Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 February 09
637
Views
පුංචි තිරය වේදිකාව සිනමාව මේ තුන් මාධ්‍යටම මොහු රංග පාඨශාලාවක් කිව්වොත් හරි. ඔහු වචනයක් කිව්වොත් තව බොහෝ දෙනෙකුට ඉගෙන ගන්නට බොහෝ දේවල් තිබුණා. රංගනයේ මහා ගස ජයලත් මනෝරත්නයන් කිව්වාට වරදක් නැහැ. මේ ඔහුගේ ජිවිත කතාව ගැනයි.




ඔබතුමාගේ ජීවිතයේ ගමට එච්චරම තැනක් එන්නේ කොහොම ද?

වීරයා මගේ ගම කියලා මට තේරෙන්න හේතු ගොඩක් තියෙනවා. මාව ගොඩනැංවීමේ ප්‍රධාන සාධකය මගේ ගම. ඒ පරිසරය කියන්න බැරි තරම් සුන්දරයි මගේ ගම නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ කියන අතිශය පිටිසර ඒ වගේම අතිශය සුන්දර ගමක්. ප්‍රධාන ජීවිකාව ගොවිතැන. ගම කඳුපන්තියකින් වටවෙලා. කන්ද පල්ලෙහා එළවළු, දුම්කොළ, කුඹුරු වගාව. කන්ද උඩ තේ වගාව. ගොයම් කපලා කුඹුරක් නිදහස් වුණාම ඒ හිස්වෙච්ච කමතේ අපේ ගමේ ගැමියෝ මේ නාට්‍ය රඟපානවා. උදේට හේන කුඹුර එක්ක ඔට්ටු වෙන උදවිය රෑට ඔටුණු දාගෙන රජ වෙලා. කෙනෙක් කිඳුරිය වෙලා. තව කෙනෙක් කිඳුරා වෙලා. අන්තිමට ගැමියෝ අපිට වීරයෝ වෙලා. ගමේ ඉස්කෝලෙත් මතක් නො කළොත් අඩුවක්. දෙහිපේ ප්‍රාථමික පාඨශාලාව. අපි සරමයි බැනියමයි ඇඳගෙන තමයි ඉස්කෝලේ ගියේ. ලොකු මහත්තයා වික්‍රමසිංහ සර්. කබායට ටුවීට් රෙද්ද ඇඳගෙන තමයි එන්නේ. ඒ චරිතය තමයි මගේ ගුරුතරුව නාට්‍යයේ ඉන්නේ. අනිත් කෙනා හෙන්රි ජයසේන මහත්තයා. තමන්ගේ පළමු ගුරුපත්වීම අරන් ඉංග්‍රීසි ගුරුවරයෙක් විදියට එන්නේ අපේ ඉස්කෝලෙට. මගේ පලවෙනි නාට්‍යය තලමල පිපිලා කියන්නේ තනිකරම දෙහිපේ ගම. ඉතින් මේ හැමදේම කැටි කරලා ගත්තාම ඒමහා පෞරුෂය මගේ ගම.

ඔය කියන දෙහිපේ ගමේ ඔබතුමාගේ පවුල නිර්මාණය වෙලා තිබුණේ කොහොම ද?

තාත්තයි, අම්මයි, අයියලා තුන්දෙනයි, අක්කලා දෙන්නයි, මමයි සේරම හයයි. මම පවුලේ බාලයා. කලින්ම කියන්න ඕනේ මගේ තාත්ත පිළිබඳව මට සුළු මතක සටහනක් තියෙන්නේ. මම කුඩා කාලයේම තාත්තා මිය යනවා. නමුත් එයා අපේ පවුලට ඉතිරි කරලා ගියපු දේවල් බොහෝමයක් තියෙනවා. ඒවා සල්ලිවත් භෞතික වස්තූන්වත් නෙමෙයි. එයා රියදුරෙක්, තේවත්තක.

මම අර කලින් කිව්ව සුන්දරත්වය සිහිපත් කරනව නම් ඒ තේවත්ත පිහිටලා තිබුණේ ගම ඉහළින්ම පිහිටලා තිබුණ කන්දක. ඒ වත්ත පාලනය කළේ සුද්දන්. තාත්තගේ ස්වාමිවරුන් වුණේ ඔවුන්. ඉතින් ගමේ අන් ගැමියන්ට සාපේක්ෂව අපේ තාත්තගේ හරි පිළිවෙලක් තිබුණා. ඒක කැපී පෙනුණ පිළිවෙලක්. උදාහරණෙකට තාත්තා හරි පිළිවෙලට අඳිනවා. වෙලාවට වැඩ කරනවා. කන්න, බොන්න ගියාමත් එහෙමමයි. බඩුවක් ගත්තොත් නැවත හරියටම එතනින් තියනවා. එයා ඒකට පදනම දාලා තමයි අපි අතරින් නික්ම ගියේ. කොටින්ම කියනවා නම් මගේ ලොකු අයියා ගියේ නුවර ධර්මරාජේ.

ඒ වෙලාවේ අපේ ගමේ මිනිස්සුන්ට ධර්මරාජෙට ළමයෙක් දාගන්න එක හීනයක්. ඒ හැම දැනුමක් එක්කම එයාගේ තිබුණා අව්‍යාජ ගැමිකමක්. ඒක අර කලින් කිව්ව වීරයා මගේ ගම නිසා පෝෂණය වුණ දෙයක්. ඒවා අපිටත් පිහිටියා. අම්මටත් තිබුණා ඊට එහා ගිය ගැමිකමක්. මට මතකයි එයා ඒ දවස්වල නෙළුම්කවි කියනවා. අම්මා අෑත ඉඳන් කවි කියනවා අපි අහන් ඉන්නවා. අනික තමයි කතන්දර. අෑ කිව්ව කතන්දර හුඟාක් මතක හිටියා. මම දවස තාම තරුණයි කියලා නවකතාවක් ලිව්වා. ඒකේ භාෂාව යෙදුම්, උපමා රූපක සියල්ලම අම්මගේ. ඉතින් අයියලා තුන්දෙනාගෙයි, අක්කලා දෙන්නගෙයි මේ හැමෝගෙම ආදරේ ලබපු පවුලේ බාලයා මම. අපි හුඟාක් අමාරුවෙන් ආපු ගමනක් මේක. මට මතකයි අයියලා නො සෑහෙන්න මහන්සි වෙලා වවපු එළවළුවලට මිලක් නො ලැබුණාම ගෙදර ඇවිත් කියන කතා.

ලොරි කුලියත් අතින් ගෙවලා ආපු දවස් තියෙනවා. මට මේවා ඇහුණම පුදුමාකාර දුකක් ඇතිවෙන්නේ. මම පහේ ශිෂ්‍යත්වේ සමත් වෙලා පොරමඬුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුල් වුණා. මම උපාධිය දක්වා කිසිම විභාගයක් ෆේල් නො වී ඉගෙන ගත්තේ ෆේල් වුණා නම් මට ශිෂ්‍යත්වේ නැති වෙනවා. අධ්‍යාපනය මඟදි නතර වෙනවා. නමුත් එහෙම ඉගෙන ගත්තා කියලා අනිත් පැත්තෙන් අපි අසීමිත නිදහසක් භුක්ති විඳපු ළමයි. නිදහස කියන්නේ ගමේ ඉපනැල්ලේ, කැළේ කොලේ, ගහේ වැලේ මේ හැමතැනම දඟලලා මඩකරි වගේ ගෙවල්වල ගියපු ළමයි තමයි අපි. ඒකට වැඩිහිටියන් බාධා කළේ නෑ. අද එහෙම දඟලන්න පරිසරයකුත් ළමයින්ට නෑ. නිදහසකුත් නෑ. ඒක වෙනම කතාවක්.

තාක්ෂනය සම්බන්ධයෙන් ඔබතුමාගේ පෞද්ගලික අදහස මොකද්ද?

මට තාමත් පරිගණකයකින් දෙයක් කියවනවට වඩා පොතක පිටු පෙරලමින් කියවනකොට ආශ්වාදයක් තියෙනවා. පොතක පිටුවක සුවඳ, ඒ ස්පර්ශය නැති වුණොත් මොකක්දෝ අඩුවක් තියෙනවා. දැන් මම නුවරඑළියේ ඉඳලා කොළඹ පවුල් ජීවිත හදාගෙන ජීවත් වෙනකොට මගේ අම්මා දෙමව්පියන් හැටියට මාව බලන්න කොළඹ ආවා. අද මමයි, මගේ බිරිඳයි දෙමව්පියන් විදියට අපේ දරුවන් බලන්න කොළඹ ඉඳන් විදේශ රටකට යනවා. මේ ක්‍රමය කොයිතරම් වෙනස් වෙලා ද?

ජීවන චාරිකාවේ හැරවුම් ලක්ෂ කෙටියෙන් හරි මතක් කරමු ද?

දෙහිපේ ගමේ ඉස්කෝලේ සහ ඒකේ ලොකු සර්. ඊට පස්සේ පහේ ශිෂ්‍යත්වේ සහ පොරමඬුල්ල මධ්‍ය මහා විද්‍යාලය. ඒකේ සුනිල් ශ්‍රියානන්ද සර්. එයා නාට්‍ය ගුරුවරයා. එතුමා අපිත් එක්ක එකතු වෙලා මුළු ලංකාවෙම පාසල්වලට අභියෝගයක් දුන්නා නාට්‍ය තරගවලින්. ඒ ඉස්කෝලෙම අනිත් වැදගත්ම පුද්ගලයා තමයි අපේ හොස්ටල් එක භාරව හිටපු වික්ටර් ඊ.පීරිස් සර්. එයා තමයි අර තාත්තගෙන් පදනම වැටුණ විනය තව දුරටත් මගේ ජීවිතේ රදා පැවැත්තුවේ. හොස්ටල් ජීවිතේ සියල්ලම අතිශය පිළිවෙලයි. ඊට පස්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය. උසස් පෙළ කරද්දි මට හීන තුනක් තිබුණා. එක, විශ්වවිද්‍යාලයට යාමට. දෙක, පේරාදෙණියටම යාමට. තුන, සරච්චන්ද්‍රයන් දැක ගැනීමට. ඔය හීන තුනම මම සැබෑ කරගන්නවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමානයි සරච්චන්ද්‍ර සර්. නාට්‍ය කලාවේ සම්පූර්ණ සාරයනේ අපිට හම්බුණේ. එතනින් පස්සේ කොළඹ ජීවිතේ. එතනදි හම්බ වුණ සුවිශේෂී චරිත. උදාහරණෙකට ලංකාවේ නූතන වංශ කතාවේ පුරෝගාමී නාට්‍යකරුවන් පස්දෙනෙක් හඳුනාගෙන තියෙනවා. සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන, සුගතපාල සිල්වා, ගුණසේන ගලප්පත්ති. මේ පස්දෙනා එක්කම මං වැඩ කරලා තියෙනවා. හරියට විශ්වවිද්‍යාල පහක පාඨමාලා පහක් කළා වගේ. අදත් චාමික හත්ලාහවත්ත වගේ තරුණ විශිෂ්ට නාට්‍යවේදීන් එක්කත් මම වැඩ කරනවා. ටෙලිනාට්‍ය, චිත්‍රපටි ගත්තත් මට මඟඇරුණේ එක අතක ඇඟිලි ප්‍රමාණයක විශිෂ්ටයන් පමණයි. ඊළඟ හැරවුම කියනවා නම් මම කරපු නාට්‍ය ඒවා සියල්ලක්ම පර්යේෂණ. හැමදාමත් මම මොනව හරි ඉගෙනගත්තා. පශ්චාත් උපාධි තුනක් කළා. පීඑච්ඩී එක කළා. මගේ සිහින විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හම්බ වුණා. මේවා මම කියන්නේ අහංකාරකමකින් නෙවේ. නිහතමානී ආඩම්බරයකින්. ගුරුතරුව, අන්දරේලා, ලෝකේ තනි යායක්, බූරුවා මහත්තයා මේ ඔක්කොම අවුරුදු එක හමාරක දෙකක පර්යේෂණ.

ඔය හැමදේමත් එක්ක ඔබතුමා හොඳ යාළුමිත්‍ර සමාගමකුත් පවත්වනවා ? 

අපොයි. ඒක නම් කෙලවරක් නෑ. අමාරුම දේ තමයි එයාලව නම් වශයෙන් කියන එක. අපේ ජීවිතවල වෙහෙස දැනෙන්නේ නැත්තේ ඒ මිනිස්සුත් එක්ක ජීවත් වීම තුළ. ඒ සංවාදය තුළ. උදාහරණයක් කියන්නම්. නාට්‍ය බස් එක්කම ඇවිල්ලා උපසංස්කෘතියක්. ඒක ඇතුළේ පුදුමාකාර ජීවිතයක් තියෙන්නේ. සරච්චන්ද්‍රගේ බස් එකේ ඉඳලා හෙන්රි ජයසේනගේ බස් එකේ සහ අද දක්වා අනෙකුත් සියලුම නාට්‍ය බස් ඇතුළේ අපි අපේ ජීවිත භාර දීලා තියෙනවා. අදහස් කෝටි ගණන් හුවමාරු කරන් තියෙනවා. හුඟාක් දේවල් ඉගෙන ගෙන තියෙනවා. අනන්ත අප්‍රමාණ සතුටු වෙලා තියෙනවා. ඒ කාලේ සිංදු කියන්න ඉගෙන ගත්තෙම බස්වල ගිහිල්ලා. වේදිකාවේ එහා කොනට ඇහෙන්න කෑ ගහන්න ඉගෙන ගත්තේ නාට්‍ය බස් එකෙන්. ඇයි එන්ජින් එකේ සද්දෙට බස් එකේ ඉන්න අයගේ සද්දෙට වඩා හයියෙන් කෑ ගහලා කතා කරන්න එපැයි. ඒක වෙනම ජීවිතයක්.

 
 
මේ වෙලාවේ ඔබතුමාගේ පවුල් ජීවිතේ සහ බිරිඳ ගැන කිව්වොත් ?
අනිවාර්යෙන්ම. අපි ප්‍රේම සම්බන්ධෙකින් විවාහ වුණේ. අපි හමුවුණේ නාට්‍ය ජීවිතෙන්. ඒ ආදර සම්බන්ධතාවය ඇතුළේ රසබර කතා ගොඩක් තියෙනවා. කැපකිරීම් අතින් මම ඇත්තටම ඇය ගැන කියන්නමයි හිටියේ. බොහොම නිහඬව ඇය අද දක්වාම සෙවණැල්ල වගේ මගේ ජීවිතේ එක්ක ආපු ගමන වීරකමක්. කොටින්ම මම ගෙදරින් එළියට බහිනකොට ඒ ඒ අදාල වැඩේට අනුව නාට්‍ය ඇඳුම්, අදාල කෑමබීම, බෙහෙත් වට්ටෝරු පිළියෙල කර දීමත් සාමාන්‍ය කෙනෙකුට කරන්න බැහැ. දරුවන් සම්බන්ධයෙනුත් ඇය කළ කැපවීම මෙහෙම වචනෙන් දෙකෙන් කතා කරන්න බැහැ. නමුත් ඒ කැපකිරීම්වලට මගේ බිරිඳ අද දවසේ සතුටු වෙනවා ඇති. මගේ දරුවනුත් ඉන්නා තැන ගැන මමත් සතුටුයි. අපිට දරුවන් දෙදෙනයි. පුතෙක් සහ දුවෙක්. දෙදෙනාම ඉගෙනීම අතින් ඉහළම තැන්වල ඉන්නේ. පුතා ඕස්ට්‍රේලියාවේ රැකියාවක් කරමින් පදිංචියි. එයාටත් දරුවන් තිදෙනෙක් ඉන්නවා. දුව ලංකාවේ ජීවත් වෙන්නේ. වෘත්තියෙන් මූල්‍ය ආයතනයක රැකියාව කරන්නේ. අපේ දරුවන් දෙදෙනාම බොහොම හොඳ ජීවිත ගත කරනවා. දරුවන් දෙදෙනාත් ඔවුන්ගේ අම්මා තාත්තා ගැන ආඩම්බර වෙනවා ඇති. ඉතින් අද දවසේ මේ චාරිකාවේ නැවතත් අර චක්‍රය කරකැවිලා තියෙනවා. බිරිඳ සහ මම ගෙදර නැවතත් තනියෙන් ජීවත් වෙනවා.

මිනිස්සු ගැන කතා කරද්දි ගමේ මිනිස්සු ද නගරේ මිනිස්සු ද වඩා කුහක?

මිනිස්සුන්ගේ කුහකකම්වලට ගම ද නගරය ද කියලා නෑ. නමුත් හිතන්න ඕනේ හොඳ මිනිස්සුත් එහෙමයි. ගම ද නගරය ද කියලා නෑ. හැමතැනම ඉන්නවා.



සටහන_දිමුතු පරාක්‍රම ලියනගේ
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top