Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 02
1,022
Views
වනචරයන්ට තැනක් නොතැනක් නැත. වයස් බේදයක් නැත. ගුරු ගෝල සබඳතා ද නැත. අවස්ථාව ලැබෙන්නේ කොතැනදී ද වනචරයා එයින් උපරිම ප්‍රයෝජන ගන්නේය.
 
ඒ වනචරයාගේ ගෝත්‍රික ගති පැවතුම්වල ස්වභාවයයි. එවැනි වනචරයෙක් ගැන කතාවක් මීගමුව ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි.

ඒ මීගමුව මහා විද්‍යාලයක දෙමළ භාෂාව උගන්වන අන්‍ය ජාතික ගුරුවරයෙක් ගැන කියැවෙන කතාවකි. ඒ අපචාර කතාව පෙළගැසෙන්නේ මෙසේය.
 
ගුරු වෘත්තියට නිගා කරන අදාළ පාසලේ ගුරුවරයා එම පාසලේම උසස් පෙළ හදාරමින් සිටි සිසුවියක් මත්ද්‍රව්‍යවලට හුරු කර, ඔහුගේම වෑන් රථයෙන් පාසලෙන් පිටතට රැගෙන යමින් මත්ද්‍රව්‍ය ලබාදී වරින් වර බලහත්කාරකම් කර ඇති සිද්ධියක් සැළ වී තිබේ.
 
අනතුරුව එම විදුහලේම දිසාපාමොක් පරපුරේ ගුරුවරු කිහිපදෙනෙක් එකතුව සිදුවෙමින් තිබෙන මේ අශික්ෂිත සිද්ධිය ගැන පොලිසියට පැමිණිලි කොට ඇත. වහා ක්‍රියාත්මක වූ කටාන පොලිසිය විසින් සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පසුගිය 24 වැනිදා මීගමුව උසාවියට ඉදිරිපත් කොට ඇත.
 
අගතියට පත් ශිෂ්‍යාව ද වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කොට අතවරයක් සිදු වී ඇතැයි ද පරීක්‍ෂා කර ඇත. එම වෛද්‍ය පරීක්‍ෂණයෙන් ශිෂ්‍යාවට අතවරයක් සිදුව ඇති බව සානථ වී තිබේ.
 
අනතුරුව මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් අතවරය සිදු කර ඇති ගුරුවරයා නොවැම්බර් 27 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබිණි.
 
අතවරය සිදු කර ඇති ගුරුවරයා විසින් ශිෂ්‍යාව පාසලෙන් බැහැරට රැගෙන ගොස් ඇත්තේ මානසික උපදේශනයක් සඳහා රැගෙන යන බව පවසමිනි. ඔහුගේම වෑන් රථයට නංවාගෙන පාසලෙන් එළියට රැගෙන යන ශිෂ්‍යාවට දිව යට තබාගැනීමට මත් පෙති ලබාදී මත් වූ පසු ඇයට අතවර කර ඇති බව වාර්තා වේ.
 
මේ අයුරින් මාස ගණනාවක්ම මේ අවලං ගුරා විසින් ශිෂ්‍යාවට බලහත්කාරකම් කර ඇති බවද වාර්තා වේ. පෙළගැසෙන මේ අශික්ෂිත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු කාරණා විමසා බැලීමේ අදහසින් මීගමුවේ මේ සිද්ධියට අදාළ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට දුරකථනය ඔස්සේ කතා කළ විට ඔහු කීවේ මෙවැනි කතාවකි.
 
"අනේ මහත්තයො... ඔය සිද්ධිය සම්බන්ධයෙන් වචනයක්වත් මට නම් කියන්න බෑ. ඔයාලා පොලිසියට කතා කරලා අහලා බලන්න.." ආවේගයෙන් කතා කළ විදුහල්පතිවරයාගේ නම විමසා සිටියද, "මම පාසලේ විදුහල්පතිවරයා. ඒ ඇති නේ..." කියා දුරකථනය විසන්ධි කළේය.
 
සිද්ධියට අදාළ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා පැවසූ ආකාරයට සිදුව ඇති අතවර සිද්ධිය ගැන වැඩිදුරටත් කරුණු කාරණා විමසා බැලීමට එම දුරකථන අංකය ඔස්සේ කටාන පොලිසියට ඇමතුමක් ලබාගෙන පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධ කරගැනීමට අපි උත්සාහ කළෙමු.
 
එහෙත් එම පොලිසියේ ස්ථානාධිපතිවරයා නිවාඩු ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට කතා කර අදාළ සිද්ධිය ගැන තොරතුරු ලබාගන්නැයි කියා ඇමතුමට සම්බන්ධ වූ නිලධාරියා ද දුරකථනය විසන්ධි කළේය.
 
සිද්ධියට අදාළ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ කටාන පොලිසිය සිදුව ඇතැයි කියන අතවර සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට මැළිවන බවත්, ඔවුන්ගේ වගකීම් පැහැර හරින පසුබිමක අතවරයට ලක්ව ඇති ශිෂ්‍යාවගේ මවගේ දුරකථන අංකය සොයාගෙන අපි ඇයට ඇමතුමක් ලබාගත්තේමු.
 
අප දුරකථන ඇමතුම ලබාගන්නා මොහොතේද එම මව අතවර සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාදීමට කටාන පොලිසියට පැමිණ සිටියාය. පසුව අපට කතා කළේ අතවරයට පත් ශිෂ්‍යාවගේ සහෝදරයෙක්ය. මේ ඔහු කියන කතාවය.
 
"මේ සිද්ධියේදී අපිත් වැරැදියි. අපි නංගි ගැන හොයා බලලා මදි. එහෙම වුණේ අපි එයාව ගොඩක් විශ්වාස කරපු නිසයි. අන්තිමේ විශ්වාසය වැඩි නිසාම තමයි නංගි වැරැදි වැඩවලට පෙළඹිලා තියෙන්නේ. ඒත් නංගි කියන විදිහට එයාට හිතවත් ගෑනු ළමයි දෙතුන් දෙනෙක් මුලදි, මුලදි බලෙන් වගේ තමයි මත්ද්‍රව්‍ය දීලා තියෙන්නේ. ඒ ටික කිව්වෙත් ඉස්කෝලෙන් දැනගෙන අම්මාව ගෙන්නලා දැනුවත් කරලා තිබුණු නිසයි. අම්මා මට කියලා මම නංගිට ගහන්න හදනකොට තමයි ඔය ටිකත් කිව්වේ. මාස තුනකට විතර උඩදි තමයි නංගිගෙන් ඔය ටික දැනගත්තේ..."
 
"නංගිලා පාවිච්චි කරලා තිබුණේ දිවේ තියාගන්න මත්ද්‍රව්‍යයක්. ඒත් ඒවා දුන්නු කෙනා කවුද කියලා කිව්වේ නෑ. නංගිත් එක්ක මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කිව්ව යාළුවන්ටත් මම කතා කරලා ඇහුවා. ඒ අයත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක පිළිගත්තා. ඒත් මත්ද්‍රව්‍ය දෙන කෙනාව කිව්වේ නෑ. ඔය සිද්ධිය දැනගෙනත් අපි නංගිට ඉස්කෝලේ යන්න දුන්නේ උසස් පෙළ කරන නිසයි. අධ්‍යාපනය කඩාකප්පල් කරන එක අපරාධයක් නිසයි..."
 
"අපි කියන දේ අහලා නංගි නරක වැඩ අත්හරී කියලා හිතුවා. ඒත් ඒක එහෙම වෙලා නෑ. ඊට පස්සේ දවසකත් විදුහල්පතිවරයා එන්න කියලා මම නංගිගේ ඉස්කෝලේට ගියා. ඒ වේලාවේ නංගිගේ යාළුවෙක් ඇවිත් 'අයියේ මම තමයි මත්ද්‍රව්‍ය ගන්න මුලින්ම පටන් ගත්තේ. මම තමයි ඔයාගේ නංගිවත් මත්ද්‍රව්‍යවලට හුරු කළේ. තවත් යාළුවෙක් අපිත් එක්ක මත්ද්‍රව්‍ය ගත්තා. ඒත් දැන් මමයි, ඒ යාළුවයි මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක නතර කරලා. ඔයාගේ නංගිට ඒක නතර කරගන්න බැරි වුණා. එයා දැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා...' කියලා කිව්වා.."
 
"ඇබ්බැහිවෙලා හිටිය කියන කතාව බොරු. එහෙම වුණා නම් නංගිට ගෙදර ඉන්න දවස්වලටත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැතිව ඉන්න බෑ. නංගිගේ එහෙම වෙනසක් අපි දැක්කේ නෑ. නංගිගේ යාළුවා මට ඒ කතාව කියනකොටත් මම කිව්වා 'ඔයාලාට මත්ද්‍රව්‍ය දෙන කෙනා කියන්න... මම කාටවත් කියන්නේ නෑ...' කියලා පොරොන්දු වුණා. ඒත් ඒ නංගි මත්ද්‍රව්‍ය දෙන කෙනා කිව්වේ නෑ. ඊට පස්සේ මේ සිද්ධිය ගැන මට සොයාබලන්න බැරි වුණා. පහුගිය දවසක නංගිව ඉස්පිරිතාලයට ඇතුළත් කරලා කියන ආරංචිය ලැබුණට පස්සේ අම්මට කතා කළාම තමයි මේ විස්තරය මම දැනගත්තේ..."
 
"මම ඉස්කෝලේට ගිහින් නංගිගේ පන්ති භාර ගුරුවරිය එක්ක කතා කරනකොට මට තේරුණා නංගිලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක ගැන ඒ ගුරුවරියත් දැනගෙන ඉඳලා තියෙනවා කියලා. ඉස්කෝලේ ගුරු මණ්ඩලයම මේ සිද්ධිය දැනගෙන ඉඳලා තියෙනවා. ඒත් ඒ සම්බන්ධයෙන් මුලදි කිසිම ඇක්ෂන් එකක් අරගෙන තිබුණේ නෑ. එහෙම ඉඳලා සිද්ධිය මෙච්චර දුරදිග ගියාට පස්සේ පොලිසියට කියලා මෙහෙම කරපු එක වැරැදියි. දැන් මේ සිද්ධියට වැරැදිකාරයා වෙලා තියෙන්නේ අපේ නංගි විතරයි. එයත් එක්ක මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු, ගමන් බිමන් ගිය අනිත් ගෑනු ළමයි පැත්තකවත් නෑ. ඉස්කෝලෙත් සම්පූර්ණ වැරැද්ද පටවන්නේ අපේ නංගිට. ඒත් දැන් නංගි කියන විදිහට එයාට මත්ද්‍රව්‍ය දීලා තියෙන්නේ බලහත්කාරයෙන්. මේ සිද්ධියට සම්බන්ධ සර්ගේ ඕනෑකමට නංගිගේ යාළුවො දෙන්නා තමයි නංගිට මත්ද්‍රව්‍ය දීලා තියෙන්නේ.."
 
"ඔය කියන ගුරුවරයා තමයි මුල ඉඳලා නංගිලාට මත්ද්‍රව්‍ය දීලා එහේ, මෙහේ අරගෙන ගිහින් තියෙන්නෙ. මත් පෙති වර්ගයක් තමයි දීලා තියෙන්නේ. ඒ ගුරුවරයත් එක්ක අපේ නංගි තනියෙන් ගිහිල්ලාත් නෑ. එයාගේ යාළුවොත් ගිහිල්ලා තියෙනවා. ඇයි සර් එක්ක ගියේ කියලා මම අහනකොට නංගි කිව්වේ යාළුවො කතා කරපු නිසා ගියා කියලා. නංගි කියනවා සර් බලහත්කාරකම් කරන්න හැදුවා කියලා. ඒ සර් දැන් මේකෙන් නිදහස් වෙන්න හරියට දඟලනවා. සර්ගේ හිතවතෙක් කියලා කෙනෙක් මට කතා කරලා කිව්වා 'ඔයාගේ නංගිට අසාධාරණයක් වෙලා තියෙනවා නම් අපි එක හරිගස්සගමු. ඒකට හරියන්න අපි ගෙයක්, සල්ලි දෙන්නම්...' මේක දිගට ඇදගෙන යන එක නතර කරලා දාන්න කියලා පින්සෙන්ඩු වෙනවා. අපිට ගෙවල් දොරවල් තියෙනවා. නංගි විකුණලා සල්ලි ඕනෑත් නෑ. නංගිට වෙච්ච අසාධාරණයට අපි එයාට දඬුවම් දෙනවා..."
 
පෙළගැසෙන අතවර සිද්ධිය යට ගැසීමට අදිසි හස්තයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පැහැදිළිය. විලි ලැජ්ජාවකින් තොරව අතවරයට පත් ශිෂ්‍යාවට ගෙවල්, සල්ලි දෙන්න කතා කරන්නේ එහෙයිනි.
 
එමෙන්ම මේ පෙළගැසෙන සිද්ධියේදී අතවරයට පත් ශිෂ්‍යාවගේ සහෝදරයා කියන කතාවට අනුව අදාළ සිද්ධියට සම්බන්ධ පාසල තුළ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන තවත් ගැහැනු ළමයින් සිටින බව පැහැදිළිය.
 
ගැහැනු ළමයිනුත් මතට ඇබ්බැහි වූ පාසලක් තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ගැන තවත් කරුණු ඇවැසි නැත. එහෙයින් එම පාසලේ දරුවන්ට මත බෙදන වසලයන් කොටුකර ගැනීමට රටේ නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතුය.
 
කාලයක් තිස්සේ හොර රහසේ සිදුවෙමින් තිබූ මේ නින්දිත අතවරය මේ ආකාරයෙන් හෝ හෙළිදරව්වීම යහපතකි. එසේ නොවෙන්න එම ශිෂ්‍යාවට මීට වඩා දරුණු විපතකට මුහුණපෑමට සිදු වන බව ඒකාන්තය.
 
රටේ නීති ප්‍රකාරව බාල වයස්කාර දරුවන්ගේ අයිතිය ඇත්තේ මවුපියන්ට නොව, ඉහළ උසාවියටය. එහෙයින් පෙළගැසෙන මේ අතවර සිද්ධියේ අවලං ගුරුවරයාට එරෙහිව රටේ නීතිය නිවැරැදිව ක්‍රියාත්මක වන බව අපගේ විශ්වාසයයි.
 
තරංග රත්නවීර
දිවයින
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top