Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 29
1,064
Views
කොළඹ නගරය භීතියෙන් මුසපත් කරමින් පසුගිය මාස කිහිපය තුළ සිදුවුණු බිහිසුණු මිනිස් ඝාතන ගොන්නකටම වගකිව යුත්තේ කවුරුන්දැයි මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය සොයාගෙන හමාරය. මාලිගාවත්තේ මුස්ලිම් පාතාලයේ පුරුකක් වන ඔහු කාලයක් තිස්සේ රැඳී සිටින්නේ ඩුබායි රටේය. කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරන ආකාරයට පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස මේ වන විට ඉදිරියට පැමිණ සිටින මාකදුරේ මධුෂ්ව පවා ඩුබායි රටට ගෙන්වාගෙන ඇත්තේද ඔහුය.

 

මධුෂ්ගෙන් පසු පාතාලයේ ලොක්කා යැයි ‍පොලිසිය හඳුන්වන්නේ ඔහුවය. මෙතෙක් කාලයක් සැඟවුණු චරිතයක් බවට පත්ව සිටි ඔහුව ‍පොලිසිය හඳුන්වන්නේ කංජි පානි ඉමිටියාස් යැයි කියාය. මුස්ලිම් පාතාලයේ ආරම්භක පුරුකක් වූ මෙන්ම මුස්ලිම් පාතාලයේ නායකයා බවට පත්ව සිටි ෆාජි ගේ කල්ලියේ බිමි මට්ටමේ සාමාජිකයෙක් ලෙස පාතාලයට අත්‍පොත් තැබූ ඔහු මාලිගාවත්ත ජුම්මා මජ්ජීඩ් මාවතේ කරත්තයකින් සව් කැඳ අලෙවි කරමින් ජීවිකාව කරගෙන ගිය අයෙකි. කන්ජිපානි ඉමිටියාස් නම් වූ ඔහු ගැන කොළඹ අපරාධ කොට්ඨාසයට තොරතුරු ලැබෙන්නේ කොළඹ නගරයේ පසුගිය මාස කිහිපයේ සිදුවුණු මිනිස් ඝාතන ගැන කෙරුණු විමර්ශන ඔස්සේය.

ඒ අතර කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කළ ප්‍රධාන ඝාතන විමර්ශනයක් වූයේ ජම්පටා වීදියේදි අඹුසැමි යුවළක් වෙඩි තබා ඝාතනය කිරීමය. එම ද්විත්ව ඝාතනය සිදුවන්නේ ජූලි 08 වැනිදාය. එම ඝාතනයේ සැකය එල්ල වන්නේ ජම්පටා වීදිය හොල්ලාගෙන සිටි කුඩු සෙල්වි නමැත්තියගේ දරුවන් දෙදෙනා වෙතය. ඒ වන විට ඔවුන් ගේදොර අතහැර පලාගොස් සිටියේ නිවසේ සුරතලයට ඇති දැඩි කළ සුනඛයාවද රැගෙනය. එම ද්විතව ඝාතනයට මුල්වූයේ වෙන කිසිවක් නොව, ඊට දින 09 කට පෙර එම ස්ථානයේදීම සිදුවුණු වෙඩි තැබිමකි. එහිදී වෙඩික්කරුවාගේ ඉලක්කය බවට පත්වන්නේ කුඩු සෙල්විගේ සැමියාය. වෙඩි කිහිපයක්ම ඔහුගේ සිරුර විනිවිද ගියද ජීවත්වීමේ වාසනාව උදාවී තිබුණේ පෙර කළ කුසල කර්මයකටය. කුඩු සෙල්විගේ දරුවන් විශ්වාස කරන්නට වූයේ සිය පියාට වෙඩි තබන්නට ඔත්තුව දුන්නේ අඹුසැමි යුවළ බවය. ඒ අය ඝාතනය වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

‍පොලිස් විමර්ශනවලින් පෙනී ගිය ආකාරයට අනුව වෙඩික්කරු වෙන කිසිවෙක් නොව, එල්.ටී.ටී.ඊයේ හිටපු සාමාජිකයෙක් වන බුම්මා නොහොත් කෙනඩිය. යුද සමයේදී ජම්පටා සිට වන්නියට ගොස් එල්.ටී.ටී.ඊයට එක්ව හමුදාවට එරෙහිව සටන් කළ ඔහු යුද්ධය අවසන් වීමත් සමග හමුදාවට භාරවී පුනරුත්ථාපනය ලැබූවෙකි. වසර ගණනාවක්ම බූස්ස රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි ඔහු නිදහස ලබා සමාජගත වන්නේ දකුණේ පාතාල කල්ලි නායකයෙක් වන කොස්ගොඩ සුජී සමග සම්බන්ධකම් ගොඩ නගාගෙනය. අනතුරුව ඔහු සුජීගේ කොන්ත්‍රාත් ඝාතකයෙක් බවට පත්වන්නේ සුජීගේ එදිරිවාදීන් රැසක්ම ඝාතනය කරමිනි.

කුඩු සෙල්විට පවා වෙඩි තබා ඝාතනය කරන්නේ ඔහුය. ඒ ජම්පටා වීදියේ දෙනෝදහක් බලා සිටියදීය. 2015 වසරේ සැප්තැම්බර් 12 වැනිදා සිදුවුණු එම ඝාතනය කෙනඩි විසින් කර ඇතැයි පවසන්නේ බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහෙත් පූකුඩිකන්නා නමැති පාතාල සාමාජිකයාගේ කොන්ත්‍රාත්තුවකටය. ඒ වන විට පූකුඩි කන්නා සිට ඇත්තේ බන්ධනාගාරයේය. ඒ අවි ආයුධ සමග ‍පොලිසියට හසුවීය.

එල්.ටී.ටී.ඊ ය සමග සම්බන්ධකම් පැවැති අයෙක් වූ පූකුඩිකන්නාට සෙලවිව ඝාතනය කරන්නට සිදුවන්නේ මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවුණු ආරවුල් දිග්ගැස්වීමෙනි. ඒ වන විට කෙනඩිගේ සහෝදරයෙක්ද සෙල්විගේ උදහසට ලක්ව සිටි බැවින් පූකුඩිකන්නාගේ කොන්ත්‍රාත්තුව කෙනඩි භාරගෙන ඇත්තේ වුවමනාවෙනි.

ජම්පටා ද්විත්ව ඝාතනයේ උණුසුම මැකී යන්නට මත්තෙන් මෝදර තැපැල් කන්තෝරුව ආසන්යේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වන්නේ පූකුඩිකන්නාගේ පියාය. ඒ අගෝස්තු 03 වැනිදාය. එම ඝාතනයේ සැකය එල්ල වන්නේද සෙල්විගේ දරුවන්ටය. ඒ සිය පියාට වෙඩි තැබුවේ පූකුඩිකන්නාගේ වුවමනාවකට බව ඒ අය තදින්ම විශ්වාස කරන්නට වූ බැවිනි. පූකුඩිකන්නාගේ පියාව මරා සෙල්විගේ දරුවන් උත්සහ ගත්තේ ඒවන විට සැඟවී සිට තැනින් පූකුඩිකන්නාව එළියට ගැනීමය. එහෙත් එය හිතන තරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවීය. පූකුඩිකන්නා සිය පියාගේ මළ ගෙදරට පවා එන්නේ ගෝලබාලයන් රැසක් පිරිවරාගෙනය. ඒ පැමිණ ඔහු විනාඩි පහළොවකට වඩා මළ ගෙදර රැඳුණේ නැත. ත්‍රිරෝද රථ දහයක් පිරිවරාගෙන අතුරුදන් වන්නේ වැඩි වේලාවක් රැඳී සිටියහොත් මාරයා අත වනන බව දැන සිටි බැවිනි.

කොළඹ අපරාධ කොට්ඨාසයට ඒත් එක්කම හිසරදයක් බවට පත්වන්නේ කුඩු සෙල්විගේ දරුවන්ය. ඒ අය අංගොඩ ලොක්කාගේ සහ මාකදුරේ මධුෂ්ගේ කල්ලි සමග සම්බන්ධකම් පවත්වන බවට පවා තොරතුරු අපරාධ කොට්ඨාසයට ලැබෙන්නට විය. ඒ නිසාම ඔවුන් කොටුකර ගැනීමේ මෙහෙයුම් කොළඹ අපරාධ කොට්ඨාසය පුළුල් කළේය. ඒ වන විට කුඩු සෙල්විගේ වැඩිමහල් දරුවා වන පලනි ශිරාන් සිටියේ මත්කුඩු සන්තකයේ තබා ගැනීමකට බන්ධනාගාරගතවය. ඔහු බන්ධනාගාරයේ සිට ජංගම දුරකථන ඔස්සේ මත්කුඩු ජාවාරම මෙහෙයවන බවට තොරතුරු ‍පොලිසිය සතු විය. ඒවන විට සැඟවී සිටි සෙල්විගේ අනිත් දරුවන් දෙදෙනා කොටුකර ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශකයන් දැලක් එළන්නේ එම ජංගම දුරකතන අංකය ඔස්සේය.

එය ඉතා සාර්ථක මෙහෙයුමක් බවට පත්වන්නේ කුඩු සෙල්විගේ දරුවන් දෙදෙනාගෙන් බාලයාත් දෙවැන්නාත් වැල්ලම්පිටියේදි අත්අඩංගුවට ගැනීමත් සමගිනි. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේ්‍යෂ්ඨ ‍පොලිස් අධිකාරී නිශාන්ත සොයිසාගේ උපදෙස් සහ අධීක්ෂණයෙන් එහි ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වාගේ මෙහෙයවීමෙන් එම අත්අඩංගුවට ගැනීම කෙරෙන්නේ උප ‍පොලිස් පරීක්ෂකවරුන් වන ජගත්සිරි, දුණුසිංහ ඇතුළු කණ්ඩායමක් විසිනි.

දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ එතෙක් කොළඹ සිදුවුණු ඝාතන බොහොමයකටම ඔවුන් දෙදෙනා සම්බන්ධ බවය. පූකුඩිකන්නාගේ පියාට මෝදරදී වෙඩි තැබූ වෙඩික්කරුව යතුරුපැදියක නන්වාගෙන රැගෙන යන්නේත් ජම්පටා අඹුසැමි යුවළට වෙඩිතැබූ වෙඩික්කරුව යතුරුපැදියේ නංවාගෙන එහි රැගෙන යන්නේත් සෙල්විගේ බාල පුතාය.

ඒත් එක්කම එතෙක් ‍පොලිසියට හෙළි නොවූ තවත් අබිරහසක් මේ දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදි අනාවරණය කර ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශකයන්ට හැකියාවක් ලැබෙන්නේය. ඒ කොළඹ අලුත්කඩේ අධිකරණය ආසන්නයේ දමාගොස් තිබුණු කොස් මල්ලී නමැති පාතාල අපරාධකරුගේ හිස එහි ගෙනවිත් දමන්නේ කවුරුන්දැයි කියාය. අඟුණුකොලපැලැස්සේදී මාකදුරේ මධුෂ්ගේ ගෝලබාලයින් විසින් කොස් මල්ලීව ඝාතනයකර හිස ‍පොලිතින් උරයක දමා මෝටර් රථයකින් පැමිණි පිරිසකට භාරදීමෙන් පසු ආමර්වීදියේදි එම හිස භාරගෙන අලුත්කඩේ අධිකරණ සංකීර්ණය කිට්ටුවට රැගෙන ගොස් දමා යන්නේ සෙල්විගේ පුතුන් දෙදෙනාය. ඒ ඩුබායි සිටින කන්ජිපානි ඉමිටියාස්ගේ කීමටය.

අලුත්කඩේ අධිකරණයේ විභාගවෙමින් පැවති නඩුවකට පෙනී සිට නැවත නිවස බලා යමින් සිටි මත්කුඩු ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙක් වන ඇන්ටන් රාජ් නැමැත්තාට පසුගිය මාර්තු 19 වැනිදා ආමර් වීදියේදි දෙනෝදාහක් බලා සිටියදී මහා දවාලයේ වෙඩි තැබිම සිදුව ඇත්තේ කන්ජිපානි ඉමිටියාස්ගේ වුවමනාවකට බවද ‍පොලිසිය දැන් හෙළි කරගෙන හමාරය. එම වෙඩි තැබිමට ගිය වෙඩික්කරුව යතුරුපැදියේ නංවාගෙන ගොස් ඇත්තේද සෙල්විගේ බාල පුතාය.

මේ සියල්ල හෙළිකර ගත් කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශකයන් සෙල්විගේ පුතා විසින් වෙඩික්කරුවන් රැගෙනගිය යතුරුපැදියද සොයා ගත්තේය. ඒ වත්තල ප්‍රදේශයේ සඟවා තිබියදීය. මත්කුඩු ජාවාරමකට බන්ධනාගාරගතව සිටින රැඳවූවකුට අයත් වූවකි. වෙඩික්කරුව රැගෙන මුළු කොළඹම එම යතුරුපැදිය කරක් ගසා ඇත්තේ අඩුම තරමින් අංක තහඩුවවත් වෙනස් නොකරමිනි.

කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරන්නේ සෙල්විගේ දරුවන් දෙදෙනා අත්අඩංගුවට නොගන්නට පාතාලයේ සැඟවුණු චරිතයක් බවට පත්ව සිටි කන්ජිපානි ඉමිටියාස් ගැන තොරතුරු හෙළි නොවනු ඇති බවය. මේ එක්කම කොළඹ නගරයේ සිදුවීමට ඉඩ තිබුණු තවත් බොහෝ ඝාතන වැළකී ගිය බව කොළඹ අපරාධ කොට්ඨාසය විශ්වාස කරයි. මතෛක් සිදුවුණු ඝාතන මෙන්ම ඉදිරියට සිදුවීමට ඉඩ තිබුණු ඝාතන සියල්ලක්ම පාහේ මත්කුඩු ආරවුල් මුල්කරගත් ඒවාය. එකී ඝාතනයන්ට සම්බන්ධ පාතාලයේ වෙඩික්කරුවද අද හෙටම අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි කොළඹ අපරාධ කොට්ඨාසය විශ්වාස කරයි.

– ගයාන් කුමාර වීරසිංහ

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top