Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 March 06
1,709
Views
"නයිට්‌ ක්‌ලබ් බැස්‌සා. ගෑනු ඇසුරට ලොල් වුණා.."

"මම එක දවසට කොකේන්වලට විතරක්‌ අසූදාහක්‌ විතර වියදම් කළා.."

''මගේ ගම මීගමුව. මට සහෝදර, සහෝදරියො නෑ. මගේ තාත්තා හොඳටම ඇල්කොහොල්වලට ඇබ්බැහි වෙලා හිටිය කෙනෙක්‌.
මට තේරෙන වයසේ ඉඳලා තාත්තා රස්‌සාවක්‌ කළේ නෑ. අම්මා හම්බකරන එකෙනුත් කීයක්‌ හරි කඩාගෙන අරක්‌කු බිව්වා. නිතරම අම්මා එක්‌ක රණ්‌ඩු කළා. පුංචි කාලෙ මම හැදුනේ, වැඩුණේ ඒ වගෙ පරිසරයක. ඒත් මගේ අම්මා මට උගන්වන්න ගොඩක්‌ මහන්සි වුණා. අම්මාගේ පවුලේ අයත් හොඳට සල්ලි තියෙන, සමාජයේ කැපී පෙනෙන චරිත වෙලා හිටියා. අම්මත් දක්‍ෂ ව්‍යාපාරික කාන්තාවක්‌...''
 

''මම පුංචි කාලේ අම්මා කෑම කඩයක්‌ කළා. ටික කාලයක්‌ ගිහිල්ලා ඒ කඩේ කූල්ස්‌පොට්‌ එකක්‌ කළා. ඒ එක්‌කමෆෝන් සෙන්ටර් එකකුත් පටන් ගත්තා. ඒවා තියෙද්දීම ටයිල් පැක්‌ටරියක්‌ පටන් ගත්තා. ඒ ව්‍යාපාරයත් හොඳටම ලාභ ලැබුවා. බස්‌ එකක්‌ ගත්තා. අම්මාගේ පාවිච්චියට සුපිරි ජීප් එකක්‌ ගත්තා. බලාගෙන හිටිද්දී අම්මා දියුණු වුණා. මම පාසල් ගියේ අම්මාගේ ජීප් එකේ. එතකොට මම ඉගෙනගත්තෙ වෙන්නප්පුවේ ප්‍රසිද්ධ පාසලක. ඉස්‌කොලෙ දෙකේ, තුනේ ඉඳලම සාක්‌කු පිරෙන්න මම සල්ලි අරගෙන ගියා...''

''අම්මාගේ දියුණුවේ රහස සීට්‌ටු. අම්මා තමයි සීට්‌ටු එකතු කළේ. පොඩි සීට්‌ටු නෙමෙයි, ලක්‍ෂ ගණන්වල සීට්‌ටු. අන්තිමේ අම්මාගෙ සියලු ව්‍යාපාර නැති වෙලා නන්නත්තාර වුණෙත් සීට්‌ටු හිරවෙලා. අපේ ව්‍යාපාර කඩාවැටෙනකොට මම ඉස්‌කෝලෙ පහ වසර පන්තියේ. අම්මා බින්දුවටම වැටිලා කල්පනා කර, කර ඉන්නකොට, ණයකාරයො ගෙදරට ඇවිල්ලා සල්ලි ඉල්ලගෙන අම්මට කෑගහුවා. තාත්තා බීලා නන්නත්තාරේ ඇවිද්දා. මට ඒ දේවල් හොඳට දැනුණා. ඒත් අම්මා ගෙදර අඩු, පාඩු මගෙන් හංගන්න උත්සාහ කළා. මගේ අම්මා මට පුදුම ආදරයක්‌ තිබුණේ. මම ඉල්ලන හැම දේම අරගෙන දුන්නා. ඒ විදිහට අම්මා ප්‍රශ්න වැලක පැටලිලා ඉන්න අතරේ ඉතාලියට යන්න චාන්ස්‌ එකක්‌ ලැබුණා...''
 
'පුතා මට ඉතාලි යන්න චාන්ස්‌ එකක්‌ ආවා. ආච්චි අම්මත් එක්‌ක පුතාට ඉන්න පුලුවන් නම් මම ඉතාලියට යනවා...' අම්මා මාව තුරුලු කරගෙන එහෙම ඇහුවා මට තාම මතකයි...
 
''අම්මා ඉතාලියට ගියා. එදා ඉඳලා මම ජීවත් වුණේ ආච්චියි, සියයි ළඟ. එතකොට මම ඉස්‌කොලෙ හය වසරේ. මට තිබුණු නිදහස සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. ආච්චියි, සීයයි මාව කොටු කරගෙන හැදුවේ. ඒ වුණාට ඒ දෙන්න මට හරිම ආදරෙයි. උදේට ඉස්‌කෝලේට අරගෙන යනවා. හවසට එක්‌ක එනවා. ඉස්‌කෝලෙ අට වසරේදී විතර මම ක්‍රීඩා කරන්න ගත්තා. ක්‍රීඩාවලින් උපරිම දක්‍ෂතා පෙන්නුවා. කවපෙත්ත විසි කිරීමේ තරගයෙන් මම ලංකාවෙන් පළමු ස්‌ථානය දිනාගෙන තියෙනවා. ඉන්දියාවේ පැවැති ජාත්‍යන්තර තරගාවලියකටත් සහභාගි වෙලා තියෙනවා. ක්‍රීඩා පැත්තට නැඹුරු වුණා කියලා මම අධ්‍යාපනය කඩා ගත්තේ නෑ. සාමාන්‍ය පෙළ විභාගයෙන්a ඒ අටයි. බී දෙකක්‌ අරගෙන විභාගය සමත් වුණා. විභාගය ඉවර වෙච්ච ගමන් අම්මා මාව ඉතාලියට ගෙන්න ගත්තා. එහේ මාස තුනක්‌ විතර හිටියා. ලංකාවට ආවේ අම්මත් එක්‌කමයි. අම්මා ලංකාවේ මාස හතරක්‌ විතර හිටියා. ආච්චී, සීයාගේ ග්‍රහණයෙන් මිදිලා ඒ මාස හත උපරිම නිදහසේ ගත කළා. නැවත අම්මා ඉතාලියට ගියාට මගේ නිදහස නැති කරගත්තේ නෑ. සීයටයි, ආච්චිටයි මාව පාලනය කරන්න දුන්නේ නෑ. ඒ වෙනකොට මම උසස්‌ පෙළ පටන් අරගෙන මීගමුවේ පන්ති කිහිපයකට ගියා. මට ඕනතරම් වියදම් කරන්න අම්මා සල්ලි එව්වා...''
 
 ''ඔහොම යනකොට දවසක්‌ සර් එන්නෙ නැතුව පන්ති තිබුණේ නෑ. මම හැරිලා එනකොට අපේ පන්තියේ යාළුවො කිහිපදෙනෙක්‌ සෙට්‌ වුණා...''
 
 'පවනා කොහේද යන්නේ...'
 
 'මම ගෙදර යනවා...'
 
 'යකෝ පන්තියක්‌ නැති දවසට ගෙදර යනවද... කොල්ලෙක්‌ වගේ පොඩි ෆන් එකක්‌ ගන්න සෙට්‌ වෙයන් කෝ...' එතැන හිටිය අපේ ගේ ළඟම යාළුවෙක්‌ මට එහෙම කිව්වා.
 
 'අවුලක්‌ නෑ. උඹලා යන තැනකට යමු...' ඒ වෙනකොට මමත් කිසිම දේකට බෑ කියන චරිතයක්‌ නෙමෙයි.
 
''එදා අපි ගියේ දිවුලපිටියේ තැනකට. ඒ යාළුවො ගංජා, අරක්‌කු සේරම අරගෙන ගිහිල්ලා තිබුණා. එතකොට මම බියර් එකක්‌වත් බීලා තිබුණේ නෑ. ගොඩක්‌ම මම පාලනයක්‌ ඇතිව හිටියේ ක්‍රීඩාවලට තියෙන ආශාව නිසා. ඒත් ඒ වෙනකොට උසස්‌ පෙළ හොඳින් කරගන්න ඕනා නිසා ක්‍රීඩා පැත්ත අයින් කරලා තිබුණේ. ඒ නිසා මමත් එදා යාළුවොත් එක්‌ක කාලා බීලා හොඳට සතුටු වුණා. ඒක මගේ ජීවිතේට ලැබුණු අමුතුම අත්දැකීමක්‌ වුණා. ඒකට මම කැමැති වුණා. එදා ඉඳලා මම සෙනසුරාදා ක්‌ලාස්‌ ගියේ නෑ. යාළුවොත් එක්‌ක සෙට්‌ වෙලා කොහේට හරි ගිහිල්ලා හොඳට බීලා කාලා විනෝද වුණා. මමත් අතදිග හැරලා වියදම් කළා. සෙට්‌ වෙන්න යනකොට ඒ කාලේ මම රුපියල් පහළොස්‌දාහක්‌ විතර අරගෙන යනවා. ඒ සේරම සල්ලි වියදම් කරනවා. සල්ලි තියෙන විත්තිය දන්න නිසා යාළුවොත් මට පණ ඇරගෙන හිටියෙ...''
 
''ඔහොම ටික දවසක්‌ යනකොට කුඩු නැතිව හැම මත්ද්‍රව්‍යයක්‌ම පාවිච්චි කළා. පැණිවලට තදින්ම ඇබ්බැහි වුණා. පෙරේත වුණා. ක්‍රීඩා කරන නිසා මට ඕන වෙලාවක ඉස්‌කෝලෙන් එළියට යන්න, එන්න පුළුවන්. ඒ වාසියත් කරගෙන මම ඉස්‌කෝලේටත් පැණි, පෙති ගෙනත් බිව්වා. ඒ කාලේ ෆdමසිවලින් පැණි බෝතල් සීයක්‌ ඉල්ලුවත් දෙනවා. මේ කියන 2005 අවුරුද්දෙ තමයි ලංකාවේ තරුණයන් වැඩියෙන් පැණි, මත්පෙතිවලට ඇබ්බැහි වෙච්ච කාලවකවානුව. අන්තිමේ උදේ තේ එක වෙනුවටත් මම බිව්වේ පැණි. මුළු දවසම මත් වෙලා හිටියෙ. ඒ මොනවා කළත් 2005 අවුරුද්දේ වාණිජ අංශයෙන් උසස්‌ පෙළ විභාගයත් පාස්‌ වුණා. ඒත් කැම්පස්‌ යන්න ප්‍රතිඵල මදි වුණා. ඒ වෙනකොටත් මම මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා අපේ පවුල්වල කිසිම කෙනෙක්‌ දැනගෙන හිටියේ නෑ. අධ්‍යාපනය අතින් ඉහළටම ගිහිල්ලා, ක්‍රීඩා පැත්තෙන් ජාත්‍යන්තරයට ගිහිල්ලා අපේ පවුල්වල ආදර්ශවත් චරිතය මම තමයි. එහෙම ඉන්න අතරේ තමයි තාත්තා නැති වුණේ. මගේ තාත්තා නැති වෙලා කියලා ආරංචියට මීගමුවේ ඉඳලා හලාවතට යනකම් මගේ යාළුවො සේරම මළගෙදරට ආවා. ඒ සේරම පැණි, පෙති, ගංජා බීලා අමුතු ලෝකවල හිටියේ. උන්ව දකින ඕන කෙනෙක්‌ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන සෙට්‌ එකක්‌ කියලා හිතනවා. ඒ මදිවට මගේ යාළුවො ප්‍රසිද්ධියේ ජොයින්ට්‌ පත්තු කරගෙන බොනවා. පෙති බිලා උන් කරන දේවල් දන්නෙත් නෑ. තාත්තා නැති වෙච්ච දවසේ දුකටත් එක්‌ක මමත් පැණි බෝතල් තුනක්‌ බීලා රෑ වෙනකොට පෙති විසිතුනක්‌ බීලා, මදි පාඩුවට මෝදකය දෙකකුත් කෑවා. සිගරට්‌, ගංජා කොච්චර ද කියලා දන්නේ නෑ...''
 
''පවන්ගෙ යාළුවො මේ මොනවද කරන්නේ අපේ මාමලා පුදුම වෙලා. මම කවුද? මොනවද කරන්නෙ කියලා එදා හැමෝම තේරුම් ගත්තා. මළගෙදර දවස්‌ ටිකේම මම නිදාගත්තේ නෑ. බත් ඇටයක්‌ කාලා නෑ. මමත් හොල්මනක්‌ ඇවිදිනවා වගෙ තමයි. කිසිම දෙයක්‌ දන්නේ නෑ. මට ලෙඩක්‌ කියලා හිතලා අපේ ඥාති බය වෙලා තිබුණා. තාත්තාගේ මළගෙදරට අම්ම එනකොට මාව අඳුරගන්න බැරි වෙලා. මම කෝටුවක්‌ වගේ කෙට්‌ටු වෙලා. කිලෝ එකසිය විස්‌සක්‌ තිබුණු බර අසූ ගානට බැහැලා තිබුණා. ඒ වෙනකොට නොකළ යුතු වැඩ සේරම මම කරලා තිබුණේ. මම යාළු වෙලා හිටිය කෙල්ලත් මට වඩා අවුරුදු හයක්‌ වැඩිමහල්. මම කරලා තියෙන දේවල්වලට අම්මට ඇඬුණා. පස්‌සේ අපේ මාමලා හැමෝම අම්මට කිව්වේ කොල්ලාව මෙහේ තියන්න එපා ඉතාලියට අරගෙන යන්න කියලා. අපේ අම්මා මගෙන් ඇහුවේ මේ ගෑනු ළමයා ඇරෙන්න ඔයා කැමැති වෙන ගෑනු ළමයෙක්‌ නැද්ද කියලා...''
 
'ඉන්නවා... ඒ මගේ හොඳම යාළුවගේ නංගි...' කියලා මම කිව්වා. ඊට පහුවදාම අම්මා අපේ මාමාලාත් එක්‌ක ඒ ගෙදරට ගිහිල්ලා කතා කරලා තිබුණා. ඒ ගෙදරිනුත් කැමති වුණා. ගෑනු ළමයත් කැමති වුණා. ඊට පස්‌සේ අම්මා මාව ඉතාලියට අරගෙන ගියා. ඒත් මගේ හිත තිබුණේ අලුත් පෙම්වතිය ළඟ. පස්‌සෙ මම දෙවැනි පාර උසස්‌ පෙළ කරන්න කියලා අම්මාට බොරු කියලා ලංකාවට ආවා. ඒ ඇවිත්a ඉන්න අතර දවසක්‌ යාළුවෙක්‌ එක්‌ක සෙට්‌ වෙලා කුඩු චුට්‌ටක්‌ ගත්තා. මට මතක විදිහට ඒ 2006 අවුරුද්දෙ දවසක්‌. අර මත්ද්‍රව්‍යවලින් දැක්‌ක දේටත් වඩා වෙනස්‌ දෙයක්‌ කුඩුවලින් මම වින්දා...''
 
'දවස්‌ තුනක්‌ එකදිගට කුඩු බිව්වොත් ඇඩික්‌ වෙනවා... මම කුඩු බොන්නෙ සතියට එක දවසයි...' කියලා හිතාගෙන හැම සතියකම එක දවසක්‌ කුඩු ගත්තා.
 
''එහෙම යනකොට සතියට දවස්‌ දෙක වුණා. තුන වුණා. දවස්‌ හතේම, දවස තිස්‌සේම කුඩු බොන තත්ත්වයට පත් වුණා. අම්මා සල්ලි එව්වා. මම ඒ සල්ලි වියදම් කරලා කුඩු බිව්වා. අම්මා එවන සල්ලි මදි වුණහම සීයගේ සල්ලිත් හොරකම් කරලා කුඩු බිව්වා. ගෙදර රත්තරං බඩු ඉස්‌සුවා. ඒ බඩු හොරකම් කරලා විකුණලා මම කුඩු බොනවා කියලා සීයා දැනගත්තා. ඊට පස්‌සෙ ආයෙමත් මාමාලා අම්මාට කියලා මාව ඉතාලියට යෑව්වා...''
 
''ඉතාලියේ අම්මට කෑම කඩයක්‌ තිබුණා. මම ගිහිල්ලා ඒ කඩේ සුපර් මාර්කට්‌ එකක්‌ තරමට දියුණු කළා. හොඳට බිස්‌නස්‌ තිබුණා. ඊට පස්‌සේ කොමියුනිකේෂන් එකක්‌ පටන් ගත්තා. අවුරුද්දක්‌ විතර යනකොට ඉතාලියේ ජීවත් වෙන ලංකාවේ කොල්ලො ගොඩක්‌ මට සෙට්‌ වුණා. උන් එක්‌ක සෙට්‌ වෙලා ආයෙමත් මම මත්ද්‍රව්‍ය ගන්න පටන් ගත්තා. වැඩියෙන්ම ඇබ්බැහි වුණේ කොකේන්වලට. නයිට්‌ ක්‌ලබ් බැස්‌සා. ගෑනු ඇසුරට ලොල් වුණා. එක දවසට කොකේන් ග්‍රෑම් හතක්‌ විතර ගත්තා. ග්‍රෑම් එකක්‌ ලංකාවේ මුදලින් විසිදාහයි. මම එක දවසට කොකේන්වලට විතරක්‌ අසූදාහක්‌ විතර වියදම් කළා. මම මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා අම්මත් දැනගත්තා. ඊට පස්‌සේ අම්මා මගේ වෙඩින් එක ඉක්‌මන් කළා. මමයි, අම්මයි දෙන්නම ලංකාවට ඇවිත් වෙඩින් එක ගත්තා. ඒත් වයිෆ්ව ඉතාලියට ගන්න අවුරුදු දෙකක්‌ විතර ගියා. වයිෆ් ඉතාලියට ඇවිත් අවුරුද්දක්‌ විතර යනකොට දුව හම්බ වුණා. ඒ වෙනකොට මම ඉතාලියේ තියෙන හැම මත්ද්‍රව්‍යයක්‌ම වගේ පාවිච්චි කරනවා. 2013 අවුරුද්ද වෙනකොට දවස පුරාම කොකේන් බොන තත්ත්වයට මම වැටුණා...''
 
'තවදුරටත් ඔයා ඉතාලියේ හිටියොත් අපේ ව්‍යාපාරත් නැති වෙනවා. දැන්ම ඔයා ලංකාවට යන්න..' අම්මා දොස්‌ කිව්වා.
 
''ඊට දවස්‌ දෙකකට පස්‌සෙ මමයි, දරුවයි, නෝනයි තුන්දෙනා ලංකාවට ආවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේම නෑ කියලා හිතාගෙන ජීවත් වුණා. හොඳ ජොබ් එකකුත් කළා. ටික කාලයක්‌ යනකොට වයිෆ්ට පුතා ලැබුණා. හරිම සතුටින් අපි ජීවත් වුණා. එහෙම ඉන්නකොට ආයෙමත් කුඩු බොන්න පටන් ගත්තා. ගෙදර බඩු මුට්‌ටුත් විකුණගෙන කුඩු බොන තැනට වැටුණා. ප්‍රශ්න වැඩි වෙනකොට වයිෆ් ජොබ් එකකට ගියා. කොහොමහරි ගොඩ එන්න ඕනා කියලා හිතාගෙන වයිෆ්ගේ අයියගේ මාර්ගයෙන් මම ඩුබායිවලට ගියා. මගේ වේලාවට එහේදීත් හොඳ ජොබ් එකක්‌ සෙට්‌ වුණා. ඒ කොම්පැණියෙත් මම ඉහළටම ගියා. ලක්‍ෂ තුනක විතර පඩියක්‌ ගත්තා. ඩුබායිවලදී මම අරක්‌කු සිගරට්‌වත් බිව්වේ නෑ. හොඳටම පාලනය වෙලා හිටියා. එහෙම අවුරුදු එකහමාරක්‌ විතර ඉන්නකොට අපේ ඥාති කෙනෙක්‌ මට කතා කරලා වයිෆ් ගැන නරක ආරංචියක්‌ දුන්නා. පස්‌සෙ මම ඩුබායි ජීවිතය අතහැරලා ඊට පහුවෙනිදාම ලංකාවට ආවා. ඒ ඇවිත් මමයි, වයිෆ් එකම කොම්පැණියක වැඩ කළා. අපි දෙන්නම ලක්‍ෂ එකහමාරකට ආසන්න පඩියක්‌ ගත්තා. ඒත් මට මාස හයක්‌වත් මත්ද්‍රව්‍ය නැතිව ඉන්න බැරි වුණා. ඒ කුඩු බොන්න පටන් ගැනිල්ල මේ පන්සලට එනකම් එකම විදිහට ගත්තා. අන්තිමේ මට මාව එපා වුණා. කොහොමහරි මේ අපායෙන් මිදෙන්න ඕනා කියලා මටම හිතුණා. යාළුවකුගේ මාර්ගයෙන් මෙතැන දැනගෙන මම හොයාගෙන ආවා...''
 
''දැන් මෙතැනට ඇවිත් මාස හතයි. නැවත මම කිසිම මත්ද්‍රව්‍යයක්‌ ගන්නෙ නෑ කියලා මට විශ්වාසයි. ඒත් තව කාලයක්‌ මෙතැන ඉන්න වෙනවා. මාසයකට සැරයක්‌ වගේ නෝනා ඇවිත් මාව බලලා යනවා. එක දවසක්‌ අම්මත් ආවා. දැන් මට වයස අවුරුදු තිස්‌එකයි. වයිෆ්ට විසි ගානයි. දරුවො දෙන්න පුංචියි. අපිට තව ලොකු ගමනක්‌ තියෙනවා. අදටත් ඉතාලියේ අපේ ව්‍යපාර තියෙනවා. අම්මා තමයි බලා කියාගෙන කරගෙන යන්නෙ. මෙතැනින් ගියාට පස්‌සෙ මම වයිෆ්, දරුවො දෙන්නවත් අරගෙන ඉතාලියට යනවා. ලංකාවේ ජීවත් වෙන්න මගේ කිසිම අදහසක්‌ නෑ. දැන් මට ඕනා දරුවො දෙන්නට හොඳ තාත්තා කෙනෙක්‌ වෙන්න. ඒ දේ කරන්න පුළුවන් කියලා මට විශ්වාසයි...''

 
 තරංග රත්නවීර
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top