Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 15
611
Views
බොලිවුඩ් සුපිරි නළු අනිල් කපූර් සහ මව සුනීතා ගත කරන්නේ ඕනෑම අයෙකුට ආදර්ශයට ගත හැකි අන්දමේ විවාහ ජිවිතයක් බව මෑතකදී ආනන්ද් අහුජා සමග විවාහ වූ සෝනාම් කපූර් කියයි . ඇගේ අරමුණද වන්නේ ඒ හා සමාන සුන්දර විවාහ ජීවිතයක් ගත කිරීමය.


මේ වන විට අනිල්ගේත් සුනීතාගේත් විවාහ ජීවිතයේ වයස අවුරුදු 45 ක් වන අතර එම කාලය තුල නොයෙකුත් අභියෝග, හැලහැප්පීම්වලට මුහුණ දුන්නේ වී නමුදු ඔවුහු අදත් පී‍්‍රතිමත් විවාහ ජීවිතයක් ගත කරති. අලූත් යුවළක් මෙන් සාදවලට සහභාගි වෙති. ලෝකයේ නොයෙක් රටවල සංචාරයේ යෙදෙති.

මේ දිනවල දික්කසාද බහුල සිනමා ලෝකයේ ඔවුන් දෙදෙනා විශේෂිත අඹුසැමියන් වන්නේ එම නිසාය.

බොහෝ වෙලවට අනිල් කපුර් විසින් තම බිරිදව වර්ණනාද කරයි . වැඩිදුරටත් ඔහු පවසන්නේ ‘‘ඇය තමයි මගෙ ජීවිතේට ලැබුණ ලොකුම වාසනාව.. හැම තැනකදිම ඇය මගෙ ළගින්ම හිටියා.. අපි පරිපුර්ණ නිවසක් හදා ගත්තා.. දරුවෝ තුන් දෙනෙක් ඇතිදැඩි කළා.. දැන් අපිට ජිවිතේ දිහා බොහොම සැහැල්ලූවෙන් බලන්න පුළුවන්..’’ යනුවෙනි .

මේ දෙදෙනාගේ ආදර කතාව ආරම්භ වූයේ පාසැල් වියේදීය. බොහෝ විට එය චිත්‍රපටයක කතාවක් තරම්ම සුන්දර කතාවකි.

මෙම අදර කතාව පිළිබද අනිල් කපූර් කියා සිටින්නේ ‘‘මගේ යාළුවෙක් සුනීතට මගෙ ෆෝන් නම්බර් එක දීලා තිබුණා බොරුවට කෝල් කරලා මාව අන්දන්න කියලා.. මම ඒක දැනගෙන හිටියෙ නෑ.. සුනීතා බොරු නමක් කියලා මට කතා කළා.. මාව දැකලා තියෙනවා.. මගෙත් එක්ක කතා කරන්න ආසයි වගේ දේවල් කිව්වම කොයි කොල්ල ද ඇන්දෙන්නෙ නැත්තෙ..? එයාගෙ කටහඩ හරි ලස්සනයි.. මම ඒකට වශී වුණා..’’

වැදගත්ම දේ වෙන්නේ ඔහු දැන් ඒ අතීතය සිහිපත් කරන්නේ බොහෝ ආශාවෙන් බවයි .

මෙම ආදර කතාවේ අනිකුත් විස්තර නම් අනිල් සහ දුරකථන කෙල්ල දිනපතාම කතා කරන්නට පටන් ගත්හ. ඇය සමග කතා නොකළ දිනක් වේනම් එය බොහෝ දිග දවසක් ලෙස දැනෙන තරමටම ඒ ඇමතුමට අනිල් ඇබ්බැහි වී සිටියේය. මිතුරන් සමග ද ඇය ගැන කතා කළේ අභිරුචියෙනි. ‘‘කෙල්ල කවදාවත් දැකලවත් නැතුව වශී වෙනවා කියන්නෙ හොද දෙයක් නෙමෙයි.. කටහඩ ලස්සන වුණාට අබ්බගාතයෙක් ද කියලා කවුද දන්නෙ..?’’ මිතුරෝ ඔහු වෙහෙසූහ.

කෙසේවෙතත් වැඩිපුරම සරදම් කර ඇත්තේ ඔහුගේ අංකය සුනීතාට දුන් මිතුරාය. මේ අතර දිනෙක ඒ මිතුරාගේ නිවසේ සාදයක් පැවැත්විණි. එහිදී ඔහු අනිල්ට සුනීතා හදුන්වා දුන්නේය. එහෙත් ඒ දුරකථනයෙන් කතා කරන කෙල්ල ලෙස නොවේ.

ඇය දුටු විගසම අනිල් ගේ සිතේ කුමක්දෝ පෙරළියක් ඇති විණි. ඇය මින් පෙර කොහේදී හෝ දැක හුරුපුරුදු බවක් ඔහුට දැනෙන්නට වූයේය. ඔහු බොහෝ කැමැත්තෙන් ඇය සමග කතාබහ කළේය. ඇය නිදහස්කාමී සැහැල්ලූ පැවතුම් ඇති යුවතියක බැව් ඔහුට වැටහිණි. ඇය ඒ වන විට සිටියේ මෝස්තර නිරූපණය හදාරමිනි.

‘‘වෙලාවක අපේ ගෙදර එන්න..’’

සාදය නිමා වී පිටව යද්දී ඇය ඔහුට ඇරයුම් කළාය. ඔහුට සතුටක් මෙන්ම බියක් ද එක් වරම දැනිණි.

‘‘අපෝ බෑ.. ඔයාලගෙ අම්මලා මට බනියි..’’ ඔහු කීවේය.

‘‘අපේ අම්මලා පරණ විදියට හිතන අය නෙමෙයි..’’

එකී ලෙසම ඔහු ඇගේ නිවසට ගියේය. බැංකුකරුවෙකු වූ ඔහුගේ තාත්තාත්, අම්මාත් ඔවුන් හදා වඩන්නේ සම්ප්‍රදායික ලෙස නොවන බැව් ඔහුට වැටහිණි. ඉක්මනින්ම ඔවුහු හොද මිතුරෝ වූහ. එහෙත් දුරකථන කෙල්ල සහ ඔහු අතර සබැදියාව දිගටම පැවතිණි. සුනීතා සහ අනිල් ඒ කෙල්ල ගැන ද කතා කළහ.

‘‘ඇත්තටම මම එයාට ආදරෙයි..’’ ඔහු කීවේය.

‘‘දැකලවත් නැති කෙල්ලකට කොහොමද ආදරේ කරන්නෙ..?’’

ඇය පුදුමයෙන් විමසුවාය.

‘‘දන්නෙ නෑ.. ඒත් ඒක එහෙම තමයි..’’ ඔහු කීවේය.

‘‘එතකොට මං ගැන ඔයාට දැනෙන්නෙ කොහොමද..?’’

ඇය ඇසුවාය.

‘‘ඔයාට මං හරි කැමතියි..’’ ඔහු කීවේ සිනාසෙමිනි.

ඒ කතාබහින් ටික දිනකට පසුව දුරකථන කෙල්ල අතුරුදහන් වූවාය. මොන තරම් උත්සාහ කළත් ඔහුට ඇය සම්බන්ධ කර ගන්නට පුළුවන් වුයේ නැත. ඔහුගේ හදවත කඩා වැටුණේය. ඔහු සිය දුක බෙදාහදා ගත්තේ සුනීතා සමගිනි. ඇය ඔහු සනසන්නට බොහෝ දේවල් කීවාය. ඔවුන් දෙදෙනාගේ මිතුරුදම වඩාත් ශක්තිමත් විණි.

‘‘ටික දවසකට පස්සෙ සුනීතා කිව්වා එයා තමයි අර කෙල්ල කියලා.. මුලින් මම විශ්වාස කළේ නෑ.. ඒත් අපි දෙන්නා විතරක් කතා කරපු දේවල් කිව්වට පස්සෙ මම විශ්වාස කරන්න පටන් ගත්තා.. මම එයාට කිව්වෙ නෑ මගෙ ගර්ල් ෆ්‍රෙන්ඞ් වෙන්න කියලා.. ඒත් අපි දෙන්නම දැනගෙන හිටියා අපි පෙම්වතුන් කියලා.. අපි දෙන්නා කතාබහ කළා.. ඇවිදින්න ගියා.. මට ඒ කාලෙ රස්සාවක් තිබුණේ නැ.. ඒත් එයාට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ.. අපි අවුරුදු දහයක් තිස්සෙම ආදරේ කළා..’’ අනිල් කියන්නේය.

ඔහු ගේ නිවසත් ඇගේ නිවසත් අතර වූ දුර බසයෙන් යන්නේ නම් පැයකට අධික කාලයක් ගත වූයේය.

‘‘මෙච්චර වෙලා මොනවද කළේ..? ටැක්සි එකක ආවානම් මේ වෙනකොට ඇවිල්ලනෙ..’‘

ඔහු එන තුරු නොඉවසිල්ලෙන් මග බලාගෙන සිටින සුනීතා කැ ගැසුවාය.

‘‘ටැක්සිවල එන්න මට සල්ලි නෑ..’’ ඔහු සෘජුවම කීවේය.

‘‘මම සල්ලි දෙන්නම්.. මීට පස්සෙ ටැක්සියක එන්න..’’

ඇය කීවාය.

ඔහු පළමු චිත්‍රපටියේ රග පා ආර්ථික ස්ථාවරයක් ගොඩ නගා ගත් විගසම ඇයට විවාහ යෝජනා කළේය.

‘‘අපි හෙට බදිමු.. හෙට නැත්නම් කවදාවත් බදින්නෙ නෑ..’’

ඔහු තිර හඩින් පැවසූ විට ඇය වහා එයට එකග වූවාය. පසුවදා දහ දෙනෙකුගේ පමණක් සහභාගිත්වයෙන් ඔවුන්ගේ විවාහය සිදු වුයේය. තුන් දිනකට පමණ පසුව ඔහු නැවතත් චිත්‍රපටි දර්ශන තලයට ගිය අතර ඇය තනිවම මධු සමය ගත කරන්නට විදෙස්ගත වුවාය.

‘‘ඔන්න ඔය විදියට තමයි අපේ විවාහ ජිවිතේ ආරම්භ වුණේ.. මගේ යාළුවො කියන්නෙ සුනීතා නැත්නම් උඹත් නෑ කියලා.. ඒක සහතික ඇත්ත.. මම මං වෙලා ඉන්නෙ එයා හින්දා..’’ යයි අනිල් කියුවේය .
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top