Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 12
553
Views
ගුරුගොඩ ඔයේ දිය නෑමට ගොස්‌ දියේ ගිලී අතුරුදන්වූ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ 12 වසරේ ඉගෙනු ලැබූ අනුජ දෙව්රංග ප්‍රභාෂ්වර 17 සිසුවා ගැන සිද්ධිය කිසිවෙකුටත් නොකියන රහසක්‌ ලෙස තබාගැනීමට ඔහු සමඟ දියනෑමට ගිය මිතුරන් හත්දෙනා කථිකාවක්‌ කරගෙන තිබූ බව එම සිසුවාගේ හදිසි මරණය වෙනුවෙන් පැවැති පරීක්‍ෂණයේදී සාක්‍ෂි දුන් මිතුරෝ හත්දෙනා පැවැසූහ.
මියගිය අනුජ දෙව්රංග ප්‍රභාෂ්වර සිසුවා ඇතුළු සිසුන් අටදෙනකු බුලත්කොහුපිටිය පොලිස්‌ වසමට අයත් මොරොන්තොට ගල්ගෙඩියාන ප්‍රදේශයෙන් ගලායන කුරුගොඩඔයේ විදුලි බලාගාරයේ බැම්මට පහළින් දිය නාමින් සිටියදී අනුජ දියේ ගිලීමෙන් අතුරුදන්ව තිබුණේ පසුගිය 6 වැනිදාය.

මෙම සිසුවාගේ මළ සිරුර එම ස්‌ථානයට මීටර් 300 ක්‌ පමණ පහළින් ගුරුගොඩ ඔයේ කුඹුක්‌ගස්‌ අතර පාවෙමින් තිබියදී හමුවී තිබුණේ පසුගිය 8 වැනිදාය.

මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වූ බුලත්කොහුපිටිය පොලිසිය මළසිරුර පිළිබඳ හදිසි මරණ පරීක්‍ෂණය, බුලත්කොහුපිටිය පොලිස්‌ වසමේ මෙගොඩපත පත්තුව හදිසි මරණ පරීක්‍ෂක සාම විනිසුරු වයි. බී. ඊ. අමරසිංහ මහතා ඉදිරියේදී කෑගල්ල මහරෝහල් අධිකරණ සංකීර්ණයේදී පසුගිය 9 දා පවත්වන ලදි.

මියගොස්‌ ඇත්තේ වරකාපොල ඇත්නාවල පදිංචි තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ගණිතය අංශයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අනුජ දෙව්රංග ප්‍රභාෂ්වර නම් 17 හැවිරිදි සිසුවා බවට ඔහුගේ පියා ඇතුළු ඥතීන් විසින් හඳුනාගනු ලැබීය. මියගිය සිසුවා 2017 වසරේ අ.පො.ස. සා.පෙළ විභාගයේදී එම විද්‍යාලයෙන්ම විෂයන් 9 කට ඒ සාමාර්ථ ලබාගත් සිසුවා බවද ප්‍රකාශයට පත්විය.

මොහුගේ හදිසි මරණ පරීක්‍ෂණයට බුලත්කොහුපිටිය පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද යාළුවන් හත්දෙනාද එම විද්‍යාලයේ ගණිතය සහ විද්‍යා අංශවල 12 වන ශ්‍රේණියේ ඉගෙන ගන්නා සිසුහු වෙති.

සියලු යහළුවන්ගේ සාක්‍ෂිවලින් කියෑවුණේ මියගිය සිසුවාගේ උපන් දිනය පසුගිය නොවැම්බර් 02 දිනය යෙදී තිබුණ නිසා ඒ වෙනුවෙන් සාදයක්‌ පැවැත්වීමට පෙර දිනක කථාකරගත් බවත් පසුගිය 6 වැනිදා නිවෙස්‌වලට පංති යන බව පවසා කෑගල්ල නගරයට එක්‌වී මත්පැන්ද ඊට අවශ්‍ය අනෙකුත් දේවල්ද රැගෙන මෙම ස්‌ථානයට ගොස්‌ මත්පැන් පානය කර පසුව දියනෑමේ යෙදී සිටි බවත්ය.

පැය දෙකක්‌ තුනක්‌ අතර කාලයක්‌ දියනාමින් සිටියදී දියට වැටුණු ජංගම දුරකථනයක්‌ සෙවීමට ඔවුන් දිය පහරේ කිමිදෙමින් සිටියදී ගලක්‌ උඩ සිටි අනුජ දියට වැටුණු බවක්‌ කියනු ඇසුණු බවත් පැවසුවද සිද්ධිය ඇසින් දුටුවෙක්‌ ප්‍රකාශයට පත් නොවීය.

පැයක්‌ දෙකක්‌ පමණ ඔහු සෙවීමේ යෙදුණු මේ පිරිස පසුව තම ඇඳුම් ඇඳගෙන නිවෙස්‌ බලා යාමට පාරට පැමිණි බවත් එහිදී සිද්ධිය කිසිවෙකුටත් හෙළිනොකිරීමට කතාකරගත් බවත් මෙහිදී සඳහන් විණි. එහෙත් පසුව දෙදෙනෙක්‌ ආපසු ඔහු සෙවීමට ගුරුගොඩ ඔයට බැස ඇති අතර ඉතිරි පස්‌දෙනා සිය නිවෙස්‌ බලා ගොස්‌ තිබුණි.

මේ අතරින් සිසුන් දෙදෙනකු පසුවදා පාසලට පැමිණ කිසිදෙයක්‌ නොවුණ ලෙස සිටියදී පාසල් ගුරු මහත්මයකු මේ පිළිබඳ විමසීමේදී එම ගුරු මහතාට සිද්ධිය පැවසූ බවද එක්‌ සිසුවෙක්‌ හෙළිකළේය.

ඒ අනුව එම හදිසි මරණ පරීක්‍ෂණයට සාක්‍ෂි දීමට සිය කැමැත්තෙන් පැමිණි පාසලේ එම ගුරු මහතා සිද්ධිය පිළිබඳව පාසලට ආරංචි වූ වහාම විදුහල්පතිතුමා ඇතුළු ආචාර්යවරුන් කීපදෙනෙක්‌ මියගිය සිසුවාගේ නිවසට ගොස්‌ සියලු විස්‌තර විමසූබවද පාසලට පැමිණ සිටි සිසුවාගෙන් ප්‍රකාශයක්‌ සටහන් කරගත් බවද පැවැසීය.

මළ සිරුර සෙවීමේ කටයුතුවල දින තුනම යෙදී සිටි පළමුවරට එය සොයාගත් වරකාපොල - ඇත්නානවල සරත් ලයනල් සිල්වා 52 යන අයද මෙහිදී සාක්‍ෂි දෙමින් මළ සිරුර තිබූ ආකාරය පිළිබඳව විස්‌තර කළේය.

මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය කෑගල්ල රෝහලේදී සිදුකරනු ලැබීය.
"අම්මල ලේ කිරිකර දුන්නේ තාත්තල දුක්‌ මහන්සියෙන් දරුවන් පෝෂණය කරන්නේ කටේ කිරි සුවඳ යන්නට පෙර මත්පැන් බොන්නද ඔබ ඔබ ගැන ඇයි නොසිතන්නේ. ප්‍රදේශයේ වැදගත් පාසලකට යන උසස්‌ පෙළ හදාරන දරුවන් නේද? රටේ අනාගතය භාරගන්න යන්න වෙන්නේ ඔබට නේද? අපි කොහොමද වැඩිහිටියන් ලෙස ඔබලට මේ රට භාරදෙන්නේ යෑයි පාසල් සිසුන්ට හා ඔවුන්ගේ දෙමාපියන්ට දැඩි අවවාද සහිත දේශනයක්‌ද ලබාදුන් හදිසි මරණ පරීක්‍ෂක අමරසිංහ මහතා, කෑගල්ල මහරෝහලේ අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාව, පොලිස්‌ පරීක්‍ෂණ සටහන් හා නිරීක්‍ෂණ සහ ලැබුණු සාක්‍ෂි මත මෙම මරණය දියේ ගිලීමෙන් වතුර පෙවී හුස්‌ම ගැනීමට නොහැකිවීමෙන් සිදුවූ මරණයක්‌ බවට නිගමනය කර තිබිණි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top