Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 June 07
2,239
Views
ෆරීඩා ජීවත් වුණේ උතුරු ඉරාකයෙ කෝජෝ වල පුංචි ගම්මානයක. ඇය යසිදි ජාතික පවුලක පස්‌ වෙනි දරුවා. අයියලාම හතර දෙනෙක්‌. තාත්තා සේවය කළේ ඉරාක හමුදාවෙ..


ෆරීඩාට ලොකු බලාපොරොත්තු තිබුණෙ නෑ.. හැමදාමත් ඉස්‌කෝලෙ ගිහින් හොඳට ඉගෙන ගන්න.. හොඳට ඉගෙනගෙන ගණිත ගුරුවරියක්‌ වෙන්න තමයි ෆරීඩාට තිබුණ එකම බලාපොරොත්තුව.

ඒ නිසා ෆරීඩා තමන්ගෙ ඉස්‌කෝලෙට ගොඩක්‌ ආදරය කළා. ඒත් ඒ ඉස්‌කෝලෙම කවද හරි තමන්ගෙ පවුලේ අයගෙ මරණය සිද්ද වුණ අමිහිරිම මතක පිරිච්ච තැන වේවි කියල නම් ෆරීඩා හිතලවත් තිබුණෙ නෑ.

හමුදා නිලධාරියෙක්‌ වුණු ෆරීඩාගේ තාත්තා නිතරම ෆරීඩාට කියපු එක දෙයක්‌ තිබුණා.

"ඔයා හරි දහිරියවන්ත කෙල්ලක්‌.. ඒ නිසා මට විශ්වාසයි කවද හරි කොතනකදි හරි කොයි කාලෙකදි වුණත් ඔයා ඒ ධෛර්යවන්ත කම නැති කරගන්නෙ නෑ කියල.."

තාත්තා එහෙම කිව්වේ කවදා හරි ෆරීඩාට මූණ දෙන්න වෙන ඉරණම ගැනත්, ඉරාකයෙ යසිදි ජාතිකයින්ට අත්වෙන ඉරණම ගැනත් දැනගෙන හිටියා වගෙයි.

ෆරීඩාගේ වයස අවුරුදු දාහතක්‌ වෙනකොට ඉරාකයේ අයි එස්‌ ත්‍රස්‌තවාදය වේගයෙන් පැතිරෙමින් තිබුණ කාලෙ..

2014 අගෝස්‌තු තුන් වෙනිදා අයි එස්‌ ත්‍රස්‌තවාදියෝ සිනිජාර් කදුවැටියේ ගම්මාන වැටලුවා. කලින්ම මේ බව දැනගත්ත යසිදි ජාතිකයො නම් කඳුකරයට පැනලා ගියා. ඒත් කෝජෝ අවට හිටපු මිනිස්‌සු නම් මේ බව දැනගන්නකොට හොදටෝම පරක්‌කු වැඩියි. ඒ ගොල්ලො මේ බව දැනගන්නකොටත් අයි එස්‌ ත්‍රස්‌තවාදියො මිනිස්‌සුන්ට පැනලා යන්න තිබුණු හැම මාර්ගයක්‌ම අවහිර කරලා තිබුණා.

මේ ගම්මාන වල මිනිස්‌සුන්ව කොටු කරගෙන ඒ ගම්මාන වල උන්නු කුර්දි මිනිස්‌සුන්ට ඉස්‌ලාමික ආගමට හැරෙන්න කියලා අයි එස්‌ ත්‍රස්‌තවාදියො පටන් ගත්ත කතාව කෙළවර වුණේ මහා මිනිස්‌ ඝාතනයකින්. ගම්වල උන්නු පිරිමි, ගැහැනු වගේම පුංචි දරුවොත් ඉස්‌කෝලෙ පිට්‌ටනියට රැස්‌ කෙරුණා. ඉස්‌කෝලෙට එකතු කරගත්ත ගම් වැසියන්ගෙ ළඟ තිබුණ වටිනා කියන හැම දෙයක්‌ම වගේ අයි එස්‌ ත්‍රස්‌තවාදියො බලහත්කාරෙන් කොල්ල කෑවා.

ඊට පස්‌සෙ පිරිමි අය හැමෝගෙම බෙලි කපලා මරා දැම්මා. ෆරීඩාගේ තාත්තත් අයියලා තුන්දෙනෙකුත් එතනදී මැරුම් කෑවා. එක අයියා කෙනෙක්‌ මල මිනී අතර මලමිනියක්‌ වගේ වැතිරිලා ඉඳලා පණ බේරගත්තා.

ඊට පස්‌සෙ එතන ඉතිරි වෙලා හිටියෙ ගැහැනු අයත් පුංචි දරුවොත් විතරයි.

අයි එස්‌ ත්‍රස්‌තවාදියෝ මේ අයව කාණ්‌ඩ වලට වර්ග කළා. අඩු වයස්‌ වල ගැහැනුන්, කන්‍යාවියන් ලිංගික වහලියන් විදිහට විකුණන්න.. වැඩිමල් ගැහැනු අයත් පුංචි දරුවොත් අයි එස්‌ සංවිධානය වෙනුවෙන් මෙහෙකාරකම් කරන්න.. කණ්‌ඩායම් වලට වෙන් කෙරුණා.

ඒ වෙනකොට අවුරුදු දාහතක්‌ වෙච්ච ෆරීඩාවත් වැටුණෙ ලිංගික වහලියන් ගොඩට.

ෆරීඩාව අයි එස්‌ ත්‍රස්‌තවාදියෝ ලිංගික වහලියක්‌ විදිහට විකිණුවා. ඈව විකිණුවේ එක පාරක්‌ දෙකක්‌ නෙවෙයි. කීප වතාවක්‌ම කීප දෙනෙකුටම විකිණුවා. ඒ විතරක්‌ නෙවෙයි. ෆරීඩාගෙ ශරීරය අයි එස්‌ සොල්දාදුවන්ට තෑගි විදිහටත් පිරිනැමුණා ෆරීඩාගේ කැමැත්තක්‌ නැතිවම.

ෆරීඩා විතරක්‌ නෙවෙයි තවත් ළාබාල යසිදි සහ කුර්දි ගැහැනු දරුවන් දහස්‌ ගණනක්‌ මේ විදිහට අයි එස්‌ සංවිධානයෙන් ලිංගික වහලියන් විදිහට විකිණුවා. යසිදි ගැහැනු ළමයින්ව විකුණන වෙනමම වෙළෙඳ පොළවල් පවා තිබුණා. යසිදි ගැහැනු දරුවන්ව තෑගි විදිහටත් හුවමාරු කෙරුණා. මේ ගැහැනු දරුවන්ගේ ජීවිත විකුණලා ලැබුණු මුදල් අයි එස්‌ සංවිධානයෙ අරමුදලට එකතු වුණා.

"අපිව වරින් වර තැනින් තැනට ගෙනිච්චා. සමහර තැන්වලදී අපිව සල්ලි වලට විකිණුවා. සමහර විට සල්ලි නැතිවත් විකිණුවා. දවසකට අයි එස්‌ සොල්දාදුවො කීප දෙනෙකුගෙ අතින් දූෂණය වෙන්න අපිට සිද්ධ වුණා. ලිබියාවෙනුයි, උතුරු අප්‍රිකාවෙනුයි ආපු අයි එස්‌ ත්‍රස්‌තවාදියො පවා මාව මිලට ගත්තා.." ෆරීඩා ඒ බී සී පුවත් සේවයට කිව්වෙ එහෙමයි. "දූෂණය කළා විතරක්‌ නෙවෙයි උන් අපිට පහර දුන්නා. හරිම දරුණු විදිහට හැමදාමත් පහර දුන්නා."

ෆරීඩා අයි එස්‌ සංවිධානයේ හිරකාරියෙක්‌ වෙලා හිටියෙ මාස හතරක කාලයක්‌ විතරයි. ඒත් ඒ මාස හතරක කාලෙට විඳපු වධ වේදනා දරාගන්න බැරිව ෆරීඩා දෙපාරක්‌ම ඒ හිර ගෙදරින් පැනලා යන්න උත්සාහ කළා.. හත් වතාවක්‌ම සිය දිවි නසාගන්නත් උත්සාහ කළා. ෆරීඩාට විතරක්‌ නෙවෙයි. එතන හිටපු හැම යසිදි කාන්තාවකටම අයි එස්‌ සොල්දාදුවො දිනපතාම අමානුෂික වධ දුන්නා.

ෆරීඩාට අරාබි භාෂාව කතා කරන්න විතරක්‌ නෙවෙයි ලියන්න කියවන්නත් පුළුවන්කම තිබුණා. ඒත් අයි එස්‌ අත් අඩංගුවෙදි ෆරීඩා හිටියෙ අරාබි කතා කරන්න තියා කතා කරන දෙයක්‌ තේරුම් ගන්නවත් පුළුවන් කමක්‌ නැති ගාණට.

"එතකොට ඒ ගොල්ලොත් එක්‌ක කතා කරන්නවත්, ඒ ගොල්ලො අහන දේකට උත්තර දෙන්නවත් මට සිද්ධ වෙන්නෙ නැහැනෙ.. එතකොට මට මගේ පවුලෙ අය ගැන විස්‌තර කියන්න සිද්ධ වෙන්නෙත් නැහැනෙ.." අරාබි කතා කරන්න බැරි විදිහට හිටපු හේතුව ෆරීඩා විස්‌තර කළේ ඒ විදිහට. "අනිත් එක තමයි මම කැමති වුණේ නෑ කුරානය කියවන්න.. අහිංසක මිනිස්‌සු, පුංචි ළමයි මරනකොට නිශ්ශබ්දව ඉන්න, අහිංසක ගෑනු දූෂණය කරන්න තමන්ගෙ අනුගාමිකයින්ට ඉඩ දෙන දෙවි කෙනෙක්‌ ගැන මම මොකටද කියවන්නෙ..? ඒ නිසා මම අරාබි කතා කරන්න බැරි විදිහටම හිටියා.."

"ඒත් අපේ යසිදි ගැහැනු ළමයින්ට අයි එස්‌ සොල්දාදුවන් අමානුෂික විදිහට පහර දෙන හැටි.. වධ දෙන හැටි.. යසිදි ගැහැනු ළමයිනුත් කුර්දි කාන්තාවනුත් අමානුෂික වධ දීලා මරා දමන හැටි මම දවස ගාණේම දැක්‌කා. ඒ ගැහැනු අය ගැන ලෝකයට කියන්න, ඒ අයගේ හඬ බවට පත් වෙන්න මෙහෙන් පැනලා යනවාමයි කියලා අධිෂ්ඨානයක්‌ මට තිබුණා."

දෙතුන් පාරක්‌ පැනලා යන්න ගත්ත උත්සාහයන් අසාර්ථක වෙලා ඒකට දඩුවම් වින්දාට පස්‌සෙත් ෆරීඩාගේ ධෛර්යය නැති වුණේ නෑ.

පැනලා යන්න ෆරීඩාට තවත් අවස්‌ථාවක්‌ ලැබුණා. දවසක්‌ සිම් පත ඉවත් නොකරපු ජංගම දුරකථනයක්‌ ෆරීඩාට හම්බ වුණා. ෆරීඩා ඉක්‌මනින්ම ඒ ජංගම දුරකථනයෙන් මාමාට කතා කළා.

"මාමේ මම ෆරීඩා.." ෆරීඩා කතාව පටන් ගන්න හදනකොටම "නෑ.. වෙන්න බෑ.. ෆරීඩා දැන් මැරිලා.." කියලා මාමා දුරකථනය විසන්ධි කළා. ෆරීඩා උත්සාහය අත ඇරියේ නෑ. ආයෙමත් මාමාට කතා කරලා තමන් තවමත් ජීවතුන් අතර ඉන්න බව ෆරීඩා මාමාට පැහැදිලි කරලා දුන්නා. එතන ඉඳන් ෆරීඩා ආයෙමත් පැනලා යන්න සැලසුම් ඇන්දා.

දවසක්‌, අයි එස්‌ ත්‍රස්‌තයින්ගේ පුංචි අතපසුවීමක්‌ ගැන ඇහැ ගහගෙන හිටපු ෆරීඩා තවත් ගැහැනු ළමයින් පස්‌ දෙනෙකුත් එක්‌ක ඒ හිර ගෙදරින් පැන ගත්තා. රෑ එකට හිර ගෙදරින් පැන ගත්ත ෆරීඩාත් යාලුවො පස්‌දෙනත්, අයි එස්‌ ත්‍රස්‌තවාදීන් තමන්ව හොයාගෙන එද්දිම මහ රෑ කළුවරේම හැතැක්‌ම ගාණක්‌ දුවලා සිනිජාර් නිම්නයේ හැංගුණා. හැංගි හැංගී තවත් ඈතට යනකොට ඔවුන්ට ගෙදරක්‌ දකින්න ලැබුණා.

"මම ඒ ගෙදරට ගිහින් උදව් ඉල්ලන්නම්.. ඔයාලා හැංගිලා ඉන්න.. ඒ ගෙදර අයත් අයි එස්‌ ලාට උදව් කරනවා නම් මං ආපහු එන එකක්‌ නෑ.. මම ආපහු ආවෙ නැත්තම් ඔයාලා බේරිලා පැනලා යන්න.." කියලා යාළුවන්ව හංගලා තියලා ෆරීඩා ඒ ගෙදරට ගියා. වාසනාවකට වගේ ඒ ගෙදර හිටපු අය අයි එස්‌ සංවිධානයට පක්‌ෂ අය නෙවෙයි. ඒ නිසා ෆරීඩාටත් යාළුවන්ටත් පැනලා යන්න ඒ අය උදව් කළා.

අයි එස්‌ සංවිධානයේ හිර ගෙදරින් පැන ගත්තත් මේ ගෑනු ළමයින්ට යන්න තැනක්‌ තිබුණේ නෑ. ඔවුන්ගේ ගෙවල් අයි එස්‌ ත්‍රස්‌තවාදියෝ විනාශ කරලා. දෙමාපියන්ව මරලා දාලා.. කාලයක්‌ අයි එස්‌ ත්‍රස්‌තයින්ගේ ලිංගික වහලියන් වෙච්ච මේ දැරියන්ව ආපහු බාර ගන්න නෑදෑ කෙනෙක්‌වත් කැමති වුණෙත් නැහැ. ඒ නිසා මේ දැරියන්ටත් සිද්ධ වුණේ අයි එස්‌ සංවිධානයෙන් බේරිලා ආපු අනිත් ලිංගික වහලියන්ට සිද්ධ වෙච්ච දේමයි. ඉරාකයේ තියෙන සරණාගත කඳවුරක තනි වෙන්න. ඒ සරණාගත කදවුරේ ෆරීඩා වගේම අයි එස්‌ සංවිධානයෙන් පැනලා ආපු ලිංගික වහලියන් එක්‌දහස්‌ හාරසිය ගාණක්‌ හිටියා. ඒ හැමෝම යන්න එන්න තැනක්‌ නැතිව හුදෙකලා වුණු අය. මේ සරණාගත කදවුරේ ඉන්න අතරෙදි තමයි ෆරීඩාට ජර්මන් සරණාගත වැඩසටහනක ප්‍රධානියා වුනු මහාචාර්ය ජෑන් කිස්‌ල්හාන් මුණ ගැහුණේ. මේ සරණාගත වැඩසටහනින් කෙරුණේ මේ විදිහට හුදෙකලා වුණු අයි එස්‌ ලිංගික වහලියන්ට මනෝවෛද්‍ය ප්‍රතිකාර ලබා දීලා ඔවුන්ව යහපත් ජීවිත ගත කළ හැකි මාර්ග වලට යොමු කරන එකයි. මහාචාර්ය ජෑන්ට අයි එස්‌ ලිංගික වහලියන් දහස්‌ ගණනක්‌ මුණ ගැහිලා තිබුණා. ඒ කාන්තාවන් මුහුණ දීපු බිහිසුණු අත්දැකීම් ගැන ඔහු ඕන තරම් අහලා තිබුණා.

"අයි එස්‌ ලිංගික වහලියක්‌ වෙලා ඉඳලා දිවි ගලවා ගත්ත අවුරුදු නවයක දැරියක්‌ මට මුණ ගැහුණා. ඇගේ දෙමාපියන්ව අයි එස්‌ ත්‍රස්‌තවාදීන් විසින් බෙලි කපලා මරා දමලා තියෙන්නේ මේ දරුවාගේ ඇස්‌ ඉදිරිපිටමයි. ඊට පස්‌සේ මේ දරුවාව මොසුල් නගරයටත් එතනින් රක්‌කා වලටත් අරන් ගිහින් තිබුණා. මාස දහයක්‌ විතර කාලයක්‌ තිස්‌සේ මිනිස්‌සු අට දෙනෙක්‌ මේ දැරියව වරින් වර නිතරම දූෂණය කරලා තිබුණා.. ඒ දැරිය තාමත් අහන්නේ එක දෙයයි... "ඇයි මිනිස්‌සු මේ තරම් දරුණු..?" කියලා..

ඒ වගේම තවත් අවුරුදු දාසයක දැරියක්‌ අපේ කඳවුරේ හිටියා. දවසක්‌ මේ දරුවා හීනෙන් දැකලා තිබුණා මේ කඳවුරටත් අයි එස්‌ ත්‍රස්‌තවාදීන් ඇවිත් ආයෙමත් ඒ දරුවාව අරගෙන යන හැටි.. ඒ හීනයෙනුත් ඒ දරුවා කම්පනයට පත් වෙලා තිබුණා.. ආයෙමත් මාව ගෙනිච්චොත් ආයෙමත් උන් මාව දූෂණය කරයි කියලා ඇය වැළපුණා. ඒ කම්පනයෙන්ම ඇය සිරුරට ගිනි තියාගෙන තිබුණා. ජර්මනියට ගෙනිහින් ප්‍රතිකාර කරලා ඇගේ ජීවිතේ බේරගන්න අපිට පුළුවන් වුණා.." මහාචාර්ය ජෑන් කියනවා. ෆරීඩා කියන ධෛර්යමත් දැරිය අයි එස්‌ ග්‍රහණයෙන් පලා ආවා වගේම තමන්ගේ හිතේ තිබුණ කම්පනයත් බියත් ජය ගන්නත් සමත් වුණා. ෆරීඩාට වගේම අයි එස්‌ සංවිධානයේ ලිංගික වහලියන් වෙලා උන්නු තවත් තරුණියන් සෑහෙන සංඛ්‍යාවකට නිදහස්‌ ලෝකයකට ගිහින් අලුතින් ජීවිතේ පටන් ගන්න ජර්මන් සරණාගත ව්‍යාපෘතියෙන් අවස්‌ථාව ලබලා දුන්නා. දැන් ෆරීඩා ඉන්නේ නිරිතදිග ජර්මනියේ.

ෆරීඩා තමන්ට ලැබුණ නිදහසින් තමන්ගේ අතීතය අමතක කරලා අලුත් ජීවිතයක්‌ පටන් ගත්තේ නෑ. එහෙම නිහඬව ඉන්න තමන්ට බැරි බව ඇය හිතුවා. ඇය රැඳී උන්නු සරණාගත කඳවුරේම ඒ වගේ ලිංගික වහලියන් එක්‌දාස්‌ හාරසීයක්‌ හිටියා. ඒ කඳවුර ඇතුලෙම සියදිවි නසාගැනීම් හැටක්‌ වාර්තා වෙලා තිබුණා. මේ වගේ කාන්තාවන් වෙනුවෙන් තමන් මොනවම හරි කරන්න ඕන කියලා ෆරීඩා තීරණය කළා.

දැන් ෆරීඩාගේ කාලය ගත වෙන්නේ රැස්‌වීම් වල, දුම්රිය වල, ගුවන් යානා වල.. තවමත් ලිංගික වහල් සේවයේ ඉන්න කාන්තාවන් තුන් දහසකට අධික සංඛ්‍යාවක්‌ වෙනුවෙන් ෆරීඩා සතියකට දැනුවත් කිරීමේ වැඩසටහන් විස්‌සක්‌ විතර පවත්වනවා. ඒ කාන්තාවන්ව ගලවා ගන්න, ඔවුන්ට හොඳ ජීවිතයකට මගෙ පෙන්වන්න ෆරීඩා තමන්ගේ ජීවිතයේ ඉතිරි කොටස කැප කරනවා.

දවස ගානේම ෆරීඩා තමන් වගේම දුක්‌ විඳපු ලිංගික වහලියන්ව අමතනවා.

"මේක අමාරු දෙයක්‌.. මම මේ දුෂ්කරතාවයන් අත් වින්දා.. සියදිවි නසා ගන්නත් හැදුවා. ඒත් අන්තිමේදී මට ආයෙමත් ජීවත් වෙන්න අවස්‌ථාව ලැබුණා. ධෛර්යය නැති කරගන්න එපා.. ඔබේ ආදරණීයන් ඔබ ආපහු එනකල් බලා ඉන්නවා. ජීවිතය ඔබ එනකල් බලා ඉන්නවා.. අනාගතයේ කොහේ හරි තැනක ඉඳන් නිදහසත් ඔබ වෙනුවෙන් බලා ඉන්නවා.."

නිම්මි මුදිතා හේරත්
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top