කුඩා වියේදීම පිය සෙනෙහස අහිමි වූ මේ දියණිය උස් මහත් කරන්නට දිවා රෑ නොබලා වෙහෙස වූ මේ උදාර මාතාව අද මුලු ලොවම කතා කරන රූප රාජිනියගේ ආදරණීය මෑණියන් ලෙස අපමණ ගෞරවයකට පාත්‍ර වී සිටින්නීය.

තායිලන්තයේ බැංකොක් නුවර පැවැති මේ තරගයේ දී සිය ගණනක තරුණියන් අබිබවා නොසිතූ ලෙස කිරුළ දිනූ කනීතා ආපසු සිය නිවසට දිව ගියේ සිය ජීවිතයේ එකම සෙවණැල්ල බවට පත්ව සිටින ආදරණීය අම්මාගේ දෙපතුල් වැඳ ආශිර්වාද ලබාගැනීමටය. ලොවක් දිනූ රූපරාජිනියක වූවත් මව තරම් වටිනා සම්පතක් ඇයට තවත් තිබුණේ නැත.

ඒ වන විටත් අපවිත්‍ර කැලි කසළ භාජන වටකරමින් නිහඬව සිය රාජකාරියේ නිරතව සිටි මව වෙතට ගිය කනීතා සිය හිස දැරූ කිරුළ දෝතින්ම මවට පිරිනමමින් දණ නමා ඇයට නමස්කාර කළ ඡායාරූපය සමාජ වෙබ් අඩවිජාලා පුරා පැතිරී ගියේ නිමේෂයකිනි. එය ලොව පුරා බොහෝ රටවල ජනතාවගේ ආදරය දිනාගත් පුවතක් මෙන්ම ඡායාරූපයක් බවට පත්වීය.

 

‘මම අද ලබපු ජයග්‍රහණයේ පසුපස සිටියේ ආදරණීය අම්මයි. මාව උස්මහත් කරන්න…හොඳ නරක කියාදෙමින් ජීවිතය ගැන…ආදරය කරුණාව ගැන….කියා දුන්නේ ඇයයි. මේ කිරුළ අයිති අම්මාටයි.’ මේ නිහතමානී යුවතිය කඳුළු සලමින් එසේ කියන්නේ මව ගැන උපන් අප්‍රමාණ භක්තියකිනි.

‘අපේ රස්සාව කැලි කසළ එකතු කරන එක තමයි. ඒ ගැන කියන්න මම ඇයි ලජ්ජා වෙන්නේ…? අම්මා මාව ලොකු මහත් කළේ මේ රස්සාව කරලයි.’ කිසිදු චකිතයකින් තොරව ඇය එසේ ද කියන්නීය.

 

දුප්පත්කම දෝතින් තුරුළු කරගනිමින් උපන් මේ පවුලේ දරිද්‍රතාව කෙතරම් ද කියන්නේ නම් පුංචි කනීතාට නිසි අධ්‍යාපනය ලබාදීමට තරම්වත් වත්කමක් ඇගේ මවට නොතිබිණි. ඇය සාමාන්‍ය අධ්‍යාපනය හැදෑරීමෙන් පසුව උසස් අධ්‍යාපනය සඳහා යොමුකිරීමට ඇගේ මවට මුදල් නොතිබූ බවක් ඇතැම් මාධ්‍ය වාර්තා පළකොට තිබුණත් ඇත්ත වශයෙන්ම මේ සුන්දර තරුණිය තුන්වැනි ශ්‍රේණියෙන් ඉහළට ඉගෙන නොගත් බැව් ඇගේ පවුලේ ඥාතීන් පසුව පවසා තිබිණි.

ඇගේ පියා ඔවුන් හැරදා ගියාට පසුව පාසල් යාම වෙනුවට පුංචි කනීතාට ඇගේ මවට සහයවීමට සිදුවී තිබූ බැව් ‘බැංකොක් පෝස්ට්’ පුවත්පතේ සඳහන් විය. ඇය මේ රූපසුන්දරි තේරීමේ තරගයට ඉදිරිපත් වූයේ ඇගේ මිතුරියන් ඇවටිලි කරද්දීය. තරගයට ඉදිරිපත්වීමට ඇයට මුදල් දුන්නේ අම්මාය. තරගයෙන් ජය ලැබීමේ සතුට අන් කිසිවකු හෝ සමග බෙදා හදාගැනීමට පෙර ඇයට වුවමනා වූයේ සිය මවගේ දෙපතුල වැඳ නමස්කාර කිරීමටය.

කෙසේවුවත් තරගයට ඉල්ලුම් කිරීමේ දී ඇය සපයා තිබුණේ ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම්ය. මේ පිළිබඳ පසුව කරුණු සොයා ගත් එම තරගයේ සංවිධායක මණ්ඩලය එය ඇගෙන් විමසා සිටියේය.

සිය මව කැල කසළ එකතු කරන්නියක බවත්, තමා ද මවට සහය දෙන බවත් පසුව ඇය සංවිධායක මණ්ඩලය හමුවේ පවසා සිටියේ හැඬූ කඳුලින් යුතුවය.

‘මං එහෙම කිව්වේ මාව මේ තරගයට නොගනීවි කියලා හිතලයි. අනේ දැන් මගේ තෑගි මුදල් ආපහු ඉල්ලන්න එපා. ඒක මං අම්මට දුන්නා. එයා දැන් ගොඩක් සතුටින් ඉන්නේ. මේක දැනගත්තම එයා දුක්වේවි. අපි හුඟාක් අමාරුවෙන් ජීවත්වෙන්නේ. මේ ලැබුණු තෑගි මුදල් අපිට සෑහෙන කාලෙකට කරදරයක් නැතිව ජීවත් වෙන්න පුළුවනි.’

 

මේ දුක්මුසු පුවත අතරතුර සමාජවෙබ් අඩවිජාලා අතර වේගයෙන් පැතිරී ගිය කනීතා සිය මවගේ දෙපතුල් සිඹින ඡායාරූපය දුටු විගස තරග සංවිධායක මණ්ඩලයේ බොහෝ නිලධාරීන්ගේ ඇසට කඳුළු ඉනුවේය. 17 හැවිරිදි රූප රාජිනියකගේ සැබෑ තත්ත්වය පිළිබඳ සියලු තතු දැනගැනීමෙන් පසුව ඇගේ ජයග්‍රහණය නැවත වෙනස් නොකිරීමට තීරණය වූ අතර ඇයට දුන් තෑගි මුදලත්, රූපරාජිනියගේ කිරුළත් ඇයටම බාර කළ තරග සංවිධායක කමිටුව ‘මිස් අන්සෙන්සර්ඩ්’ රූප රාජිනිය ලෙස ඇගේ නම නැවත නිවේදනය කිරීමට කටයුතු කළේය. ඉන් නොනැවතී ඇයට වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බවට පොරොන්දු විය.

‘ඒත් අපේ අම්මා නම් එයාගේ රස්සාව අත හරින්නේ නෑ. කොයි තරම් මුදල් ලැබුණත් මමත් හැමදාම අම්මගේ ළඟින් ඉන්නවා. ඒත් අම්මා නම් කීයටවත් කැමැති නෑ දැන් මම කැලි කසල එකතු කරනවාට.’ පුංචි කනීතා එසේ කියන්නීය.