Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 August 17
5,316
Views
මං ගැන වොල්ගා ගැන එක එක දේවල් සමහරු කියන්න ගත්තා
අවුරුදු දහසයක ඉඳන් වොල්ගාව දන්නේ.


වොල්ගා සහ හර්ෂන කියන්නෙ අපේ රටේ ජනප්‍රිය නළු නිළි යුවළක්. පසුගියදා ඔවුන් විවාහ දිවියට එළඹුණා. ඔවුන්ගේ පවුල් ජීවිතය ගැන වොල්ගා සහ හර්ෂන පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.

Harshana Bethnage

තනිකඩ ජීවිතේට සමුදීලා පටන් ගත්ත අලුත් ජීවිතේ කොහොමද?
අලුත් ජීවිතේ ගොඩක් සුන්දරයි. වගකීම්, යුතුකම්, අවංකකම් වැඩියි. තාම අපි විවාහ වෙලා දවස් කිහිපයයි.මේ සුන්දරත්වය හැමදාම ආදරෙන් විඳින්න ලැබෙයි කියලා හිතනවා.

කොච්චර කාලයක් තිබ්බ ආදර කතාවක්ද විවාහය තෙක් මේ දුර ඇවිත් තියෙන්නේ?
අපි අවුරුදු තුනහමාරක් තිස්සේ පෙම්වතුන්. ඒ කාලය තුළ තිබ්බ ආදරය අපිව විවාහය වෙනකම්ම දුර ගෙනාවා. ඒ ආදරය ඉදිරියටත් තියෙයි.

හර්ෂණට ඕන තරම් ගැහැනු ළමයි මුණ ගැහිලා ඇතිනේ. වොල්ගා ළඟම හර්ෂණගේ හිත නතර වෙන්න විශේෂ හේතුවක් තිබුණද?
මගේ ජීවිතේ මම ආදරය කරපු පළමුවැනි කෙනා වොල්ගා. අවුරුදු දහසයක ඉඳන් වොල්ගාව දන්නේ. එයා හරි සරල, පොළවේ පය ගහලා ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්. ඒ නිසයි මට එයා ගැන ආදරයක් ඇති වුණේ.

නිළියක් ලේලිය කරගන්න අම්මා තාත්තා කැමැති වුණාද?
අපේ ගෙදර අයත් වොල්ගාව කාලයක් ඉඳලා දන්නවා. එයා අම්මා එක්කත් ගොඩක් කිට්ටුයි. මම ගන්න තීරණවලට අම්මලා මුකුත් කියන්නේ නෑ. මොකද එයාලා දන්නවා මං ගන්න තීරණය හරියි කියලා. ඉතින් වොල්ගාව සහකාරිය කරගන්න තීරණයටත් එයාලා අකැමැති වුණේ නැහැ. ඒ නිසා අම්මලා තාත්තලගේ ආශීර්වාදයත් එක්කම වොල්ගාව මගේ සහකාරිය කරගන්න පුළුවන් වුණා.

වොල්ගාගෙයි හර්ෂණගෙයි ආදර කතාවට බාධක තිබුණෙම නැද්ද?
බාධක තිබුණා. අපි දෙන්නගේ ප්‍රතිපත්තිය තමයි අපි කවුරුත් කියන දේවල් අහන්නේ නෑ. අපි අතරේ සම්බන්ධයක් තියෙනවා කියලා දැනගත්තම මං ගැන වොල්ගා ගැන එක එක දේවල් සමහරු කියන්න ගත්තා. ඒත් අපි දෙන්නට දෙන්නා තරම් වෙන කිසි කෙනෙක් අපි දෙන්නා ගැන දන්නේ නෑ. අපි ගැන අනෙක් අය කියන කතාවලට වඩා අපි අතර තියෙන විශ්වාසය වැඩියි.

හොඳ පෙම්වතියක් වුණ වොල්ගා හොඳ බිරියකුත් වෙයි කියලා හිතනවද?
වොල්ගාගේ පෙම්වතිය කියන කැරැක්ටර් එක හරිම ලස්සනයි. අපි ආදරය කරපු විදිය දැකලා මගේ යාළුවොත් අපි වගේ ආදරේ කරන්න පටන් ගත්තා. වොල්ගා සල්ලි ගැන ලොකුවට හිතන්නේ නැහැ. සල්ලි තිබ්බත් නැතත් එකම විදියට ජීවත් වෙන්න අපිට පුළුවන්. තාම විවාහ ජීවිතය පටන් ගත්තා විතරයි. වොල්ගා හොඳ බිරියක් වෙයි කියලා මට විශ්වාසයි. අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන්.

විවාහයෙන් පස්සේ අම්මා තාත්තා ළඟමද ජීවත් වෙන්නේ?
අපි ටික කාලයක් මහගෙදර ඉන්නවා. ඊට පස්සේ වෙනම ජීවත් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

නැන්දම්මා ලේලි ප්‍රශ්න ඇති වෙන නිසාද එහෙම තීරණයක් ගත්තේ?
නැහැ. අපේ සම්බන්ධය පටන් ගත්ත දවසේ ඉඳලම තමයි විවාහයෙන් පස්සේ වෙනම ජීවත් වෙන්න ඕන කියලා තීරණය කරලා තිබ්බේ. වෙනම ජීවත් වෙන එක කොයිකටත් හොඳයි.

වෙනම ජීවත් වුණත් වොල්ගා හර්ෂණගේ මවුපියන්ට හොඳ දුවෙක් සහෝදරයන්ට හොඳ සහෝදරියක් වෙයිද?
මට ඉන්නේ මල්ලිලා දෙන්නෙක්. එයාලත් වොල්ගාට ගොඩක් ආදරෙයි. එයාලට එකතු වුණාම වොල්ගාත් පොඩි ළමයෙක් වගේ. එයා මට වගේම මගේ ගෙදර හැමෝටම ආදරෙන් ජීවත් වෙයි.

සැමියෙක් වුණ නිසා හර්ෂණගේ ජීවිතේ සීමා ඇති වෙයිද?
තනිකඩව ඉද්දි මගේ ජීවිතේ තිබ්බ නිදහස යම්තාක් දුරට මට කැප කරන්න වෙනවා. පවුල් ජීවිතය රැකගන්න අමාරුයි. පොඩි පොඩි දේවල්වලින් ලොකු දේවල් වෙන්න පුළුවන්. අපි වගකීමෙන් වැඩ කළොත් පවුල් ජීවිතේ අඩුපාඩු ඇතිවෙන එකක් නෑ. පවුල් ජීවිතේදි අපිම වැටක් බැඳගන්න ඕන.

මොනවද දෙන්නගේ ජීවිතේ ඉදිරි බලාපොරොත්තු?
අපි දෙන්නා එකතු වෙලා ව්‍යාපාරයක් පටන් ගන්න අදහසක් තියෙනවා. ජීවත් වෙන්න රඟපාන්නේ නැතුව ව්‍යාපාරයෙන් ජීවත් වෙන්න තමයි එහෙම කරන්න හිතුවේ. ඒ වගේම මේ පටන් ගත්ත ජීවිතේ ආදරෙන් ගෙවන්න බලාපොරොත්තු වෙනවා.

Volga Kalpani
කොහොමද වොල්ගා අලුත් ජීවිතේ?
අලුත් ජීවිතේ හොඳයි. හරිම සතුටින්, විනෝදයෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.

විවාහ වුණාම ජීවිතය සැහැල්ලුවෙන් විඳින්න පුළුවන්ද?
මට ලැබිලා ඉන්නේ මාව හිර කරලා තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. ඒ නිසා විවාහ වුණත් සැහැල්ලුවෙන් ජීවිතය විඳින්න පුළුවන්.

හර්ෂණ කවදාවත්ම වොල්ගාගේ ජීවිතේට සීමා දාලා නැද්ද?
මාව ළඟින්ම ආශ්‍රය කරන අය කියන්නේ මම අමුතු චරිතයක් කියලා. මම මටම සීමා දාගෙන ඉන්නේ. මම කොහොමත් ඕනෑවට වැඩිය අය ආශ්‍රය කරන්නේ නෑ. පාටිවලට වුණත් අපි දෙන්නා ගියේ එකට. ඒ නිසා මට සීමා දාන්න හර්ෂණට ඕන වුණේ නෑ.

විවාහ වුණාම මිනිස්සු වෙනස් වෙනවලු. ඉතින් හර්ෂණ ඉස්සරහට වෙනස් වෙන එකක් නැද්ද?
ඉදිරියටත් එයා වෙනස් වෙන එකක් නෑ. ශාරුක් ඛාන් හම්බුණත් මම විවාහ වෙලා කියලා හිතාගෙන ජීවත් වුණාම හරි. අපිට අමුතුවෙන් සීමා දාන්න ඕන වෙන එකක් නෑ.

නළුවන්ව ෂුවර් කරන්න බෑලු. හර්ෂණව සහකාරයා විදිහට තෝරා ගනිද්දී අවිශ්වාසයක් තිබ්බේම නැද්ද
අපි අවුරුදු දහසයක ඉඳන් හඳුනන්නේ. එයා කාවද ආශ්‍රය කරන්නේ කියලා මම දන්නවා. හර්ෂණ මට අසීමිතව ආදරය කරනවා කියලා මම දන්නවා. ලෝකයේම ලස්සන කාන්තාවක් වුණ ඓශ්චර්යා ඇවිත් වොල්ගාව අතහැරලා එන්න කිව්වත් හර්ෂණ මාව අතහරින්නේ නෑ කියලා මම දන්නවා.

හර්ෂණට තරුණියන්ගේ ආකර්ෂණය ලැබෙද්දී වොල්ගාට ඊර්ෂ්‍යාවක් දැනිලම නැද්ද?
හර්ෂණට ගැහැනු ළමයි ගොඩක් ආසයි. සමහර වෙලාවට ගැහැනු ළමයි ඇවිත් මට එයාලගේ ෆෝන් එක දීලා ෆොටෝ අරගෙන දෙන්න කියනවා. ඒත් මට ඊර්ෂ්‍යාවක් ඇතිවෙලා නැහැ. මම නිළියක් නොවුණා නම් ඔය දේවල් මට ප්‍රශ්නයක් වෙන්න තිබ්බා. ඒත් මට ඒ දේවල් මහ ලොකු දේවල් විදියට දැනෙන්නේ නෑ.

තනිකඩ ජීවිතේ වගේ නෙවෙයි බිරියක් විදියට වගකීම් දරන්න පහසු වෙයිද?
අපි දෙන්නම වැඩ කරන අය. අපි මිනිස්සු නිසා වගකීම් මඟහැරෙන්න පුළුවන්. හර්ෂණ සාම්ප්‍රදායික කෙනෙක් නෙවෙයි. ඔයාම උයන්න ඕන. ඔයාම ඔක්කොම දේවල් කරන්න ඕන කියන තැන එයා නැහැ. අපි දෙන්නටම තේරුම් ගැනීමක් ඇතුව පවුල් ජීවිතේ වගකීම් ඉෂ්ට කරන්න පුළුවන් වෙයි.

එහෙනම් හර්ෂණගෙන් ගෙදර වැඩවලටත් උදවු ලැබෙනවා ඇති නේද?
හර්ෂණ මට වඩා පිළිවෙළ කෙනෙක්. අපි විවාහ වෙන්න කලින් හර්ෂණ මාව ගෙදරට ඇවිත් ඇහැරවලා මඟදී කවලා ෂූටින් එක්ක ගෙන ගියා. එයා දැන් වුණත් එහෙමයි. අපි දෙන්නා එකතු වෙලා ගොඩක් දේවල් කරන්නේ.

වොල්ගාට හොඳ සැමියෙක් නේද ලැබිලා තියෙන්නේ?
ඔව්. මට හොඳ සැමියෙක් ලැබිලා ඉන්නවා. මේ හැමදේම නොවෙනස්ව හැමදාම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

විවාහ වුණාම සමහර රංගන ශිල්පිනියන් රංගනයෙන් අෑත් වෙනවා. වොල්ගා රංගනයෙන් අෑත් වෙන එකක් නැද්ද?
හර්ෂණ මම රඟපානවට ආසයි. මම කොහොමත් දවස් තිහම එක දිගට වැඩ කරපු කෙනෙක් නෙවෙයි. මම තාම නාට්‍ය නවයක් දහයක් වගේ කරලා තියෙන්නේ. ඉතින් ඒ විදියට හිමින් ගමනක් ඉදිරියටත් යයි. දවසක අම්මා කෙනෙක් වුණ කාලෙක ටික කාලයකට රංගනයෙන් අෑත් වෙයි. ඒත් ඒ හැමදාටම නෙවෙයි.

දැන්මම මවක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවාද?
තවම ඒකට කාලේ නෙවෙයි. තව අවුරුදු හතර පහකින් ඒ හීනය හැබෑ වෙයි. ඊට කලින් අපිට හදාගන්න දේවල් ටිකක් තියෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top