Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 12
726
Views

දෙවියන් විසින් පිරිමියා එක් දවසකින් නිර්මාණය කොට කාන්තාව නිර්මාණය කිරීමට දින හතක් ගත් බව ඉතිහාසය කියයි. ඉතා ආශ්චර්යවත්, මිනිසාව විස්මයට පත් කළ හැකි, ඕනෑම බරක් ඉසිලිය හැකි, සතුට සහ ආදරය දෑතේ දරාගෙන සිටින අයකු ලෙස ඇය මෙලොවට බිහිකළ බව පුරාණ සාහිත්‍යය සාක්ෂි දරයි. එහෙත් වර්ගයාගේ බෝවීමත් සමඟ, කාන්තාවට ලෝකය සමඟ ගැටීමට සිදුවීමත් සමඟ ඇයට නොයෙක් ආකාරයේ හැලහැප්පීම්වලට මුහුණ දීමට සිදුවෙයි. වරින් වර නොයෙකුත් සාර්ථක අසාර්ථක කාන්තා චරිත පිළිබඳ අපි අසා ඇත්තෙමු. රටක් රාජ්‍යයක් පාලනය කිරීමට තරම් ශක්තිමත් කාන්තා චරිත, ව්‍යාපාර ලෝකය සාර්ථකව තරණය කිරීමට සමත් වුණු කාන්තා චරිත, නොයෙක් වධ හිංසා, කරදර බාධක, කඩාවැටීම්, අසමත් වීම් මධ්‍යයේ ලොව ජයගත් කාන්තාවන් අතීතයේත් අදටත් අප අතර ජීවත් වෙයි.

මුනීබා මසාරී 1987 මාර්තු මස 03 වැනි දින සාම්ප්‍රදායික මුස්ලිම් පවුලකට දාව පාකිස්තානයේ රහීම් යාර් කාන් නගරයේ උපත ලබයි. පියාගේ සහ පිරිමි සහෝදරයන්ගේ ආධිපත්‍යයට යටත්ව ජීවත්වන ඇය අවුරුදු 18 වන විට පවුලේ සාමාජිකයන්ගේ කැමැත්තට විවාහ වෙයි. විවාහ ජීවිතය සාර්ථක නොවීය. ඇයට වයස අවුරුදු 21දී සැමියා සමඟ මෝටර් රියෙන් ගමන් කරමින් සිටින විට සැමියාට නින්ද යෑම නිසා වාහනය පෙරළී ගොස් විශාල වළකට ඇදගෙන වැටෙයි. සැමියා වාහනයෙන් එළියට පැන දිවි බේරාගන්නා අතර මුනීබා වාහනය තුළ හිරවෙයි. විශාල පිරිසකගේ මැදිහත්වීමෙන් ඉතා බරපතළ තුවාල සහිතව ඇයව පණ පිටින් බේරා ගැනීමට හැකිවෙයි. එහෙත් ඇයගේ පෙණහලුවලට සහ දකුණු අත්බාහුවට අතිවිශාල ලෙස හානි වී ඇති බව වෛද්‍යවරයා දිනක් ඇයට දන්වා සිටිනවා. මැණික්කටුව සහ උරහිස කැඩී ඇති බැවින් ඇයට නැවත කිසිදිනක ඇය හැමදාමත් ආදරය කළ චිත්‍ර ඇඳීමට නොහැකි වන බව ඇයට තේරුම් යනවා. ඇයගේ කොදුඇට පෙළට සිදුවී ඇති බරපතළ හානි නිසාවෙන් නැවත ඇයට ඇවිදීමට නොහැකි බව ඇයට දැනගැනීමට ලැබෙනවා. මේ සියල්ල අභිභවමින් ඇයට වඩාත් කම්පනයක් දන්වන්නේ ඇයට කිසි දිනෙක මවක් වීමට අවකාශයක් නොමැති බව වෛද්‍යවරයා විසින් ඇයට දන්වා සිටි මොහොතයි. 

සෑම ගැහැනියක්ම විවාහයෙන් පසුව මවක් වීමට සිහින දකින්නියක්. මේ සියලු පීඩාවන් මධ්‍යයේ ඇයට දැනෙන්නේ මේ ඇයගේ ජීවිතයේ අවසානය බවයි. වරක් ඇය ඇයගේ මවගෙන් අසා සිටිනවා, ‘අම්මේ ඇයි මටම මෙහෙම වෙන්නේ’ කියා.’ රෝහලේ ඇඳට වී බලාපොරොත්තු රහිතව ජීවත් වූ ඇය කල්පනා කිරීමට පටන් ගන්නවා. මුනීබාට මේ නීරස සහ ඒකාකාරී රෝහල් වටපිටාව එපා වීමට වැඩි කාලයක් ගතවන්නේ නැහැ. ඇය වෛද්‍ය අණ නොතකා ඇගේ සහෝදරයාට පවසා සිටිනවා ඇයට පාට කිහිපයක් ගෙනත් දෙන ලෙස. 

වසර දෙකක කාලයක් ඇයට ඇඳටම පමණක් සීමා වී කාලය ගත කිරීමට සිදුවෙනවා. පසුකාලීනව ඇය පවසා සිටින්නේ ඇය ‘කාලයේ වටිනාකම’ අවබෝධ කරගෙන ඇත්තේ එම වකවානුවේ බවයි. වසර දෙකකට පසු ඇයට රෝද පුටුවක වාඩි වීමට අවස්ථාව උදාවෙනවා. ඇය එම දවස සලකන්නේ ඇය නැවත ‘උපන්’ දිනය ලෙසයි.

නැවත කිසි දින ඇවිදීමට නොහැකි බව දැන දැනත් ඇගේ ජීවිතයට ශක්තිමත්ව මුහුණ දීමට ඇය අදිටන් කරගන්නවා. ඇගේ ජීවිතයට අවශ්‍ය දේ කුමක්ද, ඇය යා යුත්තේ කුමක් සඳහාද, ඇය තුළ ඇති බිය කුමක් වෙනුවෙන්ද යන්න ඇය වෙන වෙනම සටහන් කරනවා. ඒ අතරතුර ඇයට ඇයගේ ජීවිතය තුළ මුහුණපාන්නට සිදුවූ භයානකම සිදුවීමට මුහුණ දීමට සිදුවෙනවා. ඇය තම සැමියාගේ බලෙන් එල්ලී සිටීමට උත්සාහ දරනවා. එහෙත් අකාරුණික ලෙස ඇයගේ දෛවය ඇයට දික්කසාදය උරුම කරනවා. ඇය අවබෝධ කරගන්නවා, ඇයට හිත ශක්තිමත් කරගැනීම මිස වෙනත් විකල්පයක් නොමැති බව. ඇගේ සැමියාගේ දෙවැනි විවාහය ආරංචි වූ මොහොතේ ඔහුට කෙටි පණිවුඩයක් යවා විවාහයට සුබ පැතීමට තරම් ඇය ශක්තිමත් වෙනවා.

ඇය තීරණය කරනවා මවක් වීමට. ඇයට දරුවකු වැදීමට නොහැකිවූ පමණින්ම ඇයට මවක් වීමට ඇති අවස්ථාව අහිමි නොවන බව ඇය අවබෝධ කරගන්නවා. ඇය ඇයගේ අවශ්‍යතාව සහ තොරතුරු නොයෙකුත් සංවිධානවලට සහ අනාථ නිවාසවලට ලබා දෙනවා. වසර දෙකකට පසු ඇයට පාකිස්තානයේ ඉතා කුඩා නගරයකින් පිරිමි දරුවෙක් හදාගන්න ලැබෙනවා. දින දෙකක් පමණ වයස එම දරුවා මේ වන විට වයස අවුරුදු 6ක හුරුබුහුටි දරුවෙක්. ඇය ජීවිතයට සාර්ථකව මුහුණ දෙමින් ඉදිරියට යනවිට ඇය තීරණය කරනවා ආබාධිත භාවය දැනුවත් කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධානයක් ආරම්භ කිරීමට. 

ඇය දිගටම ඇය කවදත් ආදරය කළ චිත්‍ර ඇඳීම කරගෙන ගියා. රෝද පුටුවේ සිට මෝස්තර නිරූපණ ශිල්පය කළ එකම පාකිස්තානු ජාතික කාන්තාව මුනීබා මසාරී. වෙළෙඳ සන්නාම සඳහා මෙන්ම පාකිස්තානයේ ජාතික රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් බවට ඇය පත්වනවා. පාකිස්තානයේ කාන්තා ජාතික සුහද තානාපතිවරිය වන්නට ඇයට හැකිවුණා. මේ වන විට ඇය ලොව පුරා කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අයිතීන් වෙනුවෙන් කතා කරමින් සිටිනවා. කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් ඇය බී.බී.සී.යේ පෙනී සිටිනවා. ජාත්‍යන්තර ෆෝර්බ්ස් සඟරාවේ තේරීමට අනුව ඇය 2016 වසරේ වයස අවුරුදු 30ට අඩු ලොව ප්‍රබලම කාන්තාවන් 30 දෙනකු අතර එක් අයකු වුණා. 

ජීවිතය නිරන්තරයෙන් අප බලාපොරොත්තු වන දේම පමණක් අපට දායාද කරන්නේ නැහැ. ජීවිතය කියන්නේ අප නිර්මාණය කරනා දෙයයි. අප කිසිවකු සර්ව සම්පූර්ණ නැහැ. අප සියලු දෙනා තුළම හොඳ නරක සියල්ල අඩු වැඩි වශයෙන් තියෙනවා. ඒ සියල්ල සාපේක්ෂයි. අප යමක් දෙස බලන විධිය අනුව එය දකින ස්වභාවය වෙනස් වෙනවා. ඔබ ඔබේ ජීවිතයට ආදරය කරන්න. ඔබ ඔබට ආදරය කිරීමට පටන් ගත් පසු ඔබ ලෝකයාට ආදරය කිරීමට පටන් ගනීවි.  රෝද පුටුවකට සිරව සිය ජීවිතයම අනෙකකුට බරක්ව ජීවත් වීමට සිදුවූ කෙනෙක් වූ මුනීබා එම දෛවය බිඳ දැමුවාය. අද වන විට ඇය ජාත්‍යන්තරය පවා ජයග්‍රහණය කළ දිරිය කාන්තාවක්. දිරිය මවක්. මුනීබා මසාරී සියලු කාන්තාවන්ට ආදර්ශයක්. මෙලොව කළ නොහැක්කක් නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ ආත්ම විශ්වාසයත්, නොපසුබස්නා උත්සාහය සහ තමන්ට ආදරය කිරීමත් බව ඇය ලෝකයට පෙන්වා දී තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top