Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 06
448
Views
”දේශපාලනය තුළ සදාකල් සතුරන් හෝ සදාකල් මිතුරන් නැත. එහෙත් දේශපාලනය තුළ වුවද ප්‍රබල මිත්‍රත්වයක සේයා අපට නිදසුන් දෙන අවස්ථා නැත්තේ නොවේ. බලය තිබෙන තාක් පවතින ගනුදෙනුවලින් බොහෝසෙයින් ඔබ්බට ගොස් සදාකාලික මිත්‍රත්වයක සැබෑ ගැඹුර පෙන්වන අපූරු මිතුරුකමක් ගැන අපිට කිවහැකිය.

 

සුබ්‍රමනියන් ස්වාමි,  ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකි. ඔහු ජනතා පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ අයෙක් වන අතර ඉන්දියාවේ පිළිගත් ආර්ථික විශේෂඥයෙකි. හාවඞ් සරසවියේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙකි. සංඛ්‍යාලේඛන විශේෂඥයෙකි. ඉන්දීය රාජ්‍ය  සභාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකි. ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකි. ඇමති ධුර හෙබවූ පරිණත දේශපානලඥයෙකි. ශ්‍රී ලංකාවේ හෘදයාංගම මිත්‍රයෙකි.

සුබ්‍රමනියන් ස්වාමි සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වසර ගණනාවක සිට සමීප මිතුරන් ය. මේ මිත්‍රත්වය හටගත්තේ දේශපාලනය තුළින් බව කිව හැකි වුවත් එය පවතිනුයේ දේශපාලනය මත නොවන බවට මෑත කාලීන ඉතිහාසය තුළින්  ඕනෑතරම් සාක්ෂිි සොයාගත හැකිය. වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී ද ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර හොඳ හිත වර්ධනය කරවීමේ එක් කොන්ත්‍රාත්කරුවකු ලෙස කටයුතු කළේ සුබ්‍රමනියන් ස්වාමි ය. තමිල්නාඩු දෛ්ශපාලකයන් මෙරට දෙමළ ජනතාවගේ  ඕනෑ එපාකම් ආයුධ ලෙස ගෙන දේශපාලන කරළිය තුළ කොඩි ඔසවද්දී අර්ථාන්විත මැදිහත්වීමකින් දෙපාර්ශ්වය අතර පැවැති මතභේද දුරලීමට ස්වාමි නොගත් උත්සාහයක් නැත. එපමණක් නොව, 2014 වසරේදී නරේන්ද්‍ර මෝදිගේ ආගමනය වෙනුවෙන් සන්ධානගත වූ ජනතා පක්ෂයේ නායකයා වූයේ ස්වාමිය. ජනතා පක්ෂය, සෙසු පක්ෂ ගණනාවක් සමඟ සන්ධානගතව සෑදුණු භාරතීය ජනතා පක්ෂය තුළ සභාපතිත්වය දරමින් මෝදිගේ දේශපාලන පදනමට සහය වන්නට ද ස්වාමිට හැකිවිය. ඒ තුළින් ස්වාමි, මෝදි හා මහින්ද අතර සුහදශීලී මැදහත්කරුවා ද විය. එල්ටීටීඊ වැනි ලොව දරුණුතම ත්‍රස්තවාදය පරාජය කරමින් මෙරට ආරක්ෂාව තහවුරු කරලීම, ඉන්්දියාවේ ආරක්ෂාවට කෙතරම් වැදගත් ද යන වග ස්වාමි, මෝදිට අවබෝධ කරවීය. එවන් අසීරු ජයග්‍රහණයක නියමුවා, ඉන්දියාවට තීරණාත්මක සාධකයක් වන්නේ කෙසේදැයි මෝදිට පැවසුවේ ස්වාමි ය. ඒ අයුරින් ශ්‍රී ලංකාව ගැන ඇති වැරදි ආකල්ප මෝදි තුළින් දුරලීමේ ප්‍රයත්නයේ නිහඬ සේවයේ ඔහු යෙදී සිටියේ ය.

පරිණත දේශපාලනඥයකු වූ ඔහුගේ අතිමහත් පිළිගැනීම තුළ මහින්ද රාජපක්ෂ නාමය පවතින්නේ කෙලෙසදැයි මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසීමට උත්සාහ ගත් අවස්ථා එමට ය. ඒ සෑම අවස්ථාවකදීම ස්වාමි මහතා පවසා තිබුණේ ‘මහින්ද රාජපක්ෂ නිර්භීත, ස්ථිර ගති ඇති සංස්කෘතික මිනිසෙක්’ බවය. ස්වාමිගේ වචන තුළින් මහින්ද රාජපක්ෂ මහතා කෙරේ ඇති ගෞරවය මනාවට පැහැදිලිි විය. මේ මිත්‍රත්වය වැඩිදියුණු වූයේ දෙරට අතර වන මිතුරුකමට ද වඩා ශක්තියක් ස්ථිරසාර බවක් එක් කරමිනි.

‘සැබෑ මිතුරා, මුළුමහත් ලෝකයක් ඉවත ගිය කල, ඔබ සමීපයට එනු ඇත.’
එවන් රුවන් වැකියක සැබෑ අර්ථය හඳුනාගැනීමට නම් එවැනි මිත්‍රත්වයකට උරුමකම් කිව යුතුය. කිසිදු සමාජමය වර්ගීකරණයකින් තොරව සැබෑ මිත්‍රත්වයක් ගොඩනගා ගත හැක්කේ සමාන අදහස්, සංස්කෘතික පසුබිම් හෝ අඩුම තරමේ සමාන ගතිගුණ හෝ ඇත්තවුන් අතර ය. පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කොට මෛත්‍රිපාල සිරිසේන මහතා එම පදවියට පත්වීමෙන් පසුව ද ස්වාමි සහ මහින්ද රාජපක්ෂ මහතා අතර මිතුරුකම වඩාත් සමීප විය. ස්වාමි, මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දියාවට පැමිණෙන ලෙස ඇරයුම් කිරීමට මැදමුලනට පවා ගියේ ය. ඉන්දියාවට යන සෑම ගමනකදීම මහින්ද රාජපක්ෂ මහතාට ස්වාමි හමු නොවී සිටි අවස්ථා නොමැති තරම් ය.

මහින්ද රාජපක්ෂ මහතාගේ චීන මිත්‍රත්වය ගැන බිය වූ රටවල් රාජ්‍ය තාන්ත්‍රික නොපනත්කම් කරද්දී, ඉන්දියාවේ සතුරුකමට චීනය පළිහක් කරගනිද්දී ස්වාමි කීවේ ”ගනුදෙනු කරන්නේ කොහොමද සහ ඒත්තු ගන්වන්නේ කොහොමද කියන එක ඉන්දියාව දැනගන්න  ඕනේ. විදේශ ප්‍රතිපත්ති කියන්නේ ගානට මිම්මට පෙර සැකසූ නිමි ඇඳුමක් හෝ ඔබ වෙනුවෙන්ම පිසූ ආහාරයක්් නොවන බව දැනගත යුතුයි.” යනුවෙනි. ‘චීනයේ මිතුරකු වන්නේ කෙසේදැයි අප අපගේ මුතුන් මිත්තන්ගෙන් උගත යුතුයි. ක්‍රි.පූ. 700 -1962 තෙක් ඉන්දියාව හා චීනය එකදු හමුදා සිදුවීමක් නොමැතිව හොඳම මිතුරන් වී සිටියා’ ස්වාමි මහතා දුන්නේ එවැනි පිළිතුරු ය.

විශිෂ්ට සේවය හා උතුම් කැපවීම, මෙහෙවර කළ පුද්ගලයන්ට පිරිනැමෙන ඉන්දියාවේ ඉහළම සම්මානය වන භාරත් රත්න සම්මානය ත්‍රස්තවාදය පරාජය කළ මෙහෙවර වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිය යුතු බවට යෝජනා කළේය. සිය ජනතාව නිදහස් කිරීමේ මෙහෙවර වෙනුවෙන් මැන්ඩෙලාට එම සම්මානය දුන්නේ නම් ඊට  මහින්ද රාජපක්ෂ ඉඳුරාම සුදුසුු බව ස්වාමි මහතාගේ තර්කය විය. එමගින් පැහැදිලි වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිර්භීත බව, විදේශ ප්‍රතිපත්ති හා රාජ්‍ය පාලනයේ නිවැරැදි නායකත්වය පිළිබඳ ස්වාමි මහතාට ඇති විශ්වාසය හා ගෞරවයයි.

බලය අතහැරෙද්දී සමීපයෙන්ම සිටි ස්වාමි මහතා, පසුගිය පෙබරවාරි 10 වැනිදා පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණයේදී උද්දාමයට පත්වූයේය. පසුදිනම ඔහුගේ ප්‍රාර්ථනය ඔහු සමාජයට මුදාහැරීය. ”මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා දේශපාලනයට ශක්තිමත් ආගමනයක් සනිටුහන් කර තිබේ.”

පසුගිය 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිවුරුම් දුන් පසුුව දසතින් ඇමතුම් ගලද්දී, වැල නොකැඞී දේශපාලකයන්, හිතවතුන්, ජනතාව එද්්දී මහින්ද රාජපක්ෂ මහතා කළේ ඇමතුමක් දී තම ජයග්‍රහණය පිළිබඳ දුක සැප දෙකෙහිම එක සේ සමීපයෙන් සිටි සයුරෙන් එහා මිතුරාට දැන්වීමය. ස්වාමි මහතා තම ගිණුමෙහි සුබපැතුම් එක්කරමින් ඉක්මනින් කොළඹට එන බව ද පවසා මුදාහැරියේ ඒ පිළිබඳ සටහන ය.

”මහින්දගේ නායකත්වය ගැන මට සතුටු ඔහු දැඩි දේශප්‍රේමියෙක් නිසා. කිසිදු ත්‍රස්ත සංවිධානයකට තබා කිසිදු රටකට හෝ ඔහු තම රටේ ස්වෛරීභාවය පාවාදෙන්නේ නෑ. ඔහු සමඟ මිත්‍රත්වයේ ප්‍රතිලාභය ඉන්දියාවට අනිිවාර්යයෙන්ම ලැබේවි” මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වීමෙන් පසුව එරට මාධ්‍ය ආයතනයක් වෙත ස්වාමි මහතා මේ බව පැවසූයේ ඉන්දියාවට මෙන් ලොවටම දෙන පණිවුඩයක් ලෙසිනි.

ප්‍රතිපත්තිගරුක බවෙහි විශ්වාසයත්, සැබෑ මිත්‍රත්වයෙහි අවංකකමත් නිසාම, එතෙක් මෙතෙක් නොසිඳී පැවති ස්වාමි-මහින්ද මිත්‍රත්වය තුළින් ඉන්දු-ලංකා ඓතිහාසික මිත්‍රත්වය වඩාත් ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යනු ඇත. ඒ මතිින් චීනයත් ඉන්දියාවත් අතර මිත්‍රත්වයේ පාලම ද ශක්තිමත්ව ගොඩනැගෙමින් ලෝක නායකයන්ට පරම මිත්‍රත්වයේ ආදර්ශය සපයනු ඇත. දේශපාලනය තුළ වුවද එවැනි මිතුරුදම් පවතින බව පිළිගත් ඇමෙරිකාවේ විසූ එරට 28 වැනි ජනාධිපතිවරයා වූ වූඩ්‍රොව් විල්සන් වරෙක මෙසේ පවසා තිබේ.

”ලෝකය එක්කොට තැබිය හැකි ලොව ඇති එකම බදාමය ‘මිත්‍රත්වය’ පමණි.”

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top