Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 February 22
752
Views
කාලයකට පස්සේ ඔබේ සිනමා නිර්මාණයක් තිරයට ඇවිත් ?

ඔව්. 'ඉරහඳ යට' චිත්‍රපටය තිරගත වුණේ 2010දී. ඊට පස්සේ මම 'සත්ඉම' කියලා චිත්‍රපටයක් කරන්න උත්සාහ කළා. ඒක පොලිටිකල් ත්‍රිලරි චිත්‍රපටයක්. යහපත් ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටින දුෂ්ට පොලිස් නිලධාරියකු ගැන තමයි ඒ චිත්‍රපටයෙන් කියවෙන්නේ. ඒ චිත්‍රපටයට බාධා කිහිපයක් ආව නිසා චිත්‍රපටය ඉවර කරගන්න බැරි වුණා. ඒ නිසා මම කම්පනයට, පසුබෑමට ලක් වෙලා හිටියේ. නිර්මාණකරණ කටයුතුවලින් පසුබැහැලා ඉන්න කාලයක තමයි මට ආදරය පිළිබඳ චිත්‍රපටයක් කරන්න ඕන කියලා හිතුණේ. ඒ අනුව තමයි 'නෙලා' චිත්‍රපටය හදන්නේ.



ආදර කතාවක් නිර්මාණය කරන්න හිතුවේ?

ආදරයට අපි කැමතියි. ආදරය නිර්ව්‍යාජයි. අපි හැමෝම ආදරය අත්විඳලා තියෙනවා. ආදරය කාටවත් පේන්නේ නෑ. නමුත් ආදරය දැනෙනවා. මිනිසුන්ට දැනෙන ආදරය ගැන කතා කරන්න තමයි මම 'නෙලා' චිත්‍රපටය නිර්මාණය කරන්නේ.

චිත්‍රපට නිර්මාණය කළාට ඒවා තිරයට ගේන්න කාලයක් ගත වෙනවා. ඔබටත් 'නෙලා' තිරයට ගේන්න කාලයක් ගත වුණා නේද?

මමත් චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න අවුරුදු එකහමාරක් විතර බලාගෙන හිටියා. මගේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න තිබුණ අවස්ථා දෙකක්වෙන අයට දෙන්න වුණා. ඉස්සර නම් චිත්‍රපට ප්‍රදර්ශනය කරද්දී හොඳ නිශ්චිත පිළිගත හැකි චිත්‍රපට බෙදා හැරීමේ ක්‍රමවේදයක් තිබුණා. දැන් හොඳ නරක චිත්‍රපට කළ හැමෝටම බලාගෙන ඉන්න වෙනවා. හැම අධ්‍යක්‍ෂවරයාටම තමන්ගේ චිත්‍රපටයක් කල් නොයවා තිරගත කරගත හැකි වාසනාවන්ත කාලයක් උදාවෙනවා නම් හොඳයි.

මෙය තරුණ තරුණියන් වෙනුවෙන්මද නිර්මාණය කළේ?

මෙය ආදර කතාවක් වුණාට එය තරුණ තරුණියන්ට විතරක් සීමා වූවක් නොවෙයි. මේ චිත්‍රපටයේ මවුපියෝ දරුවෝ අතර තියෙන සම්බන්ධතාව ගැනත් කතා කරනවා. මේක පවුලේ හැමෝටම බලන්න පුළුවන් ආදර කතාවක්.

චිත්‍රපටය ආදරවන්තයන්ගේ දිනයේ තිරයට ආවට එය තිරයට එන්න තිබුණේ මීට කලින් නේද ?

2016 ඔක්තෝබර් තමයි චිත්‍රපටයේ වැඩ නිම කළේ. නීත්‍යනුකූලව ගිය වසරේ දෙසැම්බරයේ තමයි චිත්‍රපටය තිරගත කරන්න තිබුණේ. නමුත් සිනමා ශාලා හිමියන්ගේ අදහස වුණේ දෙසැම්බර් මාසයට ළමා චිත්‍රපටයක් හොඳයි කියලා. ඒ නිසා මගේ අවස්ථාව දෙන්න වුණා. ඉතින් චිත්‍රපටය තිරගත කරන්න පෙබරවාරි 14 වැනිදා මට නිරායාසයෙන් ලැබුණා.

'නෙලා' තිරයට එද්දී තවත් චිත්‍රපට කිහිපයක්ම තිරයට එනවා. ඒ චිත්‍රපට එක්ක ප්‍රේක්‍ෂකයෝ දිනා ගන්න 'නෙලා'ට හොඳ තරගයක් දෙන්න පුළුවන් වෙයිද ?

සිනමාව තුළ තරගයක් දෙන්න මට අදහසක් නෑ. මම සිනමාවට ආදරෙයි. හදන නිර්මාණයට මම උපරිම දායකත්වය දෙනවා. ප්‍රේක්‍ෂකයෝ බලන්න ඕන මගේ චිත්‍රපටය විතරක් නෙවෙයි. ප්‍රේක්‍ෂකයෝ කුමන චිත්‍රපටයක් හරි බලන්න එනවා නම් ඒක තමයි සිනමාවේ වර්ධනය. මගේ චිත්‍රපටයත් ප්‍රේක්‍ෂකයෝ බලන්න ඕන.

මෙය මරිය නෙලා කෘතිය ඇසුරින් නිර්මාණය වන්නක්. කෘතියක් ඇසුරින් නිර්මාණයක් කරද්දී එහි රසය නොනැසී ප්‍රේක්‍ෂකයාට ඉදිරිපත් කරන්න පුළුවන් වුණා කියලා හිතනවාද?
ස්පාඤ්ඤ ජාතික ඕඥදඪබධ ර්ථීඥපඥල ට්චතඤධඵ තමයි 1898දී මරිය නෙලා කෘතිය ලියලා තියෙන්නේ. ගල් අඟුරු ආකරයක සිදුවන කතා පුවතක් තමයි එහි තියෙන්නේ. එය ඉන්ද්‍රානි චන්ද්‍රසේකර සිංහලට පරිවර්තනය කර තියෙනවා. ඒ කතා පුවත අනුසාරයෙන් තමයි මම 'නෙලා' නිර්මාණය කළේ. මම එය ප්‍රේක්‍ෂකයාට දැනෙන ආකාරයට ඉදිරිපත් කළා. ඒ කතාව හදවතට සමීප වෙනවා නම්, දැනෙනවා නම් ඒක තමයි වැදගත්.

ඔබ ඉරහඳ යට චිත්‍රපටයේ වගේම මේ චිත්‍රපටයේදීත් ප්‍රධාන නළු භූමිකාවට සම්බන්ධ කර ගන්නේ ඔබේ පුතාව. මේ නිර්මාණයට උදාරවම සම්බන්ධ කර ගන්න විශේෂ කාරණාවක් තියෙනවාද?

මම අධ්‍යක්‍ෂවරයෙක්. මට වැඩ කරන්න පුළුවන්, මට සහයෝගය දෙන දක්‍ෂ රංගන ශිල්පීන් එක්ක මම වැඩ කරනවා. ඒ ශිල්පියා ආධුනිකද, ගොඩක් අත්දැකීම් තියෙන කෙනෙක්ද කියන එක මට අදාළ නෑ. මම මට අවශ්‍ය අයව ගන්නවා. එහි රඟපෑ විදේශීය චරිතය කැමරාවකට මුහුණ දුන්නේ පළමු වතාවට. රංගනයට ආධුනික දස දෙනෙක් විතර මේ චිත්‍රපටයේ රඟපානවා. පුතාද කවුද කියන එක නෙවෙයි ඔහු හෝ ඇය දක්‍ෂ නම් මගේ නිර්මාණය තුළ ඉන්නවා.

උදාරගෙන් සහ ශලිනිගෙන් රංගනයට ඔබ බලාපොරොත්තු වූ සහය ලැබුණාද?

ඔව්. ශලිනි විශිෂ්ට රංගනයක් කරනවා. උදාරගේ රංගනයත් ප්‍රශස්ත මට්ටමක තියෙනවා. තුමිඳුගේ රංගනයත් ඉතාම හොඳයි. තාරුකා, උදාරි වගේ මේ නිර්මාණයට සම්බන්ධ වුණ අයගෙන් මට උපරිම සහාය ලැබුණා.

චිත්‍රපට අධ්‍යක්‍ෂවරු රංගනයට අමතරව ප්‍රචාරණ කටයුතුවලට රංගන ශිල්පීන්ගේ, ශිල්පිනියන්ගේ සහාය බලාපොරොත්තු වෙනවා. මේ නිර්මාණයේ ශිල්පීන්ගෙන් ප්‍රචාරණ කටයුතුවලට සහාය ලැබෙනවාද?

සමහර අය සහාය දෙනවා. සමහර අය සහාය දෙන්නේ නෑ. ශලිනි මේ සඳහා විශාල දායකත්වයක් දෙනවා. එය මම අගය කරනවා. බොලිවුඩ්වල හොලිවුඩ්වල නළු නිළියෝ සෘජුවම ප්‍රචාරණ කටයුතුවලට දායක වෙනවා. අපේ තත්ත්වය ඊට වෙනස්. නමුත් මගේ චිත්‍රපටයේ බොහෝ අය ප්‍රචාරණ කටයුතුවලට සහාය දෙනවා.

ඔබ 'නෙලා' තිරයට ගේන්නේ වසර අටකට පස්සේ. තවත් චිත්‍රපටයක් තිරයට ගේන්න කල් ගනියිද?
මම සිනමා නිර්මාණ කළේ රැකියාව කරන ගමන්. දැන් රැකියාවෙන් විශ්‍රාම ගිහින් තියෙන නිසා නිර්මාණකරණයටම යොමු වෙන්න අවකාශයක් තියෙනවා. තවත් තිර රචනයක් සකස් කරමින් යන්නේ. එය ඉදිරියේදී නිර්මාණය කරනවා.




සටහන_තිළිණි කෞශල්‍යා විජේසිංහ
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top