“ඔය කියන විදිහට නරකට හැසිරෙන්නේ ගම්පහ ටියුෂන් වලට එන ළමුන් විතරද? ඇයි ගම්පහ ගැන විතරක් කතා කරලා අනික් ටවුන් වල සිද්ධ වෙන මේ වගේ දේවල් ගැන නොලියන්නේ? මේකෙන් වෙන්නේ ගම්පහ ටියුෂන්වල හොඳ නමට කැළලක් වෙන එක නේද?”

අප වෙත ලැබුණු තවත් ප්‍රතිචාර සමුදායකින් පළවූයේ එවන් පොදු අදහසකි. සැබැවින්ම ටියුෂන් අධ්‍යාපනය යනු වැඩිම ලකුණු සහ විශිෂ්ට විභාග ප්‍රතිපල ඉලක්ක කොට ගත් අතිරේක අධ්‍යාපනික ක්‍රියාදාමයකි. පරිපූර්ණ අධ්‍යාපනයක තිබිය යුතු විනය, සංවරය, සදාචාරය ආදී අංග පිළිබඳ වැඩි අවධානයක් ටියුෂන් අධ්‍යාපනය තුළ දී හිමි නොවන බව ප්‍රායෝගික සත්‍යයකි.

ඒ ටියුෂන් අධ්‍යාපනයේ නියත ස්වභාවයයි. ඒ හැරුණු කොට එය කාගේවත් වරදක් අඩුපාඩුවක් නොවේ. ගම්පහ ටියුෂන් සිසුන් අතර මෙවන් ලිංගික උප සංස්කෘතියක් බිහිවීමට මූලික හේතුව ද එයයි.

අප රටේ අධ්‍යාපනික රටාවේ පවත්නා පොදු ලක්ෂණය මෙය බැවින් මෙය ගම්පහ ටියුෂන් සිසු සිසුවියන් අතර පමණක් පවත්නා කාමෝන්මාදයක් සේ හැඳින්වීමට අපි කෙසේ වත් ඉදිරිපත් නොවෙමු. ඒ සම්බන්ධ අපගේ නිගමනය නම් අප ‍රටේ ටියුෂන් අධ්‍යාපනය ගම්පහ මෙන් සුවිසල් මට්ටමින් සිදුවන සෙසු නගරවල ද තරුණ තරුණියන් අතර ද මීට බෙහෙවින් සමාන ලිංගික උප සංස්කෘතික ලක්ෂණ දක්නට තිබිය යුතු බවය. නමුත් ඒ පිළිබඳ විස්තර දැනගැනීම සඳහා ඒ සම්බන්ධයෙන් සියුම් විමර්ශනයන් සහ අධ්‍යයනයන් කළ යුතුය. නගරයේ ටියුෂන් පන්ති අසලට හෝ බස් නැවතුම්පලට වී නිකම් බලා සිටියාට ඒ කිසිවක් අනාවරණය කර ගැනීමට හැකිවන්නේ නැත.

ගම්පහ ටියුෂන් පෙම්වතුන් room share නමින් හඳුන්වන තිරපටකින් දෙකට බෙදන ලද එකම ලැඟුම්හල් කාමරය දෙකට බෙදා ගෙන කම්සුව විඳීමේ ලිංගික උප සංස්කෘතිකාංගය පිළිබඳව මුල්වරට දැනගත් අපි උපායමාර්ගික ක්‍රමවේදයක් ඔස්සේ ඒ පිළිබඳ රහස් අනාවරණය කර ගැනීමට සමත් වීමු. ඒ ගම්පහ ටියුෂන් අධ්‍යාපනය ලබා දැනට සරසවි දෙකක උපාධි පාඨමාලා දෙකක් හදාරන තරුණ යුවලක් උපාය දූතයන් ලෙස යෙදවා ගනිමිනි.

මෙම ගවේෂණයේ දී අපහට නිසි මාර්ගෝපදේශකත්වයක් සහ නොමසුරු සහායක් පළ කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය දයා අමරසේකර සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර යන විද්වතුන් ගේ නම් ද මෙහි දී කෘතඥ පූර්වකව සිහිපත් කළ යුතුය.

ඒ පසුගිය සෙනසුරාදාවක පෙරවරු යාමයයි. ස්ථානය ගම්පහ නගරයේ ජා ඇල බස් නැවතුමයි. මාත් මෙම ගවේෂණය සඳහා මා යොමු කොට මගේ කටයුතු නිරතුරු අධීක්ෂණයට ලක් කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාත් මා සමඟ සිටියි. ඔහු හැරුණු කොට අප මෙම අනාවරණය සඳහා උපාය දූතයන් ලෙස යොදා ගන්නා සරසවි පෙම් යුවල ද අප අතර සිටිති. සරසවි දෙකක අධ්‍යාපනය ලැබුවද පෙම්වතා සමාජ විද්‍යා විශේෂවේදී උපාධි පාඨමාලාවක් හදාරන අතර පෙම්වතිය සමාජ විද්‍යාව හදාරනුයේ සාමාන්‍ය උපාධි පාඨමාලාවක විෂයක් ලෙසිනි.

ගම්පහ ටියුෂන් සිසුන්ට එකම ලැඟුම්හල් කාමරය දෙකකට බෙදා ගෙන පෙම් සුව විඳීමට හෙවත් room share කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන බව පැවසෙන ත්‍රිරෝද රථ රියැදුරකුගේ දුරකථන අංකයක් දැන් අප සතුව තිබේ. මෙම සරසවි පෙම්වතා ඒ අංකයට ඇමතුමක් ගන්නේ මෙම මෙහෙයුමේ සමාරම්භය සනිටුහන් කරමිනි. එමෙන්ම මෙම දුරකතන ඇමතුම පටිගත වීමටද ඉඩ සලසමිනි.

පෙම්වතා; (දුරකථනයෙන්) මාකස් (ආරූඬ නමකි) අයියා ඉන්නවද?

කාන්තාවක්;(තරමක් සැරෙන් මෙන්) එයා නෑ; ඔයා කවුද?

පෙම්වතා;අපි ජයරංජන (ආරූඩ නමකි) සර්ගේ ක්ලාස් එකේ; මාකස් අයියව පොඩි හයර් එකකට සෙට් කරගන්නයි කතා කළේ.

කාන්තාව; කවුද ඔයාට මේ නම්බර් එක දුන්නේ?

පෙම්වතා;ජයරංජන සර්ගේ ක්ලාස් එකේ අසංග කියලා මගේ යාළුවෙක්; මාකස් අයියා කොහෙද ගිහින් තියෙන්නේ?

කාන්තාව;එයා දැන් එයි; තව විනාඩි පහකින් ගන්න.

අප ගමඟ සිටි පෙම්වතා හරියටම විනාඩි පහකට පසු නැවත එම අංකයට ඇමතුමක් ගත්තේය; එවිට ඊට පිළිතුරු දුන්නේ පිරිමියෙකි.

පෙම්වතා;මාකස් අයියද?

පිරිමියා;ඔව්; ඔව්, ඉතින් කියන්න.

පෙම්වතා;මාකස් අයියා දන්නවද? අසංග අර ජයරංජන සර්ගේ ක්ලාස් එකේ. දාගොන්නේ ඉඳලා එන්නේ. (පෙම්වතා එසේ කීයේ සැබෑ සිසුවකු පිළිබඳව නොවේ)

පිරිමියා;හරි;හරි කියන්නකෝ ඉතින්,

පෙම්වතා;මේකයි මාකස් අයියේ වැඩේ. අපිට පොඩි හයර් එකක් සෙට් කර ගන්න තියනවා; අපි කපල් දෙකක්; කොහොමද දන්නේ නැහැ නේද ගණන් එහෙම.

පිරිමියා;ඇයි ඔයාට යාළුවා කිව්වේ නැද්ද? ෂෝට් ටයිම් හින්දා ත්‍රිවීලර් එකටයි රූම් එකටයි ඔක්කොටම යන්නේ එක්දාස් දෙසීයයි; එතකොට එක කපල් එකකට වැටෙන්නේ රුපියල් හයසීයයි. මොකක්ද ඔයා කියපු ක්ලාස් එක.

පෙම්වතා;ජයරංජන සර්ගේ;

පිරිමියා;දැන් ඔයා ඔය කතා කරන්නේ ක්ලාස් එකේ ඉඳලද?

පෙම්වතා;ඔව්;ඔව්;‍

පිරිමියා;අද කීයටද ඕක ඉවර වෙන්නේ.

පෙම්වතා;එකොලහටනේ මාකස් අයියේ.

පිරිමියා;හරි එහෙනම් ඔයාලා අතන රේල් ගේට්ටුව පහු කරලා ෆ්ලයි ඕවර් එක යටින් යූසී ග්‍රවුන්ඩ් එකපැත්තට හිමීට ඇවිදගෙන එන්න. මම එතනට එන්නම්; කීයටද එතනට එන්න පුළුවන්?

පෙම්වතා;එකොළහමාරට?

පිරිමියා;හරි; එහෙනම් එන්න විනාඩි දහකට කලින් මට කෝල් එකක් දෙන්න; මම හරියටම වෙලාවටම එතනට එන්නම්. මගේ වාහනේ රතුපාටයි; වින්ඩ්ක්‍රීන් එකේ උඩ මොණර රූපයක් තියනවා; මම ස්ලෝකරන කොටම වටපිට බලන්නේ නැතුව සාමාන්‍ය විදිහට නගින්න එච්චරයි;

ඔහු දුරකථනය විසන්ධි කළේය. මෙම පෙම්වතා ගෙන් ලැබුණු දුරකථන ඇමතුමට මුලදී පිළිතුරු නොදුන් මෙම පුද්ගලයා ඒ සඳහා කාන්තාවක යෙදවූයේ තම ආරක්ෂාව පිණිසය. නමුදු ඒ මොහොතේ ඔහු එම දුරකථන ඇමතුමට රහසින් සවන් දී සිටියා නිසැකය. දෙවනුව ඔහු එම ඇමතුමට පිළිතුරු දීමට පෙළඹුණේ එමගින් තම ආරක්ෂාකාරී බව තහවුරු කර ගැනීමෙන් පසුවය. එමෙන්ම අප පෙම්වතා ගේ දෙවන ඇමතුමට පිළිතුරු දුන් එම පුද්ගලයා මෙය සත්‍ය වශයෙන්ම ටියුෂන් සිසුවකු දෙන ඇමතුමක් ද යන්න දැන ගැනීම පිණිස පෙම්වතා අධ්‍යාපනය ලබන ටියුෂන් පන්තිය සහ එය නිමාවන වේලාව අසා සිටියේය. සැබැවින්ම ගම්පහ නගරයේ ඇති ප්‍රධාන ටියුෂන් පන්ති ඇරඹෙන සහ ඒවා අවසන් වන වේලාවන් ද ඔහු දැන සිටියි. ඔහුට තම සේවා ලාභීන් හසුරුවා ගැනීමට සේම සේවාව ලබා ගැනීමට ඉදිරිපත් වන්නවුන් ලෙස හඟවා තමන් පිළිබඳව විමසිලිමත් වන “අන්‍යයන්” ගෙන් ආරක්ෂා වීමට ද ඔහුගේ එම දුනුම මහෝපකාරී වෙයි.

ඒ කෙසේ හෝ අපගේ පෙම්වතා දුරකථනය මගින් “මාකස් අයියා” ට පොරොන්දු වූ පරිදි නියමිත වේලාවට තම පෙම්වතියද සමග ඔහු කී ස්ථානයට යා යුතුය. එහෙත් අප පෙම්වතා කී අන්දමට එහි යාමට තවත් පෙම් යුවලක් මෙහි නැත. එසේ වුවද මෙම විමර්ශනය එතැනින් හමාර කිරීමට ද අපට නොපුළුවන.

ඊට පසුව සිදුවූයේ කුමක්ද? ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.