Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 15
1,722
Views
අභිරහස් අන්දමින් සිය පොල් ඉඩමේ වළ දමා තිබූ කථිකාචාර්යවරයාගේ  මරණය සම්බන්ධව සැකපිට එම වත්තේම කලක් සේවය කළ මේ වන විට ව්‍යාජ කපුවකු ලෙසින් පෙනී සිටින අයකු කුලියාපිටිය පොලිසිය හා කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් 11 වැනිදා අත්අඩංගුවට ගත් බැව් පොලිස් ආරංචි මාර්ග පවසයි. එලෙසින් අත්අඩංගුවට ගෙන තිබුණේ වැලිපැන්නගහමුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවකු වූ කලක් මියගිය පොල් ඉඩමේ පොල් කඩමින් සිට පසුව මියගිය අයට සිටි විශ්වාසවන්තම කපුරාල ලෙස කටයුතු කළ අයෙකි.
 
 සිද්ධියෙන් මරුමුවට පත්ව තිබුණේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කරමින් සිටි 45 හැවිරිදි බී.එම්. නන්දිත මහින්ද බස්නායක නමැත්තකි.
 
 මියගිය අය කලක පටන් විවාහ යෝජනා පිළිබඳ විමසිලිමත් වූවත් අධික ලෙස මිත්‍යා මතවල එළඹ ගෙන කටයුතු කරන්නකු නිසා බොහෝ විවාහ යෝජනා මගහැරී ගොස් තිබූ බව මූලික පොලිස් විමර්ශනයේ දී හෙළිව ඇත. හොරතෑපොල විහාරස්ථානයේ අපවත් වූ නායක හිමියන් සමගින් මියගිය අය නක්‍ෂස්ත්‍රාදී කටයුතු සිදුකර ගෙන තිබූ බවට එහිදී තොරතුරු අනාවරණය කරගෙන ඇති පොලිසිය අඋන්වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව සැකකරුට එම ආත්මය ආරූඪ වන බැව් පවසා සැකකරු විසින් මියගිය අය රවටා ගෙන බොහෝ අවස්ථාවන්හිදී ලාභ ප්‍රයෝජන ලබා ගෙන තිබිණ.
 
 ඉකුත් සතියේ මියගිය අයගේ මව විසින් සිය පුතු නිවසේ නොමැති බවට අතුරුදන්වීමක් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව එහි ගොස් තිබූ පොලිස් කණ්ඩාමේ විමර්ශනශීලීත්වය නිසාම ලද අපරාධයක සැකය ඔස්සේ කළ පරීක්‍ෂණ අනුව නිවස පිහිටි ඉඩමෙහිම වළ දමා තිබූ මෘත දේහය සොයා ගැනීමට සුළු වේලාවක දී හැකිව තිබිණ.
 
 ඉන් අනතුරුව අපරාධ විමර්ශන ඒකකය හා කොට්ඨාස අපරාධ අංශය මගින් කරන ලද විමර්ශන අනුව ඉතාමත් කෙටිකලකදී සැකකරු අනාවරණය කරගැනීමට හැකිව තිබිණි.
 
 සැකකාර කපුවා කඩිනම් විවාහ යෝජනාවක් ලැබීමට නම් දෙවියන් උදෙසා කළයුතු පූජාවන් කිහිපයක් මියගිය අයට සිදුකර තිබූ අතර සැකකරුගේ ප්‍රකාශ අනුව එක් අවස්ථාවකදී රුපියල් හතළිස් දහසක් පමණ වටිනා සුරයක් පැළඳීම අවශ්‍ය බව පවසා රුපියල් සියයක් හෝ නොවටින සුරය කපුවා විසින් පළඳවා තිබූ බව අනාවරණය වී ඇත.
 
 ආසන්නම අවසථාවේ දී බෝනික්කකු මනාළියක් ආකාරයෙන් හැඩ ගන්වා නිවසේ ඇති රන් භාණ්ඩ සියල්ලක්ම පළඳවා පූජාවක් සිදුකළ යුතු බවට කළ යෝජනාවට එකඟවූ මියගිය අය සැකකාර කපුවා විසින් යෝජනා කළ පරිදි පොල් ඉඩමේ පාළු අන්තයක පහන් තැබීමට වළවල් තුනක් කපා සූදානම් කර තිබී ඇත.
 
 කපුවාගේ උපදෙස් මත එම ස්ථානයට පහන්, සුවඳ දුම් ආදී පූජා ද්‍රව්‍ය ද ගෙන ආ මියගිය අය කපුවා විසින් රැගෙන ආ උදැල්ල හා මන්තර පොල්ල නමින් හැඳින්වූ ගවයින් ගාල් කරන යකඩ ඉන්නද පසෙකින් තබා එක් වළකට බැස නිවසින් සිය මවට හොරෙන් රැගෙන ආ රන් භාණ්ඩ සියල්ලක්ම බෝනික්කාට පළඳවන ලෙසට කපුවාගෙන් ලද උපදෙන් අනුව ක්‍රියා කර ඇත. පහනක් දල්වන්නැයි සංඥා කර තිබිණි. මියගිය අය විසින් පහන දල්වන්නට සැරසීමේදී කපුවා තම අත වූ උදැල්ලෙන් වැරෙන් පහරක් එල්ල කළ බවත් ඉන් අනතුරුව මන්තර පොල්ල යනුවෙන් මියගිය අයට හඳුන්වාදී තිබූ යකඩ යෂ්ටියෙන් ද පහරදී ඇති බවත් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබූ කපුවා තවදුරටත් හුස්ම වැටෙමින් සිටියදීම පස් දමා වැසූ බවත් පාපොච්චාරණය කර ඇත.
 
 කෙසේවෙතත් දේවාල හා එවන් මිත්‍යා මතවල දැඩිසේ එල්බගෙන සිටි බවට සැකකළ හැකි මියගිය අය විසින් ඉතා පිළිවෙළට දිනපොතක් ද පවත්වා ගෙන ගොස් තිබූ අතර සියලු විමර්ශන අනුව මියගිය අය ණයෙන් තොරව විශාල බූදලයකට හිමිකම් කියන අයකු බව ද හෙළිව ඇත.
 
 තමන්ට ත්‍රිරෝද රථයක් මිලට ගැනීමේ සිහිනය සැබෑ කර ගැනීම වෙනුවෙන් සැකකරු විසින් එම අපරාධය කර තිබූ බව ද පවසා තිබූ අතර රැගෙන ගොස් තිබූ රන් භාණ්ඩ පවුම් 6ක් පමණ මීගමුව රාජ්‍ය බැංකුවක රුපියල් හාරලක්‍ෂ හැටදහසකට උකස් තබා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබිණි. එමෙන්ම සැකකාර කපුවා විසින් අපරාධයට යොදා ගත් උදැල්ල, යකඩ යෂ්ටිය ආදී බොහෝ දේ බිබිලාදෙණිය ප්‍රදේශයේ පාළමක් අසල දියේ සඟවා තිබිය දී සැකකරුගේ ප්‍රකාශ අනුව සොයාගත් බව ද පොලිසිය කියයි.
 
 අපරාධය සම්බන්ධ සැක උපදවන අන්දමේ සියලු සාක්‍ෂියක්ම සුරක්‍ෂා කිරීමෙන් කඩිනමින් සැකකාර කපුවා අනාවරණය වූ බව ද පවසන පොලිසිය සිරුර ගොඩගැනීමේදී මූලික මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය කුලියාපිටිය මහෙස්ත්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග මහත්මිය විසින් සිදුකරන ලද අතර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන මහතා ද දායක වූ බව පොලිසය පවසයි.
 
 සැකකරු රන් භාණ්ඩ සමගින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
 
 වයඹ උතුරුමැද භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිසපති බුද්ධික සිරිවර්ධන යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී සමන් සිගේරා, සහකාර පොලිස් අධිකාරී රෝහණ ගමගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නාමල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක චතුරංග, කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පුෂ්පිත යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්‍ෂණ කළහ.
 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top