Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 22
2,264
Views
රජිව්... අපි ඔබේ ජීවිතේ ළමා කාලය සිට මේ කතාබහ පටන්ගමු?

ඔව්.. මම ඉපදුණේ හැදුණේ වැඩුණේ මොරටුවේ. ඉස්සර අපි හිටියේ කුලී ගෙදරක. අපි පාරම්පරික කතෝලික වුණාට අපේ ගෙවල් අයිතිකරුවන් වුණේ සිංහල බෞද්ධ අයයි. ඒ ගෙවල් අයිතිකරුවන්ගේ ගෙදරයි, අපේ ගෙදරයි තිබුණේ එකම වත්තේමයි. ඒ ගෙදර ආච්චි අම්මට හැමදාම හවසට බුදුන් වඳින්න මල් කඩලා දුන්නේ මමයි. ගිලන් පය තියද්දී ඒ පැන් බඳුන පුරවලා දුන්නේ මමයි. හැම සිංහල අවුරුද්දකම කෑම මේසයට වාඩි කරවන්න මාව ඒ ගෙදරට එක්කගෙන ගියා. වෙසක් එකට ඒ අය වෙසක් කූඩු හදද්දී මාත් ඒ අයට උදව් කළා. ඒ නිසාම කතෝලිකයෙක් වුණාට බෞද්ධ පරිසරයක ජීවත් වුණු මට ඒ බෞද්ධ පරිසරය අලුත් දෙයක් වුණේ නැහැ.

රජිව් පවුලේ එකම දරුවාද?

ඔව්.. මගේ තාත්තා මම පුංචි කාලේම මිය ගියා. ඒ නිසාම මට සහෝදර සහෝදරියන් හිටියේ නැහැ. මගේ අම්මා කිසිමදාක තාත්තා නැති අඩුව මට තිබ්බේ නැහැ. ලොකු පොහොසත් සල්ලිකාරයෝ නොවුණාට මගේ අම්මා මට කිසිම අඩුවක් තිබ්බේ නැහැ. අපි බොහෝම සාමාන්‍ය ජීවිතයක් ගතකළා. පුංචි කාලේ තාත්තා නැහැ කියලා මට දැනෙන්න අම්මා ඉඩ තිබ්බේ නැහැ. තේරෙණ වයසට ආවට පස්සේ ඒක තේරුණාම ඒක මට ටිකක් දැනුණා.

සහෝදර සහෝදරියන් නැතිව ඒ ළමා කාලය ගෙවුණේ කොහොමද?

මට ගේ අවට ඕනෑතරම් යාළුවෝ හිටියා. ඒ අය එක්ක මම ඇතිතරම් සෙල්ලම් කළා. කසාද නොබැඳපු නැන්දලා දෙන්නෙක් මට හිටියා. ඒ අයගෙන් මට පුදුමාකාර ආදරයක් ලැබුණා. ඒ නිසා මගේ ළමා කාලය ඇත්තටම හරිම ජොලි... මම හැමදාම උදේ පූජාවට මොරටුව ශාන්ත සෙබෙස්තියන් පල්ලියට ගියා.

රජිව් පුංචි කාලේ දඟයි ද?

අපොයි ඔව්... මම ඉගෙන ගත්තේ ශාන්ත සෙබෙස්තියන් විද්‍යාලයේ. (සෙබෙස්තියන් කියන නම රජිව්ට හරිම සුවිශේෂියි වගේ ඉගෙන ගත්තේ, පල්ලි ගියේ විතරක් නෙමේ නමත් වුණේ “සෙබෙස්තියන් කියලයි.) මට තාම මතකයි පාසලේ අවසන් වසරවලදී එක සම්පූර්ණ වාරයක මම උදේ හතහාමාරට ඉස්කෝලේ ගිහින් දහයයි තිහට ගෙදරට එනවා. සමහර දවස්වලට පරක්කු වෙලා ඉස්කෝලේ ගිහින් එකහාමාරට ගෙදරට එනවා. සෙබෙස්තියන් එකේ නැටුම් පන්තිය ළඟ තිබුණු තාප්ප කොටස කෙසෙල් පඳුරුවලින් වැහිලයි තිබුණේ. ඉතින් අපි ඒ කෙසෙල් ගස් අස්සෙන් තාප්පෙට නැගලා එහා පැත්තට පනිනවා. ඒ වගේ කොයිතරම් නම් කාලයක් අපි තාප්පවලින් හොරෙන් පැනලා ඇතිද? ඇත්තටම ඒක හරිම සුන්දර කාලයක්.

ඒ වගේ තිබුණු අතීතය ආයෙමත් පසුගිය දවස්වල මතක් කරගන්නත් පුළුවන් වෙන්න ඇති නේද?
ඔය කියන්නේ මම පසුගිය දවස්වල ගියපු ඩුබායි ටුවර් එක ගැන නේද? ඇත්තටම ඔව්.. පසුගිය දවස්වල මම ඩුබායිවල සංචාරය කළා. ඒ ගමනේදී සෙබෙස්තියන් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයින් බොහෝ දෙනෙක් මුණගැහෙන්නත් මට අවස්ථාව ලැබුණා. ඒ වෙලාවේදීත් අපි කතා කළේ ඉස්සර කාලේදී අපි කරපු ඒ දඟ වැඩ ගැනම තමයි.

අධ්‍යාපනයට අමතරව පාසල් යන කාලේදී රජිව් සංගීතයට නැඹුරුකමක් තිබුණාද?

නැහැ... එහෙම ලොකුවට සංගීතයට නැඹුරැකමක් තිබුණේ නැහැ. හැබැයි මම චිත්‍රවලට ඒ කාලේ හරි දක්ෂයි. පාසලෙන් පවත්වපු චිත්‍ර ප්‍රදර්ශනවලට පවා ඒ කාලේ මම චිත්‍ර ඇන්ඳා. මගේ චිත්‍ර ගුරුවරිය මගේ චිත්‍ර හරියට අගේ කළා. මට තාම මතකයි එක චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න මගේ මාමා ආපු වෙලාවක මගේ චිත්‍ර ගුරුවරිය මාමාට මගේ චිත්‍ර ගැන හොඳ වර්ණනාවක් කළා. මාමා මම ගැන ගොඩාක් සතුටු වුණා. ඒ මුහුණේ තිබුණු සතුට අද වගේ මතකයි. සංගීතයටත් පොඩි ආසාවක් මට තිබුණා. මට සින්දු කියන්නත් පුංචි කාලේ පුළුවන්කම තිබුණා.

පුංචි කාලේ ආසා කළේ කවුරු වෙන්නද?

මට ඕන වුණේ චිත්‍ර කතා ශිල්පියෙක් වෙන්නයි. ඒ කාලේ තිබුණු චිත්‍ර කතා පත්තර මම හරිම ආසාවෙන් බැලුවා. අපේ ගෙදරින් ඉස්සර මට අරගෙන දුන්නේ මිහිර පත්තරේ. හැබැයි මට ඕන වුණේ “සතුට පත්තරේ බලන්නයි. මුල් දවස් කිහිපයේදී ගෙදරින් මට “සතුට පත්තරේත් අරගෙන දුන්නා. නමුත් ඒක වැඩිහිටියන්ට පළකරන පත්තරයක් කියලා ගෙදර අයට තේරැණා. ඒ නිසා ගෙදරට “සතුට පත්තරේ ගෙනාවේ නැහැ. හැබැයි මගේ වාසනාවට අල්ලපු ගෙදර නව විවාහක යුවළක් හිටියා. ඒ දෙන්නා හැම සතියේම “සතුට පත්තරේ ගත්තා. ඒ නිසා මම ඒ ගෙදරට ගිහින් “සතුට පත්තරේ බැලුවා. ඉස්සර අපේ ගෙදර කැසට් එකක් තිබුණේ නැහැ. අපේ ගෙදර රෙකෝඩ් ප්ලෙයර් එකක් තිබුණේ. අල්ලපු ගෙදර තිබුණ කැසට් එකෙන් සින්දු අහන්න යනවා කියලා ඒ ගෙදර ගිහින් චිත්‍ර  කතා බැලුවා.

ඒ චිත්‍රකතා පත්තරේ තිබුණු චිත්‍ර ගෙදර ඇවිත් අඳින්නත් උත්සහ කළාද?

නැහැනේ... ඒ චිත්‍ර කතා පත්තරවල වැඩිපුරම කපල් පින්තූරනේ තිබුණේ. ඒ නිසා ඒ චිත්‍ර සජීවීව කරන්න ට්‍රයි එකක් දුන්නා.

ඒ කියන්නේ රජිව්ගේ ප්‍රථම ප්‍රේමය පාසල් යන කාලේදීම ඇති වුණු දෙයක්?

ඔව්නේ... අපේ අම්මා ඉංග්‍රීසි ගුරුවරියක්. පාසලෙන් පස්සේ අම්මා අපේ ගෙදර ටියුෂන් කළා. ඉතින් අපේ ගෙදරට ගෑනු ළමයි, පිරිමි ළමයි ගොඩාක් ආවා. ඔය අතරට මගේ හොඳම යාළුවගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ යාළුවත් ආවා. ඒ ගෑනු ළමයා එක්ක පොඩි ආදර සම්බන්ධයක් පටන් ගත්තා. හැබැයි ඒක වැඩිකල් ගියේ නැහැ. එයා පන්තියට එනකන් හොරෙන් බලාගෙන හිටියා. පන්තිය ඉවරවෙලා යද්දී මඟ ඉඳලා කතා කරලා තියෙනවා. ඒක ආදරයක් ද කියලා මම දන්නේ නැහැ. හැබැයි මගේ ප්‍රථම ප්‍රේමය වුණේ ඒකයි. මාස දෙකකට, තුනකට පස්සේ ඒක නතර වුණා. ආයේ සති කිහිපයකින් තව ආදරයක් පටන් ගත්තා. ඒකත් නතර කළාට පස්සේ ආයෙත් මම යාළු වුණේ අර මගේ ප්‍රථම ප්‍රේමය එක්කමයි. ඔය වගේ ඇතිවුණු නැතිවුණු ආදර කතා මගේ ජීවිතේ තියෙනවා.

චිත්‍ර අඳින්න හැකියාව තිබුණු රජිව් ගායකයෙක් වුණේ කොහොමද?

අපේ අම්මට මාව ගෘහනිර්මාණ ශිල්පියෙක් කරන්නයි ඕන වුණේ. ඒ වෙනුවෙන් මම ඉගෙන ගත්තා. මොනදේ කරන්න හිතාගෙන හිටියත් දෛවය ඒ හැමදේම වෙනස් කරනවා කියලා මම විශ්වාස කරනවා. මගේ මාමාට දරුවෝ හතර දෙනෙක් හිටියා. පුතාලා දෙන්නයි, දුවලා දෙන්නයි. ලොකු අක්කා කේමදාස මාස්ටර්ගේ හොඳ ගෝලයෙක්. අක්කට ඕනෑම වාදන භාණ්ඩයක් වාදනය කිරීමේ හැකියාව තිබුණා. ඒ ගෙදර “පවුලේ පුංචි සංගීත කණ්ඩායමක් තිබුණා. පවුලේ තිබුණු සාදවලදී අක්කා ඕගන් එකත්, අයියා ගිටාර් එකත්, අනෙක් අයියා ඩ්‍රම්ස් එකත් වාදනය කළා. මම එහේ ගියාමත් ඒ අය එක්ක සින්දු කිව්වා.

සංගීත භාණ්ඩයක් වාදනය කරන්න හිතුණේ නැද්ද?

මටත් ඔය වෙද්දී ටික ටික වාදනය කිරීමේ හැකියාව තිබුණා. ඔය වෙද්දී මගේ මාමගේ මුලු පවුලටම විදෙස් ගත වෙන්න අවස්ථාව ලැබුණා. දවසක් මට මාමාලා ගෙදරට එන්න කියලා තෑගි දෙකක් පෙන්නලා කැමති එකක් ගන්න කිව්වා. මුලින්ම තිබුණේ පොඩි අයියගේ අලුත්ම යමහා ට්‍රේලර් බයික් එක. අනිත් එක තමයි අර සවුන්ඩ් සිස්ටම් එක. ඒ කාලේ මම අර ට්‍රේලර් බයික් එකට හරි ආසයි. කොලු වයසනේ. ඒ කාලේ අද කාලේ වගේ හැම කොල්ලෙක්ටම බයික් තිබුණේ නැහැ. ඒ කාලේ අපේ වයසේ කොල්ලන්ගේ හීනයක් තමයි ට්‍රේලර් බයික් එක. හැබැයි මගේ ඇස් දෙක අර මියුසික් භාණ්ඩවලත් වරින්වර නතර වුණා. මම ටික වෙලාවක් කල්පනා කරද්දී අපේ පොඩි අයියා “මෙන්න මේ සෙට් එක අරගෙන ගිහින් මොනවා හරි කරපන් කියලා කිව්වා. ඒ නිසා මාත් හරිම කැමත්තෙන් අර වාදන භාණ්ඩ ටික ගෙදර ගෙනාවා. ඊට පස්සේ සංගීතයට ආසා කරන මගේ යාළුවෝ සෙට් එකත් නිතර නිතරම අපේ ගෙදරට ආවා. අපේ ගෙදරින් නිතරම සංගීතය ඇහෙන්න පටන් ගත්තා.

රජිව්ගේ මුල්ම රැකියාව සංගීත කණ්ඩායමක ගීත ගැයීමද?

නැහැ... මාමාලාගේ වාදන භාණ්ඩ ගෙදරට ගෙනෙද්දීත් මම රැකියාවක් කරමින් හිටියේ. මගේ මුල්ම රැකියාව වුණේ බ්‍රවුන්ස් සමාගමෙයි. ඒ රැකියාව කරන ගමන් මම සංගීතය කළා. ඔය අතරේ ගෙදරට ආපු යාළුවන්ගෙන් හොඳ සෙට් එකක් එකතු වුණා. ඔය අතරේ කොටුවේ “ආකාසේ කඩේ රෙස්ටූරන්ට්එකේ තිබුණු සංගීත කණ්ඩායමේ වාදනය කරන්න බැරි වුණ දවසක අපිට ඒ අඩුව පුරවන්න අවස්ථාව ලැබුණා. ඒ ගිය වෙලාවේ එහි සාමාන්‍යධිකාරිතුමා අපි ගැන අවධානයෙන් ඉඳලා වාදනය කරලා ඉවර වුණාට පස්සේ මාව ළඟට ගෙන්වලා “ආස නැද්ද දිගටම වැඩ කරන්න. කියලා ඇහුවා. ඒ වෙද්දීත් මම රැකියාවක් කරනවා. හැබැයි කණ්ඩායමේ අනිත් තුන්දෙනා රැකියාවල් කළේ නැහැ. ඒ නිසාම ඒ තුන්දෙනා වෙනුවෙන් මම රැකියාවෙන් ඉවත්වෙලා පූර්ණකාලීනව සංගීතයට මුල් තැන දෙන්න තීරණය කළා.

මුල්ම විදෙස් සංචාරය වුණේ කොහේද?

මගේ මුල්ම විදෙස් සංචාරය වුණේ බංගලාදේශයට. ඊට පෙර මම ඉස්කෝලේ යන කාලේදී රත්මලානෙන් ප්ලේන් එකක නැගලා යාපනයට ගිහින් කෝච්චියෙන් යාපනේ ඉඳලා ආයෙත් ගෙදර ඇවිත් තිබුණා. ප්ලෙන් එකකින් මුලින්ම විදෙස් රටකට ගියේ බංගලාදේශයටය. හැබැයි ඊට පෙර මට රටවල් කිහිපයක ටුවර් එකක් යන්න අවස්ථාව ලැබුණා. නමුත් ඒ ගමන මම මඟහැරියා. ඒකට හේතුව වුණේ මගේ පුතායි. ඒ වෙද්දී මම මගේ විවාහයෙන් වෙන්වෙලයි හිටියේ. ඒනිසා තනියම මගේ පුතාව දවස් දහයක් ලංකාවේ දාලා යන්න මට බැරිවුණා. ඒ නිසා මම ඒ ගමන මඟහැරියා. ඇත්තටම ඒක ඉතා මහඟු අවස්ථාවක්. නමුත් මගේ පුතා වෙනුවෙන් මම ඒ ගමන අතහැරියා. අද වනවිට මම රටවල් විසිපහකට වැඩි ගණනක සංචාරය කරලා තියෙනවා. ඒ රටවල්වල ජීවත්වෙන රසික රසිකාවියන්ගේ ප්‍රතිචාර හොඳයි. ඔය අතරේ අපිට සල්ලි නොගෙවා මඟහැරපු සංවිධායකවරුන් නැත්තෙමත් නැහැ. නමුත් ඒ අයට වඩා සංගීතයට ආදරය කරන සංවිධායකවරුන් සහ රසික රසිකාවියන් පිරිස වැඩියි.

රජිව්ගේ පුතා සංගීතයට නැඹුරැ වුණේ නැහැ... එහෙම නේද?

ඔව්.. පුතා සංගීතයට එහෙම නැඹුරුවක් නැහැ. මම එයාට කිසිම දේකට කිසිම තහංචියක් දාලා නැහැ. එයා පරිගණක ක්ෂේත්‍රයෙන් අධ්‍යාපනය හදාරලා ඒ සම්බන්ධව ඉහළට යන්න උත්සහ දරනවා. සමහරවිට පුතා දිගටම විදේශගත වේවී.

රජිව් අලුතින් ගීතයක් නිර්මාණය කළා? කොහොමද ජීවිතේ?

මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. මම මේ දවස්වල සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත කිහිපයක් බලලා තමන්ගේ වියදමින් ගීතයක් පටිගත කරගන්න බැරි කලාකරුවන් එකතු කරගෙන ඔවුන්ගේ නිර්මාණ කිහිපයක් කරන්න උත්සහ ගන්නවා. ඒ වගේම අවුරුද්දකට සැරයක් මම අලුත් ගීතයක් මියුසික් වීඩියෝව සමඟ කරන්න උත්සහ ගන්නවා. මේ දවස්වල සුනිල් පෙරේරා, පියල් පෙරේරා, විල්සන් ගුණරත්න හා එක්ක කරපු “බොරු ගීතය අහන්නට දකින්නට පුළුවන් වේවී.
 

► Text - Jayamali  
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top