Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 26
1,518
Views

විවාහයෙන් පසු නිසි කල දරු සිඟිත්තකු පිළිබඳ බලාපොරොත්තු ඉටු නොවීම තරම් යුවතියක කම්පාවට පත්වන වෙනත් දෙයක් නැති තරම් ය. සුරතල් දියණියක හෝ පුතකු අතින් අල්ලාගෙන පෙර පාසල වෙත ගෙනයන තරමේ සුන්දර ආඩම්බරයක්  විවාහක තරුණ යුවතියකගේ යුග ජීවිතය තුළ තවත් තිබෙන්නට බැරිය. කොයි තරම් සිත් වශී කරන්නේ වුව ද තරුණ මවකගේ පැහැපත් ගෙලත් ළැමත් පූජනීය වන්නේ පුංචි දරු  පැටියකු එහි මුහුණ හොවා ගන්නා තරමට ය. මොන තරමේ සුන්දර වුව ද හීන් සැරේ දරු නැළවිලි ගීයක් මුමුනන දෙතොලක් තරම් ප්‍රිය තැනක් තවත් තිබෙන්නට බැරිය.

එහෙත් මේ වාසනාව නැති තරුණ විවාහක කාන්තාවන් ගැන අද බොහෝ විට අසන්නට ලැබේ. අද තිබෙන දියුණු වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් ද විවිධ උපදේශන ක්‍රම මඟින් ද එසේ නොහැකි වූ කල විවිධාකාර පුද පූජා ශාන්තිකර්ම ඔස්සේ පන්සල් පල්ලි කෝවිල් පිළිසරණ පතමින්  ද මෙයට විසඳුම් සොයන තරුණ ජෝඩු කොතෙකුත් සිටිති. එහෙත් හෙම්බත් වන තුරු වසර ගණනාවක් මොන දේ කළත් දරු සම්පතක් ළඟා නොවන අය ද ඒ අතර වෙති.

කෙසේ වුවද බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ද ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම මඟින් ද මෙවැනි විවාහක කාන්තාවන්ගේ දරු සම්පත පිළිබඳ බලාපොරොත්තු ඉටු කර නැතිවා නොවේ. හැම ගැහැනියකටම දරුවකු බිහි කිරීමේ හැකියාව හා වාසනාව තිබේ. මොන විදියකින් හෝ ඒ සතුට අහිමිව යන්නේ නම් එය උදා කර ගැනීමේ කැපවීම හා උත්සාහය ඇය තුළ තිබිය යුතුය.

මී මැසි ජනපදයක පිලව් ලක්ෂ ගණනක් බිහි කරන එහි රැජන අනුභව කරන රාජජල්ලි හෙවත් Royal Jelly ඇසුරින් ද, පරවන රෝස මල් පෙති මඟින් සකසා ගන්නා කසාය ක්‍රමවේදයක් මඟින් ද, හිමාලයේ ඇත්කඳ ලිහිණි මුහුදට හෙළන අම්බර නමැති වාජීකරණයක් මඟින් ද මේ වඳ භාවයට සොයන පිළියම් ගැන පාරම්පරික ආයුර්වේදයේ සඳහන් ය.

එහෙත් මේ කියන්නට යන්නේ පාරම්පරික ආයුර්වේදයට ඒ වෙනුවෙන් අලුතින්ම එක් වූ මහාර්ඝ නිධානයක් බඳු මුහුදු පැළෑටියක් පිළිබඳ කතාවකි. 

මේ සොයා ගැනීමට මූලික වූයේ ආයුර්වේද විශේෂඥ වෛද්‍ය සුදත් ගුණතිලක සහ ඩෙන්මාර්ක් විශ්වවිද්‍යාලයේ ජාන විද්‍යාඥවරියක වන ඇලීනා රොබට්ස්ය. නූතන බටහිර වෛද්‍ය විද්‍යාව සමඟ ද පර්යේෂණ මට්ටමින් බද්ධ වී කටයුතු කරන පාරම්පරික වෛද්‍යවරයකු වන සුදත් ගුණතිලක පාසල් අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙනි. අනතුරුව ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලයෙන් පළමු පෙළ ගෞරව සාමාර්ථයක් ලබා ගත් හෙතෙම පාරම්පරික ක්‍රමවේද ඉක්මවා යමින් මේ සම්බන්ධ විශේෂඥ දැනුම ලබා ගැනීමට ද යුහුසුලු වූයේය. ඒ වැඩිදුර අධ්‍යාපනය සදහා ඉන්දියාවට යෑමෙනි. එහි කේරළයේ අම්රිතා ඉන්ස්ටිටියුට් ඔෆ් මෙඩිකල් සයන්ස් ඇන්ඩ් රිසර්ච් යුනිවර්සිටියෙන් (Amritha University - Kerala)  ස්ත්‍රී පුරුෂ වඳ භාවය හා නාරි හා ප්‍රසව ආයුර්වේදීය වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් ලත් විශේෂඥ උපාධියකින් පරිපූර්ණව සිටින්නෙකි.

‘’මේක හරි ලස්සන කතාන්දරයක්. සාමාන්‍යයෙන් මම දැන් අවුරුදු 15 කට වැඩි කාලයක ඉඳන් මුහුදේ කිමිඳීම (Diving) විනෝදයක් හැටියට කරනව. ඔය උණවටුන, බෙන්තර, පාසිකුඩා, ත්‍රිකුණාමලය පරෙවි දූපත් වගේ පැතිවල මුහුද අභ්‍යන්තරය තරම් සුන්දර තැනක්. ලෝකයේ කොහේවත් නැතිව ඇති. විවිධ පෙඳ පාසි වර්ග, වෛවර්ණ  මත්ස්‍යයන්, කොරල් පර, ඒවා විනිවිද යන හිරු එළිය. කොටින්ම සාගර අභ්‍යන්තරයේ තිබෙන සමහර තැනක් ඔබ විශ්වාස කරනවද හග්ගල මල්වත්තට ගියා වගේ කීවොත්. ඒ තරම් ලස්සනයි.  අපි බොහෝ විට යන්නෙ දවල් 11ත් 02 අතර වගේ ජලය විනිවිද යන හොඳ දීප්තිමත් හිරු එළිය තියෙන වෙලාවට. ඒ ගියාම පැය 2-3 විතර වතුර යට ගත කරනව. ඔය අතරෙ තමයි උණවටුන ආසන්න මුහුදු අභ්‍යන්තරයෙදි මේ සුවිශේෂී සිද්ධිය දැක්කෙ. ඒක මුහුද යට තියෙන හරිම ලස්සන පැළෑටි විශේෂයක්.  තද නිල් පාටට හුරු කොළ පැහැයෙන් යුත් ශාක පඳුරු. මේ ශාකය ඇසුරේ නිතරම විශාල මත්ස්‍යයන් ගැවසෙනව. කිරි මෝරුන්, විවිධ ගල්මාළු වගේ ලොකු මාළු ඇවිත් මේව කනව. ඒවායේ දැවටෙනව. උන් නිකන් හරියට ගුවන් යානාවක් පාත් කරනව වගේ මේ මුහුදු ශාක මත වැතිරෙනව. ඒවයේ පහස ලබනව. පැටව් දානව. ඒ ශාක කොටස් කන ලොකු කිරි මෝරු උන්ගේ ගැහැනු සතුන් සමඟ කිසියම් ලිංගික උත්තේජනයකින් හැසිරෙනවා වගේ මේ නිරික්ෂණයෙදි අපට දැනුණ. මට මේ ගැන කිසියම් කුතුහලයක් ඇති වුණා. සාමාන්‍යයෙන් ගැලෙව්වාම මේ පැළෑටිය උඩට එන්නෙ නෑ. බරින් වැඩියි. මං මේ ශාකය කීප විටක් ගලවගෙන ආවා. ඇවිත් මේ සම්බන්ධයෙන් පර්යේෂණ කළා ලංකාවෙදි හැකි මට්ටමින්. එවිට මට තහවුරු වුණා මේක ප්‍රෝටීන් බහුල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුත් හොඳ මුහුදු ශාකයක් බවට.

‘’ඊට පස්සෙ මං කල්පනා කළා මේ ශාක විශේෂය විදේශ පර්යේෂණ මට්ටමට ගෙනිච්චොත් හොඳයි කියලා. ඒක වුණේ මේ විදියට. 2005 සුනාමි අවස්ථාව වෙනකොට මං වැඩ කළේ කොන්ෆිෆි සංචාරක හෝටලයේ ආයුර්වේද වෛද්‍ය උපදේශක හැටියට. ඒ අවධියේ ඕකට ඇවිත් හිටියා ප්‍රංශ යුවතියක්. එයා අපේ පාරම්පරික හා ඉන්දියානු සාම්ප්‍රදායික වෙදකම ගැන බෙහෙවින් උනන්දු ඇලීනා රොබර්ට්ස්. ඇය දැන් ඩෙන්මාර්ක් විශ්වවිද්‍යාලයේ ෆර්ටිලිටි ප්‍රතිකාර අංශයේ රිසර්ච් ඇන්ඩ් ඩිවෙලොප්මන්ට් ජාන විද්‍යාඥවරියක්. සුනාමි සිදුවීමත් එක්ක තමයි ඇය අප සමඟ ගොඩක් මිත්‍ර වුණේ. පසු කලෙක ඇය අපේ ඉතා හිතවත් මිතුරියක් බවට පත් වුණා. ඇය වසරකට දෙවතාවක් විතර ලංකාවට එනව. මං ඇයට මේ කතාව කීවාම ඇය හරිම උනන්දු වුණා.  පසුව ඇය සමගත්  මේ මුහුදු පැළෑටි විශේෂය බලන්න උණවටුනේ කිමිඳුණා. අර මත්ස්‍ය සිදුවීම් දැකල ඇලීනාටත් මේ ගැන විශාල උනන්දුවක් ඇති වුණා. ඇය මේ වියළා ගත් පැළෑටි කොටස් ගෙනිහින් ඩෙන්මාර්ක් විශ්වවිද්‍යාලයේදී පරීක්ෂණ කළා. ඊට පස්සෙ තමයි අපේ සාගරයේ තිබෙන මේ වටිනා ඔෟෂධීය සම්පත පිළිබඳ රහස හෙළි වුණේ. පස්සෙ අපි සොයා ගත්තා මේ ශාකයේ නම ස්පෙරුලිනා (Sperulina). එය නීල වර්ණ තද කොළ පාටින් යුත් ඇල්ගී විශේෂයක්.” 

සියවස් ගණනාවක ඉතිහාසය තුළ අප දන්නා තරමින් පාරම්පරික ආයුර්වේදයට මුහුදු පැළෑටියක් එක් වුණු ඉතා විරළ අවස්ථාව මෙය විය හැකිය. අනෙක් අතට ඓතිහාසික පුරාවෘත්තයට අනුව හනුමන්තා හිමාලයෙන් ගෙනා ඔසු උයනක කොටසකින් නිර්මාණය වූවා යැයි විශ්වාස කෙරෙන රූමස්සල කන්දේ මුහුදු අභ්‍යන්තරයෙන්ම මෙවැනි ඖෂධීය පැළෑටියක් හමුවීම එක්තරා විධියක ආශ්චර්යයකි.

අප ජීවත් වන මතුපිට ගොඩබිමට වඩා මුහුද යට ලෝකය අද්භූතය. විස්මයජනකය. එය කිසියම් ගුප්ත බවකින් ද පිරී ඇත්තේ ය. 

ලෝකයේ ලස්සනම තැන් ඇත්තේ මුහුදු පතුලේ ය. ලොව වැඩිම සම්පත් ප්‍රමාණයක් ඇත්තේ එහි අභ්‍යන්තරයේය. එහෙත් අප තවමත් කරන්නේ එහි මත්ස්‍ය සම්පත නෙළා ගැනීම පමණි.

ගොඩබිම සිටින හැම සතකුම ගොඩබිම තිබෙන හැම ශාකයක් ම මේ ගැඹුරු සාගර ලොව තුළ ඇතැයි විශ්වාසයක් පවතී. රූමස්සල සුවිශාල වන ගහනයෙන් යුත් කන්දකි. ත්‍රිකුණාමලයේ පරෙවි දූපත ද කන්දකි. අපට ඇසට පෙනෙන ඒ කඳු හා සමාන ප්‍රමාණයේ අගාධයන් ඒවා යට සාගරය තුළ ද තිබෙන බව මහ සයුර පිළිබඳ අපූරු තතු දන්නෝ කියති. පෘථිවිය මතුපිට ඇති ශාක විශාල ප්‍රමාණයක් ඔෟෂධ සඳහා යොදාගෙන ඇති නමුත් ඒ හා සමාන විශාල සංඛ්‍යාවක ඖෂධීය ශාක පැළෑටි මුහුද අභ්‍යන්තරයේ තිබෙන බව සොයා ගෙන තිබේ.

ලෝකයේ කෙදිනක හෝ ආහාර හිඟයක් හෝ ඔෟෂධ හිඟයක් ඇති වුවහොත් මිනිසුන් සිත් යොමු කළ යුත්තේ මහා සාගරය දෙසට යැයි ආචාර්ය ආතර් සී. ක්ලාක් එදා පැවැසූ දේ කොයි තරම් සත්‍යයක් ද?  මීට වසර 40කට පමණ පෙර ආචාර්ය ආතර් සී. ක්ලාක් විසින් ලියන ලද ‘මිහිකතේ ගීතය’ හා ‘ලෝක විනාශය’ යන ඉංග්‍රීසි විද්‍යා ප්‍රබන්ධවල ඩොල්ෆින් මත්ස්‍යයන්ගේ පර්යේෂණ හා මුහුදු ඇල්ගී ආහාර ප්‍රශ්නයට හා වෛද්‍ය විද්‍යාවට යොදා ගැනීම සම්බන්ධයෙන් මැනැවින් සඳහන් කර තිබේ.

කාන්තා පුරුෂ දෙපාර්ශ්වයේ මඳ සරු භාවයට හා වඳ භාවයට මේ මුහුදු ශාකය ඔෟෂධීය මට්ටමින් ඉවහල් කර ගන්නා අයුරු තව දුරටත් පැහැදිලි කරමින් වෛද්‍යාචාර්ය සුදත් මෙසේ කියයි.

‘’මේ ‘ස්පෙරුලිනා’ මුහුදු ශාකය ජෙලි විදියටත් වියළා මැල්ලුම් වශයෙනුත් ආහාරමය අයුරින් භාවිතයට ගන්නත් පුළුවන්. වෙනත් ඔෟෂධ සමඟ සංයෝග කරමින් දැන් වසර 10 ක පමණ කාලයක සිට අප එයින් ප්‍රතිකාර කරනවා. බොහෝ අයට දරු සම්පත ළඟා කර දෙන්න ඉන් අපට හැකි වී තිබෙනවා. කාන්තා හා පුරුෂ වඳ භාවය සම්බන්ධයෙන් ඇත්තෙන් ම එහි ප්‍රතිඵල ඉතා ඉහළයි. ඩෙන්මාර්ක් විශ්වවිද්‍යාලය මඟිනුත් පර්යේෂණ මට්ටමින් එය ඔප්පු කර තිබෙනවා.

‘’මේක සෝයා බෝංචි වැනි රනිල කුලයේ ශාකයක්. එහෙත් ඒවාට වඩා අධි ප්‍රෝටීන, විටමින් හා ඛනිජ ලවණ ගුණයෙන් යුක්තයි. ප්‍රෝටීනවලට අමතරව විටමින් E,D,A,K සහ තයමින් ආදිය විශේෂයි. මේකෙ තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා ශුක්‍රාණුවල ශක්තිය ඉහළ දමනවා. අනෙක් අතට ඩිම්බ පිපිරවීම හා මේරීම කාර්යක්ෂම කරනවා. ආයුර්වේදයේ ඇති හාතවාරිය අල, අමුක්කරා අල දෙවර්ගයටම වඩා දරුඵල සම්බන්ධයෙන් ගුණාත්මකව ඉහළ අගයක් ගන්නවා. 

‘’ඕන කෙනකුට මා ආරාධනා කරනවා මේ ගැන පර්යේෂණ කරන්න. මේවා අපට තියෙන ස්වාභාවික සම්පත්. වෛද්‍ය විද්‍යාත්මකව ගත්තා ම PCOD-Polisistic Overys Disease  වලට ඉතා හොඳ ඔෟෂධීය තත්ත්වයක් මේ පැළෑටිය. ශුක්‍රාණුවල ඉහළ ප්‍රතික්‍රියාශීලී ROS-Reactive Oxygen Species  ප්‍රමාණය අඩු වුණාම එහි ක්‍රියාකාරිත්වය, දඟකම, දැඟලිල්ල ඉතාම වැඩියි. එම නිසා ඩිම්බය විනිවිද ගොස් යුක්තානුව සෑදීමට ප්‍රයෝජනවත් වෙනවා. කාන්තාවන්ගේ ඩිම්බ මේරීමේ, පිපිරීමේ, වර්ධනයේ දුර්වලතා මෙන්ම පිරිමින්ගේ ශුක්‍රාණුවල ක්‍රියාකාරිත්වය අඩු බවට මෙය හොඳ ඔෟෂධයක් බව පයේෂණවලින් පැහැදිලියි. මා කලින් කීවා වගේ මෙහි ඇති අර ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා පිළිකා Prostate Gland Cancer  සුව කිරීම වගේ දේවලටත් හොඳින් උපයෝගී කර ගන්න පුළුවන්. මේ ස්වාභාවික පැළෑටියට ගර්භාෂ අර්බුද Fybroid Endometriosis සුව කිරීමේ මහඟු මෙහෙයක් කළ හැකියි...’’

බටහිර වෛද්‍ය ක්‍රමයෙන් හෝ වේවා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් හෝ වේවා දරුවකු නැති කාන්තාවකට දරු සම්පත ළඟා කර දිය හැකි නම් එය සුවිශාල පින්කමක් වන්නේ ය.

‘’මේ සොයා ගැනීමේ හෝ පර්යේෂණවල පේටන්ට් තබා ගැනීමට අපට අවශ්‍ය නැහැ. ජීවත් වන කාලය තුළ රටේ මිනිසුන්ට උපරිම සේවයක් කිරීමයි වැදගත්. මේ සේවය රෝගීන්ට ලබා දීමට අප සූදානම්. මා ළඟට පැමිණි බොහෝ කාන්තාවන්ට මේ පැළෑටිය අනුසාරයෙන් කළ ප්‍රතිකාරවලින් සඵලතාව ඇති කර දෙන්නට හැකි වුණා. අනෙක් පැත්තෙන් රජය ආයුර්වේදීය පර්යේෂණ මට්ටමින් මැදිහත් වීමක් කරනවා නම් එයට සහාය දීමට අප එක හිතින් සූදානම්. ..’’ 

කොළඹට නුදුරු රත්මලානේදී හෝ 077 - 3473287 දුරකථන අංකයෙන් ඔබට වෛද්‍ය සුදත් ගුණතිලක සම්බන්ධ කර ගත හැකිය.

ආයුර්වේදයේ ඉතිහාසය බුද්ධ කාලය තරම්ම අෑතට දිව යන්නේ ය. තථාගතයන් වහන්සේ මිනිසුන්ගේ සංසාරගත දුකට නිවන නමැති සදාතනික පිළියම සොයා ගන්නා විට ඒ තත්ත්වයට පත් වන්නට නොහැකි එහෙත් සත්‍ය සෙවීමේ විවිධාකාර  පරිශ්‍රම දරමින් සිටි යෝගීහු හා සෘෂිවරු එකල භාරතයේ විසූහ. බුද්ධත්වයට ළං විය නොහැකි එහෙත් යම් යම් ආකාරයෙන් සිත දියුණු කළ මේ ධ්‍යානලාභීහු තමන් ජීවත් වූ වනගත පරිසරයේ ගහ කොළ මුල් පැළෑටි ඇසුරින් මිනිසාගේ ශරිරගත ලෙඩ දුක්වලට පිළියම් සොයා කළ ඒ ඥාන ගවේෂණය ආයුර්වේදය ලෙසින් බිහි විණැයි මතයක් තිබේ. 

ඒ නිසාම පාරම්පරික ආයුර්වේදය යනු සොබාවාදයෙන් මිනිස් ලොව ජයගත් අනාදිමත් කාලයක සිට මේ ලක් ධරණි තලය මත තිබෙන උසස් මනුෂ්‍ය අභ්‍යාසයකි. එයට පිළිගැනීමක් ලබා දිය යුතුය. ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් තිබිය යුතුය. ආයුර්වේදය පැත්තෙන් කාලයක් මේ ඉල්ලීම පවතී. මේවා විධිමත් පර්යේෂණ මට්ටමින් තහවුරු කර ගෙන ජාතික සෞඛ්‍යයට ඇතුළත්  කිරීමට දේශීය වෛද්‍ය අංශ පියවර ගත යුතුව තිබේ.

 

තිස්ස කොරතොට
උපුටා ගැනීම -මව්බිම පුවත්පත 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top