Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 13
874
Views
හොර කට්ටඩියන්ට, කපුවන්ට, යකදුරන්ට රැවටී තමන් සතු මිල මුදල් මෙන්ම පාරිශුද්ධතාවයත් නැති කරගෙන තම දූ දරුවන්ද මේ වංචාකාරයන්ට බිලි දුන් කාන්තාවන් ගැන පොලිස් පොත්වල සටහන් වී තිබෙනවා. මෙයද එවන් කතාවක්. වාර්තා වූයේ ගාල්ල දිසාවේ වඳුරඹ පොලීසියෙන්.
"මාතර අති ප්‍රබල වශි ගුරුකම්, හැරගිය අය ගෙන්වා ගැනීම, කේන්දර බැලීම, දරුඵල ලබා දීම" ගැන විශාල දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කරමින් 'දේවාලයක්' පවත්වාගෙන යන අයකු සිටියා. ඔහු නමින් ජයසේන.

මේ දේවාලයට ගමේ ගොඩේ අය මෙන්ම පිට පළාත්වලින්ද බොහෝ පිරිසක් පැමිණීයේ සෙත් ශාන්තිය උදාකරගැනීම සඳහායි.
 
73 හැවිරිදි ජයසේන, ගාල්ල දිසාවේ බූස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. දරුවන් තිදෙනෙකුගේ පියෙක් වන ඔහු 'අති ප්‍රබල වශී ගුරුකම්' සිය රැකියාව ලෙස කරමින් වසර පහක පමණ කලෙක සිට තමන්ගේ දේවාලය පවත්වාගෙන ගොස් තිබුණේ කුලියට ගත් නිවසකයි. ජයසේනගේ වශි ගුරුකම් සිදු කර ගැනීම සඳහා ඔහුගේ දේවාලයට පැමිණි පිරිසද එන්න එන්නම වැඩිවී තිබුණා.
 
වඳුරඹ, තල්ගස්වල ප්‍රදේශයේ වෙසෙන 42 හැවිරිදි නිල්මිණි 14 හැවිරිදි හා 9 හැවිරිදි වියේ පසුවන දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඇගේ සැමියා පසුගිය අගෝස්තු මස තුන්වැනිදා සිට ආගිය අතක් නැතිව සිටියා. ඒ අඹුසැමියන් අතර සිදුවූ අඩ දබරයකින් අනතුරුවයි.
 
දිනක් ඇය බස් රථයකින් කරාපිටිය රෝහලට යමින් සිටියදී ජයසේනගේ දේවාලයේ පුවරුව දුටුවා. ඇය රෝහලට යන ගමන නවතා, බසයෙන් බැස ජයසේනගේ දේවාලයට ගියේ ආගිය අතක් නැතිව සිටින තම සැමියා ගැන කුමන හෝ තොරතුරක් 'ගුප්ත ක්‍රමයකින්' හෝ දැනගැනීම සඳහායි. දේවාලයට ගිය නිල්මිණි තමන් මුහුණ පා සිටින කරදරය ජයසේන කපු මහතාට කීවා.
 
"අනේ කපු මහත්තයෝ, මගේ මහත්තයා ටික කාලෙක ඉඳන් ගෙදරින් ගිහින්. මට එයාව ආපහු ගෙදරට ගෙන්න ගන්න ඕනේ. දරු දෙන්නත් තාත්තා නැති නිසා ඉන්නේ හරිම දුකින්.." නිල්මිණි, කපු මහත්මයා ඉදිරියේ බැගෑපත් වුණා.
 
"අපෝ ඒක සුළු දෙයක්නේ. මහත්තයව ඔයාගේ කකුල් දෙක ළඟටම මම ගෙනත් දෙන්නම්.. දවස් හතක පූජාවක් කරන්න විතරයි තියෙන්නේ.. හැබැයි මේ පූජාවට රුපියල් පනස්දාහක් විතර යනවා.. මොකද මේ පූජාව කරනකොට පිරිමි කහඬක්වත් ඇහෙන්න බැහැ.. ඒක නිසා ඒ දවස්වලට කිසිම කෙනෙක් දේවාලයට ගෙන්වන්න බෑ. ඒක මට ලොකු පාඩුවක්.. ඒකයි ලොකු මුදලක් මේකට වියදම් වෙන්නේ.."
 
ජයසේන කපු මහතා නිල්මිණිට එසේ කීවේ ඇගේ සිතේ අතුරුදහන් සැමියා ගැන බලාපොරොත්තු රැසක් ඇති කරමිනුයි.
 
ඒත් කපු මහතාගේ කතාවෙන් නිල්මිණි අසරණ වුණා. පූජාව සඳහා විය පැහැදම් කිරීමට ඈ සතුව එතරම් මුදලක් තිබුණේ නැහැ. ඇය ඒ බව කපු මහතාට පැවසුවා. එහෙත් අත්තිකාරම් ලෙස ඇය සතුව තිබූ රුපියල් 19,000ක් කපු මහතාට දී පූජාවට දිනද වෙන් කරවා ගත්තා.
 
එම පූජාවේ මුල්ම දින තුන ලෙස ඇයට ලැබී තිබුණේ සැප්තැම්බර් මස 16, 17, 18 යන තෙදිනයි.
 
පූජාවට එන විට ඇඳුම් කට්ටල තුනක් හා පොරවන රෙද්දක්ද රැගෙන එන ලෙස කපුවා නිල්මිණිට පැවසුවා.
 
නිල්මිණි ඇයට ලබා දුන් දිනට දේවාලයට පැමිණියා. එදින ජයසේන කපුවාගෙන් ශාන්තිකර්ම සිදුකර ගැනීමට කිසිවකු දේවාලයට පැමිණ සිටියේ නැහැ.
 
තමා ඇඳගෙන පැමිණි ඇඳුම් කපුවාගේ නියෝගය පරිදි මාරු කිරීමට ඇයට සිදු වුණා. ඒ ඇඳුම් ඉල්ලා ගත් ජයසේන කපුවා, යට ඇඳුම් සමඟ නිල්මිණිගේ ඇඳුම් තමන්ගේ ඇඟලා ගත්තේ ඇය පුදුමයට පත් කරවමිනුයි.
 
"මේ පූජාව කරන්න ඕනේ ඔයාගේ වේශයෙන්.. ඒකයි මේ ඇඳුම් මම ඇඳගත්තේ. මේක කරන්නේ කාමාශ බන්ධනයෙන්.. ඒකට ඔබතුමියගෙන් පොඩි දෙයක් මට අවශ්‍ය වෙනවා.." කපුවා තමාගෙන් ඉල්ලා සිටි දේ ඇසූ නිල්මිණිට තරු විසිවුණා. එහෙත් තමාගේ ආදරණීය සැමියා සිහියට ආ නිසා ඈ කපුවාගේ ඉල්ලීමට පිටු නොපා කරබාගෙන සිටියා.
 
පසුව, මල් පහන් පූජා කළ කපුවා නොයෙක් දෑ ජප කොට ඇඳක හාන්සි වුණා. ඔහු නිල්මිණිට පවසා තිබුණේ ඇය රැගෙන ආ රෙද්ද තමාගේ හිස මත ඔතනා ලෙසයි. එසේ රෙද්දකින් කපුවාගේ හිස එතූ පසු කපුවා ඇයට නොයෙක් ආකාරයේ ලිංගික ක්‍රියා සිදු කළේ ඇය ඉතා අපහසුවෙන් ඒවා ඉවසා දරා සිටියදී යි.
 
නිල්මිණිට එසේ ලිංගික ක්‍රියා සිදුකරන අතර කපුවා, ඇගේ සැමියාගේ නම කියා ඇයට පැවසුවේ තමා, කපුවා නොව ඇගේ ස්වාමියා බව සිතන ලෙසයි. තමන් සිටින්නේ ස්වාමියා සමඟ බවට සිහියේ තබාගන්නා ලෙස ද ඔහු ඇයට පැවසුවා.
 
තමන් දැනට සිදුකරන මේ ක්‍රියාව නිසි පරිදි සිදු නොවුණහොත් සැමියා නැවත ගෙන්වා ගැනීම කිසිසේත්ම සිදු කළ නොහැකි බව ද කපුවා නිල්මිණිට පැවසුවා. සැමියා ගෙන්වා ගැනීමට තිබූ ඕනෑකම නිසා ඇය කිසිත් නොකියා කපුවාට තමන්ගේ නිරුවත් සිරුර නිසි සේ ස්පර්ශ කිරීමට ඉඩ දුන්නා.
 
නිල්මිණිගේ නිරුවත් සිරුර පැය කිහිපයක්ම ස්පර්ශ කළ කපුවා කොළයක් ගෙන මල් පහන් පූජා කරන ස්ථානයේ තබා ජිවම් කර එසේ දවස් හතක් කළ යුතු බව ඇයට සඳහන් කළා.
 
කපුවා හැඳින්වූ පරිදි එම 'කාමාශන බන්ධනය' සිදුකර තිබුණේ ඉදිරිපස දොර වසා එහි කාමරයකයි.
 
එසේ දවස් තුනක් පූජාව සිදුකිරීමෙන් පසු නැවතත් එම බන්ධනයම සිදුකිරීමට පසුගිය මාසයේ 06 හා 07 වැනිදා නැවත එහි පැමිණෙන ලෙසද කපුවා ඇයට පැවසුවා. එම දින දෙකේදීද මුලින් දින තුනේ සිදුවූ ක්‍රියාකාරකම කිසිම අඩුවකින් තොරව සිදුවුණත් සැමියා නැවත ගෙන්වා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඇය කපුවාගේ එම 'නිහීන ක්‍රියාව' ඉවසාගෙන සිටියා.
 
එම දින දෙකේද කාමාශන බන්ධනය සිදු කිරීමෙන් පසු කපුවා ඇයට කියා තිබුණේ දින 4ක් තුළ සැමියා නිවසට පැමිණෙන බවයි. එහෙත් නිල්මිණිගේ සැමියා පැත්ත පළාතක පැමිණියේ නැහැ. පසුව ඇය කපුවාට දුරකථනයෙන් අමතා සැමියා නිවසට නොපැමිණි බව පැවසුවා.
 
පූජාවේ 'ඉතිරිය' තවත් දින දෙකකදී සිදු කළ යුතු බවත්, එවිට අනිවාර්යෙන්ම සැමියා 'දෙපතුළ' ළඟටම පැමිණෙන බව කපුවා කීවා. පූජාවේ ඉතිරි දින දෙක සඳහා පසුගිය මාසයේ 18 හා 19 දිනයත් ඇයට ලබා දුන්නා. එහෙත් ඒ වන විට නිල්මිණිට කපුවා ගැන සැකයක් ඇති වී තිබුණා.
 
අනතුරුව කල්පනා කළ නිල්මිණි තමන් වංචනිකයෙකුගේ ක්‍රියාවකට රැවටුණු බව වටහා ගත්තා. දැන් කළ යුතු දෙයක් නැත. පොලිසිය තම එකම පිහිට බව නිල්මිණි කල්පනා කළා. තමා සන්තකයේ තිබූ මිල මුදල් ද අහිමි කරගෙන හොර කපුවෙකුගේ අපචාරයට ලක් වූ හැටි ඇය වඳුරඹ පොලිසියට පැමිණිලි කළේ ඉන් අනතුරුවයි.
 
"මම ඒ කපුවා විශ්වාස කළා සර්.. ඒත් ඒකා මාව අමාරුවේ දැම්මා. මගේ සල්ලිත් අරන් මට කරපු අපරාධය බලන්නකෝ සර්.."
 
ඇය ස්ථානාධිපතිවරයා හමුවේ සියල්ල හෙළි කරමින් හඬා වැටුණා. ඇගේ පැමිණිල්ල පොලිස් පොතේ සටහන් වූයේ ඉන් අනතුරුවයි.
 
නිල්මිණි කළ පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් හොර කපුවා කොටු කර ගැනීමට උපායක් යෙදුවා.
 
පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්මන් කුමාර, නිල්මිණි අමතා පුජාවේ ඉතිරි දින දෙක සඳහාද දේවාලයට යන්නැයි අලුයම උපදෙස් දුන්නා. කපුවා ඇය ලිංගික ක්‍රියාවලට යොදා ගැනීමට සුදානම් වන විට තමාට 'මිස්කෝල්' එකක් දෙන ලෙසද ස්ථානාධිපතිවරයා ඇයට පැවසුවේ හොර කපුවා ඒ මොහොතේම කොටුකරගැනීමේ අරමුණෙනුයි.
 
සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධරයන් කණ්ඩායමක් දේවාලය අසල එදින රාජකාරියේ යෙදවීමට ස්ථානාධිපතිවරයා පියවර ගත්තා.
 
පසුගිය 18 වැනිදා පූජාවේ ඉතිරිය සම්පූර්ණ කිරීමට දේවාලයට ගිය නිල්මිණිට කපුවා සිරිත් පරිදි අතවර කිරීමට සුදානම් වෙද්දි කලින් කළ සැලසුමට අනුව ඔහු අල්ලා ගැනීමට පොලිස් නිලධාරින්ට හැකි වුණා.
 
වසර ගණනක සිටම දේවාලයක් මුවාවෙන් කාන්තාවක් අමාරුවේ දමමින් සිටි 'සිරිසේන කපුවා' පොලිස් අත්අඩංගුවට ගැණුනේ ඒ ආකාරයටයි. පොලිසියට ගෙනවිත් ප්‍රශ්න කරද්දි කපුවා කීවේ අමුතු කතාවක්.
 
"සර්.. මම 'දැහැමි සිතින්' තමයි මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ. මම කරන්නේ සමාජ සේවයක්. සමාජ සුබසාධනයක්. මගෙන් මේවගේ සේවය ගත්තු දාහකට වැඩිය කාන්තාවෝ ඉන්නවා. මං ළමයි නැති අම්මලාට ළමයි හදලා දීලා තියෙනවා. ඒක වැරදි දෙයක්ද? මිනිස්සු දාලා ගිහින් අවුරුදු ගණන් හිටපු අය 'වශි බන්ධන' වලින් ආපහු ගෙන්වලා දීලා තියනවා. මට විරුද්ධව මෙතෙක් කිසිම කෙනෙක් දෙයක් කියලා නැහැ. ඒ අය මාව බලන්න එන්නේ කිරි පැණිත් අරන්.. මේ ගෑනි තමයි පොලිසි ගියේ.."
 
ජයසේන කපුවාගේ දේවාලය පරීක්ෂා කළ පොලිස් නිලධාරින්ට එහි තිබූ පුරුෂ ශක්තිය වඩවන බෙහෙත් පෙති රැසක්ම හමුවුණා. ඔහු කලෙක සිටම එම පෙති පානය කර ඇති බවද හෙළි වුණා.
 
වයෝවෘද්ධ ජයසේන කපුවා කළ කී දේ ගැන වඳුරඹ පොලිසියට මේ වන විට සියලු තොරතුරු අනාවරණය වී අවසන්.
 
මේ හොර කපුවාගෙන් අතවරයට ලක් වූ කිසිම කාන්තාවක් මෙතෙක් ඔහුට එරෙහිව පොලිසියට පැමිණිලි කර නැත්තේ කමන්ට සිදුවන අවමානය හා පවුල් ආරවුල් නිසා පොලිසිය සැක කරනවා.
 
අධිකරණයට ඉදිරිපත් කළ 'ජයසේන කපුවා' රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බද්දේගම වැඩබලන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
 
කෙසේ හෝ නිල්මිණිගේ සැමියා පසුගිය දිනෙක නිවසට පැමිණ තිබුණා. ඔහු මීට පෙරද බිරිය සමඟ අඬදබර ඇති කරගෙන නිවසින් පිවට දින තුන හතරක් සිටින බවත්, මෙවර මාස ගණනාවක් සිටි නිසා නිල්මිණිට එය ප්‍රහේළිකාවක් වූ බවද හෙළි වුණා.
 
රුපියල් දහස් ගණනක මුදල්ද නැති කරගනිමින් හොර, දූෂක කපුවෙකුට හසුවූ නිල්මිණිට ඉන් අනතුරුව පහළ වූ ස්ථානෝචිත පඥාව නිසා අවසානයේ මේ හොර කපුවා ගැන සමාජයට තොරතුරු අනාවරණය වීමෙන් කාන්තාවන් බොහෝ දෙනෙකු මේ වංචාකාරයාට ඉදිරියේදී හසුවීමට තිබූ ඉඩකඩ ඇහැරි ගිය බව පොලිසියේ අදහසයි. නිල්මිණිට වූ 'අකරතැබ්බය' දේවාල ගානේ යනෙන ඇතැම් කාන්තාවන්ටද හොඳ පාඩමක්.
 
අමිල මලවිසූරිය
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top