Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 02
1,460
Views
‘‘මම හොඳ රස්සාවක් කරපු කෙනෙක් මහත්තයො... සිගරට්, අරක්කු ආසාවකට තොලගාල තිබුණේ නෑ. ඒත් දැන් මට අරක්කු බොන්නේ නැතිව ඉන්න බෑ, වෙව්ලනවා. මට මේ අපරාධය කළේ අපේ දරුවො. ඒ අය අපිට සැලකුවේ නෑ. අත, පය නොකඩ හදලා හොඳට ඉගැන්නුවට පස්සෙ දරුවො හතරදෙනාම මටයි, නෝනටයි පිටුපෑවා. අවුරුදු හතරකට ඉස්සෙල්ලා නෝනා නැති වුණා. එදා ඉඳලා මම තවත් අසරණ වුණා.

එක දරුවෙක්වත් වතුර උගුරක් තරම් දුන්නේ නෑ. හාමතේ මැරෙන්න බැරි නිසා ගෙදරින් දොට්ට බැහැලා අනුරාධපුරයට ආවේ මුදල් හිඟා කන්න නෙමෙයි. අටමස්ථානය වන්දනාවේ එන බැතිමතුන්ගෙන් බත් පැකට් ඉල්ලගෙන කාලා සිරිමා බෝධීන් වහන්සේ දිහා බලාගෙන බණ භාවනාවක් කරන්න. ඒත් මහත්තයො මට වුණේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්...’’

වෑකන්දේ හිඳගෙන විවේක සුවයෙන් අප සමඟ කතාබහ කරන ඔහු පානදුර ප්‍රදේශයේ කෙනෙකි. පානදුරේ හොරණ පාරේ ගමක ඉපිද රජයේ රැකියාවක් කර පුතුන් තිදෙනකු සහ ගැහැනු දරුවකු මෙලොවට ජාතක කළ පියෙකි. රිටක් මෙන් උස ඔහුගේ ශරීර කූඩුව සුළඟට ලෙළදෙන ගානට කේඬෑරිය. රැලි වැටුණු සම නොතිබෙන්නට ඉලඇට කූඩුව එළියට පනින ගානය. දෙඇස් ගිලී, හකු ඇට ඉලිප්පුණු මුහුණට අප්‍රසන්න පෙනුමක් ආරුඪ වී ඇත්තේ අප්‍රමාණ ලෙස දුක්විඳීම නිසාම නොවේ. බීඩි සහ අරක්කුවලට තදින් ඇබ්බැහි වී සිටින නිසා බව ඔහුම අපට කීවේය.
 
 ‘‘පූජා නගරයට ඇවිත් පාරේ ඉඳගෙන බත් පැකට් ඉල්ලගෙන කාලා නිදහසේ ඉන්න පුළුවන් වුණේ දවස් දෙකයි. තුන්වෙනි දවසේ පාර අයිනේ පඩියක ඉඳගෙන ඉන්නකොට එක සැරයටම වෑන් එකක් ඇවිත් නතර කරලා මාව ඇදලා වාහනය ඇතුළට දාගත්තා. ඊට පස්සෙ විදිල්ලක් වගේ වෑන් එක ඉදිරියට ගියා.
 
වට රවුම් හතරක් පහක් ගන්නවා මට තේරුණා. ඊට පස්සේ අතුරු පාරක ගිහින් ලොකු වත්තක් ඇතුළට දැම්මා. විශාල ගෙයක්. මන්දිරයක් වගෙයි. මාව ගේ පිටිපස්ස පැත්තට එක්කරගෙන ගිහින් හොඳට කන්න, බොන්න දුන්නා. මම කෑම කන අතරේ සුදු සරමක්, සුදු ෂර්ට් එකක් ඇඳගත්ත කළු මහත කෙනෙක් ඇවිත් පුටුවක් ඇඳගෙන මගේ ඉස්සරහෙන් වාඩි වුණා. අත්දෙක පුරා පච්ච. කර පිරෙන්න රත්තරං චේන්. අත් දෙකේ ඇඟිලි හතරකට මුදු දාලා තිබුණා. මුළු ඇඟම දිලිසෙනවා...’’
 
 ‘මාමගේ ගම කොහේද...’ බොහොම හොඳින් මට කතා කළා.
 
 ‘පානදුරේ ඉඳලා ආවේ පුතේ...’ මම හිතුවේ ඒ තරුණයා හොඳ මනුස්සයෙක් වෙන්න ඇති කියලයි. ඒකයි කට පුරා පුතේ කියලා කතා කළේ.
 
 ‘ඇයි හිඟා කන්නේ දරුවො සලකන්නේ නැද්ද...’ උත්තරය කටටම දීලා දෙවැනි ප්‍රශ්නයත් මගෙන් ඇහුවා.
 
‘ඔව්... පුතේ’ කියලා කෙටි උත්තරයක් දීලා ටැප් එකට ඉඳුල් පිඟාන අල්ලලා හේදුවා. පිඟාන හෝදලා අත ගන්නකොට තවත් තරුණයෙක් මීකිරි පීරිසියක් ගෙනත් මට දීලා පිඟාන ඉල්ල ගත්තා. මීකිරි පීරිසිය කාලා අහවර වෙනකම් මගේ ඉස්සරහා වාඩිගෙන හිටිය තරුණයා කිසිම දෙයක් ඇහුවේ නෑ. පීරිසියත් හෝදලා පැත්තකින් තියලා නැවත මම පඩිය මතින් හිඳගත්තා...’
 
 ‘අපි දැන් කෙළින්ම කතාවට බහිමු. හිඟා කෑවත්, නැතත් මාමට අපි දවසකට රුපියල් පන්සීයක් දෙනවා. උදේ,රෑට කෑම පැකට් දෙකක් දෙනවා. හවසට ෂොට් එකක් දානවා නම් ඒකටත් සල්ලි දෙනවා. අපි කියන තැන්වල මාමා හිඟා කන්න ඕනෑ. දවසෙ ආදායම හවසට අපිට දෙන්න ඕනෑ. මේ අනුරාධපුරේ හිඟා කන හැමෝම අපේ කොම්පැණිය හරහා පාරට බහින්න ඕනෑ. එහෙම නැතිව මේ ටවුන් එකේවත්, පූජා නගරයේවත් හිඟා කන්න බෑ. මේක අපේ වැයික්කිය...’ මගේ ඉස්සරහා හිඳගෙන ඉන්න තරුණයා එහෙම කියනකොට කාපු බීපුව වාමාරන්න හිතුණා. ඒත් ඒ මරුමුස් මුහුණ දිහා බලාගෙන එකට, එක කතා කරන්න හිත් දුන්නේ නෑ. මම ඔලූව වැනුවා...’’
 
‘හැමදාම උදේට අපේ කෙනෙක් ඇවිත් හිඟා කන්න යන්න ඕනෙ තැන කියයි. මාමා ඒ තැනට යන්න. හවසට අපේ කෙනෙක් ඇවිත් බත් පැකට් එකයි, රුපියල් පන්සීයයි, ෂොට් එකක් දාගන්න සල්ලි දෙයි. මාමාට තියෙන්නේ යටි, මඩි ගහන්නෙ නැතිව දවසෙ ආදායම අපේ කෙනා අතට දෙන එක විතරයි. පිල්ලි ගැහුවොත් අපිට තේරෙනවා. ඒ, ඒ තැන්වලින් දවසට එන ආදායම අපි දන්නවා. දැන් මාමා ඉන්න තැන කියන්න අපි ගිහින් දාන්නම්. හෙට ඉඳලා වැඩ පටන් ගමු...’
 
 ‘‘තරුණයා පුටුවෙන් නැඟිටලා බොහෝම ගරු, සරුව සමු දීලා මාව ගිහින් ඇරැලවන්න කියලා කොල්ලෙකුට අණ කළා. එදා ඉඳලා දවස තිස්සේ මම හිඟා කනවා. දැන් අවුරුදු තුනකට වැඩියි. හවසට එකෙක් ඇවිත් සේසතම අත ගාගෙන යනවා. මට ඇති සුගතියක් නෑ. නිකං දෙන අරක්කු ටික මුලදි බිව්වේ හිතේ දුකට. දැන් බොන්නේ නොබී ඉන්න බැරි හින්දා. හවසට වැවකට බැහැලා වතුර ටිකක් නාගෙන, සරොම් කඩමල්ල හෝදලා දාලා අරක්කු ටිකක් බීලා කොහේ හරි අගුපිලකට වෙලා නිදා ගන්නවා. ඕක තමයි අපේ දින චාර්යාව වෙලා තිබුණේ. දැන් නම් හවසට විතරක් බීලා මදි. තැබෑරුම ඇරපු වේලාවේ ඉඳලා චුට්ට, චුට්ට බොනවා...’’
 
 ‘‘දවස තිස්සේ බොන්නේ මැරෙන්න හිතාගෙන. ඒත් අපිට ඕන වෙලාවට මැරෙන්නෙ නෑ. පව ගෙවන්නම වෙනවා. මේක එසේ මෙසේ පවක් නෙමෙයි, පූරුවේ කරපු විශාල පාපයක්. මේ ආත්මයේදීවත් බණ, භාවනාවක් කරගෙන පව් සමා කරගන්න හැදුවේ. ඒත් අපිව කන්න ඉපදිච්ච පව්කාරයො අරක්කුවලට හුරු කරලා ඒ අවස්ථාවත් නැති කළා. ඊළඟ ආත්මයටත් මේ පව කරගහගෙන යන්න වෙලා...’’ වයස අවුරුදු අසූවක් පමණ පෙනුමැති ඒ අසරණයාගේ මුහුණ වේදනාවෙන් පිරී තිබෙන අයුරු අපට පෙණිනි. මැලියම් බැඳුණු ඔහුගේ මුවගෙන් පිට වූ වචනවල ද අසරණකම ගැබ්ව තිබෙන අයුරු අපට දැනිණි. එහෙත් ඒ අසරණ මිනිසා කෙරෙහි අපගේ සිතේ ඇති වන අනුකම්පාව ඔහු විසින් ජාතක කළ දරුවන්ගේ සිත් තුළ හටනොගැනීම ඔහුගේ සහ ඒ දරුවන්ගේ පව්කාරකමකි.
 
 ‘‘හිඟා කෑවත් මේ අයියා තියෙන සරොම් කඩමලූ දෙක දවසක් ඇර දවසක් හෝදලා එයත් දවස ගානෙ නානවා. කන බොන එක වුණත් පිළිවෙළයි.
 
වැරැද්දකට තියෙන්නේ වෙරි වුණහම ටිකක් දොඩවන එක විතරයි...’’ගලාගෙන යන අපගේ කතාවට එකතු වූ තවත් යාචකයෙක් කථානායකයාට චරිත සහතිකයක් දුන්නේය. ඒ පුද්ගලයා ද පෙනුමෙන් වයස හැටකට වැඩිය. ඇඳගෙන සිටි සරොම් කඩමල්ල, වැරහැලි වූ කමිසය ලිපේ දැම්මත් පිච්චෙන්නේ නැති තරමට කිළිටිය. ඒ ඇඳුම් කඩමාලූවලින් වහනය වන දූවිලි ගඳ නාස් කුහර බිඳගෙන ගොස් ඉහ මොළත් දවන්නට විය. එහෙත් අපි පිළිකුළෙන් ඔහුගෙන් ඈත් නොවුණෙමු. ‘අනුරපුරයේ හිඟන ව්‍යාපාරය’ ගැන ඔහු කියන කතාවද අසා සිටියෙමු.
 
 ‘‘මගේ ගම ගලෙන්බිඳුණුවැව. මම කසාද බැඳලා නෑ. ජොබ් එකක් කරන්න තරම් ඉගෙනගෙනත් නෑ. දන්න කාලේ ඉඳලා ගොවිතැන් කළා. අම්මා, තාත්තා නැති වුණාට පස්සෙ මම ගෙදර තනි වුණා. දවසක් රෑක නිදාගෙන ඉන්නකොට ලේ මාපිලෙක් කකුළ කාලා මැරෙන්නම ගියා. ජීවිතය බේරුණත් වැඩක් පලක් කරගන්න බැරි තරමට අත, පය ගැට ගැහුණා. සහෝදරයන්ගේ පිහිටෙන් කාලයක් ජීවත් වුණා. ඒ අයටත් පවුල් බර වැඩි වෙනකොට මට සලකගන්න බැරිව ගියා. ඒ අයට කරදර නොකර මිනිස්සුන්ට ඇත්ත කියලා කීයක් හරි ඉල්ලගෙන පාඩුවේ ජීවත් වෙනවා කියලා හිතාගෙන තමයි අනුරාධපුර පූජා නගරයට ආවේ. ඒත් මේ අයියට වෙච්ච දේම තමයි මටත් වුණේ. අනුරාධපුර පූජා නගරයට ඇවිත් නිදහසේ සතියක්වත් ඉන්න බැරි වුණා. වෑන් එකක් ඇවිත් අයියවගෙනිච්ච තැනටම මාවත් අරගෙන ගිහින් කන්න බොන්න දීලා ඒ අයගේ සමාගමට මාවත් බඳවගත්තා. එදා ඉඳලා අපි අතපාලා ඒ මිනිස්සුන්ව පොහොසත් කරනවා. ඒ වෙනුවට අපිට පඩියක් දෙනවා. උණක් හෙම්බිරිස්සාවක් හැදිලා නැඟිට ගන්න බැරි වුණොත්, හොඳ ඇඳුමක් අඳින්න දීලා කොහේ හරි ඉස්පිරිතාලයක් කිට්ටුවට ගිහින් දානවා. ඉස්පිරිතාලයේ ඉන්නකොටත් ඉඳලා හිටලා කවුරුහරි ඇවිත් බලලා යනවා. සනීප වෙලා ආපු දවසේ ඉඳලා නැවත ජොබ් එකට යන්න ඕනෑ...’’
 
‘‘දැන් පූජා නගරය හිඟන විමානයක් කරලා. හිඟා කන්න පූජා නරගයට පවුල් පිටින් ගෙනත් දාලා. ඒ සමහර අය හරහා මත්ද්‍රව්‍ය බෙදාහැරීමත් සිදු කරනවා. පූජා නගරයේ හිඟා කන සමහර පවුල්වල ගෑනු මිනිස්සු සේරම ගංජා, කුඩු බොනවා. ඒවා බලාගෙන ඉඳලා හැදෙන ළමයිනුත් බීඩි කොට, සිගරට් කොට උරනවා. ඒ ගෑනු මිනිස්සු රහසේ කරන්න ඕන දේවලූත් අහු, මුළුවල කරනවා. අර ළමයිත් ඒවා බලාගෙන ඉඳලා අයියා, නංගි කියලා නෑ ලිංගිකව එකතු වෙනවා. සමහර අම්මලා දූලාව මිනිස්සුන්ට විකුණනවා. කුඩු, ගංජා බීලා ඉන්න උන් ගඳ, සුවඳ බලන්නේ නෑ. කොහේ හරි පාළු තැනකට ගිහින් උන්ගේ අමාරුව ඇරගන්නවා. අනුරාධපුර නගරයේම මුඩුක්කු ගෙදරක අම්මා කෙනෙක් එයාගේ දුවව ගේ ඇතුළේම මිනිස්සුන්ට විකුණනවා. දරුවා විකුණලා ගන්න සල්ලිවලින් අම්මා අරක්කු බොනවා. ඒ දරුවා හැඩකාරයි. ප්‍රියමනාපයි.
 
 රෑට  මුරට ඉන්න පොලිස් නිලධාරීනුත් ඔය ගෙදරට රිංගලා පොඩි එකීව තුරුලූ කරගෙන ඉඳලා පස්ස දොරෙන් මාරු වෙනවා. ඉතිං කොහොමද මහත්තයො ඒ වගේ හිරිකිත වැඩ නතර කරන්නේ. මේ නගරයේ වෙන සියලූ තුප්පහි වැඩ ටික තක්කෙටම දන්නේ අපි මහත්තයො... මේක එහෙම පිටින්ම තිරිසන් ලෝකයක්. ඒත් කවුරුවත් මේවා ගැන කතා කරන්නේ නෑ. පාඩුවේ ජීවත් වෙනවා...’’ පාසල් අධ්‍යාපනයක් නැති වුණාට, ඔහු සමාජ දැනුමෙන් පිරිපුන් බව කතාවෙන් හැෙඟ්. එහෙත් අප නැවත ප්‍රථමයෙන් කතා කළ වියපත් මිනිසා දෙසට හැරිණි.
 
 ‘දවසකට කීයක් විතර ආදායමක් ලැබෙනවද...’ මම ඔහුට පැනයක් ඉදිරිපත් කළෙමු.
 
‘‘ඒක දවසින් දවසට වෙනස් වෙනවා. සිරිමා බෝධීන් වහන්සේ ළඟ, රුවන්මැලිසෑය ළඟ පින්කම් පැවැත්වෙන දිනවලදී අපිට ලැබෙන ආදායම වැඩියි. පෝය දවස්වලටත් එහෙමයි. සාමාන්‍ය දවස්වලට ආදායම අඩුයි. ඒත් ඉතිං රුපියල් දහකට වඩා නම් හැමදාම කොහොමහරි හොයාගන්නවා. පින්කම් පැවැත්වෙන දිනවලදී රුපියල් පන්දාහ, හයදාහ හොයන දවස් තියෙනවා. එහෙම දවස්වලට නම් අපිත් කීයක් හරි යටි මඩි ගහගන්නවා. එහෙම කීයක් හරි හංගගත්තත් හවසට සල්ලි එකතු කරගෙන යන්න එන කොල්ලන්ට තේරෙනවා. උන් අපිට සත්තම දාලා එකත් අරගෙන යන්න හදනවා. ඒත් අපි කොහේ හරි අස්සක ගහලා පස්සෙ ගන්නවා. සල්ලි මඩි ගහලා මාට්ටු වුණොත් එදා රෑට බඩකට පිරෙන්න කෑම හම්බ වෙනවා. ඔය දාමරිකයන්ගෙන් අපි වගේ මිනිස්සු අනන්තවත් ගුටි කනවා. උන්ට හිතක් පපුවක් නෑ. උන්ගේ ලෝකය සල්ලි විතරයි. ඒත් අපිට රජ වෙන්න ඕනෙ නෑ. කාලා බීලා මැරෙනකම් ජීවත් වෙන්න තිබුණොත් ඇති. අපි අත පාලා හම්බ කරගන්න සොච්චම කොල්ලකාගෙන උන් රජ වෙච්චාවේ. ලබන ආත්මයේදී උන්ටත් වෙන්නෙ අපි වගේ පාරෙ හිඟා කන්න තමයි...’’ සීතල හැන්දෑවේ නුවර වෑකන්දේදී ගලාගෙන ගිය අපේ කතාබහට තවත් යාචකයන් දෙදෙනකු අඩු වැඩි එකතු කළහ. පින්සාර මිනිසුන් පින්සලකා දෙන රුපියල, දෙක මංකොල්ලකෑම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා ද දැඩි කෝපයෙන් කතා කළේය. එහෙත් කළු ගල්වල හිස ගසා ගැනීමට ඇති බිය නිසා කාලකණ්ණි ‘හිඟන මංකොල්ලකාරයන්’ ගැන පොලිසියට පැමිණිලි කිරීමට ඔවුහු ද අකමැති බව අපට කීහ.
 
තරංග රත්නවීර
දිවයින
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top