මෙම ෆේස්‌බුක්‌ සාදය සඳහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණ තරුණියන් 150 දෙනකුට අධික පිරිසක්‌ සහභාගි වී ඇත. අත්අඩංගුවට ගත් තරුණයන් කීපදෙනකු සතුව තිබූ අයිස්‌ නමැති මත්ද්‍රව්‍යය, ඩාන්සින් ටැබ්ලට්‌, ගංජා ඇතුළු තවත් මත්ද්‍රව්‍ය වර්ග කීපයක්‌ද පොලිසිය විසින් සොයාගෙන ඇත. විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ විසින් මෙම තරුණ තරුණියන් අත්අඩංගුවට ගත් අතර තවත් විශාල පිරිසක්‌ පොලිසියෙන් බේරී පලාගොස්‌ තිබේ.

මෙම ෆේස්‌බුක්‌ සාදය පිළිබඳව තොරතුරු පොලිසිය වෙත මුලින්ම ලබාදී ඇත්තේ රත්නපුර වේවැල්වත්ත ප්‍රදේශයේ ජනතාව විසින්ය. ෆේස්‌බුක්‌ සාදය නිමකර මත්ද්‍රව්‍ය පානය කර නිවෙස්‌ බලා යමින් සිටි පිරිසක්‌ රැගත් වාහනයක්‌ වේවැල්වත්ත ප්‍රදේශයේදී මහමඟ ගමන්ගත් ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුරට ලක්‌ව ඇත්තේ පෙරේදා (14දා) සවස 06 ට පමණය. එම අනතුරින් පසු කෝපයට පත්වූ ප්‍රදේශවාසීන් ෆේස්‌බුක්‌ සාදයට පැමිණි පිරිසකට පහරදී ඔවුන් අල්ලාගෙන රත්නපුර පොලිසියට භාරදී ඇත.

මත්ද්‍රව්‍ය භාවිත කරමින් පැවැති සාදය පිළිබඳ තොරතුරු ලැබීමෙන් පසු ක්‍රියාත්මක වූ පොලිසිය ඊට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක්‌ අත්අඩංගුවට ගත්හ. එම සැකකරුවන් අතර තරුණයෝ විසිදෙනෙක්‌ සහ තරුණියෝ 23 දෙනෙක්‌ සිටියහ.

ෆේස්‌බුක්‌ සමාජ ජාලා වෙබ් අඩවිය හරහා හඳුනාගත් තරුණ තරුණියන් කොළඹ, රත්මලාන, දෙහිවල, වැල්ලවත්ත, වාද්දුව, කළුතර ඇතුළු ප්‍රදේශ ගණනාවක සිට රත්නපුරයට පැමිණ සිටි බව විමර්ශන වලින් හෙළිවී ඇත. රත්නපුර වේවැල්ල වත්ත දුරේකන්ද ප්‍රදේශයේ පාළු ස්‌ථානයක පිහිටි සංචාරක බංගලාවක්‌ මොවුන් මෙම සාදය සඳහා සූදානම් කර ඇත.

රුපියල් 25,000 ක කුලී පදනමක්‌ මත මෙම බංගලාව ලබා ගත් ෆේස්‌බුක්‌ මිතුරු කැල සාදය සඳහා පැමිණ ඇත්තේ (13 වැනිදා) සවස්‌ කාලයේදීය. රත්නපුර ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 4 1/2 ක්‌ පමණ දුරින් වූ පාළු ප්‍රදේශයක මෙම බංගලාව පිහිටා තිබූ අතර එහි යැම සඳහා වෙනම ලොරි රථ සේවාවක්‌ද යොදවා තිබී ඇත.

දින දෙකක්‌ තිස්‌සේ මෙම සාදය පවත්වා ඇති පිරිස පෙරේදා (14 වැනිදා) සවස ආපසු සිය නිවෙස්‌ බලා යාමට පිටත්වී ඇත. මත්ද්‍රව්‍ය පානය කරමින් නිරුවත් රුඟුම්වල යෙදෙමින් ඉතාම අශෝභන ලෙස මෙම පිරිස හැසිරී ඇති බව විමර්ශන වලින් හෙළිවී තිබේ. මෙහිදී අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් 43 දෙනා අතරින් 39 දෙනකු පොලිස්‌ ඇප මත මුදාහැර ඇත. මත්ද්‍රව්‍ය ළඟ තබාගත් තරුණයන් සිවුදෙනකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිස්‌ ආරංචි මාර්ග පැවැසීය.

මේ අතර මෙම සාදය සංවිධානය කළ පුද්ගලයන් සහ සංචාරක බංගලාව කුලියට ලබාදුන් පුද්ගලයන් පොලිස්‌ භාරයට ගැනීමට කටයුතු කරමින් සිටියි.