මෙරට දෙවන අගනගරය ලෙසින් හඳුන්වන මහනුවර කියවෙන්නේ දළදා පුරවරය නැත්තම් පූජනීය නගරය එසේත් නැත්නම් ලෝක උරුම නගරය ලෙසිනි. අද වන විට මෙම නගරය අවාසනාවන්ත ලෙස ඉහත ජාවාරම් ජාලයේ ගොදුරක් බවට පත්ව තිබේ. මහනුවර නගරය හා ඒ අවට දෙසිය පණහකට අධික මෙවැනි මධ්‍යස්ථානවලින් අද නගරය වට වී ඇත. ඇතැම් මාර්ග හා මාවත් ඒ සඳහාම නම් දරා තිබේ. මෙය මහනුවර ආක්‍රමණය කිරීමටත් වඩා අද වන විට භයානකම ඛේදවාචකයක් වී ඇත්තේ මහනුවර නගරයේ ප්‍රධාන පෙළේ පාසැල් රැසකට යාබදව මේවා පවත්වාගෙන යාමයි.

මහනුවර නගරයේ තිබෙන පාසැල් බොහොමයක් ප්‍රධාන පෙළේ පාසැල් නැතහොත් සුපිරි යැයි කියන පාසැල්ය. එසේත් නැතිනම් ජාත්‍යන්තර පාසැල්ය. මෙම පාසැල් බොහොමයකට යාබදව පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන පිළිබඳව පාසල් දරුවන් දැඩි ලෙස විමසිලිමත් වෙති. මහනුවර, පේරාදෙණිය මාර්ගය, කටුගස්තොට මාර්ගය මෙන්ම තැන්නේකුඹුර දිගන මාර්ගයේ පවත්වා‍‍ෙගන යනු ලබන මෙම මධ්‍යස්ථාන බොහොමයක් පිරිමි පාසැල් යාබදවය නැතිනම් ආසන්නයේය. ඇතැම් ඒවා බාලිකා පාසැල් ආසන්නයේද පවත්වාගෙන යනු ලබයි. තාරුණ්‍යය බලාපොරොත්තුවෙන් සිටින, බොහෝ දේවල් පිළිබඳව විමසිලිමත් මෙන්ම අත්හදා බලන වයසේ සිටින ඇතැම් සිසුන් මෙම මධ්‍යස්ථාන කරා හොරරහසේ පිය නගන්නේ ඒවායේ ඇතුළත සිටින්නන්ගේ හා තැරැව්කරුවන්ගේ සහයෙනි. එක්තරා ප්‍රධාන පෙළේ පාසැලක ක්‍රිකට් ක්‍රීඩකයකු ක්‍රීඩා පුහුණුවේදී හදිසි අනතුරකට ලක්ව ප්‍රතිකාර සඳහා යැයි සිතා මිතුරන් කිහිප දෙනෙකු සමඟ මෙම ස්ථානයට ගොස් ඇති අතර පසුව එහි සිටි කාන්තාවක් සුළු ප්‍රතිකාරයක් කිරිමෙන් පසු එම සිසුවා දිගින් දිගටම මිතුරන් සමඟ සම්බාහන මධ්‍යස්ථානය වෙත යොමු කරවාගෙන ඇති අතර අනතුරුව එයට ඔවුන් ඇබ්බැහිවීම හේතුවෙන් ඉන් මුදා ගැනීමට දෙමාපියන්ට ගුරුවරුනට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන මහතා පෙන්වා දෙන ආකාරයට“නීත්‍යානුකූල ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම දැවැන්ත ක්‍රියාවලියකි. එය එතරම් පහසු තත්ත්වයකුත් නොවේ. ඒ සඳහා සොයා බැලීමක් මෙන්ම දැඩි අධ්‍යයනයක්ද කළ යුතුයි. එවැනි නීත්‍යානුකූල ප්‍රතිකාර ස්ථාන සම්බාහන මධ්‍යස්ථාන ලෙසින් හැඳින්වීම වැරැදියි. නමුත් අද එවැනි නීත්‍යානුකූල මධ්‍යස්ථාන නැත්තටම නැති තරම්ය. වසරින් වසර මේවායේ බලපත්‍ර අලුතින් ලබා ගත යුතු වුවත් මේ වසරේදී එවැනි කිසිදු වාර්ෂික බලපත්‍රයක් ලබා දීනොමැත. එවැනි මධ්‍යස්ථානයක් ඇරඹීමට පෙර ඒ සඳහා අදාළ ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයෙන් ඒ වෙනුවෙන් වන වෙළෙඳ බලපත්‍රයකට ඉල්ලීමක් කළයුතුය. අනතුරුව එය පළාත් ආයුර්වේද කොමසාරිස් වෙත යොමු කිරීමෙන් අවශ්‍ය නිර්දේශ ලබාගත යුතුය. පරීක්ෂා කිරීමකින් පසු හිමිවන එවැනි නිර්දේශ මතවෙළෙඳ බලපත්‍රය ලබා ගත යුතු වෙනවා. පසුව ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා මඟින් ව්‍යාපාර නාම ලියාපදිංචියක් ලබා ගතයුතු වුවත් එහිදීද පළාත්ආයුර්වේද කොමසාරිස්වරයාගේ නිර්දේශ ලබා ගැනෙනවා. එම නිර්දේශ මත ලියාපදිංචිය හිමි වෙනවා. අනතුරුව ආයතනය පවත්වාගෙන යාම සඳහාආයුර්වේද දෙපාර්තමේන්තුවේ ශිල්පීය අංශයෙන් ලියාපදිංචි බලපත්‍රය ලබා ගත යුතුය. ඒ සඳහා ද දැඩි සොයා බැලීමක් කළ යුතුය.

මෙවැනි මධ්‍යස්ථාන තුළ අනිවාර්යයෙන්ම ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයකු සිටිය යුතුය. ඒ වගේම එම ස්ථානයට හොඳින් වාතාශ්‍රය ඇතුළුවන පිට වන මෙන්ම ආලෝකය ඇතුළුවන තත්ත්වයක් තිබිය යුතු වෙනවා. එමෙන්ම ප්‍රතිකාර සපයන අය මනා පුහුණුවක් ලබා තිබිය යුතු වන අතර ප්‍රතිකාර සිදු කරනස්ථාන විවෘතව තැබිය යුතුය. මේ සඳහා ආයුර්වේද ඖෂධ භාවිතා කළ යුතුයි. එමෙන්ම ප්‍රතිකාර ලබා දෙන විට රෝගය හා ප්‍රතිකාර ඖෂධ තුණ්ඩුවක පැහැදිලිව සඳහන් කළ යුතුය. මෙහිදී විශේෂයෙන්ම ප්‍රතිකාර කරනු ලබන ස්ථානයේ දොර ජනෙල් වසා ප්‍රතිකාර නොකළ යුතු වෙනවා.

නමුත් අද මෙවැනි නීත්‍යානුකූල ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන්නේම නැති තරම්ය. මහනුවර නගරයේ කිහිපයක් හැරුණු විට අන් සියල්ලම පාහේ නීත්‍යානුකූල නොවන මධ්‍යස්ථානයන්ය. සාමාන්‍යයෙන් පිරිමින් සඳහා පිරිමින් විසින්ද කාන්තාවන් සඳහා කාන්තාවන්ද මේවායේ ප්‍රතිකාර කළ යුතු වුවත් එවැනි තත්ත්වයක් මෙම මධ්‍යස්ථානයන්හි නැත්තටම නැති තරම්ය. එවැනි මධ්‍යස්ථාන එකක් දෙකක් පමණක් හැරුණු විට අ නෙක් සියල්ලගේම පාහේ සිටින්නේ කාන්තාවන්ය. බොහෝ ඒවායේ සිටින්නේ අවුරුදු 16 – 30 අතර වයස්වල කාන්තාවන් වුවත් ඉන් බාල වැඩිමහළු කාන්තාවන් ද මේවායේ දැක ගත හැකිය.

මහනුවර නගරයේ ක්‍රියාත්මක මෙවැනි මධ්‍යස්ථාන අති බහුතරයක් පවත්වාගෙන යනු ලබන්නේ පුද්ගලයන් පස් හය දෙනෙකු විසින්ය. ඔවුන්ට එවැනි මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් තිබේ. සමහර මද්‍යස්ථාන එකම පුද්ගලයකුගේ වුවද ඒවාට තිබෙන්නේ වෙනස් වෙනස් නම්ය. බොහෝවිට ඒවා සඳහාආකර්ෂණීය නම් තැබීමට ඒවා පවත්වාගෙන යන පිරිස් උත්සාහ දරති. එමෙන්ම එම ස්ථාන සඳහා පිරිමින්ගේ ආකර්ෂණය දිනාගත හැකි ආකාරයේ පියකරු මෙන්ම ඒ ආකාරයෙන් හැසිරෙන මොඩ් වුණ තරුණියන් කාන්තාවන් යොමු කිරීමට මේවා පවත්වාගෙන යන අය කටයුතු කරන අතර ඔවුන්ට යොදා ඇත්තේද බටහිර පන්නයට ගැලපෙන නම්ය. ටානියා, මල්කි, රිෂී, ස්විටී, ශානී, ශෂිනි, චතූ වැනි ආරූඪ නම්වලින් මේ අය පෙනී සිටී. එහෙත් ඔවුන්ගෙන් අති බහුතරයක් දුෂ්කර, මහනුවරට ඈත ප්‍රදේශවල අයය. ඇත්තෙන්ම මේ අයට ඇත්තේ මේ නම් නොවුණත්මේ ස්ථානවලට පැමිණි පසු ඔවුන් හඳුන්වන්නේ එවැනි නම් වලිනි.

සම්බාහනය මුවාවෙන් මේවායේ සිදුවන්නේ ගණිකා ව්‍යාපාරයකි. ඉඳහිට පොලීසිය එවැනි ස්ථාන වටලති. ඒ සෑම අවස්ථාවකම හිමිකරුවන් හසු නොවේ. කළමනාකාරිත්වයට පවත්වාගෙන යාමට බොහෝවිට හසුවන්නේ මුදලට සේවය කරන තරුණයකු නැත්නම් මැදිවියේ අයෙකුය. වැටලීම් වලදී හසුවන තරුණියන්, කාන්තාවන් බො‍හෝවිට කිහිප වරක් හසු වූ අය ය. මුල් වරට හසුවන අයෙකු ඉන්නේ කලාතුරකිනි. මේ අය අධිකරණය සඳහා ඉදිරිපත් කරන්නේමෙරට සංශෝධනය නොකළ පැරැණිතම ආඥා පනතක් වන පාදට ආඥා පනතිනි. එහි දඩය රුපියල් දහයේ සිට සියය දක්වාය.

මහනුවර ක්‍රියාත්මක වන සම්බාහන මධ්‍යස්ථාන සඳහා ඇතුළුවීමට රුපියල් 1300 සිට මුදල් අය කෙරේ. ඒවායේ සේවය කරන කාන්තාවන් හට ඉන් කොමිස් මුදලක් ලැබේ. ඔවුන්ට මූලික වැටුපක් නොමැත. එයට අමතරව සේවාව ලබා ගන්නා අයගෙන් මෙම තරුණියන් කාන්තාවන් සංතෝෂම් මුදල් අය කෙරේ.

සංතෝෂම් සාමාන්‍යයෙන් සංතෝෂයට කැමැති මුදලක් ලබා දීම වුවත් මේ කාන්තාවන් අවම සංතෝෂම් මුදල කියා සිටී. බොහෝ විට එය රුපියල් දහසකි. ඉන් එහා වැඩි මුදල් දෙන්නේ නම් සේවාව වැඩියෙන් ලබා දෙන බව මොවුහු කියති. සාමාන්‍යයෙන් දිනකට අවම වශයෙන් පස් හය දෙනෙකු හෝ මොවුන්ගෙන් සේවාව ලබා ගැනීමට පැමිණෙන අතර ඒ අනුව අඩුම වශයෙන් දිනකට මෙම කාන්තාවන් සංතෝෂම්වලින් පමණක් රුපියල් පන් හය දහසක් උපයන බව කියති. මසකට දින 25ක් වැඩ කළහොත් මේ අය රුපියල් 125.000 පමණ ඉන් උපයා ගනී. නමුත් සමහරු එයට වඩා බොහෝ ලෙස මුදල් උපයා ගන්නා බැව් අනාවරණය වේ. ඒ වගේම සමහරු විවිධ දුක් ගැනවිලි කියමින් ඇතැම් පිරිමින්ගේ රැකියාව වත් පොහොසත්කම් අනුව විටින් විට මුදල් ගසා කන අවස්ථාද තිබේ. එක් පැත්තකින් මේවා පවත්වාගන යන අය ලිංගික සූරා කෑම් සිදු කරන විට මෙහි කාන්තාවන් ඒවාට පැමිණෙන පිරිමින් සූරා කෑම සිදු වේ.

මහනුවර මූලස්ථාන පොලිසියට අමතරව කටුගස්තොට, පේරාදෙණිය, පල්ලේකැළේ පොලිස් ස්ථාන හා මධ්‍යම දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට මෙන්ම මහනුවර කොට්ඨාස පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්ත ඒකක විටින් විට මෙම ස්ථාන වැටලුවද එම මධ්‍යස්ථාන කිසිදු බියක් සැකක් නොමැතිව ගජරාමෙට පවත්වාගෙන යනු ලබයි. එයට හේතු වන්නේ පොලීසිය එක් පැත්තකින් මෙම ස්ථාන වැටලුවද ඒවා පවත්වාගෙන යන අය විවිධ මට්ටමේ බලධාරීන් සමීපව ඇසුරු කිරීමයි. අනෙක් පැත්තෙන් අධිකරණ සෝදිසි වරෙන්තු ලබා ගැනීම වැනි දුෂ්කර තත්ත්වයන් ඔස්සේ මේවා වැටලීමට සිදුවීමයි. තවත් පැත්තකින් තැරැව්කරුවන්, පණිවුඩකරුවන්, මේවා වටා නිරන්තරයෙන් සිටී. එනිසා මහනුවර නගරය තුළ මෙම මධ්‍යස්ථාන වැසෙනවාට වඩා ඇරෙන ප්‍රමාණය දවසින් දවස වැඩිවේ.

මේවායේ සේවය කරන කාන්තාවන්ගෙන් ඇසුවොත් එහි සියලු දෙනා පාහේ දික්කසාද වීය. නැත්නම් සැමියා මියගොස් ඇත. එසේත් නැත්නම් සැමියා හැරදමා පැමිණ තිබේ. මේවා ඔවුන්ගේ සත්‍ය කතාද නැත්නම් පිරිමින් වැඩි වශයෙන් ඔවුන්ට සමීප කැර ගැනීමට කියනු ලබන කතාදැයි විශ්වාස කළ නොහැක. නමුත් මෙවැනි ස්ථාන පවත්වාගෙන යන කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ වූයේ ඒවායේ සිටින කාන්තාවන් අති බහුතරයක් විවාහ වී සිටියද ඔවුන් සමඟ සබඳතාවක් නොමැති තරම් බවය. බොහෝ අය ඈත ප්‍රදේශවලට ඒ අය නිවෙස්වලට කියා ඇත්තේ රූපලාවන්‍යාගාර, චැනලින් සෙන්ටර්, සංචාරක හෝටල්, හෙද සේවය, වැනි ස්ථානවල රැකියා කරන බවය. මේ නිසාම මේ අය කවුරුන් සේවය ලබා ගැනීම සඳහා පැමිණියද කාමර වලින් එක්වර එළියට නොපැමිණේ. ඇතුළෙහි සිට සෝදිසි කැර එළියට පැමිණේ.

මේවායේ, තරුණියන් කාන්තාවන් ඉතා කෙටිකලක් මේවායේ සේවය කැර විශාල මුදලක් එම කෙටි කාලය තුළ උපයා ගනිමින් එම රැකියාවට සමුදී යාමට මුල්වකවානුවේදී අපේක්ෂා කරයි. ඉන්පසු ඈත ප්‍රදේශයක යහපත් මෙන්ම අග හිඟ නැති ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරයි. නමුත් එලෙස මින් මිදීමට මේ අයටමේවායෙන් හැකියාවක් නැත. එක් පැත්තකින් මේ අය මේවායෙන් කොතරම් මුදල් ඉපයුවත් ඔවුන්ට එහි මුදල් ආශාව නිමක් නොමැති වීමයි. ඒ වගේම එලෙසසිතින් සිතන අවස්ථාවන්හි ඒවායෙන් ඉවත්වීමට මේවා කරන අයට අවස්ථාව නොදීමයි. සමහර අවස්ථාවල ඒඅයඔවුන්සිරකැරගෙන සිටී. තවත් පැත්තකින්මේවාට එන සමහර තරුණියන් කලක් ගතවන විට ඔවුන් තනිවම වෙනත් ඈත ප්‍රදේශයක මෙවැනි මධ්‍යස්ථානයක් අරඹයි. මෙම මධ්‍යස්ථානයක සේවය කරනතරුණියක පෙන්වාදුන්නේ තමන් මොණරාගල ප්‍රදේශයේ පදිංචිකාරියක බවය. වයස අවුරුදු විසි හතක් වන තමාටවිවාහයෙන් අවුරුදු තුනක දියණියක සිටිනබව ය. මේ වන විට විවාහයෙන් වෙන්වී සිටින තමන් මුදල් අවශ්‍යතාව මතම මේ රැකියාවේ නිරත වන බවය. මේ වන විට ඇය මෙම රැකියාව කරන අතරතුර
රූපලාවන්‍ය පාඨමාලාවක් හදාරණ බවත් තව ටික කලකින් මේ රැකියාවට සමු දී තමාගේම රූපලාවන්‍යාගාරයක් ආරම්භ කරන බවත් කියා සිටී. “අපි මේවායේ සිටියහොත් සමාජයේ අපිට ගණිකා ලේබලය අලවනවාමයි. සමහර වෙලාවට පොලීසිය බොරුවට අපිව අල්ලලා උසාවි දානවා. මේවායේ ඉන්න හැමෝම නරක වැඩ කරන්නේ නැහැ. අපි එළියට ගියහම මේ වගේ වැටුපක් ලැබෙන කිසිම ජොබ් එකක් මේ රටේ නැහැ. සමහර වෙලාවට පිටරට ගිහින්වත් මේ වගේමුදලක් හොයන්න බැහැ.

මෙම මධ්‍යස්ථනවල සේවය කරන වෛද්‍යවරු යැයි පවසන අයට දිනකට රුපියල් දහසක් අවම වශයෙන් ගෙවනු ලැබේ. එහෙත් ඉන් සමහරු ආයුර්වේද වෛද්‍යවරයකු ළඟ බෙහෙත් කොටාවත් නැත. සමහරු බටහිර වෛද්‍යවරු ආයුර්වේද වෛද්‍යවරු යන්නේ වෙනසවත් නොදන්නා අයයි. ප්‍රමිතියක් නොමැති නීති විරෝධී, සමාජ විරෝධී මෙම මධ්‍යස්ථාන කරා පැමිණ සේවාව ලබා ගනිමින් සිටි පිරිමින් ඒවා තුළම යම් යම් හදිසි රෝගාබාධවලට ලක්ව මියගිය අවස්ථාද පසුගිය කාලයේ වාර්තා වී ඇත. මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා පවසන ආකාරයට මෙවැනි ස්ථාන වැටලිය හැක්කේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නීත්‍යානුකූල බලපත්‍රයක් සහිත ස්ථානවන මෙවැනි ආකාරයේ නීති විරෝධී ක්‍රියාවන් වන්නේ නම් පමණි. එහෙත් මේ වන විට මහනුවර නගරයේ තිබෙන අති බහුතරයක් ස්ථානවලට එවැනිනීත්‍යානුකූලතාවක් නොමැත. ඇතැම් ඒවා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විවිධ ලිපි බලපත්‍ර ව්‍යාජ අයුරින් මුද්‍රණය කැර සකසා ගනිමින් මෙන්ම ඇතැම් ඒවා තැරැව්කරුවන් මඟින් ව්‍යාජ ලිපි ලේඛන ඔස්සේ සකස් කරගත් ඒවාය.

කෙසේ වෙතත් අද මහනුවර වෙලාගෙන ඇති මෙම ආක්‍රමණික ජාවාරම සඳහා විසඳුම් සෙවිය යුතුය. විශේෂයෙන් නගරයේ පාසැල් අසලට ආක්‍රමණය කැර ඇති මෙම ජාවාරම හෙට දවසේ අනාගත දරුවන් නොමගට යොමුකරන ප්‍රබලතම ගමන් මාර්ගයක් වනු ඇත. ඇතැම්විට ගමන් මාර්ගය දරුවන් අඳුරුතම
ආගාධයකට ගෙන යන ගමන් මාවතක විය හැක. මෙම ජාවාරමට සම්බන්ධ පිරිස් හා කාන්තාවන් හටද පාසැල් වියේ දරුවන් සිටිනවා විය හැකිය.

නමුත් ඔවුන් මෙම ජාවාරමෙහි මුදල්වලට අසීමිත ගිජුකමක් දක්වන නිසා ඒ ආගාධය ඔවුන්ට නොපෙනෙනවා විය හැක. නීත්‍යානුකූල යැයි බෝඩ් ලෑලි ගසා ගනිමින් ඇතුළථ කුණු වනු අයිසින් කේක් ‍ෙගඩියක් බදු මෙම ජාවාරම්හි බෝඩ් ලෑලි පමණක් නොවේ ජාවාරමම ගලවා දමා අතීත පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයත්, ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් අඩංගු නිසි ප්‍රතිකාර ක්‍රම තව තවත් ස්ථාපිත කරමින් ජාත්‍යන්තර වශයෙන් මෙරට විශ්මීය වෙදකමේ ප්‍රතිකාර ව්‍යාප්ත කිරීමට පියවර ගත යුතුය.