Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 08
1,581
Views
ලොව ඉපැරැණිම වෘත්තියක් ලෙස සැලකෙන්නේ ලිංගික ශ්‍රමික වෘත්තියයි. එසේත් නැති නම් ගණිකා වෘත්තියයි.
 
ක්‍රි.පූ. 6 වැනි සියවසේ බුදුන් වැඩ විසූ කාලයේද අම්බපාලි වැනි ප්‍රසිද්ධ ලිංගික ශ්‍රමික කාන්තාවන් භාරතයේ විසූ බව අපි අසා ඇත්තෙමු. අවසානයේ අම්බපාලි බුදුන් වහන්සේගේ ආර්ය ශ්‍රාවිකාවක් වූ අතර ඇය ආර්ය රහත් ඵලයට ද පත්වූවාය.

ලිංගික ශ්‍රමික වෘත්තිය අප රටේ නීතියට අනුව තහනම්ය.
 
ඉකුත් සතියේද ලිංගික ශ්‍රමික කාන්තාවක් පොලිස් අත්අඩංගුවට පත්වීමේ පුවතක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල ළැව් ගින්නක් සේ පැතිරී ගියේය. ඇයට අත්අඩංගුවට පත් වීම සහ රක්‍ෂිත බන්ධනාගාර ගත වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ අදහස් පැතිරෙන්නට විය.
 
පිරිසක් ඇයව විවේචනය කරද්දී තවත් පිරිසක් ඇයට අනුකම්පා කළහ. ඇයව මේ තරම් ජනප්‍රිය වූයේ සමාජ මාධ්‍ය හරහාය. ඇය යූටියුබ් හරහා කර ඇති ප්‍රකාශ නිසා ඇය සිය ජනප්‍රියත්වය ලබා ගත්තාය. කුණුහරුපයක් දෙකක් කියා තම අඟපසඟ පෙන්වා ඇය එම ජනප්‍රියත්වය ලබාගත්තාය.
 
ඇයගේ එම ජනප්‍රියත්වය තවත් වර්ධනය කිරීමට ඇතැම් යූටියුබ් චැනල් හිමිකරුවෝ ක්‍රියා කළහ.
 
ලිංගික ශ්‍රමික වෘත්තිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාජ මාධ්‍ය හරහා කතා කළ ඇය සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිපදෙනකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර ඒකකය දැනුවත් කර තිබිණි.
 
එම ඒකකයේ නිලධාරීහු ඇගේ නම යොදා යන අය යූටියුබ් වෙත මුදාහැරි වීඩියෝ පට එකිනෙක අධ්‍යයනය කිරීම සඳහා කටයුතු කළහ.
 
මේ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කළ වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් මීට අදාළ නෛතික උපදෙස් ලබාගැනීම සඳහා එම වාර්තාව නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වෙත යොමු කළේය.
 
ලිංගික ශ්‍රමික කටයුත්ත සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කරමින් ඒ සඳහා සේවා දායකයන් ආකර්ෂණය කර ගැනීමේ ඇයගේ උත්සාහය පිළිබඳව අධ්‍යයනය කළ පොලිස් නිලධාරීන් ප්‍රථමයෙන් ඇය සත්‍ය වශයෙන්ම ලිංගික ශ්‍රමික කාන්තාවක් දැයි පරික්‍ෂා කිරීම සදහා පොලිස් නිලධාරීහු ඇයව අත්අඩංගුවට ගැනීමට සතියකට පෙර වත්තල, හැඳල පාරේ පිහිටි ඇයගේ රූපලාවණ්‍යාගාරයට පිටත්ව ගියහ.
 
සම්බාහනයක් කර ගැනීමට වේලාවක් වෙන් කර ගත් පොලිස් උපාය දූතයකු මැණික් ව්‍යාපාරිකයකු ලෙස රඟපාමින් රූපලාවණ්‍යාගාරය තුළ සිදුවන සියලු කටයුතු අධ්‍යයනය කළේය.
 
රූපලාවණ්‍ය කටයුතුවලට මුවාවෙමින් ඇය ලිංගික ශ්‍රමික සේවාවක් එහි පවත්වාගෙන යන බවට පොලිස් උපාය දූතයාට නිරීක්‍ෂණය විය.
 
ඇයගේ සම්බාහන කටයුතු රුපියල් පන්දහසේ සිට සිදුවේ. ඒ අතර රුපියල් හත් දහසට මත්ස්‍ය සම්බාහනයක්ද රූපලාවණ්‍යාගාරය තුළ වේ. ඇය විසින් සිදුකරන උපරිම සම්බාහනයේ මිල රුපියල් නව දහසකි.
 
සම්බාහන කටයුත්ත සඳහා ඇයට ඇමතුමක් ලබා දී ප්‍රථමයෙන් දවසක් සහ වේලාවක් ලබා ගත යුතුය. ඇයගේ ජංගම දුරකථන අංකය ඇය සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කර තිබුණාය.
 
පොලිස් උපාය දූතයන් මාර්ගයෙන් ඇය ලිංගික ශ්‍රමික කාන්තාවක් බව අනාවරණය වීමත් සමඟ ඇයව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සැලසුම් කළේය.
 
පොලිස් උපාය දූතයා ලබා දුන් තොරතුරු වලින් හෙළි වූයේ මේ තැනැත්තිය ලිංගික ශ්‍රමය ලබාදීම සඳහා එක් සේවාදායකයකුගෙන් රුපියල් තිස් දහසක මුදලක් අය කර ගන්නා බවය.
 
ඇය නොමැතිව වෙනත් සුරූපී තරුණියක් වුවද සම්බන්ධ කර දීමට හැකි බවත් ඇය පොලිස් උපාය දූතයාට පවසා තිබුණාය. ලිංගික ශ්‍රමය රූපලාවණ්‍යාගාරය තුළ ලබා නොදෙන බවත් ඒ සඳහා ඇය තෝරා ගන්නා වත්තල, කිරිබත්ගොඩ හා වැල්ලවත්ත ප්‍රදේශවල පිහිටි ඇය හඳුනන වායු සමනය කළ සුපිරි හෝටල් කාමරයක් ගත යුතු බවත් ඇය පොලිස් උපාය දූතයා වෙත පවසා තිබුණාය.
 
හෝටල් කාමරයක් වෙන් කරවා ගැනීම සඳහා සේවා දායකයාට රුපියල් තිස්දහසට අමතර තවත් රුපියල් පහළොස් දහසක් ඇය විසින් ලබා ගනී.
 
පොලිස් උපාය දූතයා ඇයට ඇමතුමක් ගත්තේය. තමන් මාතර ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයා බවත් තමාට සහ තමාගේ තවත් ව්‍යාපාරිකයකුට රූමත් තරුණියන් දෙදෙනකුගේ පහස ලබා ගැනීමට අවශ්‍ය බව ඔහු ශම්මි කුමාර්ට පැවැසුවේය.
 
සේවාදායකයාට ගරු සරු ලෙස කතා කළ ඇය, මැණික් ව්‍යාපාරික වෙසින් සිටින පොලිස් උපාය දූතයාගෙන් සේවය අවශ්‍ය දිනය හා වේලාව විමසා සිටියාය.
 
වලාන දූෂණ මර්දන ඒකකය පෙර සිටම සැලසුම් කර ගෙන සිටියේ මෙම වැටලීම දෙසැම්බර් පළමු වැනි දිනම සිදුකිරීමය. මන්ද එදින ලෝක ඒඩ්ස් දිනය නිසාය.
 
දෙසැම්බර් පළමු දින පෙරවරු 10.00ට තමා සහ තමාගේ මිතුරා වත්තල පිහිටි රූපලාවණ්‍යාගාරයට පැමිණෙන බවට පොලිස් උපාය දූතයා පොරොන්දු විය.
 
රූපලාවණ්‍යාගාරය පරික්‍ෂා කිරීමේ සෝදිසි වරෙන්තුවක් ද ගත් පොලිස් කණ්ඩායම ඉකුත් දෙසැම්බර් පළමු වැනි දින පොලිස් කණ්ඩායම් දෙකක් ලෙස බෙදී වත්තල, හැඳල පිහිටි රූපලාවණ්‍යාගාරය වෙත පිටත්ව ගියහ.
 
මැණික් ව්‍යාපාරිකයන් ලෙස හැඳින්වූ ඔවුහු සුඛෝපභෝගී ජීප් රථයක ධානපතීන් සේ රූපලාවණ්‍යාගාරයට පැමිණියහ. එලෙස සුඛෝපභෝගී රථයක් ද භාවිත කරනු ලැබුවේ රූපලාවන්‍ය ශිල්පිණියට සැක නොසිතන ලෙසටය.
 
“ගුඩ් මෝර්නිං සර්....” ඇය මැණික් ව්‍යාපාරික වෙස් ගත් පොලිස් උපාය දූතයන් දෙදෙනාම පිළිගත්තාය.
 
“සර්.... මේ ඉන්නේ දෙන්නා..” සේවය සැපයීම සඳහා කැඳවා සිටි 22 හා 35 හැවිරිදි තරුණියන් දෙදෙනාව ඇය හඳුන්වා දුන්නාය.
 
සැලසුම් කළ පරිදි පොලිස් උපාය දූතයෝ දෙදෙනාම එක් කාන්තාවකට කැමැත්ත ප්‍රකාශ කර අනෙක් තරුණියව ප්‍රතික්‍ෂේප කළහ.
 
ඊට ඇය අකැමැති වුවත් උපාය දූතයන්ගේ දැඩි ඉල්ලීම පරිදි 22 හැවිරිදි තරුණියගේ පහස ලබා ගැනීම සඳහා ඔවුන් දෙදෙනාට වෙන් වෙන් වශයෙන් අවස්ථාවන් දෙකක් ලබා දීමට ඇය එකඟ වූවාය.
 
උපාය දූතයන් සූක්‍ෂ්ම ලෙස තරුණියව රූපලාවණ්‍යාගාරය තුළ තබා ගැනීම සඳහා ඇගෙන් අවසර ගනු ලැබීය.
 
ඒ අනුව එක් උපාය දූතයකු තරුණිය රැගෙන කාමරයකට ගිය අතර ඇය විසින් ඔහුට උපත් පාලන කොපු දෙකක්ද ලබා දුන්නාය.
 
පොලිස් උපායදුතයා විසින් රහසිගතව රූපලාවණ්‍යාගාරයෙන් පිටත සිටින අනෙක් කණ්ඩායමට වැටලීම සිදුකරන ලෙසට සංඥාව ලබා දුන්නේය. වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුව පෙන්වමින් රූපලාවන්‍ය ශිල්පිණිය සහ සෙසු තරුණියන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.
 
එක් තරුණියක සේවාදායකයකු හට ලබාදීම සඳහා ඇය එක් සේවාදායකුගෙන් රුපියල් විසිදහසක මුදලක් ලබා ගත්තාය.
 
නමුත් පොලිස් උපාය දූතයන්ට ඇය පවසා ඇත්තේ තමා ඒ වෙනුවෙන් විසිදහසක මුදලක් ලබා නොගත් බවට අනෙත් තරුණියට නොහඟවන ලෙසටය.
 
ලිංගික ශ්‍රමික කටයුත්ත සිදුකරන තරුණියට රුපියල් දස දහසක මුදල තමා විසින්ම ලබා දෙන ලෙසටද ඇය උපාය දූතයන්ට පෙර දැනුම් දී තිබුණේය.
 
ලිංගික ශ්‍රමික තරුණියන්ගේද ශ්‍රමය සූරාකමින් ඇය ඔවුන්ගෙන් වැඩි මුදලක් හරි හම්බ කර ගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
 
මෙම කාන්තාව 34 හැවිරිදි වියෙහි පසුවන්නීය. ඇය දැන් ජීවත්ව සිටින්නේ වත්තල, හැඳල, ඕලන්දගම ප්‍රදේශයේය. ඇය විවාහකය. නමුත් ඇයගේ ස්වාමිපුරුෂයා ඇයව අතහැර දමා ගොස්ය. ඇයට අට හැවිරිදි දියණියක සිටී. දැන් ඇයගේ රස්සාව මෙයය.
 
සැකකාර රූපලාවන්‍ය ශිල්පිණිය සහ සෙසු තරුණියන් දෙදෙනාද අත්අඩංගුවට ගත් අතර සැකකාරියන් තිදෙනා ඉදිරි විමර්ශන සඳහා වත්තල පොලිසියට භාර කෙරිණි.
 
ලිංගික ශ්‍රමික මධ්‍යස්ථානයේ කළමනාකාරිනිය ලෙස කටයුතු කිරීමේ චෝදනා මත පොලිස් උපාය දූතයන් ලබා දුන් රුපියල් විසිදහස සමඟ අත්අඩංගුවට ගත් ඇයගේ ජංගම දුරකථන දෙකද ඉදිරි විමර්ශන සඳහා පොලිස් භාරයට ගැනුණි.
 
සැකකාරියන් තිදෙනාම අත්අඩංගුවට ගත් පසු දින, එනම් ඉකුත් 02 වැනි දින වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි. එහිදී නියම වූයේ සැකකාරියන් තිදෙනා දෙසැම්බර් මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමය.
 
සමාජ මාධ්‍ය යනු නිදහස් චින්තනයකින් යුතුව පරිහරණය කිරීම සඳහා ඇති අවකාශයකි. මෙම අවකාශයේ සැරි සැරීමේදී ස්වයං නියාමනයකින් යුතුව කටයුතු කළ යුතුය. මන්ද සමාජ මාධ්‍ය වයස් භේදයකින් තොරව භාවිත කරන නිසාය. ප්‍රසිද්ධියේ තමන් ලිංගික ශ්‍රමික කාන්තාවක් යැයි පවසමින් පුරාජේරු ගැසූ මැයට අවසානයේ සිදු වූයේ දින කිහිපයකට හෝ හිරබත් කෑමටය.
 
මහජනතාවගෙන් එල්ල වූ අසීමිත විරෝධය නිසා ඇයව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම භාර වූයේ වලාන දූෂණ මර්දන ඒකකයටය.
 
ජනප්‍රියතාවට හොඳක් නරකක් නැත. සමහරු හොඳ වැඩ කර ජනප්‍රිය වෙති. තවත් සමහරු නරක වැඩ කර ජනප්‍රිය වෙති. බුද්ධිමත් විය යුත්තේ සමාජය පමණි.
 
තවදුරටත් මෙරට මෙවැන්නන් බිහි වීම වැළැක්වීම සඳහා පොලිස් නෙත දැල් වී තිබේ.
 
චාමර අමරසූරිය
මව්බිම
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top