‘‘අම්මාගෙයි, තාත්තගෙයි එකම සිහිනය වුණේ මට හොඳට උගන්වන්න. පුංචි කාලේ ඉඳලා මමත් ඉගෙනීමට හරිම දක්‍ෂයි. මුලින්ම මම ගියේ පාදුක්කෙ ප්‍රධාන පාසලකට. ඒ පාසලෙන් සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වුණා. උසස් පෙළ කරන්න හොරණ ජනප්‍රිය පාසලකට ඇතුළත් වුණා. උසස් පෙළට තෝරගත්තෙ කලා විෂයන්. ඒත් උසස් පෙළින් උසස් අධ්‍යාපනයට ඇතුළත් වෙන්න වරම් නැති වුණා. සී දෙකයි, එස් එකකින් සෑහීමකට පත් වෙන්න වුණා. විභාග ප්‍රතිඵල අඩු වෙන්න ප්‍රධාන හේතුව වුණේ එතකොට මම තදින්ම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා සිටීම…’’

‘‘ගමේ පාසලේ 10 වසර පන්තියේදී තමයි මුලින්ම අරක්කු උගුරක් බිව්වේ. ඊට පස්සේ යාළුවොත් එක්ක සෙට් වෙලා අරක්කු පාටි දැම්මා. සාමාන්‍ය පෙළ විභාගයට පාඩම් කළේ අපේ ගෙදර. මාත් එක්ක යාළුවො හතරදෙනෙක් පාඩම් කරන්න හිටියා. තාත්තායි, අම්මයි දවල් දවසටම ගෙදර නෑ. අපි පාඩම් කරන එක පැත්තකින් තියලා හොඳට අරක්කු බිව්වා. වැඩියෙන්ම බිව්වේ කසිප්පු. ඒ කාලේ අපේ ගෙදරට අල්ලපු වෙලෙන් එහා පැත්තේ දිගටම කසිප්පු පෙරනවා. ඒ කසිප්පු පෙරන අයියලා මාත් එක්ක බොහෝම හිතවත්. ඒ අයගෙන් කසිප්පු බෝතලයක් ඉල්ලපු සුනංගුවට බෝතල්, දෙක තුන දුන්නා. අපිත් දුන්න සේරම බිව්වා. පාඩම් කරන්න තියා කෙළින් ඉන්න බැරි ගානට වෙරි වෙලා වමනේ දාගෙන වැටිලා නිදාගත්තා. ඒත් අපිට කසිප්පු එපා වුණේ නෑ. ඇල්කොහොල් ඇඟට පත්තියං වෙනකොට ඉස්කෝලේ වෙලාවෙත් අරක්කු බිව්වා…’’

‘‘අරක්කු බිව්වම ගඳ එන නිසා මත් පෙති, පැණි බොන්න පටන් ගත්තා. සමහර දවස්වල උදේට ගන්න පැණි බෝතලය දවල් ඉන්ටර්වල් වෙනකොට බීලා ඉවරයි. එකොළහා වසර පන්තියේ අන්තිම කාලේ වෙනකොට මත්ද්‍රව්‍ය ගන්නේ නැතිව ඉන්නම බැරි වුණා. සමහර දවස්වල උදේට ටී වෙනුවට මත් පැණි බිව්වේ. ඒ වෙනකොට අපි මත්ද්‍රව්‍ය ගන්නවා කියලා ගුරුවරු දැනගෙන හිටියා. පන්ති කට් කරලා ඉස්කෝලෙන් පැනලා ගිහින් ගුටි කාපු වාර අනන්තයි. ඒත් ගුරුවරු මාව අතහැරියේ නෑ. මඟහැරෙන නෝට් දීලා කොහොමහරි ඇදගෙන ගියා. ගුරුවරුන්ට පින්සිද්ධ වෙන්න තමයි සාමාන්‍ය පෙළ විභාගය ගොඩ දාගත්තේ…’’

‘‘සාමාන්‍ය පෙළ විභාගය කරලා ගෙදර ඉන්න කාලේ තනිකර කෙළියේ පිස්සු. ඒ කාලේදී තමයි, මම කුඩු උරන්න පටන් ගත්තේ. මට මුලින්ම කුඩු බොන්න දුන්නේ කෙල්ලෙක්. එතකොට මම නුගේගොඩ ඉංග්‍රීසි පන්තියකට ගියා. ඒ කෙල්ලත් අපේ පන්තියට ආවා. මට වඩා අවුරුදු දෙකක් වයසින් වැඩිමහල්. පන්තියට ආවේ එලියොන් කාර් එකක. එයාගේ අම්මයි, තාත්තායි දෙන්නම ඉතාලියේ. ලංකාවේ හිටියේ කෙල්ලයි, ආච්චි අම්මයි විතරයි. නිතර, නිතර පන්තියේදී දැකලා කතා කරනකොට අක්කා මට සෙට් වුණා. මමත් එතකොට ෆුල් හැන්ඩියා. අක්කා මට පුදුම විදිහට පිස්සු වැටුණා. මාව එයාගේ ගෙදර එක්කරගෙන ගියා. මහා විශාල ගෙයක්. උඩ තට්ටුවේ වෙන කිසිම දෙයක් පහත තට්ටුවට ඇහෙන්නේ නෑ. කොහොමහරි ආච්චිගේ ඇස් වහලා මාව උඩ තට්ටුවේ කාමරයකට දාගන්නවා. එතැනිං පස්සේ අපේ ලෝකෙ. කිසිම බාධක නෑ. හිතේ හැටියට සතුටු වුණා…’’

‘‘ඒ අක්කත් හොඳටම මත්ද්‍රව්‍ය ගන්න, නයිට් ක්ලබ්, කැසිනෝ බහින සුපිරි ආතල් ගන්න කෙල්ලෙක්. කාමරේ ලාච්චුවල එක, එක ජාතියේ පෙති කාඞ්. අක්කගේ කාමරයේ නිකං හිටියත් මත් වෙන ගානයි. මුලදි, මුලදි දෙන්නා එක්ක මත් පෙති, පැණි බීලා ෆන් එකේ ? දවල් ගත කළා. සමහර දවස්වලට ගෙට ඇතුළු වුණහම ඊට පහුවෙනිදා එළියට ආවේ. අක්කා ළඟ ඉන්නකොට කාලය ගෙවුණා තේරුණෙත් නෑ. යාළුවොත් එක්ක ටි‍්‍රප් යනවා කියලා ගෙදරට බොරු කියලා අක්කයි, මමයි නුවරඑළි ගිහින් සති ගණන් ඉඳලා තියෙනවා. නයිට් ක්ලබ් ගියා. කැසිනෝ ගියා. හොඳට සෙල්ලම් කළා. සියලූම වියදම් අක්කගෙන්. මට ඕන පදමට වියදම් කරන්න සල්ලි දුන්නා. එහෙම යන අතරේ දවසක් හැන්දෑවක ගල්කිස්සෙ බීච් එකේ අපි දෙන්නා සෙට් වුණා. එදා තමයි පළමු වතාවට මම කුඩු බිව්වේ. අක්කා කුඩු බොන්න පුරුදු වෙලා තියෙන්නේ කලින් හිටපු පෙම්වතාගෙන්. ඒ කොල්ලා කුඩු නිසා මුළු ජීවිතයම විනාශ කරගෙන. ඊට පස්සෙ තමයි අක්කා මට සෙට් වුණේ. අක්කාගේ සල්ලිවලින් මම උපරිම ආතල් ගත්තා. ගමේ කොල්ලො එක්ක සෙට් වෙලා අරක්කු බීලා අන්තිමේ මම යාළුවන්ටත් කුඩු පෙව්වා. වෙරි මතේ පිට ගම්වල කොල්ලො එක්ක රණ්ඩු සරුවල් ඇති කරගෙන කිහිප සැරයක්ම පොලිසියට මාට්ටු වුණා. ඒත් අම්මගෙයි, තාත්තගෙයි දැන හැඳුනුම්කම් මත මාව එක දවසක්වත් කූඩුවේ දැම්මේ නෑ. දවසක් අපි කොල්ලෙකුට ගහලා පපුවට ලේ බැහැලා ලොකු කේස් එකක් වුණා. ඒ වතාවේ ඕඅයිසී මහත්තයා අපේ අම්මාව පොලිසියට ගෙන්නලා මාව හදාගන්න කියලා අවවාද කළා. ඊට පස්සේ මම කරන දේවල් ගැන අම්මා හොඳ සෙවිල්ලෙන් හිටියා. උසස් පෙළ කරන්න හොරණ ඉස්කෝලෙකට ගියාට පස්සේ ආයෙමත් මට උපරිම නිදහස ලැබුණා…’’

‘‘මම නැවත ඉස්කෝලේ යන්න පටන් ගත්තා කියලා අක්කයි, මායි අතර තිබුණු බැඳීම අඩු වුණේ නෑ. අපි දෙන්නා අතරේ අසීමිත බැඳීමක් තිබුණා. ඒත් නොකෙරෙන කසාදයක් විත්තිය දෙන්නට දෙන්නා හොඳින් තේරුම් ගෙන හිටියා. සතියට දවස් තුනක් විතර ?ට අක්කා එක්ක ක්ලබ් බැස්සා. ඒ වෙනකොට මම හොඳටම කුඩුවලට ඇබ්බැහි වෙලා. දවස ගානේ අපි දෙන්නා කුඩු බිව්වා. ක්ලබ් යන දවස්වලට එළිවෙනකම් කුඩු බිව්වා. ඊට අමතරව පන්තියේ යාළුවො දෙන්නෙක්ව සෙට් කරගෙන ඉස්කෝලෙටත් කුඩු ගෙනත් බිව්වා. ඒත් මගේ ෆොෂ් පෙනුම නැති වුණේ නෑ. පිළිවෙළට ඇඳලා, පැලඳලා ලස්සනට හිටියා. කෙල්ලොත් හරියට සෙට් වුණා…’’

‘‘හොරණ ඉස්කෝලෙට ගියාට පස්සේ බාලිකාවක කෙල්ලෙක් යාළු වුණා. ඒ කෙල්ල හරිම ලස්සනයි. ඒ වගේම හා පැටියෙක් වගේ අහිංසකයි. අපි දෙන්නා එකම පන්තිවලට ගියේ. මට අත පසු වෙන නෝට් ලියලා, මගේ පොත් පත් සියල්ල පිළිවෙළට තියාගත්තේ ඒ කෙල්ල. කෙල්ල මට ආදරය කළේ මුළු හදවතින්මයි. එයාගේ පළමු පෙම්වතා මමයි. මට නම් පෙම්වතියො ගොඩක් හිටියා. එයත් එක්ක යාළු වෙනකොටත් මම සෙක්ස් ලයිෆ් එක එන්ජෝයි කරන්න තව කෙල්ලො දෙන්නෙක්ව ඇසුරු කළා. මම මේ කෙල්ලව ඇසුරු කරන්න පටන් ගත්තේ මගේ නෝට් ටික ලියා ගන්න. ඒ වගේ පොඩි වැඩ ටිකකට. ඒත් කෙල්ල මට පැලෙන්න ආදරය කරනකොට මගේ හිතෙත් කෙල්ලට විශේෂත්වයක් තිබුණා. ඒත් මම එයාවත් වැරැදි වැඩවලට පාවිච්චි කළා. පන්ති යනකොට කුඩු පැකට් එහෙම ගෙනිච්චෙ එයාගේ බෑග් එකට දාලා. ඒත් කෙල්ල දන්නේ නෑ. මම මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලවත් කෙල්ල දැනගෙන හිටියේ නෑ…’’

‘‘ඒ වෙනකොට කුඩු නැති වුණොත් මට පිස්සු වගෙයි. උදේට ඉස්කෝලෙට ගියේ කුඩු පැකට් එක සාක්කුවේ දාගෙන. මගේ කුඩු පොට් එක වුණේ ටොයිලට් එක. උදේ ඉඳලා බහින්න, බහින්න චාර්ජ් කළා. සමහර දවස්වලට කුඩු බීලා වැඩි වෙලා ගෙදර යනවා දන්නේ නෑ. ?ට අම්මා ඇවිත් ඇහැරවනකොට තමයි මම පියවි සිහියට ආවේ. උසස් පෙළ විභාගය ලිව්වෙත් කුඩු ගහලා ගිහින්.

පෙර පිනකට තමයි විභාගය පාස් වුණේ. විභාගය කරලා ඉවර වෙලා ගෙදර නතර වුණාට පස්සේ මගේ ජීවිතය තනිකරම පාතාලයටම වැටුණා. ආයුධ අත, පත ගාන්න, මිනිස්සුන්ට ගහන්න, ගේම් දෙන්න ඒ කාලේ පුදුම උණක් තිබුණේ. ආයුධ පුහුණුව ගන්න ආස හිතුණ නිසා මම හමුදාවට බැඳුණා. පුහුණුවෙන් පස්සේ හමුදාවෙන් පැනලා ආවා. ඒ ඇවිත් මීගොඩ සුපිරි පාතාල පොරකට සෙට් වෙලා ගේම් ගාණක් ගැහුවා. කුඩු බිස්නස් කළා. මම සෙට් වෙලා හිටපු පොර හරහා තවත් පාතාල වැඞ්ඩො ඇසුරු කරන්න ලැබුණා. මගේ වැඩ හොඳ නිසා, පොඩි කොල්ලා නිසා පාතාල ලොක්කන් මට කැමැති වුණා. පාතාල ලෝකය තුළ මට හොඳ ඉල්ලූමක් තිබුණා.

එක කාලයක් පිටකොටුවට යන සෑම වතුර බෝතලයකින්ම මටත් රුපියල් පහක් එන විදිහට සිස්ටම් එකක් හදාගත්තා. හොරණ අවට ගම්මානවලට කුඩු බෙදාහැරුණේ මගේ යටතේ. ඊට අමතරව ගේම් ගැහුවා. බයිසිකල් කල්ලියක් දම්මලා චේන් කෑඩුවා. එතකොට මගේ අතේ උතුරන්න සල්ලි. සුපිරි වාහන පාවිච්චි කළේ. ඕල් සේ්ල් කුඩු ලැබුණා. ඇති වෙන්න කුඩු බිව්වා. මම හම්බ කරන සල්ලි වියදම් වුණේ ගෑනුන්ටයි, කැසිනෝ සෙල්ලම් කරන්නයි විතරයි. කොළඹ කැසිනෝශාලා හැම එකකම මම සෙල්ලම් කරලා තියෙනවා. කැසිනෝ ගහලා හිටි ගමන් ලොකු ගණන් දින්නා. ඒත් ඊට පහුවෙනිදා ඩබල් එකේ පාරද වුණා. කොච්චර හම්බ කළත් අද දවසේ අදායමෙන් හෙට රුපියලක්වත් නෑ. ඒ වෙනකොට මාත් එක්ක සෙට් වෙලා හිටපු නුගේගොඩ අක්කා ඉතාලියට ගියා. මාවත් ඇදගෙන යන්න උපරිම ට්‍රයි කළා. ඒත් මම කැමැති වුණේ නෑ. ඒ වෙනකොට මගේ ලෝකය වෙලා තිබුණේ පාතාලයයි, කුඩුයි විතරයි…’’

‘‘මට පණ වගේ ආදරය කරපු අහිංසක කෙල්ලත් ගෑනියක් වුණේ මගෙ කුඩු මතේ වැඩිකමට. මට නම් ඒක එච්චර ලොකු දෙයක් වුණේ නෑ. එයා ඒ ගැන ගොඩක් හිතුවා. මගේ සල්ලාලකම වැඩි වෙනකොට එයාට මාව සතුටු කරගන්න බැරිව ගියා. අන්තිමේ මට කෙල්ලව එපා වුණා. ඒ වෙනකොට මම ඇසුරු කළේ කැසිනෝහල්වල විදේශීය ගෑනූ, ලංකාවේ ජනප්‍රිය නිළියො. මම කෙල්ලව මඟහැරියා. කොච්චර මගහැරියත් කෙල්ල මාව දාලා ගියේ නෑ. පස්සේ මම වෙන කොල්ලන්ව දාලා කෙල්ලට සෙට් කරන්න හැදුවා. ඒ සෙට් වුණෙත් නෑ. එයාට පේන්න කුඩු බිව්වා. මම හොරෙක්, මංකොල්ලකාරයෙක් කියලා කිව්වා. ඒත් කෙල්ල මා මත්තේම නැහුණා. අපේ ගෙදර ආවා. එයාගේ අම්මට කියලා මාව ගෙදර එක්කරගෙන ගියා. එතකොට කෙල්ල විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්නවා. කෙල්ලගේ තාත්තා පොලිසියේ උසස් නිලධාරියෙක්. හොඳ වැදගත් පවුලක්. ඒ වැදගත්කම් මම පයිසෙකට මායිම් කළේ නෑ.

කොළඹ කාමරයක් අරගෙන කාලයක්ම කෙල්ලව ඒකේ තියාගෙන හිටියා. ඒත් කසාද බඳින්න මගේ කිසිම අදහසක් තිබුණේ නෑ. ඒ ඉන්න අතරෙත් මම කිව්වේ මගෙන් ඈත් වෙන්න කියලා. දවසක් කෙල්ලට ගහලා පැන්නුවා. එදා කෙල්ල සෑහෙන්න ඇඬුවා. ඒ සිද්ධියත් එක්ක කෙල්ල මානසික ලෙඩෙක් වුණා. අදටත් බෙහෙත් බොනවා. ඒත් කුඩු මතේ ඉන්න මට කෙල්ල ගැන දුකක් දැනුණේ නෑ…’’

‘‘කාලයත් සමඟ අපේ වාරේ අවසාන වීගෙන ආවා. අපේ සෙට් එකේ කිහිපදෙනෙක්ම අකාලයේ මැරිලා ගියා. දවසක් මාවයි, අපේ ලොක්කවයි පොලිසියට කොටු වුණා. ඒ අයියා මම කිසිම දෙයක් දන්නේ නෑ. පොඩි කොල්ලෙක් කියලා පොලිසියට කියලා බේරුවා. ඒත් අපේ සෙට් එකේ එකා දෙන්නා මැරිලා ගියා. පොලිසිය මගේ පස්සෙනුත් එලවන්න පටන් ගත්තා. දෙතුන් වතාවක් කුඩුත් එක්ක පොලිසියට කොටු වුණා. ඒත් තාත්තාගේ දැන හැඳුනුම්කම් මත මම බේරුණා. ඊට පස්සේ මට කිසිම ගේමක් ගහා ගන්න බැරිව ගියා. අතේ සතේ නැතිව නන්නත්තාර වුණා. ගෙදර සල්ලි හොරකම් කළා. අම්මාගේ මුදු, මාල හොරකම් කළා. පාරේ යන ගෑනුන්ගේ මාල කැඩුවා. ගෙදර තියෙන වී මල්ලත් අරගෙන ගිහින් විකුණලා කුඩු බිව්වා. කෙල්ලට එන්න කියලා අතේ, කරේ තිබුණු රත්තරං බඩු සේරම ගලවගත්තා. කෙල්ලට කියලා ගෙදරින් සල්ලි ගෙන්න ගත්තා. මම කුඩු බොන විත්තිය ගෙදරින් දැනගත්තේ එතකොටයි. ඊට පස්සේ තාත්තා මම කරන වැඩ ගැන හෙව්වා. සතියක් දෙකක් යනකොට තාත්තා මගේ වැඩ කිඩ ටික සේරම හොයාගත්තා. ඊට පස්සේ මාව කුඩුවලින් මුදවාගන්න තාත්තා නොකරපු දෙයක් නෑ. ඇගේ ලේ අයින් කරලා අලූත් ලේ දුන්නා. ඒත් වැඩක් වුණේ නෑ. මගේ කෙල්ල තමයි මේ පන්සල හොයාගෙන අපේ ගෙදරට ඇවිත් කිව්වේ…’’

මම මේ ආයතනයට ආවේ 2015 අවුරුද්දේ. දැන් තමයි මට පියවි සිහිය ඇවිත් ඉන්නේ. ජීවිතය විඳින්නේ. මම කරපු පව් සිහිවෙන්නේ. මම ගත කරපු කලකණ්ණි ජීවිතය මතක් වෙනකොට දැන් මට දුකයි. නැවත මම ඒ කාලකණ්ණි ජීවිතයට වැටෙන්නේ නෑ. ඒත් මට සමාජයට යන්න බයයි…’’

මිකීගේ බය සාධරණය. ඔහු අසිහියෙන් සමාජ දුෂකයෙක් විය. දැන් පියවි සිහියට පැමිණ සිටින විට කළකම් ගැන විඳවන්නේය. මර බිය දැනෙන්නේය. එහෙත් ඔහු කෙසේ හෝ සමාජයට මුහුණ දිය යුතුය. දැන් ඔහු මේ ආයතනයෙන් ලබාගත යුතු වෙදකම විය යුත්තේ සමාජයට මුහුණ දිය හැකි ආත්මශක්තියයි. ඔහු එනතුරු ආදරවන්තිය මඟ බලා සිටිති. සමාජයට වැඩදායී මවුපිය දෙපළක් සිටිති. මිකීට වසය අවුරුදු විසි නවයකි. මිතුරු මිතුරෝ පවුලේ ශක්තියත් සමඟ සමාජගත වන මිකී හෙට දිනයේ යහපත් පුරවැසියෙක් ලෙස ජීවත් වන බව අපගේ විශ්වාසයයි…තරංග රත්නවීර.