අපේ සමාජයේ ඉන්නවා තමන්ගේ ගම ගැන ආඩම්බරයෙන් කතා කර කර, මම මාතර, මම නුවර, මම ගාල්ලේ කියන පිරිසක්.
තමන්ගේ ගම ගැන එච්චර ආඩම්බරයෙන් කතාකරන එක්කෙනක් හරි තමන්ගේ නගරය පිරිසිදු කරන්න ඕනේ කියලා පොඩි වෙලාවකට හරි හිතලා කට්ටිය රැස්කරගෙන ඒ විදිහේ වැඩක් කරලා තියෙනවා ද ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.
අපි ඉන්න ගම හෝ නගරය ලස්සන කරන්න ලොකු ලොකු වියදම් කරන්න අවශ්‍ය නැහැ පුංචි ශ්‍රමදානයක් කලත් හොදටම ඇති.
අපි මෙහෙම දෙයක් කියන්න හේතුවක් තියෙනවා.
වයස අවුරුද්දක් පමණ වන පුංචි පුතෙක්ව තමන්ගේ ඇගට තුරුලු කරගෙන තරුණ අම්මා කෙනෙක් මහ පාර අතුගාන ඡායාරූපයක් අද වෙද්දි අන්තර්ජාලය කළඹමින් තියෙනවා.
ඒකට හේතුව වෙන මොනවත් නෙවෙයි තමන්ගේ නගරය පිරිසිදු කිරීමයි.
පුංචි පුතාගේ බරත් දරාගෙන මේ අම්මා මෙහෙම කරන්න හේතුව නගරය පිරිසිදුව තියාගන්න ඇති උවමනාවයි.
නමින් ඇය Sudheeksha Kiran Suvarna.
සුදීක්ෂා කියන්නේ සාමාන්‍ය මවක්, එහෙමත් නැත්නම් සාමාන්‍ය ගෘහනියක් නෙමෙයි, ඇය ජීවවිද්‍යා කථිකාචාර්යවරියක්.
මැය ජීවත් වෙන්නේ ඉන්දියාවේ මැංගලූර් නගරයේ.
ඉතිං ඇය තමන්ගේ ස්වාමිපුරුෂයා සහ ඔවුන්ගේ මිතුර මිතුරියන් සමග එක්ව නගරය පිරිසිදු කරන්න කටයුතු කරලා තියෙනවා.
ඔවුන් මේ විදිහේ කටයුත්තක නිරත වුනේ ප්‍රථමවතාවට නෙමෙයි.
සෑම සතිඅන්තයකදීම ඔවුන් සැවොම එක්ව මේ කාර්යයේ නිරත වන්නේ කිසිදු ලාභයක් හෝ ප්‍රසිද්ධියක් බලාපොරොත්තුවෙන් නොවීම විශේෂත්වයක්.
නමුත් පහුගිය සතියේ ඔවුන් එලෙස ශ්‍රමදානයේ නිරතව සිටියදි එක්තරා තරුණයෙකු එය ඡායාරූපයක් ගෙන සමාජමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරලා තියෙනවා.
එය මේ වන විට ඉන්දියාව පුරාම මෙන්ම ලෝකය පුරාද දැඩි කතාබහට ලක්වෙමින් තියෙනවා.