Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 17
2,350
Views
මිනිසා යනු ලිංගික සත්ත්වයෙකි. මීට අවුරුදු මිලියන 800 කට පෙර සත්ත්වයා ශක්‌තිමත් ජීවියෙකු බිහිකිරීමට ජාන හුවමාරු කලාව ඉගෙන ගත්තේය. එය ලිංගිකත්වයේ පහළ වීමයි. ලෝකයේ රඳා පැවැත්ම මෙම ලිංගිකත්වය මත තීරණය වේ. නමුත් ලිංගිකත්වය වර්ගයා බෝකිරීම යන ප්‍රධාන අරමුණින් එහාට ගමන්කොට මුදල් සෙවීමේ මාර්ගයක්‌ බවට පත්වීම ලිංගික සේවයේ ආරම්භය විය.
ලිංගික සේවයේ යෙදෙන්නා ලිංගික ශ්‍රමිකයා ලෙස හඳුන්වයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මුදල් හෝ භාණ්‌ඩ ලබාගැනීම අරමුණු කරගනිමින් ඊට තම ලිංගික සේවය හුවමාරු කරගන්නා තැනැත්තා හෝ තැනැත්තිය ලිංගික ශ්‍රමිකයා නම් වේ. මානව විද්‍යාඥ ආචාර්ය ෆරේස(ර්)ට අනුව ලිංගික සේවයේ ආරම්භය අතීත අපරදිග ආගමික පරිසරය මුල්කරගෙන සිදුවිය. බුදුන් දවස ලිංගික සේවය සමාජගත වීම අම්බපාලි වැනි චරිත හරහා විද්‍යාමාන වේ. මහාචාර්ය නන්දසේන රත්නපාලයන්ට අනුව නූතන ලංකා සමාජයේ වීදි ලිංගික ශ්‍රමිකයන්, සම්බාහන මධ්‍යස්‌ථාන ආශ්‍රිත ලිංගික ශ්‍රමිකයන් ඇතුළු වර්ග දහයකට අධික ලිංගික සේවකයන් පිරිසක්‌ සේවයේ නිරත වෙයි.
 
 ලිංගික ශ්‍රමිකයන් පිළිබඳව කතිකාවතක්‌ සමාජය තුළ නිර්මාණය වී තිබුණ ද ඔවුන්ගේ සේවාදායකයන් පිළිබඳව හෝ ඔවුන් මුදලට ලිංගික පහස සොයා යැමට හේතු පිළිබඳව යොමුව තිබෙන්නේ ඉතා අවම අවධානයකි. නමුත් මාරාන්තික එඩ්ස්‌ වෛරසය සහ ලිංගාශ්‍රිත රෝග සමාජය පුරා පැතිරයන මෙවන් වටපිටාවක මෙලෙස මුදලට ලිංගිකත්වය සොයායන පිරිස්‌ පිළිබඳ කතිකාවතක්‌ අත්‍යවශ්‍ය යෑයි හැඟේ. ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස්‌ මර්දන වැඩසටහනේ සංඛ්‍යා දත්තවලට අනුව 2017 වර්ෂයේ ලංකාවේ වාර්තා වූ ඒඩ්ස්‌ රෝගීන් ගණන 3500 කි. ලොව පුරා මිලියන 36.7 ක්‌ මින් පීඩා විඳිති. 
එබැවින් මෙම ලිපිය තුළින් පුරුෂයන් තම විශ්වාසවන්ත සහකාරියගෙන් මිඳී මෙවන් අවදානමක්‌ මුදලට ගැනීමට පොළඹවන හේතු සාධක දෙස විද්‍යාත්මක ඇසකින් බැලීමට අපේක්‌ෂා කෙරේ. නමුත් මෙහිදී පොළඹවීම් සාධාරණීකරණය කිරීම හෝ පාර්ශ්වයකට චෝදනා කිරීම හෝ අරමුණු කර නොගන්නා බවද කිව යුතුය.
 
 සැබවින්ම ලිංගික පහස සොයායන පිරිමින් පොදුවේ ගත්කල ඔවුන්ට ආවේණික වූ විශේෂ ලක්‌ෂණයන් ඇත් ද? ආචාර්ය සැබින්ග්රෙන්ට අනුව ලිංගික ශ්‍රමිකයන් වෙත යන පුරුෂයන් අතර නිශ්චිත සමාජ පන්තියක්‌ හෝ රැකියා කාණ්‌ඩයක්‌ හඳුනාගැනීම අපහසුය. ඔවුහු සියලු සමාජ කොට්‌ඨාසයන් නියෝජනය කරති.
 
 1994 දී මනෝවිද්‍යාඥ ඩියෙටර් ක්‌ලෙයිබර් සිදු කළ පර්යේෂණයේ ප්‍රතිඵලවලට අනුව ලිංගික ශ්‍රමිකයන් වෙත ඇදී යන පුරුෂයන්ගේ විශේෂ පෞරුෂ ලක්‌ෂණයන් හෝ පෞරුෂ අසාමානතාවයන් හඳුනා ගැනීමට අපහසුය. එසේනම් පිරිමින් ලිංගික ශ්‍රමිකයන් සොයා යන්නේ ඇයි?
 
 මුදලට ලිංගික සේවය සොයායැමේ සරල අර්ථ දැක්‌වීම නම් "පිරිමින් යනු කාන්තාවන්ට සාපේක්‌ෂව කාමාශක්‌ත පිරිසක්‌ බැවින් ඔවුන් එයට දැඩි කැමැත්තක්‌ දක්‌වන බවය." පිරිමියාගේ ජීව විද්‍යාත්මක අංශය පිරික්‌සීමේදී එකී අදහස වැරදි නොවන බව කෙනකුට තර්ක කළ හැක. මන්දයත් පිරිමියා සැබවින්වම ජීව විද්‍යාත්මකව සකස්‌ වී ඇත්තේ ලිංගිකත්වය මූලිකත්වයේ තබාගෙනය.
 විශේෂයෙන්ම මානවයාගේ අධික ලිංගික ආශාවට හේතුවන්නා වූ ටෙස්‌ටෙස්‌ටෙරොන් හෝමෝනය ගැහැනියට සාපේක්‌ෂව පිරිමියාගේ 10-12 ගුණයකින් වැඩිය. තවද ලිංගිකත්වය සඳහා මොළයේ මධ්‍යස්‌ථානය වශයෙන් ක්‍රියාකරන්නා වූ හයිපොතැලමසය ද ගැහැණුන්ට සාපේක්‌ෂව පිරිමින්ගේ 10-20 ගුණයකින් වැඩිය. මෙවැනි ජීව විද්‍යාත්මක සැකැස්‌මන් හේතුකොට ගෙන පිරිමියා කාන්තාවට සාපේක්‌ෂව බලවත් ලිංගික ආවේග සහිත සත්ත්ව කොට්‌ඨාසයක්‌ ලෙස හැඳින්වීම අර්ථ ශුන්‍ය නොවේ. ආචාර්ය ටෙරි ෆෙෂර් මෑතක දී සිදු කළ පරීක්‍ෂණයකින් හෙළි වූයේ ගැහැණුන් සාමාන්‍යයෙන් දිනකට 18 වතාවක්‌ පමණ ලිංගිකාස්‌වාදය ගැන සිතන නමුත් පිරිමින්ගේ එම වාර ගණන 34 ක්‌ බවය. කාන්තාවන්ට ලිංගික ආශාවන් ඇතිවීමට නම් අවම වශයෙන් චිත්තවේගීමය හෝ සබඳතාවක්‌ තිබිය යුතුය. නමුත් පිරිමින්ට එසේ නොවේ. ඔවුන්ට අවශ්‍ය ස්‌ථානය පමණි.
 
 අනෙක්‌ අතට පිරිමියාගේ මොළයේ සැකැස්‌ම ඔහු බහුභාර්යා සේවනයට නැඹුරුවන සේ නිර්මාණය වී ඇති බව ඔබ විශ්වාස කරනවා ද? මිනිස්‌ මොළයේ සැකැස්‌ම පිළිබඳව අධ්‍යයනය කළ විද්‍යාඥයන්ට අනුව නම් ක්‌ෂීරපායී සතුන්ගෙන් 80% ක්‌ම බහුභාර්යා සේවනයට ජීව විද්‍යාත්මකව සකස්‌ වී ඇත. ක්‌ෂීරපායී සත්ත්ව කොට්‌ඨාසයක්‌ වන මිනිසාගේ ද මෙකී සැකැස්‌ම දැකිය හැකිය. බ්‍රිතාන්‍ය ජාතික ඉතිහාසඥවරියක්‌ වන රියායි ටැනාහිල්ට අනුව වසර පන්දහසක මානව ඉතිහාසයේ වැඩි කාලයක්‌ ඒක භාර්යා සේවනයට සාපේක්‌ෂව බහුභාර්යා සේවනය වඩාත් ව්‍යාප්ත වී ඇත. ඒ සඳහා මිනිසාගේ මෙම ජීව විද්‍යාත්මක සැකැස්‌ම බලපෑවේ යෑයි තර්ක කළ හැකිය. ඒ නිසා සංස්‌කෘතිය, සදාචාරය, නීතිය වැනි සම්මුතීන් මඟින් මිනිසා විවාහයකට කොටු නොකරන්නට වර්තමාන සමාජය තුළ ද බොහෝ පිරිමින් බහුභාර්යා සේවනයේ යෙදීමට ඉඩ තිබුණි.
 අපි මෙහිදී කිසිවිටකත් පිරිමියාගේ ජීව විද්‍යාත්මක පදනම උලුප්පා දක්‌වමින් ඔහු මුදලට ලිංගික පහස සොයා යැම සාධාරණීකරණයට ලක්‌කිරීමටවත්, ඔහු තම සහකාරියගේ විශ්වාසය බිඳ දැමීම සම්බන්ධයෙන් සමාවට කරුණක්‌ සොයා දීමටවත් උත්සාහ නොකරමු. මෙය හුදු විද්‍යාත්මක ගවේෂණයකි. කෙසේ නමුත් පිරිමියාට තම ලිංගික අවශ්‍යතාවයන් සමාජය පිළිගත් ක්‍රමයකට හෝ සාමාන්‍ය ස්‌ත්‍රී පුරුෂ සම්බන්ධතාවයකට යොමුවෙමින් ඉටුකර ගැනිමේ හැකියාව පවතිද්දී සමාජය විසින් නොපිළිගත් තම සෞඛ්‍යයට පවා තර්ජනයක්‌ වන්නා වූ ලිංගික ශ්‍රමික ඇසුරට යොමුවීමට ඔහුගේ ජීවවිද්‍යාත්මක සැකැස්‌මෙන් එහා ගිය හේතු සාධකයන් තිබිය යුතුය.
 
 මනෝ විද්‍යාඥයන් මෙන්ම සමාජ විද්‍යාඥයන් ද මෙකී පිරිමියාගේ ජීව විද්‍යාත්මක සැකැස්‌මෙන් එපිට පවතින්නා වූ ඔවුන් ලිංගික ශ්‍රමිකයන් වෙත යොමුකරන සාධකයන් මොනවා දැයි සෙවීමට පර්යේෂණයක්‌ සිදුකර ඇත. පහත අවධානය යොමු කරන්නේ එම පර්යේෂණවලදී හෙළි වූ කරුණු වෙතය.
 
 1984 කාලවකවානුවේ ඉන්දීය ලිංගික ශ්‍රමිකයන් පිළිබඳ පර්යේෂණවල නිරත වූ විශ්වනාත් ජෝදාර්ට අනුව පිරිමින් ලිංගික ශ්‍රමිකයන් සොයා එන ප්‍රධාන හේතුවක්‌ ලෙස ඔවුන් ලිංගික වශයෙන් තනිවීම එසේත් නැත්නම් හුදකලා වීම හඳුන්වා දිය හැකිය. මෙම හුදකලා වීම කෙටිකලක්‌ හෝ දීර්ඝකලක්‌ විය හැකිය. හැරී බෙන්ජමින් සහ රොබර්ට්‌ මාස්‌ටර් එක්‌ව යුරෝපීය සමාජය තුළ සිදුකළ පර්යේෂණයකින් හෙළිවූයේ රැකියාවන් හේතුකොටගෙන සාමාන්‍යයෙන් තම ලිංගික අවශ්‍යතාවන් සපුරාගන්නා ස්‌ත්‍රීන්ගෙන් දිර්ඝ කාලීනව හෝ කෙටිකාලීනව වෙන්වීම පිරිමින් මුදලට ලිංගික පහස සොයා යැමට පොළඹවන බවයි. ඔවුන්ට අනුව ලිංගික ශ්‍රමිකයන් සොයායන වෘත්තිකයන් අතර නාවිකයන් සහ හමුදා සෙබළුන් ප්‍රධාන වේ. මෙම වෘත්තීන් ද්විත්වය තුළම පෙර කී ලිංගික වශයෙන් හුදකලා වීමේ ලක්‌ෂණය හඳුනාගත හැකිය. මහාචාර්ය මාර්ටින් මොන්ටෝට අනුව රැකියාව හේතුකොට ගෙන ඇතිවන්නා වූ ලිංගික හුදකලාව මත සෑම පිරිමියෙක්‌ම ලිංගික ශ්‍රමිකයන් සොයා නොයති. ඒ සඳහා විශේෂයෙන්ම පුද්ගලයාගේ පෞරුෂය මෙන්ම වෘත්තිය සංස්‌කෘතිය බලපානු ලබයි. ඔහු මේ පිළිබඳව සඳහන් කරන ලද්දේ හිටපු ඇමරිකානු ජනපති බැරක්‌ ඔබාමා මෑතකදී කොලොම්බියාවේ සිදුකළ සංචාරයක දී ඔහුගේ රාජ්‍ය ආරක්‌ෂකයින් ලිංගික සේවිකාවන් කුලියට ගත් බවට එල්ලවන චෝදනා පැහැදිලි කරමිනි. ලිංගික පහස මුදලට ගන්නා වූ සහ ලිංගික හුදකලාවෙන් බැටකන තවත් පුද්ගල කණ්‌ඩායමක්‌ ලෙස වැන්දඹු පුරුෂයන් හඳුන්වා දිය හැකිය. තමන්ගේ ලිංගික හුදකලාව නැතිකර ගැනීම සඳහා ඔවුහු ලිංගික ශ්‍රමිකයන් සොයායති. ඉන්දීය සමාජ පර්යේෂක විශ්වනාත් ජෝදාර්ගේ පෙර සඳහන් කළ පර්යේෂණයේදී අදහස්‌ දැක්‌වූ ඉන්දීය ලිංගික ශ්‍රමිකයන් පවසනුයේ ඔවුන් මෙම වැන්දඹු පුරුෂයන් සමඟ ලිංගික සබඳතා පැවැත්වීමට වඩාත් බියක්‌ සහ අකමැත්තක්‌ දක්‌වන බවයි. එයට හේතුව මොවුන් ලිංගික ශ්‍රමිකයා තුළින් තම මියගිය භාර්යාවගේ සෙනෙහස, ආදරය සෙවීමයි. ඔවුන් චිත්තවේගීමය බැඳීම් ඇතිකර ගැනීමට උත්සාහ ගැනීමයි. ජීවිත කාලයම එකම ලිංගික ශ්‍රමිකයෙක්‌ සමඟ කාලය ගත කිරීමට සහ විවාහ වීමට ඔවුහු උත්සාහ කරති. නමුත් එය ලිංගික ශ්‍රමිකයන්ට තම වෘත්තිය ඉදිරියට ගෙන යැමට බාධාවකි. ලිංගික සේවය තුළ කායික බැඳීම්වලට එහා ගිය චිත්තවේගීමය බැඳීම් ඉතා අල්පය. එබැවින් වැන්දඹු පුරුෂයන් සේවාදායකයන් ලෙස ආශ්‍රය කිරීමේදී ලිංගික ශ්‍රමිකයන් දැඩි ලෙස ප්‍රවේශම් වෙති.
 
 ලිංගික ශ්‍රමිකයන් සොයා පිරිමින් ඇදී යන තවත් ප්‍රධාන හේතුවක්‌ ලෙස සමහර පිරිමින් කාන්තාවන් සමඟ ආදර සබඳතා හෝ සමීප සබඳතා ඇතිකර ගැනීමට දක්‌වන බිය හඳුන්වා දිය හැකිය. මිසෝරි විශ්වවිද්‍යාල ආචාර්ය එච්. එම්. ටෙලන් 2000 වර්ෂයේ සිදුකළ පර්යේෂණයකින් හෙළිවූයේ කාන්තාවන්ට සාපේක්‌ෂව පිරිමින් තුළ සමීප ආදර සබඳතා පැවැත්වීමට බියක්‌ ඇතිබවයි. කෙසේ වෙතත් සමහර පිරිමින් තුළ මෙම බිය අසාමාන්‍ය ලෙස පැවතීම සබඳතා පැවැත්වීමේ දී ඇති අසාමාන්‍ය ලැඡ්ජාව, වයස්‌ගත වීම හෝ ශාරීරික හෝ මානසික දුබලතාවන් හේතුවිය හැක. නමුත් ලිංගික ශ්‍රමික ඇසුර මෙම කොට්‌ඨාසයට තම අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සුවපහසු වටපිටාවක්‌ නිර්මාණය කරදෙයි. මන්ද යත් මෙම සම්බන්ධතාවන් ඉතා කෙටිකාලීනය. බැඳීම්වලින් තොරය. වගකීමක්‌ හෝ තමාව තක්‌සේරු කිරීමක්‌ නොමැත. මෙවැනි වටපිටාවක්‌ කාන්තා සම්බන්ධකම්වලට බිය පිරිමින් ලිංගික ශ්‍රමිකයන් සොයා යැමට පෙළඹවීම දැකිය හැකිය.

 එසේම යුරෝපීය රටවල පාසල් ළමුන් විශේෂයෙන්ම නව යොවුන්වියේ පසුවන්නන් මුදලට ලිංගික පහස සොයායන බව පර්යේෂණවලින් හෙළිවී ඇත. ලාංකීය සමාජය තුළ ද මෙවැනි ප්‍රවණාතාවක්‌ නැතැයි කීම මුසාවකි. උදාහරණයක්‌ වශයෙන් පසුගිය දා මැද්දේගම ප්‍රදේශයේ දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්‌වූ වයඹ පළාත් සහ උතුරුමැද පළාත් භාර නියොජ්‍ය පොලිස්‌පතිවරුන්ගේ මතයට අනුව කුරුණෑගල දිස්‌ත්‍රිකයේ පාසල් දරුවන් ඉලක්‌ක කර ගනිමින් ජාවාරම් සහ අපචාර ක්‍රියා සිදුවීම ඉහළ ගොස්‌ තිබේ. ගම්පහ දිස්‌ත්‍රිස්‌කය ආශ්‍රිතව ද උපකාර පන්ති සඳහා සහභාගි වන සිසු සිසුවියන් ඉලක්‌ක කර ගනිමින් ද මෙවැනි අපචාර ක්‍රියා සිදුවන බව මීට මාස කිහිපයකට පෙර පළ වූ පුවත්පත් ලිපි සාක්‌ෂි දරයි. නව යෞවනයන් මෙවැනි අවධානම් චර්යාවලට පෙළඹීමට ප්‍රධාන හේතුවක්‌ ලෙස ලිංගිකත්වය පිළිබඳව ඔවුන් තුළ පවත්නා කුතුහලය හඳුනාගත හැකිය. නව යොවුන්විය පුද්ගලයා කායික මෙන්ම මානසික වශයෙන් ද විශාල පෙරළියකට බඳුන් කරන කාලසීමාවකි. මහාචාර්ය ස්‌ටැන්ලි ජී. හොල් මෙම කාල සීමාව සුළි කුණාටු සමයකට සමාන කර ඇත්තේ ද එබැවිනි. මේ කාල පරාසය තුළ යෞවනයන් තමන් තුළ ඇතිවන කුතුහලය පදනම් කර ගනිමින් විවිධ වූ අවදානම් චර්යාවල නිරත වෙති. ඔවුන් ලිංගික ශ්‍රමිකයන් සොයා යන්නේ ද මෙකී වටපිටාව තුළය. විශේෂයෙන්ම නූතන ගෝලීයකරණය යටතේ යෞවනයන් අන්තර්ජාලය සහ සමාජ ජාලා ඔස්‌සේ ලිංගිකත්වයට නිරාවරණය වීම ඔවුන් එකී අත්දැකීම් අත්හදා බැලීමට යොමුකරවයි. නූතන ලාංකික සමාජය ගමන් කරන අගාධය බැලූවිට අප සමාජයේ නව යෞවනයට පා තබන්නන් ඇටෙන් පොත්තෙන් එළියට එමටත් පෙර ලිංගික පහස මුදලට සොයායැම සාමාන්‍යකරණය වන දිනය වැඩි ඈතක නොවන බව නම් පැහැදිලිය.
 ඉහත කී සාධකවල පොදු සාධකයක්‌ ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය. එනම් මෙම පුද්ගල කොට්‌ඨාසයන් සෘජුව සහ සමීපව ස්‌ත්‍රීයක්‌ සමඟ සමීප සබඳතා ගොඩනඟා ගෙන නොතිබීමයි. මිළඟට අපගේ අවධානය යොමුවන්නේ සියලු රටවල සියලු කාලසීමාවන් සඳහා පොදු කාරණයක්‌ වෙතටය. එනම් විවාහක පිරිමින් ලිංගික ශ්‍රමිකයන් වෙත ඇදී යන්නේ ඇයි ද යන්නයි. සැබවින්ම මෙම ගැටලුව බොහෝ විවාහක ස්‌ත්‍රීන් මානසිකව බිඳවැටීමට ලක්‌කරන්නක්‌ සේම විවාහ සංස්‌ථා දෙදරා යැමට හේතුවන්නා වූ වෛරසයකි. එබැවින් මෙහිදී ඒ පිළිබඳව ද විද්‍යාත්මක හේතු සාධක සෙවීමට යත්න දැරීමු.
 
 සාර්ථක විවාහ ජීවිතයකට සැමියා සහ බිරිඳගේ ලිංගික ජීවිතය ඉතා වැදගත් මෙහෙයක්‌ ඉටු කරනු ලබයි. විවාහ ජීවිතය සහ ලිංගික ජීවිතය අෙන්‍යාන්‍ය ලෙස බැදී පවතී. මින් එක්‌ පාර්ශ්වයක්‌ හෝ අසාර්ථක වී නම් එය අනෙක්‌ පාර්ශ්වයට දැඩි ලෙස බලපෑම් කරනු ලබයි. ඇමරිකානු වෛද්‍ය ආචාර්ය පැමෙලා රොජස්‌ට අනුව සෞඛ්‍යමත් ලිංගික ජීවිතයක්‌ විවාහ ජීවිතයට පමණක්‌ නොව සමස්‌ත ජීවිතයේම ගුණාත්මක බවට බලපෑම් කරනු ලබයි. මෙකී ලිංගික ජීවිතයේ පවත්නා විවිධ වූ අසාර්ථක වීම් සෘජුවම පුරුෂයා ලිංගික ශ්‍රමිකයන් වෙත යොමුවීමට මඟපාදන බව පර්යේෂණවලින් සොයා ගෙන ඇත. විශේෂයෙන්ම බිරිඳ ලිංගික ජීවිතය ප්‍රතික්‌ෂේප කිරීම හෝ ඒ සඳහා වැඩි අවධානයක්‌ යොමු නොකිරීම හඳුනාගත හැකිය. හෝමෝනවල පවත්නා යම් යම් දුර්වලතා මෙන්ම කාන්තාවගේ අකමැත්තෙන් සිදුවන විවාහවලදී සැමියා සමඟ චිත්තවේගීමය බැඳීමක්‌ නොතිබීම වැනි කාරණා මීට හේතුවිය හැක. නමුත් පර්යේෂණයන් මීට අමතර කරුණකට වැඩි අවධානය දක්‌වා ඇති බව පෙනේ.
 
 ලිපියේ ඉහතින් දැක්‌වූ ආකාරයට ජීව විද්‍යාත්මකව කාන්තාව තම චිත්තවේගයන් සමග දැඩිව බැදී පවතී. බොහො අවස්‌ථාවලදී ඇය ලිංගික ජීවිතයට එහා ගිය චිත්තවේගී බැඳිම්වලින් යුත් දරුවන් පිරිවරාගත් පවුල් ජීවිතයට ආශා කරන්නීය.
 
 මේ හේතුවෙන් කාන්තාව විවාහ ජීවිතයෙන් කලක්‌ ගිය පසු ලිංගික ජීවිතයට අඩු අවධානයක්‌ යොමුකොට පවුල් ජීවිතයට මුල්තැනක්‌ ලබාදෙයි. නමුත් පිරිමියා ඊට වෙනස්‌ය. ඔහුට දීර්ඝ කාලීනව සෞඛ්‍යමත් ලිංගික ජීවිතයක අවශ්‍යතාවය පවතී. පවුල් ජීවිතය සහ ලිංගික ජීවිතය ඔහු සමතැනේලා සලකනු ලබයි. සැමියා සහ බිරිඳ අතර පවතින්නා වූ මෙකී අවිඥානික ඝට්‌ටනය විවාහ ජීවිතය තුළ ගැටලුකාරී පසුබිමක්‌ නිර්මාණය කිරීමට හේතුවේ. එපමණක්‌ ද නොව මෙය පිරිමියා මුදලට තම අවශ්‍යතාවන් සපුරා ගැනීමට පෙළඹවීමට ද මාවතක්‌ වේ.
 
 පර්යේෂණවලට අනුව කාන්තාවන් විවාහයෙන් පසු තම රූපසොබාව කෙරෙහි දක්‌වන්නා වූ අවධානය ක්‍රමයෙන් මැකී යයි. ලාංකීය සමාජය දෙස බැලූවිට මෙම කාරණය හොඳින්ම වටහාගත හැක. විවාහයෙන් කලක්‌ ගත වූ පසු කාන්තාවන් තම දරුපවුල වෙත පූර්ණ අවධානය යොමු කරන්නේ තම පෙනුම කෙරෙහි අඩු අවධානයක්‌ පමණක්‌ යොමු කරමිනි. ලාංකීය සංස්‌කෘතිය තුළ පවත්නා විවිධ සමාජ රාමුන් මෙම ගැටලුව සදහා වගකිව යුතුවේ. විශේෂයෙන්ම දරුවන් සිටින මවක්‌ තමන්ට අවශ්‍ය පරිදි විලාසිතාවන් තෝරාගැනීම, ව්‍යායාම් මගින් තම ශරීරයේ හැඩය පවත්වා ගැනීම වැනි කාරණා සදහා බොහෝ අවස්‌ථාවල මැලිකමක්‌ දක්‌වන්නේ සංස්‌කෘතික බලපෑම නිසාය. නමුත් සැමියාගේ අපේක්‌ෂාවන් පවතින්නේ මෙකී සමාජ රාමුවලට ඔබ්බෙන්ය. ඔහුට අවශ්‍යවන්නේ උත්සව අවස්‌ථාවකට යැමට සැරසීමේ දී පමණක්‌ බිරිඳව සුන්දර ලෙස දැකීම නොවේ. ඔහු එම සුන්දරත්වය නිතර දැකීමට අපේක්‌ෂාවෙන් සිටියි. නමුත් එම අපේක්‌ෂාවන් සුන්වන කල ඔවුන්ගේ ලිංගික ජීවිතය අඩපණ වේ. පිරිමියා ලිංගික පහස මුදලට සොයායති. 
 ලිංගිකත්වය සෑම මනුෂ්‍යයකුටම පොදු වුවත් ලිංගික ආශාවන් පුද්ගලානුබද්ධය. විටෙක එම ලිංගික ආශාවන් අසාමාන්‍ය විය හැක. උදාහරණයක්‌ වශයෙන් තම සහයකයාව වේදනාවට පත්කිරීම ඔස්‌සේ ලිංගික සංතෘප්තිය ලැබීම (sadism) වැනි අසාමාන්‍ය ලිංගික හැසිරීම් දැක්‌විය හැක. ඇමරිකාව ප්‍රමුඛ කරගනිමින් රටවල් 29ක කළ පර්යේෂණයන්ගෙන් හෙළි වූයේ එකී පර්යේෂණයට බඳුන් වූවන්ගෙන් 51% මෙකී අසාමාන්‍ය ලිංගික තත්ත්වයට මුහුණ පා හෝ එය අත්හදා ඇති බවයි. අප සමාජයේ කාලයක්‌ ප්‍රසිද්ධව පැවති "ග්‍රිස්‌ යකා" සංකල්පය ද මෙවැනි අසාමාන්‍ය ලිංගික ආශාවන්ගේ පිළිබිඹුවකි. ළමා කාලයේ අත්දැකීම්, ජීව විද්‍යාත්මක අසමානතා මෙකී අසාමාන්‍ය චර්යාවන්ට පුද්ගලයා මෙහෙයවයි. නමුත් පුද්ගලානුබද්ධ ලිංගික ආශාවන්ගෙන් බොහොමයක්‌ අසාමාන්‍ය නොවේ. නමුත් බොහෝ පිරිමින් සිතන්නේ තමාට පවතින ලිංගික ආශාවන් අසාමාන්‍ය බවයි. එබැවින් ස්‌වකීය ආශාවන් තම සහකාරියට පැවසීමට ඔවුහු මැලිවෙති. සඟවා තබාගනිති.
 
 සමහර පුද්ගලයන් තම සහකාරිය ඉදිරිපිට දැඩි ලෙස ලැ-ජාශීලිය. මෙයද පිරිමින් තම ලිංගික ආශාවන් සඟවා තබා ගැනීමට පොළඹවනු ලබයි. මේ දෙකොට්‌ඨාසයම තම ලිංගික ආශාවන් තම සහකාරියට නිරාවරණය වුවහොත් ඒ හරහා ඇය තමන් පිළිබඳ පවතින ආකල්පය වෙනස්‌ වේ යෑයි සිතති. තමා මානසික අසහනකාරයකු යෑයි වරදවා වටහා ගනී යෑයි සිතති. මෙවැනි ආකල්පයන් මත තමාගේ සඟවා සිටින ලිංගික ආශාවන් පිටකිරීමේ මාර්ගය ලෙස ඔවුන් බහුතරයක්‌ දෙනා තෝරාගන්නේ ලිංගික ශ්‍රමිකයන්ය. මෙම සබඳතාව මුදල් මත පමණක්‌ රඳා පවතින බැවින් සේවාදායකයා තක්‌සේරුවකින් තොරව ඔහුගේ ඕනෑම ආශාවක්‌ ඉෂ්ට කර දීමට ලිංගික ශ්‍රමිකයන් සූදානමින් සිටියි.
 
 සමාජවිද්‍යා සහ මනෝවිද්‍යා පර්යේෂකයන්ට අනුව බොහෝ විවාහකයෝ තම ප්‍රථම දරු ප්‍රසූතියෙන් පසු තම ලිංගික ජීවිතය කෙරෙහි දක්‌වන්නා වූ අවධානය අඩු කරති. මෙය ස්‌ත්‍රී පූරුෂ දෙපාර්ශ්වයේම පොදු අවිඥානික ක්‍රියාවලියකි. ආචාර්ය කේ. එස්‌. හෝවාර්ඩ් 2009 දී කළ පර්යේෂණයකින් හෙළිවූයේ අන් කාලවලට සාපේක්‌ෂව පළමු දරුවා ඉපදී මාස 12 - 18 ක්‌ අතර කාලය තුළ වැඩි වශයෙන්ම දික්‌කසාදයක්‌ සිදුවන බවයි. ඔහුට අනුව එතෙක්‌ පැවති විවාහ සහ ලිංගික දිවියේ සිදුවන ක්‌ෂණික වෙනස්‌වීම් මෙයට හේතු වේ. විශේෂයෙන්ම කාන්තාව තම සැමියා කෙරෙහි දක්‌වන්නා වූ අවධානය සිය පවුල වෙත යෙදවීම මෙහිදී සිදුවේ. බොහෝ සැමියන්ට බිරිඳගේ මෙකී වෙනස්‌වීම් දරාගැනීම අපහසුය. පර්යේෂකයන්ට අනුව කාන්තාවෝ පළමු දරු ප්‍රසූතියෙන් පසු කලක්‌ යනතුරු ලිංගික එක්‌වීම ප්‍රතික්‌ෂේප කිරීම හෝ ලිංගික එක්‌වීමේදී උපත් පාලන ක්‍රමයන් භාවිතා කරන ලෙස ආයාචනා කරති. දෙවන දරු ප්‍රසූතියකට තවමත් ශරීරය සූදානම්ව නොතිබීම, හොර්මෝනවල ක්‍රියාකාරීත්වයන් මීට බලපානු ලබයි. බාහිරට දර්ශනය නොකළ ද පිරිමින්ට මෙම වෙනස්‌වීම් මානසිකව වදදෙයි. මෙම වටපිටාව පිරිමින්ව මුදලට ලිංගික පහස සොයා යැමට මෙහෙයවයි. එසේම මෙම ඇසුර තුළ පිරිමියාට වගකීමක්‌ නොමැත. මුදල් දුන් පසු සියල්ල අවසන්ය.
 
 මහාචාර්ය ඇල්බට්‌ එලිස්‌ වැනි ලොව ප්‍රසිද්ධ විවාහ උපදේශකයන්ට අනුව සමහර කාන්තාවෝ ලිංගිකත්වය යන කාරණය පිරිමියා පාලනය කරන්නා වූ උපකරණයක්‌ ලෙස භාවිතා කරති. තමන්ගේ විවිධ වූ ආසාවන් ඈ තම සහකරුට පවසන්නේ රෑ ඇඳ මතදීය. මෙම උපක්‍රමය තුළ දී පිරිමියා අසරණතාවයට පත්වේ. දිගින් දිගටම මෙසේ සිදුවීම පිරිමියා ලිංගික ජීවිතය සහ විවාහ ජීවිතය කෙරෙහි කලකිරවයි. තම සහකාරියගෙන් වෙන්වූ තමාට නිදහසේ සැරිය හැකි ලිංගික ලෝකයක්‌ ඔවූහු සොයති. එවැනි බොහෝ පිරිමින්ගේ ගමනාන්තය ලිංගික ශ්‍රමිකයන්ය.
 
 සමාජ පර්යේෂක ආචාර්ය ඩ්‍රසස්‌ගාට අනුව ලිංගික ශ්‍රමිකයන් වෙත යොමුවන යහළුවන් ඇසුරු කිරීම, අධික මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටීම සහ ශාරීරිකව පවතින්නා වූ විකලාංග ස්‌වභාවයන් වැනි හේතු සාධකයන් ද පිරිමින් මුදලට ලිංගික පහස සොයා යැමට පොළඹවනු ලබයි. 
මෙකී හේතූන් තුළ අපට එක්‌ පුද්ගලයකුට හෝ පාර්ශ්වයකටම වැරැද්ද පැටවිය නොහැක. අප කළ යුත්තේ ද එය නොවේ. මේ ඒ සඳහා පිළිතුරු සෙවිය යුතු කාලයයි. වර්තමානයේ ශ්‍රී ලංකා ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස්‌ නිවාරණ වැඩසටහන සහ විවිධ වූ රාජ්‍ය නොවන සංවිධාන එකතු වී සිදුකරන්නා වූ සමාජ දැනුවත් කිරීමේ වැඩසටහන් සැබවින්ම ප්‍රසංසනීය ය. ඊට අමතරව මේ සඳහා සමාජයක්‌ වශයෙන් සහ පෞද්ගලිකව සිදුකළ යුතු සහ කළ හැකි දෑ බොහෝය.
 
 විවාහ ජීවිතයක්‌ තුළ අෙන්‍යාන්‍ය අවබෝධය ඉතා වැදගත්ය. අනෙකාට තම ජීවිතය තුළ අවස්‌ථාවන් නිර්මාණය කරදීම, අනෙකාගේ අවශ්‍යතාවයන් තේරුම් ගැනීම, ඒකාකාරී යුගදිවියට නව මුහුණුවරක්‌ ලබාදීම (මාස කිහිපයකට වරක්‌ හෝ විනෝද චාරිකාවක්‌ යැම) වැනි දෑ සබඳතාවක්‌ තීව්‍ර කරයි. එසේ තීව්‍ර සබඳතාවයක්‌ තුළ එක්‌ පාර්ශ්වයකට අනෙකාව තේරුම් ගැනීම පහසුය. අනෙකාට ආවේණික ආශාවන් සහ ඒවා සපුරා ගන්නා ආකාරය ද හොඳින් දනියි. මෙවැනි වටපිටාවක්‌ තුළ පිරිමියා වෙනත් ලිංගික ඇසුරක්‌ සොයා යැම අති දුර්ලභය.
 
 එසේම විවාහ සංස්‌ථාව තුළ ඒ ඒ අවස්‌ථාවන්ට අදාළ භූමිකාවන් පුද්ගලයා නිවැරදිව හඳුනාගත හැකිය. ආසියානු සංස්‌කෘතිය තුළ බොහෝ විට කාන්තාවන් මවගේ භූමිකාව ඉතා හොඳින් රඟ දක්‌වන්නේ විටෙක බිරිඳ යන භූමිකාවට ඉතා අවධානයක්‌ යොමු කරමිනි. තම රූපය ගැන අවධානය අඩුවීම, ලිංගිකත්වය පිළිබඳව එතරම් කැමැත්තක්‌ නොදැක්‌වීම වැනි තත්ත්වයන් උද්ගත වන්නේ මෙවන් වටපිටාවක්‌ තුළය. පිරිමියා නිදි ඇෙඳ්දී සංස්‌කෘතික රාමුවෙන් එහාගිය වෛශ්‍යාවක්‌ සහකාරියගෙන් බලාපොරොත්තු වන බව සිග්මන් ෆ්‍රොයිඩ් තම "මැඩෝනා සහ වෛශ්‍යාව" සංකල්පයේදී පවසයි. ඔහු එහිදී අර්ථ ගැන්වීමට උත්සාහ කරන්නේ නිදි ඇෙඳ්දී ලිංගික වශයෙන් සක්‍රීය තැනැත්තියක්‌ පිරිමියා බලාපොරොත්තු වන බවයි. එබැවින් විවාහ සංස්‌ථාවක්‌ තුළ ඒ ඒ අවස්‌ථාවට උචිත වන ලෙස තම භූමිකාව රඟ දක්‌වයි නම් පිරිමින් පවුලෙන් ඈත් වී ලිංගිකත්වය සොයා යැම වළක්‌වයි.
 
තවද මෙම සාකච්ඡාවේ දී නව යෞවනයන් තුළ ඇතිවන්නා වූ සීඝ්‍ර වෙනස්‌වීම් සහ ලිංගිකත්වය පිළිබදව ද අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. මන්ද මෙම අවධියේ දී ඔවුන් තුළ ඇතිවන කුතුහලය නිසා අත්හදා බැලීම් සඳහා යොමුවීමේ ප්‍රවණතාවක්‌ ඇත. එමනිසා විශේෂයෙන්ම වර්තමානයේ දෙමව්පියන් සිය අවධානය තම නව යොවුන් වියේ පසුවන දරුවා වෙත යොමුකිරීම අත්‍යවශ්‍ය වේ. එසේම සමාජ ගවේෂණයට තම දරුවා යොමු කළ යුත්තේ ඔහුව පාලනය කරන දුරස්‌ථ පාලකය දෙමව්පියන් සිය අතේ තබාගෙනය. මෙම කාලසීමාව තුළ යෞවනයන්ට ඇතිවන කුතුහලයන් පිළිබඳව දෙමව්පියන් ඔවුන් සමඟ සාකාච්ඡා කළ යුතුය. අවාසනාවකට තවමත් අප සමාජය තුළ ලිංගිකත්වය සාකච්ඡාවට අකැපය. ශ්‍රී ලංකාවේ ඉහළපෙළේ විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයන් සිය දෙනෙක්‌ ඇසුරින් කරන ලද පර්යේෂණයකින් හෙළිවූයේ නියෑඳියේ පිරිමි සිසුන් කිසිවකු දෙමව්පියන්ගෙන් ලිංගික අධ්‍යාපනයක්‌ ලබා නොමැති බවයි. ගැහැණු ළමුන්ගේ ප්‍රතිශතය ද ඉතා අවමය. විටෙක දෙමව්පියන් තරගකාරී සමාජය තුළ කාර්යබහුල වීම වැනි හේතු නව යෞවනයන්ට තමන් තුළ ඇති කුතුහලය විසඳා ගැනීමට තිබෙන්නා වූ මාවත් අහුරයි. මෙහිදී දෙමාව්පියන් තම දරුවා නිවැරදිව හදුනාගෙන ඔවුන් සමඟ වැඩි කාලයක්‌ ගත කිරීම ඉතා වැදගත්ය. 
 දකුණු ආසියාතික සමාජය තුළ තවමත් විවාහ සහ පවුල් උපදේශනය වැනි විවාහ ගැටලු විසඳන්නා වූ විද්‍යාත්මක ක්‍රමවේදයන් වෙත යොමුවීමේ දැඩි පසුබැස්‌මක්‌ දක්‌නට ලැබේ. එවන් උපදේශන සේවාවන් ලබාගැනීමට පුද්ගලයන් වෙත සමාජය දක්‌වන්නා වූ සෘණාත්මක ආකල්පය මෙම පසුබැස්‌මට ප්‍රධාන හේතුවකි. අනික්‌ අතට එසේ සිටින්නා වූ බොහෝ උපදේශකයන්ගේ සුදුසුකම් පිළිබඳව ද ගැටලු පවතී. මෙවැනි තත්ත්වයක්‌ තුළ නියපොත්තෙන් කඩා දැමිය හැකි ගැටලු පොරවෙන් ගසාවත් ඉවත් කළ නොහැකි තරමට උඩුදුවවයි. අප මේ පසුකරමින් තිබෙන්නේ විවාහ සහ පවුල් උපදේශනය ලාංකීය සමාජය තුළ සමාජගත කළ යුතු කාලයකි.
 
 මේ සියලු කාරණා සමාජගත කිරීමට තිබෙන හොඳම මාර්ගය අධ්‍යාපනයයි. විෂය නිර්දේශය තුළ තිබෙන්නා වූ සුළු ලිංගික අධ්‍යාපනය පවා ගුරුවරු ලබා නොදෙන තරම්ය. අවම වශයෙන් උසස්‌ පෙළ සහ විශ්වවිද්‍යාල මට්‌ටමින්වත් විධිමත් ලිංගික අධ්‍යාපනයක්‌ ලබාදීම සඳහා ලාංකික අධ්‍යාපන ක්‍රමය සකස්‌ විය යුතුය. විධිමත් ලිංගික අධ්‍යාපනයකින් තොර සමාජයක ලිංගික ශ්‍රමිකයන් වෙත යන්නවුන්ගේ වර්ධනය පුදුමයක්‌ නොවේ.
 
 සමාජයක්‌ වශයෙන් අප තවදුරටත් ලිංගික සේවය නීතිගත කළ යුතු ද එසේත් නැත්නම් ලිංගික ශ්‍රමිකයන්ට ලබාදිය යුතු දඬුවම් කෙබඳු විය යුතුද වැනි ගැටලුවලින් ඔබ්බේ පවතින්නා වූ මෙවන් වෘත්තියක්‌ සමාජගත වීමට සහ මිනිසුන් ඒ වෙත ඇදී යැමට බලපාන්නා වූ හේතූන් පිළිබඳව සමාජ කතිකාවතක්‌ නිර්මාණය කරගත යුතුය. මන්දයත් හේතූන් නිෂ්ක්‍රීය කිරීමකින් තොරව ඵලය මුලිනුපුටා දැමීම පිළිබඳ සාකාච්ඡාව නිෂ්ඵල බැවිනි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top