වන ජීවින් හා ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව සටන් කරන තරුණ තරුණියන් සිටින්නේ අතලොස්සක් පමණයි. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ වන සංරක්ෂක ජීව විද්‍යාඥවරියක වන ආචාර්ය ක්‍රීති කරාන්ත් (Krithi Karanth) පසුගිය වසර දාහතරක් තුළම සටන් කරමින් සිටින්නේ ඒ වගකීම වෙනුවෙනුයි.
ඇය ස්වාභාවික විද්‍යා සහ භූගෝල විද්‍යා ශාස්ත්‍රපති උපාධිධාරිනියක්ද වනවා. දැනට ඉන්දියාවේ බැංගලෝරයෙහි වාසය කරන ඇය එහි වන සංරක්ෂණ සංගමයේ සභාපතිනිය ලෙස ද ක්‍රියා කරනවා. 2012 වර්ෂයේ ප්‍රසිද්ධ සඟරාවක ඉන්දියාවේ බලවත්ම කාන්තාවන් අතරටද ඇය නම් කෙරුණා.
"මම හැදී වැඩුණේ වෙනත් දරුවන්ට වඩා විශේෂ අවස්ථා ලබමින්. ජීව විද්‍යාඥයකු වූ මගේ පියා, නිතරම වනයේ සතුන් පිළිබඳ හැදෑරීමට කළ පරීක්ෂණ චාරිකාවලට මාවත් එක් කර ගත්තා. අපි ඒ සඳහා සකස් කළ උස කුලුනු මත නැඟී, පැය ගණන් සතුන් නැරැඹුවා. මා මුලින්ම වනයේ නිදහසේ සැරිසරන කොටියකු දකින විට මගේ වයස අවුරුදු දෙකයි. මා එදින ලද සතුට මගේ දියණියටත්, මතු ඉපදෙන පරම්පරාවටත් දැකගැනීමට අප අවස්ථාව සලසා දිය යුතුයි නේද?" ක්‍රීති කරාන්ත් පවසන්නේ හැඟීම්බරවයි.
වර්ග කිලෝමීටර් මිලියන තුනකට අධික මුළු ඉන්දියානු භූමියෙන් ආරක්ෂිත වනෝද්‍යාන හා අභය භූමි වෙනුවෙන් වෙන්කර ඇත්තේ 4%ක් පමණි. එය 10%ක ප්‍රමාණයක් දක්වා ඉහළ නැංවීම ඇගේ සිහිනයයි. අධිවේගී මාර්ග, මහා මාර්ග කර්මාන්තශාලා, ඉන්ධන බලාගාර ආදී ඉදිකිරීම්, විශාල වශයෙන් වෙළෙඳ බෝග වගාව ආදී සංවර්ධන කටයුතුවලදී සිදුවන කැලෑ එළිපෙහෙළි කිරීම් නිසා වනාන්තර ගහනය ශීඝ්‍රයෙන් අඩු වී ගොස් ඇත. ඊට අමතරව යළි පදිංචි කිරීම්, අනවසර වන සංහාරය ආදී ක්‍රියාකාරකම්වල බලපෑම්, නිසා ද හිලව් වන්නේ වටිනා වන ජීවී සම්පතයි. මේ පසුබිම යටතේ මානව - වනජීවී ගැටුම් නිරන්තයෙන්ම නිර්මාණය වේ. තම බෝගවලට හානි වීම, ගෘහස්ථ සතුන්ට හානි වීම, මනුෂ්‍ය ජීවිතහානි වීම ආදිය නිසා කෝප ගන්නා ජනතාව වන සතුන්ගෙන් පළි ගනී.
"මා සමඟ කටයුතු කරන දහසකට අධික ස්වේච්ඡා කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් බොහෝ දෙනෙක් නාගරික වටපිටාවෙන් පැමිණි අය. වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන් ආදී වෘත්තිකයන් රැසක් මේ කටයුතු සඳහා මා හා එක්වනවා. ජෛව විවිධත්වය හැදෑරීම හරිම රසවත් මාතෘකාවක්. අපේ සමීක්ෂණවලින් කුරුලු වර්ග දාහකට අධික සංඛ්‍යාවක්, මීට වසර 75කට පමණ පෙර නොසිටි උරග සතුන් විශාල ප්‍රමාණයක් අප සොයා ගත්තා. සතුන් නිසා මිනිසාට හානි සිදුවන අවස්ථාවලදී වන්දි ගෙවීම් රජය විසින් කරනවා. කර්ණාටක ප්‍රාන්තයේ ගම්මාන දෙදාහක අප කළ සමීක්ෂණයෙන් හෙළි වුණේ ගැටුම් 1,20,000ක් ඇති වී තිබුණු බවයි. එයින් සියයට 70ක්වත් ඔවුන් රජයට වාර්තා කර තිබුණේ නැහැ. වාර්තා කළ ද යම්කිසි සහනයක් ලබා ගැනීමට වසරකට වඩා ගත වන බවයි. මේ සඳහා තාක්ෂණය උපයෝගි කරගෙන අපි ක්‍රමවේදයක් සැලසුවා. මේ අනුව සියලුම ගැටුම් වාර්තා වන අතර වන්දි ලබා ගැනීමද ඉක්මනින් සිදු වනවා." ඇය පවසන්නේ වසර දාහතරක් තුළ ලබාගත් ජයග්‍රහණ රැසක්ම ඇතිවයි.