Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 18
451
Views
"රාත්‍රි භෝජන සංග්‍රහයකට සහභාගිවීමට අවස්ථාව සැලසෙන්නේ මිතුරියක් නිසයි.."
රානියාගේ මවුපියන් පලස්තීන ජාතිකයන්ය. 1970 අගෝස්තු 31 උපත ලැබූ ඇගේ ළමා කාලය ගෙවුණේත් කුවේටයේය. 1991 පළමු ගල්ෆ් යුද්ධයේදී දහස් ගණන් ජනතාවට තම දිවි ගලවා ගැනීමට රට හැරයෑමට සිදුවිය. කුඩා රානියා දැරියද තම මවුපියන් සමඟ පණ බේරා ගැනීමට ජෝර්දානයට පලා ගියේය. එතැන් සිට ජෝර්දානයේ ජීවත්වූ රානියා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිධාරිනියක්ව, බැංකු ක්‍ෂේත්‍රයේ රැකියාවක යෙදෙමින් සිටියේ සාමාන්‍ය කාන්තාවක පරිද්දෙනි.

1993 එක් දෛවෝපගත දිනයක ජෝර්දානයේ රජුගේ පුත් අබ්දුල්ලා කුමරුගේ සහෝදරියක විසින් පවත්වනු ලැබූ රාත්‍රි භෝජන සංග්‍රහයකට සහභාගිවීමට ඇයට අවස්ථාව සැලසෙන්නේ මිතුරියක් නිසාය. එහිදී අබ්දුල්ලා කුමරුගේ නෙත ගැටෙන ඇගේ ජීවිතය ඉහළ තලයකට එසවෙන්නේ දෛවයේ හාස්කමකින් මෙනි. එපමණක්ද? අබ්දුල්ලා කුමරුගේ පියා ඔහුගෙන් පසුව රජකමට තීරණය කර තිබුණේ තම සහෝදරයාවය.

එහෙත් තම මරණ මංචකයේදී ඔහු හදිසියේ තීරණය කරන්නේ තම පුතු අබ්දුල්ලා කුමරුට රජකම දීමටය. ඒ අනුව පියා මියගිය පසු 1999දී ඔහු රජකමට පත් වන්නේය. ඒ වන විට 28 වැනි වියැතිව සිටි රානියා රැජනක් වන්නේ එසේය. රූමත් තරුණ රැජනක බවට පත්වන රානියා අති මහත් ජනතා ආකර්ෂණයක් දිනා ගන්නේ ඇගේ මන බඳිනා රූපය නිසාම නොවේ. මැද පෙරදිග පවතින පසුගාමීත්වයට පහර දෙමින් ප්‍රගතිශීලී අදහස්වලින් පෙරමුණ ගෙන සිටි නිසාය. තරුණ තරුණියන් බල ගැන්වීම යුගයේ අවශ්‍යතාවක් ලෙස දකින රානියා ඇගේ අදහස් ලොව පුරා ගෙන යෑමට අන්තර්ජාලය යොදා ගෙන ඇත. ඇය සමාජ මාධ්‍ය ජාලවල මිලියන 9ක් අන්තර්ජාල සාමාජිකයන් ලබා ගනිමින් යුගයේ අන්තර්ජාල තාරකාව වී සිටින්නීය. අරාබිකරයත්, බටහිර ලෝකයේ අනෙක් රටවල් අතරත් අවබෝධය වැඩි කිරීමට ඇය විසින් යූ ටියුබ්හි විශේෂ වැඩසටහනක්ද අරඹා ඇත.

මේ රානියා රැජන මාධ්‍ය සාකච්ඡාවකදී පළ කළ අදහස්ය.

අරාබිකරයේ කාන්තා ප්‍රශ්න සෑම විට මුස්ලිම් ආගමට සම්බන්ධ කළද, ඇත්තටම ප්‍රශ්නය තිබෙන්නේ ආගමේ නොව අරාබි සංස්කෘතියේයි. ආගමක් සෑම විටම ජනතාවගේ සුබසිද්ධියට මිස විනාශයට හේතුවක් නොවිය යුතුයි. යුද්ධය තිබෙන්නේ මුස්ලිම් සහ මුස්ලිම් නොවන අය අතර නොවේ. සෑම ආගමකම සිටින අන්තවාදීන් අතරයි.

දරුවන්ගේ අධ්‍යාපනය, මහජන සෞඛ්‍ය, මානව හිමිකම් ආදී විවිධ ක්‍ෂේත්‍රවල ඇගේ ක්‍රියාකාරකම් විහිදී ඇත. මුස්ලිම් අන්තගාමී ව්‍යාපාරයක් ලෙස ලොව පුරා පැතිරී ඇති (ආදර සම්බන්ධතා නිසා පවුලේ ගෞරවය කෙලෙසූ බව පවසා කරන සිදු කරන මිනී මැරීම්)වලට එරෙහිව ඇය විශාල හඬක් නඟන්නීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකාවක්ද වන ඇය ෆෝබ්ස් සඟරාව විසින් ලෝකයේ වඩාත් බලපෑම් කළ හැකි සිය දෙනා අතරටද එක් කර ඇත.

සෑම දවසක්ම අවසානයේම ජනතාවගේ ජීවිතවල ගුණාත්මකභාවය දියුණු කිරීමට යමක් කළ බව දැනෙන විට මගේ දවස සම්පූර්ණ බව මට දැනෙනවා. මා දෙස බලා මා අනුව යෑම නොවේ අවශ්‍ය වන්නේ. ඔබද දිනයක අනිත් අය ඔබ දෙස බලා ඒ අනුව යන කෙනෙක් බවට පත්වීමයි අවශ්‍ය වන්නේ. ලෝකයේ දැනට පවතින දුර්දාන්ත අදහස් හා ක්‍රියාකාරකම්වලට එරෙහිව අප පෙළ ගැසිය යුතුයි. ඒ ඇය තම ලක්‍ෂ සංඛ්‍යාත අන්තර්ජාල සාමාජිකයන්ට දෙන පණිවුඩයයි.

අරාබිකරයේ කාන්තාවන්ගේ ප්‍රගතිශීලී හඬ වන රානියාගේ හඬ නැඟෙන්නේ පෑගෙන පීඩනයට ලක්වන ලක්‍ෂ ගණනක් අරාබි කාන්තාවන් වෙනුවෙන් පමණක් නොව, ලෝකයේම කාන්තා අයිතිවාසිකම් වෙනුවෙනි. සියලු ලෝක නායකයන් හමුවී ඇගේ අදහස් ඉදිරිපත් කර ඇති ඇය ජගත් වේදිකාවේ තම ප්‍රතිරූපය ඉහළින්ම ගොඩනඟා ගෙන ඇත්තේ සියලු දෙනාට සමව සලකන ඇගේ ප්‍රතිපත්ති තුළය.

මගේ බිරිය රාජකීය පවුලකින් නොවීම ඇයට සාමාන්‍ය ජනතාව අතරට පිවිසීමට පහසුවක් ඇති කර තිබෙනවා. ඇගේ අරමුණුවලට ළඟාවීමට එය මහත් පිටුවහලක්. ජනතා බලාපොරොත්තුව ඇයයි. රාජ්‍ය රූපවාහිනි සාකච්ඡාවකදී අබ්දුල්ලා රජු පවසන්නේ ඇගේ කටයුතුවලට ශක්තියක් වෙමිනි.

විවිධ සම්මාන ත්‍යාගවලින් පිදුම් ලබා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේද සාමාජිකවක් වන ඇය තමා ළමා වියේ අත්දැකීම් පළ කරමින් ලියවුණු පොතක් ඇතුළු පොත් රැසක්ද ලියා ඇත. රානියා රැජන පුතුන් දෙදෙනකු සහ දියණියන් දෙදෙනකුගේ මවකද වේ.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

















Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top