Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 20
223
Views

" ඒ දෙමවුපියන් ඒ දරුවනුත් අරගෙන මාව බලන්න එනවා..." - 

"මම පුංචි දරුවන්ට මගේ පණට වගේ ආදරෙයි.."


"මට හිතෙනවා මම තවත් ටිකක් තරුණ වුණානම් කොයිතරම් හොඳද කියලා..."

ජේම්ස් ක්‍රිස්ටෝෆර් හැරිසන් නම් ඕස්ට්‍රේලියනු ජාතිකයා උපන්නේ 1936 දෙසැම්බර් 27 වැනිදායි. ඔහු ළමා කාලයේදී ඉතාමත් නිරෝගී, ක්‍රියාශීලී ජීවිතයක් ගතකළා. ඒත් අවුරුදු 14 දී ඔහුට දරුණු හදවත් රෝගයක් වැලඳුණා. ඒ රෝගයෙන් අසාධ්‍ය වුණු ඔහුට බරපතළ සැත්කමකුත් කරන්නට සිදුවුණා. ඒ සැත්කම සාර්ථක වෙන්නට නම් තවත් වැදගත් දෙයක් කරන්නට ඉතිරි වී තිබුණා. ඒ ඔහුට බාහිරින් බොහෝ ලේ ප්‍රමාණයක් ලබාදෙන්නට සිදුවීමයි. මේ වෙනුවෙන් බොහෝ දෙනෙක් ඉතාමත් කැමැත්තෙන් ඉදිරිපත් වුණා. මේ පරිත්‍යාගශීලීන්ගේ පිහිටෙන් ඔහු ජීවත් වීමේ වාසනාව ලැබුවා.

ජීවිතයත් මරණයත් අතර ජීවත්වුණු ජේම්ස්ගේ හිතට එක්තරා කාරණයක් තදින්ම දැනුණා. ඒ තමයි තමාගේ ජීවිතය මරණයෙන් බේරුණේ තමා වෙනුවෙන් ලේ පරිත්‍යාග කළ අය නිසා බව.

”අද මම ජීවත්වෙන්නේ අනුන්ගේ ලේවලින්. එදා ඒ විදිහට මට ලේ ලැබුණේ නැත්නම් අද මම ජීවතුන් අතර නැහැ. ඒ නිසා මට ඕනෑ වුණා මට ලැබුණු උපකාරයට කළගුණ සැලකීමක් හැටියට ලෝකය වෙනුවෙන් වැදගත් සේවයක් කරන්න. ඒ නිසා තවත් අයගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් මගේ ලේ දන් දෙන්න මම තීරණය කළා.” ජේම්ස් ඒ විදිහට සිතුවා.
ජේම්ස් මුලින්ම ලේ දන් දෙන්න පටන්ගත්තේ වයස අවුරුදු 18 දීයි. එතැනින් පටන්ගත්ත ඔහුගේ ලේ දන් දීම කොයිතරම් දුර දිග ගිහින් තිබෙනවාද කියා ඔබ දන්නවාද? ජේම්ස් තමයි මේ වෙද්දී ලෝකයේ වැඩිම වාරයක් තමන්ගේ ලේ අනුන් ජීවත්කරවන්න පරිත්‍යාග කළ පුද්ගලයා බවට පත් වී තිබෙන්නේ.

දැන් ඔහුගේ වයස අවුරුදු 81 යි. මේ කාලය තුළදී අවුරුදු 18 ඉඳන් මේ වනතෙක් එනම් පසුගිය මැයි 11 වැනිදා වනතෙක් 1173 වතාවක් ඔහු ලේ දන් දී තිබෙනවා.

”මගේ බලාපොරොත්තුව මගේ අන්තිම හුස්ම පොද පිටවෙන මොහොත දක්වාම අනුන්ව ජීවත් කරවන්න මගේ ලේ දෙන්නයි.” ජේම්ස් පවසන්නේ ඉතාමත් පරාර්ථකාමී හැඟීමෙන්.

එහෙත් ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ බලධාරීන් මේ වනවිට ජේම්ස්ගෙන් ලේ ලබාගන්නට අදහස් කරන්නේ නැහැ. ඒ ඔහුගේ ලේවල ඇති දුර්වලකමක් නිසා නම් නොවෙයි. බොහෝ වියපත් වී සිටින ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වීමක් හැටියටයි. ඒත් ජේම්ස්ට මේ වනතෙක් ‘ඉහෙන් බහින’ රෝගයක් නම් නැහැ. ඒ තරමට ඔහු ශක්තිමත්, නිරෝගීමත් පුද්ගලයෙක්.

ජේම්ස්ගෙන් ලබාගන්නා ලේවල ප්ලාස්මා කොටස ඉතාමත් සරු මට්ටමෙන් පවතින බවයි ඕස්ට්‍රේලියානු වෛද්‍යවරුන් පවසන්නේ. මේ ප්ලාස්මා කොටස ඕස්ට්‍රේලියාවේදී බහුලව පාවිච්චියට ගෙන තිබෙන්නේ උපදින්නට සිටින දරුවන් මරණයෙන් බේරාගන්නටයි.

කලලයක් මවු කුස තුළ වැඩෙමින් තිබෙද්දී සමහර අවස්ථාවලදී මවගේ ලේවල තිබෙන රසායනිකයක් නිසා කලලයේ ලේ විනාශ වෙනවා. එයින් කලලය මියයනවා. මෙය හැඳින්වෙන්නේ රීසස් රෝගය හැටියටයි.

ජෙම්ස්ගේ ලේ දීම නිසා රීසස් රෝගයෙන් මවු කුසේදී මියයන්නට සිටි දරුවන් ලක්ෂ 24 ක් අදටත් ඉතාමත් හොඳින් ජීවත්වෙනවා. ඒ අතර ඔහුගේ මිනිබිරියක්ද සිටිනවා.

”මම පුංචි දරුවන්ට මගේ පණට වගේ ආදරෙයි. ඒ තමයි අපේ ලෝකයේ අනාගත උරුමක්කාරයෝ. අපි ඔවුන්ව හොඳින් ආරක්ෂා කරගන්න ඕනේ. මම බොහෝ කාලයක් ජීවත්වුණා. ඒ ජීවිත කාලය තුළදී මා නිසා පුංචි පැටවුන් ලක්ෂ ගණනක ජීවිත බේරී තියෙනවා. ඒ දෙමවුපියන් ඒ දරුවනුත් අරගෙන මාව බලන්න එනවා. ඒ දරුවන්ගේ හුරතල් මූණු දකිද්දී මට දැනෙන්නෙ වචනයෙන් කියාගන්න බැරි මහා සතුටක්. එතකොට මට හිතෙනවා මම තවත් ටිකක් තරුණ වුණානම් කොයිතරම් හොඳද කියලා. එතකොට මේ වගේ පුංචි පැටවුන් තව කීදෙනෙක්ගේ ජීවිත මරණයෙන් බේරා දෙන්න පු`ඵවන්ද?” ජේම්ස් පවසන්නේ කෙළවරක් නැති සතුටකින්.

ඕස්ට්‍රේලියාව තුළ ජේම්ස් හැඳින්වෙන්නේ ‘රත්තරන් අත් ඇති මිනිසා’ හැටියටයි. ඒ, ඔහුගෙන් ලේ ලබාගෙන ඇති දෑත්වලට කරන ගෞරවයක් හැටියටයි.

මේ මහා පරාර්ථකාමියාට ඕස්ට්‍රේලියාවේදී බොහෝ ගරු නම්බු හිමි වෙලා තිබෙනවා. ඒ අතරින් Medal of the Order of Australia සම්මානය ඉතා වැදගත් වූවක්.

ජීවත්වෙන කෙටි කාලය තුළදී තව කෙනෙකුට අබ ඇටයක තරම්වත් දෙයක් නොදී තමාටම පමණක් හැම දෙයම පොදි බැඳ තබාගන්නා මිනිස් වෙස් ගත්ත අයට ජේම්ස් ක්‍රිස්ටෝෆර් හැරිසන් කියාදෙන්නේ බොහොම වැදගත් පාඩමක්.

නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි





Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top