ ඉන්දීය මුල ප්‍රවණතාවය නිසා ජැක්සන් නමැති අපූරු සිනමා නිර්මාණකරුවා ඉන්දියානු නිර්මාණකරුවන්ගේ රංග ශිල්පියෙකු පමණක් වේවිද?

දැන් මේ මොහොතේ ඔබ කතා කරන මේ අවස්ථාවේ පවා මම නියැළී සිටින්නේ මගේ අලූත්ම සිනමා නිර්මාණයේ පසු නිෂ්පාදනවල වැඩ කටයුතු එක්කයි. ඒ නිසා කිසි විටෙකත් මම අධ්‍යක්ෂණයෙන් නම් මිදෙන්නෙ නැහැ. ඒ වගේම ඉන්දියාව, චීනය, ජපානය, ඇමරිකාව කියා රංග ශිල්පියෙකු ලෙස මට වෙනසකුත් නැහැ. රංගනය සඳහා මට සුදුසු පාවාඩයක් එලූණොත් ඒ පාවාඩය දිගේ මම යාවි. තවත් දකුණු ඉන්දීය චිත්‍රපටයක සහ කේරළ චිත්‍රපටයක් රඟපෑමට ඇරයුම් ලැබුණා. ඊට හේතුව මගේ කුසලතාවය මත රඟපෑම මුල් කරගෙනයි. එය කළමනාකරණය කරගෙන මම රඟපෑමේ යෙදෙනවා.

දැන් මේ වනවිට බොහෝ දෙනා කතා වන්නේ, ඔබගේ පුතාලා දෙදෙනා සහ දියණිය එකම දිනයක දීගෙක යන්නට සූදානම් වීම ගැනයි. මේක ඔබගේ ප්ලෑන් එකක්ද?

මේ තුන් දෙනාම තවම මගේ අධීක්ෂණය යටතේ සිටින තරුණ ළමයින්. තවමත් එයාලගේ වීරයා මම. ඒ යෝජනාව ආවාම හොඳයි කියලා මටත් හිතුණා. ඒ නිසා එහි පූර්ව කටයුතු සිදුවෙමින් පවතිනවා. ඒකත් ඇත්තටම බොහොම නිර්මාණාත්මක කටයුත්තක් වේවි.

ජැක්සන් අප්පච්චි තව නොබෝ කාලයකින් ජැක්සන් සීයා වේවි. ජැක්සන් සීයා අත්දැකීම කොහොම වේවිද?

මම ඒක බොහෝම ගෞරවාන්විතව බලාපොරොත්තු වන තානාන්තරයක්. එය  ඕනෑම මනුෂ්‍ය ප්‍රාණියෙක් ලබන පිංවත්ත අත්දැකීමක්.

කලාකරුවෙකු ලෙස අද රට ගැන හිතන්නේ කොහොමද?

බොහෝම නිවුණු හිතැති සංවර්ධිත සමාජයක් තමයි මම බලාපොරොත්තු වන රට. මොකද අසංවර්ධිත සමාජයක නිර්මාණ පවතින්නේ නැහැ. නැවක් මුහුදුබත් වන විට මුලින්ම මුහුදට විසි කරන්නේ එහි ඇති සංගීත භාණ්ඩ කියලා කතාවක් තියෙනවා. මම කලාවට පය ගහපු කාලයේ සිට බොහෝ කාලයක් අපේ රටේ තිබුණෙ නොයෙක් විදියෙ ව්‍යසන. ජීවත් වන කාලයේදී හොඳ සමාජයක් දැකීම අනෙක් අයගේ වගේම මගෙත් බලාපොරොත්තුවයි.

අද ඔබට ජීවිතේ දැනෙන්නේ කොහොමද?

හරිම වෙහෙසකරයි. හැබැයි විඩාව සහ වෙහෙසකර බව කියන්නේ දෙකක්. කුඹුරක් කොටපු කෙනාට දැනෙන්නේ වෙහෙසකර බවක්. හැබැයි ආපසු හැරී බලද්දී ඔහුට දැනෙන්නේ ප්‍රාණවත් බවක්.

ඒ නිසා විඩාවට අකමැති වෙහෙසට හරිම කැමති මිනිහෙක් මම.

 

සටහන / ඡායාරූප: සඳුන් ගමගේ

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top