Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 05
1,056
Views
ජීවත්වීම යනු අන්‍යොන්‍ය ණය ගනුදෙනුවකි. හේතුඵල දහමයැයි කියන්නේ ද එයට ම ය. ස්වාමියා බිරියට දරුවන්ට මවුපිය වැඩිහිටියන්ට සාත්තු සප්පායම් කරමින් පෝෂණය කරමින් ණය ගෙවයි. ඒ පරිදිම බිරිය සැමියාට දරුවන්ට වැඩිහිටියනට ණය ගෙවයි. දරුවෝ උස්මහත්ව මවුපියනට වැඩිහිටියනට ණය ගෙවති. ඒ ණය නොගෙවන තැන් ද නැතුවා නොවේ. එසේ ණය ගනුදෙනුවේ යෙදෙන අතර සමහර අඹුසැමියෝ තමන්ගේ සම්මත පරාසයෙන් පිටත අය සමඟ ද ණය ගනුදෙනු සිදු කරමින් ගැටුම් ඇති කර ගනිති.
 
මමය, මගේය, මට අයිතියැයි සම්මතය මත ජීවත්වන මිනිසා ඊට පටහැනි දේ සිදු වන විට දුක්ඛ වේදනාවට පත්වෙයි. ඒ හැම දෙනාම සිරිසඟබෝවරුන් නොවන නිසාය. වෙස්සන්තර නොවන නිසාය.

ඇතුගල්පුර අසේල 40 හැවිරිදි ඉංජිනේරුවෙකි. ඔහුගේ රූමත් බිරිය නාලිනී ගුරුවරියකි. මේ අය දෙදරු මවුපියෝය. අසේල මෑතක සිට සිහිනෙන් බියට පත්වී කෑ ගසා ගෙන අවදි වෙන්නට විය. ආහාර අරුචිය නිසා ශරීරය කෙට්ටු වී ඇත. දරු දෙදෙනා ද හීනෙන් බියට පත් වූහ. ශාරීරික රෝගාබාධවලට වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් අනෙකුත් අසාමාන්‍යතාවලට මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් කිසිදු සහනයක් හෝ සුවයක් නොවීය. මේ කිසිවක් නොතකන ඇතුගල අකම්පිතව බලා සිටී.
 
වෛද්‍ය ප්‍රතිකාරවලින් සහනයක් නොවුණු විට ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන මේ දෙමහල්ලෝ පැමිණියහ. එහිදී ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී තමන්ට එළඹ ඇති තත්ත්වයන් පැහැදිලි කළහ.
 
ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට අසේල වෙවුලන්නට විය. මේ අයට අමනුෂ්‍ය දෝෂයක් ඇතැයි නිගමනය කළ ගවේෂකවරයා ඔවුන්ට දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි නියම කළේය.
 
නියමිත පරිදි බෝධි පූජා පවත්වා ඔවුහු නැවත පැමිණියහ. එදින ද අසේලට භූතාත්මයක් ආවිෂ්ට වූ අතර ගවේෂකවරයා භූතයා සමඟ කතා කළේය.
 
“කවුද මේ ශරීරයට ඇතුළු වෙලා ඉන්නේ?” ඇසීය.
“මම කමල්” යැයි භූතාත්මය කීවේය.
“කවුද කමල් කියන්නේ?”
“මම ඉංජිනියර් කෙනෙක්. මම වැඩ කළේ ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමක. එතැන ප්‍රධාන ඉංජිනේරුවා මේ අසේල. මම වැඩ කළේ මෙයා යටතේ” භූතයා කීවේය.
“ඇයි ඉතින් අසේලට කරදර කරන්නේ?”
“මූ මාව විනාශ කළා. මාව මැරුවා. මුගෙන් පළිගන්න ඕනෑ.”
“ඇයි මොන වරදක් කළාටද”
 
“මහත්තයා මගේ නෝනා හරිම ලස්සනයි. මූ මාව ආශ්‍රය කරන අතරේ මගේ නෝනා එක්ක යාළු වුණා. මට ඒ ගැන පොඩි පොඩි ආරංචි ආවා. මම දවසක් නෝනාට කීවා මගේ වැඩකට මම කොළඹ යනවා. දවස් දෙකකට ගෙදර එන්න වෙන්නේ නෑ කියලා පිටත් වුණා. එහෙම කියලා මම හැන්දෑවේ ගෙදර ආවා. මම ගෙදර එනකොට මූ මගේ නෝනත් එක්ක කාමරේ ඉන්නවා අතට ම අහුවුණා. ඒ හිතේ වේදනාවට මම කෝච්චියට පැනලා මැරුණා. මම මැරුණේ මූ නිසා. ඒ නිසා මුගෙන් පළිගන්නවා” භූතයා කීවේය.
 
“ඇයි ඔබ ජීවිතය නැති කැර ගත්තේ? නෝනා හොඳ නැත්නම් දික්කසාද ‍කරන්න තිබුණා නේද?”
“මගේ ළමයි දෙන්නා මට හරිම ආදරෙයි. දික්කසාද නඩු කියන්න ගියා නම් ළමයින්ට ලජ්ජා වෙන නිසා මම එහෙම කළේ නෑ.”
“ඉතින් අම්මාගේ අනියම් සම්බන්ධය නිසා තාත්තා කෝච්චියට පැනලා මැරුණයි කීවා ම දැන් දරුවන්ට ලැජ්ජා නැද්ද? ඔබට නුවණින් වැඩ කරන්න තිබුණා. දැන් බලන්න මේ නාලිනීත් ලස්සනයි. එයා නුවණින් වැඩ කරනවා. එයා අසේලගේ සම්බන්ධය නිසා ජීවිතේ නැති කැර ගත්තේ නැහැ. දරුවන් ගැන හිතලා ඉවසුවා. දැනුත් අසේලව සනීප කරගන්න වැඩ කරනවා. “නානත්ත කායා - නානත්ත සංඥා” එක්කෙනෙකුට තව එක්කෙනෙක් වෙනස්. ශරීරයෙනුත් වෙනස්. සිතුම් පැතුම්වලිනුත් වෙනස්. බිරියයි සැමියයි කියන්නෙත් සංසාරික ණය ගනුදෙනුවක් කරන දෙන්නෙක්. ඔබත් ඔබේ නෝනත් එහෙමයි. ඔය ගනුදෙනුව බේරුම් කරගන්න අතරේ පිටස්තර ණය ගනුදෙනුත් තියෙනවා. මිනිසා සිතට වහල් නොවී නුවණින් කටයුතු කරන්න ඕනැයි කියන්නේ ඒකයි.”
 
“ඔව් මහත්තයා මට දැන් වැටහෙනවා. මම රණ්ඩු කළේ නෑ. දරුවන්ට ලැජ්ජයි කියලා. මම ම මගේ ජීවිතය නැති කර ගත්තා.”
“දැන් ඔබේ නෝනයි දරුවො දෙන්නයි කොහේද ඉන්නේ?”
“තාත්තා දරුවොත් අරගෙන කැනඩාවේ පදිංචියට ගියා.”
“මේ අසේල ඔබේ නෝනාව බලෙන් දූෂණය කළාද?”
“නැහැ.”
“මේ අසේල ඔබව කෝච්චියට තල්ලු කළාද?”
“නැහැ”
 
“මේ සම්බන්ධය ඇති වෙලා තියෙන්නෙත් ඔබේ නෝනගෙත් කැමැත්ත ඇතුවයි. අසේල කළ වරදට දුක් විඳිනවා. ඔය සිද්ධිය හිතෙන් මකා දමන්න අසේලට බැහැ. ඉංජිනේරු තාක්ෂණයටත් බැහැ. අසේලත් ඒක මතක් වෙන කොට දැවි දැවී දුක් විඳිනවා. ඔබේ නෝනත් දුක් විඳිනවා. ඔබත් දැන් කමල් නොවෙයි. කමල් මැරුණා. දැන් ඉන්නේ ප්‍රේතයෙක්. ඔබත් ජීවිතය නැති කැර ගත්තේ ද්වේශයෙන්. පළි ගැනීමේ චේතනාවෙන්. ඒ පාපී සිතුවිල්ලේ ආදීනවයට ප්‍රේතයෙක් වෙලා ඉපදිලා දැන් දුක් විඳිනවා. චපල ගැහැනියක් නිසා තවත් දුක් විඳින්න එපා. ඔබ ඔබේ විමුක්තිය සැනසීම හොයා ගන්න ඕනෑ.”
“ඔව් මහත්තයා. මම දැන් මොනවද කරන්න ඕනැ?”
 
“මේ දීර්ඝ සංසාර ගමනෙදි ඔබට බිරින්දෑවරු ලක්ෂ ගණනක් ඉන්න ඇති. ඒ අයත් එහෙම කරන්නත් ඇති. ඔබේ නෝනටත් මේ දීර්ඝ සංසාර ගමනෙදි ඔබ වැනි ස්වාමි පුරුෂයෝ ලක්ෂ ගණනක් ඉන්න ඇති. ඔබේ අතිනුත් දහසක් වැරදි සිද්ධ වෙන්න ඇති. ගිය දේ ගියා. අතීතය යළිත් එන්නේ නෑ. අනාගතය තවම ආවේ නෑ. අනාගතයේදීවත් එහෙම නොවෙන්නට වර්තමානයේදි කටයුතු කරන්න ඕනෑ.”
 
“ඒකට මම මොනවද කරන්න ඕනෑ?”
“ඔබ දැන් ප්‍රේතයෙක්. ඔබට පින් දහම් කරන්න බැහැ. ඒත් පින් දහම් කරන තැනකට ගියොත් ඔය හිතේ තියෙන වෛරය යටපත් කර ගෙන පිනට දහමට හිත යොමු කරගන්න පුළුවන්. සැදැහැවත්තු දන් පැන් දෙන කොට මල් පහන් පූජා කරන කොට ඔබටත් ඊට අත හිත යොමු කරන්න පුළු­වන්. එහෙම වුණොත් ඔය ද්වේෂයෙන් දැවෙන ගතිය අඩුවෙලා යාවි.”
“අනේ මහත්මයා මාව ඒ වගේ හොඳ තැනකට යවන්න.”
 
ගවේෂකවරයා අසේල පියවි සිහියට පත් කොට අවවාද කළේය. තමුන් නිසා පවුලක් විනාශ වී ගිය අයුරු සිහිපත් කොට ධර්මයේ හැසිරෙන ලෙස ද නාලිනී වැනි බුද්ධිමත් කාන්තාවක් ලැබීම ගැන සතුටු වෙන ලෙස ද සිදු වූ වරද ගැන කමල් ඇතුළු විශ්වයෙන් කමාව අයදිමි. කමාව අයදිමි, කමාව අයදිමි යි උදේ හවස කමාව අයදින ලෙස ද නියම කළේය. ගමේ පන්සලට දානයක් පිරිනමා සංසාර ගත සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කොට කමල්ට ද අන‍ුමෝදන් කරන ක්‍රමය පැහැදිලි කැර දුන්නේය. දානය පිරිනමා පලතුරු වට්ටියක් ද රැගෙන නැවත එන ලෙස ද නියම කළේය.
 
දානය පිරිනමා පින් අනු‍මෝදන් කොට ඔවුහු නැවත පැමිණියහ. එදින ප්‍රේතාත්මය පලතුරු වට්ටියට සම්බන්ධ කොට කැලණියට යැවීය.

මතුගම මහින්ද විජේතිලක - සිළුමිණ
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top