තමා විසින් දුකසේ උපයන මුදලින් සුරසැප විඳින තම අනියම් සැමියා, තවත් කාන්තාවන් සමග ඇසුරු පවත්වන්නේ යැයි කිපුණු අනියම් බිරිඳක විසින් තම අනියම් සැමියාට පිහි පහරවල් එල්ලකොට ඝාතනය කර ඇත.
මෙම තොරතුරු අනාවරණය වූයේ මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් කේ. ජී. ගුණදාස මහතා විසින් පෙරේදා (2 ) මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ දී පැවැත්වූ මරණ පරීක්ෂණයේදීය. මිනුවන්ගොඩ, කෝවින්න, වෙන්දේසි වත්ත පාලම අසල පසුගියදා සවස සිදුකළ පිහි ඇනුමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ තණමල්විල, සූරියආර, කුමාරගම පදිංචිව සිටි එල්. ඒ. රවීන්ද්‍ර පුෂ්පකුමාර නමැත්තෙකි. මොහු විවාහකයකු වන අතර තවත් කාන්තාවන් කිහිප දෙනකු සමගද අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇත.
මෙම ඝාතන සිද්ධියේ සැකකාරිය වූයේ පිහි ඇනුමින් මරණයට පත්වූ තැනැත්තාගේ අනියම් බිරිය වන ආණමඩුව, කුයියාව පදිංචි ආර්. බී. ඉනෝකා බණ්ඩාර නමැත්තියයි. මැය මිනුවන්ගොඩ, කෝවින්න පාලම අසල කුඩා ආහාර අලෙවි සැලක් පවත්වාගෙන ගොස් ඇත.