Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 June 28
4,871
Views
ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගමගේ ගේ නවතම සිනමා නිර්මාණය වන ‘‘ඇගේ ඇස අග“ මේ දිනවල වැඩි කතාබහට ලක්වූ චිත්‍රපටය වී තිබෙනවා. ඊට හේතුව එහි ප්‍රධානි නිළිය නවක නිළියක් වීම හා එහි ඇතැම් වැඩිහිටියන්ට පමණයි දර්ශන ඇතුළත් වීම.

මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වන රිතිකා කොඩිතුවක්කු චිත්‍රපටය ගැන පුවත්පතකට පවසා තිබුණේ මෙවැන්නක්.

රිතිකා කොඩිතුවක්කු ලාංකික සිනමාවට එක්වුණු අලූත් නමක්. ඔබගේ සිනමා අවතීර්ණය සිදු වූ ආකාරය ගැන මුලින්ම කතා කළොත්..?
‘ඇගේ ඇස අග’ මා රඟපෑ පළමුවෙනි සිනමා නිර්මාණය. මා මීට පෙර සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධව වැඩ කරලා නැහැ. මා වෙළඳ දැන්වීම් සඳහා නිරූපිකාවක් ලෙස දායක වී තිබෙනවා. අසෝක හඳගමගේ නවතම සිනමා නිර්මාණයට මට දායකවීමට අවස්ථාව ලැබෙන්නේ අමල් අල්විස් හා මංජු පෙරේරා යන අය හරහා. ඔවුන්ගේ දැනුවත් කිරීම මත මා සම්මුඛ පරීක්ෂණයකට යොමු වුණා. ඉන් පසු අධ්‍යක්ෂකවරයා විසින් මා එම චරිතයට තෝරා ගෙන, මට පිටපත ලබා දුන්නා. ඒ අදාළ චරිතය කිරීමට මා කැමැති නම් දන්වන්න කිව්වා. පිටපත මුල්වරට කියවීමෙන්ම මා මෙම චරිතය කළ යුතුයි කියා මා තීරණය කළා. මුල සිටම ඇගේ ඇස අග චිත්‍රපටයේ මා නිරූපණය කළ චරිතයට මම ඉතාම කැමතියි. චරිතයත් සමග වැඩෙද්දී ඒ ආසාව තවත් වැඩි වුණා.

ඔබ රංගනය හදාරා තිබෙනවාද?
නැහැ. මම රඟපෑම පිළිබඳව හදාරා නැහැ. එහෙත් මම හැකි සෑම විටම මෙරට මෙන්ම විදේශීය සිනමාපට නරඹනවා. විවිධ නළුනිළියන් විසින් නිරූපණය කරන චරිත ඔවුන් නිරූපණය කරන ආකාරය නිරීක්ෂණය කරනවා. ඊට අමතරව රඟපෑම පිළිබඳ විධිමත් හැදෑරීමකට මා තවම යොමු වී නැහැ.

බොහෝ අවස්ථාවල හඳගමගේ සිනමාව අවශෝෂණය කර ගන්නට තරම් අපේ සමාජය පරිණත වුණේ නැහැ. ඔහුගේ බොහෝ සිනමාපට විකල්ප මතිමතාන්තර පිළිගත් සමාජ තීරු අතර උත්කර්ෂයටත්, මහ සමාජයේ නිර්දය විවේචනයටත් ලක්වුණා. ඔබගේ මුල්ම රංගනය ඔහුගේ චිත්‍රපටයකින් ආරම්භ කිරීම, ඔබ කොතරම් දැනුවත්ව ගත් තීරණයක්ද?
චිත්‍රපටයේ රඟපෑමට පෙර මා අසෝක හඳගමව පෞද්ගලිකව හඳුනන්නේ නැහැ. එහෙත් මං ඔහුගේ චිත්‍රපට නරඹා තිබෙනවා. ඒ චිත්‍රපට හරි වෙනස්. නිර්මාණශීලීයි. මා ඔහුගේ සිනමාපටවලට කැමතියි. චිත්‍රපටයට සම්බන්ධ වන විට ඔහු ඉතා දක්ෂ, නිර්මාණශීලී අධ්‍යක්ෂක වරයෙක්ය යන විශ්වාසය මට තිබුණා. චිත්‍රපටය රූගත කිරීම අවසන් වන තෙක් සහ ඉන් පසුවටත් එම විශ්වාසය ප්‍රමාණවත් වුණා. මහා සමාජයේ මතිමතාන්තර ගැන මං කොහොමටත් එතරම් තැකීමක් කරන්නේ නැහැ. මෙම චිත්‍රපටයෙන් මගේ සිනමා ගමන ආරම්භ වෙනවා නම් එය මා ලබපු ලොකුම භාග්‍යයක්.

චිත්‍රපටයේ ඔබගේ චරිතය තිරපිටපත කියවීමේ සිට චරිතය රඟපෑම දක්වා ඔබ ඔබ තුළ ගොඩනඟාගත් ආකාරය ගැන කතාකළොත්..?
තිර පිටපත කියවීමෙන් මට යම්කිසි දළ අදහසක් ගොඩනඟාගන්න පුළුවන් වුණත්, අධ්‍යක්ෂකවරයා හා රූගත කිරීමට පෙර පැවැත්වූ දීර්ඝ කතාබහ තුළින් එම චරිතයට අදාළ ඉතා සියුම් ගතිපැවතුම්, චරිත ලක්ෂණ හා එම චරිතයට අදාළ රිද්මය හොයාගන්න පුළුවන් වුණා. රූගත කිරීම් තුළදීත් ස්වර්ණා මල්ලවාරච්චි මහත්මියගෙන් සහ ඉන්දීය නළු චැටර්ජි මහත්මයාගෙන් ලැබුණු සහය ඉතා ඉහළයි. රූගත කළ කාලවකවානුවේ මා සෑම දර්ශන තලයකම සිටියා, මා නොසිටි දර්ශනවල පවා. එයින් මට මාගේ චරිතය ගැන මෙන්ම අනෙකුත් චරිත ගැනත් හොඳ අවබෝධයක් ලැබුණා.

රඟපෑමට පෙර ඔබ රඟපෑම පිළිබඳව කිසිවක් හදාරා නොතිබීම දර්ශන තලයේදී ඔබට දැනුණේ කොහොමද?
මං හිතන්නේ එයින් අධ්‍යක්ෂකවරයාට ඔහුට උවමනා ආකාරයට ඔහුගේ මනසේ තිබු විශ්වවිද්‍යාල ශිෂ්‍යාවගේ චරිතය මා තුළින් මතු කර ගැනීමට පහසු වුණා. මොකද එතෙක් මා කිසිම රංගන ශෛලියකට අනුගත වී තිබුණේ නැහැ. ඒ ගැන මා කිසිවක් දැනගෙන හිටියේ නැහැ. ඒක නිකං හරියට අධ්‍යක්ෂකවරයාට මැටි ගොඩක් හම්බ වුණොත් ඔහුගේ මනසේ තිබුණු චරිතය ඔහුට උවමනා විදියට නිර්මාණය කර ගන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක්.

ඔබගේ පළවෙනි සිනමා රංගය ලෙස ඔබ එහි නිරූපණය කළ චරිතය ඉතාම අභියෝගාත්මක චරිතයක් වගේම ඔබ එය ඉතාම හොඳින් ජයගත් බවයි මගේ අදහස. කෙසේ වුවත් මෙම චිත්‍රපටයේ ඔබ නිරූපණය කළ චරිතය සම්බන්ධයෙන් නැගෙන විවිධාකාර වූ චෝදනා සහ අපහාස ඔබ බාරගන්නේ කෙසේද?
එය ඇත්තටම අපේ රටේ ඛේදවාචකයක්. නිළියක් චිත්‍රපටයක චරිතයකින් නිරූපණය කරන්නේ තමන්ගේ පුද්ගලික ජීවිතය නොවෙයි. චිත්‍රපට චරිතයකින් නිරූපණය වෙන්නේ තිරපිටපතට අදාළ චරිතයක්. මේ චිත්‍රපටයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවගේ චරිතය මා රඟපෑවා පමණයි. ඒ මම නොවෙයි. මෑතක එක්තරා පුවත්පතකින් කළ සම්මුඛ සාකච්ඡාවකදී මා මෙය මෙලෙසම කිව්වා. එහෙත් ඔවුන් වාර්තා කර තිබුණේ ඒ චිත්‍රපටයේ අඩනිරුවත් දර්ශන රඟපෑවේ මා නෙවෙයි කියලා. මා මේ කියන දේ පවා තේරුම් ගන්න බැරි මාධ්‍යවේදීන් ඉන්න රටක මහා සමාජයෙන් නැෙඟන චෝදනා අපහාස නම් මා බිඳක්වත් සලකන්නේ නැහැ. ඒ චරිතය දරා ගන්න බැරිව කෑමොර දීමෙන් හෝ එය මාගේ පෞද්ගලිකත්වය හා ඈඳා ගැනීමෙන් ඔවුන් ප්‍රදර්ශනය කරන්නේ ඔවුන්ගේම කුහකකමයි. මා දුටුවා මුහුණු පොතේ කෙනෙක් ලියලා තියෙනවා මේ චිත්‍රපටයට පස්සේ මට වෙන දේ මොකද්ද කියලා. මේ අනාවැකි කියන මහත්වරුන්ට මට කියන්න තියෙන්නේ, ඒක අපි අනාගතයට බාරදෙමු. කාලය විසින් ඔබලාට උත්තර සපයයි. එතෙක් තමන්ගේ වැඩක් බලාගන්න එක තමයි හොඳම දේ.

දීර්ඝකාලීනව සිනමාවේ නියැලීමට ඔබගේ අදහසක් තිබෙනවාද?
නිළියක් වීම කවදාවත් මගේ සිහිනයක් නෙමෙයි. පළමු රංගනයෙන් සෑහීමකට පත්විය හැකි තරමේ ප්‍රතිචාරයක් ලැබුණත් වෘත්තීයමය නිළියක් වීමට මගේ කොහෙත්ම කැමැත්තක් නැහැ. එහෙත් මං කැමති වෙනස්, හොඳ දෙයක් කරන්න. එවැනි සිනමා කෘතීන්වල වැඩ කිරීමට මා කැමතියි.

ලංකාවේ නිළියක් වීම පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?
නිළියක් කිව්වාම අපේ සමාජයේ එතරම් හොඳ පිළිගැනීමක් නැහැ. මං හිතන්නේ නිළියකට අදාළ වෘත්තීයමය වටිනාකම නොදෙන්නේ ක්ෂේත්‍රය තුළින්මයි. උදාහරණයකට මා ඇගේ ඇස අග චිත්‍රපටයේ රඟපෑ චරිතය ගැන වර්ණනා කරන ගමන් ‘ඒත් මේ ලංකාවනේ’ වගේ දේවල් කියන අය තමයි මේ ක්ෂේත්‍රයේ වැඩිපුර ඉන්නේ. මගෙන් ක්ෂේත්‍රයේ බොහෝ දෙනා දැන් අහන්නේ තවත් වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියක වැඩ කරමුද කියලා. ඔවුන් මාව දැන්මම ලේබල් කරලා ඉවරයි. මා ඇගේ ඇස අග චිත්‍රපටයට සම්බන්ධ වීමේදී අසෝක හඳගම මහත්මයා කිසිවිටෙකත් මෙය වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක් බව පුන පුනා කීවේ නැහැ. ඔහු මා තෝරාගත් පසු තිරපිටපත ලබා දුන්නා. එය කියවා මා එහි රඟපෑමට කැමති නම් දන්වන මෙන් කිව්වා. චිත්‍රපටයේ මා නිරූපණය කළ අඩනිරුවත් දර්ශන එම කෘතියට ඉතාම අවශ්‍යයි. මා එය ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කිරීමට එකඟ වුණේ ඉන් එම කෘතියට මනා සාධාරණත්වයක් ඉටු වෙන නිසා. ඉන් අදහස් වන්නේ නැහැ මා මීළඟට කරන්නෙත් වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ එන චිත්‍රපට කියා. මෙන්න මෙවැනි ප්‍රාථමික සමාජ වටපිටාවක නිළියක් වීමම අභියෝගයක්.

ඇගේ ඇස අග චිත්‍රපටයේ දර්ශන පහතින්..





Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top