Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 February 24
385
Views
ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ගී නිර්මාණ කිහිපයක්ම සිදුකළ ඔහු තීක්ෂණ අනුරාධයි. ඔහුගේ නවතම ගී නිර්මාණය ගැනත්, මේ වනවිට සිදුකරනු ලබන කලා කටයුතු ගැනත් කතා කිරීමට ඔහු අප හා මෙලෙස එක්විය.



තීක්ෂණගේ අලුත්ම ගී නිර්මාණය ‘ආරේ ගති නෑරේ’, මෙවැනි ගීතයක් නිර්මාණය කරන්න අදහස් කළේ ඇයි ?

මගේ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් සිදුකරන්න ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. එවැනි ප්‍රසංගයක් කරන විට හැම ශෛලයකම ගීත ඇතුළත් කළ යුතුයි කියලා මම හිතනවා. ඒ නිසා මට හිතුණා නර්තනයක යෙදෙන්න පුළුවන් මෙවැනි ගීතයක් කරන්න. මේ ගීතයේ පද රචනය සිදු කළේ සගා ගුරුගේ. මෙහි සංගීතය සිදුකලේ අශාන් ප්‍රනාන්දු.මෙය හොඳ අත්දැකීමක් බවට පත්වෙයි.

 

මෙවැනි ප්‍රසංග වේදිකාවට උචිත ගී නිර්මාණවලට නේද තීක්ෂණ ලොකු ඉඩක් ලබාදෙන්නේ?

මම ප්‍රසංග වේදිකාවට යොමුවෙද්දී ඒකාකාරී ගීත කිහිපයක් ගායනා කරලා යන්න මම කැමති නැහැ. මට ඕන විවිධත්වයෙන් යුතු ගීත ගායනා කරන්න. ඒකට හේතුව විවිධාකාරයේ රසඥතා තිබෙන රසික පිරිසක් පැමිණීම. ඒ නිසාම තමයි මම මෙවැනි විවිධ ආකාරයේ ගී නිර්මාණ සිදු කරන්නේ. මම කළ ගීත තුළ විවිධ ආකාරයේ ගීත අන්තර්ගත වෙනවා.

වර්තමානය වනවිට ගායකයෙක් වසරකට ගීත හතරක් පහක් පමණ නිර්මාණය කරනවා. මේ ගීතයේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්ද?

මීට කාලෙකට කලින් අපිට අහන්න තිබුණේ ඉතා සීමිත ගීත ප්‍රමාණයක්. ඒ වගේම ගායකයොත් මෙතරම් හිටියේ නැහැ. ඒ වගේම මෙතරම් මාධ්‍ය ප්‍රමාණයක් තිබුණෙත් නෑ. අද වනවිට ඒ තත්ත්වය බොහෝ වෙනස් වෙලා තිබෙනවා. අපි එදා නිර්මාණය කළ ගීත අදටත් අහනවා. ගීතයේ පැවැත්මක් නෑ කියන එක වැරදියි. මම කළ ඔබ තරම් කියන ගීතයත් මෑතකදී කළ ගීතයක්නේ. ‘දිගු දෑස’ රුවන්ගේ ‘නොදැක ඉන්න බෑ’ වැනි ගීත ගත්තම ඒ ගීතත් මෑතකාලින ගීත විදිහටනේ හදුන්නේ. නමුත්, ඒ ගීත කිව්ව ගමන් අපිට ඒ ගීතය මතක් වෙනවා. ඒ ගීතයේ රූපරචනාවේ තිබෙන දේවල් පවා මතක් වෙනවා. මෙහි පැවැත්මක් නෑ කියන එක වැරදියි. අද කාලේ අහන්න දේවල් ගොඩක් තිබෙන නිසා ඒ ගීත එතරම් වාදනය වෙන්නේ නෑ. මම දකින්නේ ඒක තමයි මෙයට හේතුව.

 

මේ පවතින වාතාවරණයත් එක්කද ගායකයෙක් ගායනයට පමණක්ම යොමු නොවී රියලිටි වැඩසටහන්වලට හා අනෙකුත් කලා කටයුතුවලට යොමුවෙන්නේ?

නමුත්, අපි රියලිටි තරගයකට ගියාම අපි ඉදිරිපත් කරන අංගය තුළින් අපිට කියන්න තිබෙන පණිවිඩය කියන්න පුළුවන් වෙනම වේදිකාවක් හැදෙනවා. ඒ වගේම එහිදී මූල්‍යය පැත්ත ගැනත් හිතනවා. සංගීතය වෘත්තියක් ලෙස කරනවා නම්, අපි ඒ ගැනත් සලකා හොඳ නරක කියන දේවල් වෙන් කරගෙන අපිට ගැළපෙනවා කියලා හිතනවා නම් ඒ දේකරන්න යොමුවෙනවා. ඒ වගේම රියලිටි තරගයකට යොමුවෙද්දී, ගායනයට අමතරව අනෙකුත් හැකියාවන් පෙන්නන්නත් පුළුවන් වෙනවා. අනෙක් දේ තමයි ගායකයෙක්ට වෙනත් දේවල් කරන්න කාලය ලැබෙනවා. අද බොහෝ ගායකයන් මාස හයකට වරක් තමයි ගීතයක් එළිදක්වන්නේ. ප්‍රසංගවලට සහභාගි වෙනවා නම්, ඒ ප්‍රසංග බොහෝ විට තියෙන්නේ සතිඅන්ත දිනවල. ඒ වගේම රාත්‍රි ප්‍රසංග පැවැත් වෙන්නේ. දිවා කාලය වගේම, සතියේ දිනත් කාලය ඉතුරු වෙනවා. ඒ කාලය තුළ වෙනත් කලා කටයුත්තක නියැළෙන එක හොඳ දෙයක් කියලා මම හිතන්නේ.

මේ වනවිට ඔබත් ටුවෙන්ටි ටුවෙන්ටි රියලිටි වැඩසටහනට සම්බන්ධ වී සිටිනවා. ඒ වැඩසටහනට යොමුවෙන්න හිතුවේ ඇයි? පෙර කියු හේතු නිසාමද?

ඒ වැඩ සහහනට මම සහභාගි වෙන්න එකම හේතුව එහි මගේ පාට්නර් ලෙස කටයුතු කරන්නේ රොමේෂ් සුගතපාල. ඔහු මේ ක්ෂත්‍රය තුළ මට සිටින හොඳම මිතුරා. මීට වසර හතරකට පමණ පෙර අපි කතා කරගත්ත දෙයක් තමයි අපි දෙදෙනාගේ කොන්සට් එකක් පවත්වමු කියන කාරණාව. රොමේෂ් කියන්නේ දක්ෂ වයලින් වාදන ශිල්පියෙක්. ඒ වගේම ඔහු පියානෝ වාදන ශිල්පියෙක්. මම බටනලා වාදන ශිල්පියෙක්. රොමේෂ් කියන්නේ රාගධාරී සංගීතය ඉගෙන ගත්ත කෙනෙක්. මම සංගීතය ඉගෙන ගත්ත කෙනෙක්. ඒ දේවල් එක්ක හොඳ ප්‍රසංගයක් කළා නම් කියලා මම හිතුවා. නාළිකාවෙන් මේ රියලිටි වැඩසටහනට ආරාධනාවක් ලැබුණම, ඒ ආරාධනාව මම කැමැත්තෙන්ම භාරගත්තේ ඒ කොන්සට් එකට ලොකු පදනමක් නිර්මාණය වෙන නිසා. අපේ කොන්සට් එකේදි කරන්න පුළුවන් සමහර ඉදිරිපත් කිරීම් අපිට මේ තුළින් සිදුකර හැකියි. අපි මේ වනවිට ඉදිරිපත් කරපු ප්‍රසාංගික ඉදිරිපත් කිරීම්වලට හොඳ ප්‍රතිචාර ලැබුණා.

තීක්ෂණගේ සංගීත කණ්ඩායම ඔක්ටේව් ගෘහස්ථ ප්‍රසංග සඳහා යොමුවෙන සංගීත කණ්ඩායමක්. ඒ හා බැදෙන ප්‍රේක්ෂකාගාරය ගැන අදහස මොකක්ද?

මගේ හොඳම මිතුරා මනෝජ් කුඩාගොඩ සමග තමයි සංගීත කණ්ඩායම පවත්වාගෙන යන්නේ. මංගල සාද, වෙනත් ගෘහස්ථ ප්‍රසංගවලට තමයි අපි දායක වෙන්නේ. එහිදී අපි දකින දෙයක් තමයි එළිමහන් ප්‍රසංග වේදිකාවට එන ප්‍රේක්ෂකයයි, ගෘහස්ථ ප්‍රසංගවලට පැමිණෙන ප්‍රේක්ෂකයයි අතර ලොකු වෙනසක් තිබෙනවා. යුටියුබ් එකට, එහෙම නැත්තම් ෆේස්බුක් එකට ගීතයක් දැම්මත් එයට පහත් වචනවලින් බනින පිරිසකුත් ඉන්නවා. හොඳ ප්‍රතිචාර දක්වන පිරිසකුත් ඉන්නවා. මම වැඩි දෙනෙක් කැමැත්ත දක්වන හොඳ නිර්මාණවලට තමයි ඉඩක් ලබාදෙන්නේ. හිතට ගොඩක් තෘප්තිමත් දෙයක් තමයි අපි නිතරම කරන්න උත්සහ කරන්නේ.

 

ඉදිරි නිර්මාණ කටයුතු සිදුවෙන්නෙත් ඒ අරමුණ උදෙසාද?

මීට වඩා බොහෝ වෙනස් ගීත තමයි ප්‍රේක්ෂකයන් අතරට ගෙන එන්නේ. රොමේෂ්ගෙයි, මගෙයි ඩුවට් සෝන් එකක් හෝ මගේ ගීතයක් වෙන්න පුළුවන්. මේ වනවිට ගීත දෙකක් මම නිර්මාණය කර තිබෙනවා. එක් ගීතයක් මේ සමාජය ගැන. බස්නාහිර පළාතෙම අපි දකින දෙයක් තමයි හිඟමන් යදින්න කුඩා ළමයින් යොමු කිරීම. ඒ ළමයි ඉන්නේ තමන්ගෙම නෑදෑයෝ එක්කද කියලා අපි දන්නේ නැහැ. ඒ ගැන කියවෙන ගීතයක් මේ වනවිට නිර්මාණය කරලා තිබෙනවා. ඒ වගේම රොමේෂ්ට වගේම මටත් ඉන්නේ පුතෙක්. තාත්තා කෙනෙක් පුතෙක්ව අතට අරන් උණුහුමින් තුරුලු කරගෙන ඉද්දි දැනෙන හැඟීම ගැන කියවෙන ගීතයක් නිර්මාණය කරමින් පවතිනවා. මේ ගීත දෙකම පෙර නිර්මාණවලට වඩා බොහෝ වෙනස්.

  


සටහන_නිදුක් මදුෂික
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top