Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 23
1,587
Views
ඇයට ඇගේ සැබෑ  ආදරය හමුවන්නේ ඊටත්  වසරකට විතර පස්සේ.  1997 ජූලි මාසයේ ඇය ඩොඩී අල් ෆයිඩ් සමඟ පෙමින් බැඳෙනවා. ඒත් ඇයට ජීවත් වෙන්න වාසනාව තිබුණේ, ඒ ආදරය විඳින්න වාසනාව තිබුණේ මාසයක් වගේ  කෙටි කාලයක් විතරයි.

ඩයනා කුමරිය කියන්නේ පුදුමාකාර චරිතයක්. සුන්දර මුහුණත්, පියකරු සින­ාවත් නිසා ඇය ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාව අතර අපූරු ආකර්ෂණයක් දිනාගත්තා. කාන්තා පිරිමි කිසිම භේදයකින් තොරව ඇයට කවුරුත් ආදරය කළා.

මුළු ලොවම කම්පනයට පත් කරමින් පැරිස් නුවර සිදුවූ මාරක රිය අනතුරකින් 1997 අගෝස්තුවේ 31 වැනිදා මෙලොවින් සමුගත්තත් අදටත් වරින් වර අලුත් වන ඩයනා කුමරියගේ කඳුළු කතාවයි, මේ.

එක අතකින් රාජකීය පවුලක අතිසුඛෝපභෝගී ජීවන රටාවක් ගත කරමින් සිටියත් ඩයනා කියන්නේ අනිත් අතට ඉතා අවාසනාවන්ත කුමාරිකාවක්. අසූව දශකයේ මුල් භාගයේදි ඇය චාල්ස් කුමරු හා අතිනත ගත්තේ විසිවැනි සියවසේ මහා මංගල්‍යයේ අසිරිමත් මනාලිය විදියටයි. ඒත් රජපවුලේ සියලු වරප්‍රසාද හිමිවුණත් එංගලන්තයේ ඔටුන්න හිමි කුමරාගේ සැබෑ ආදරය නම් ඇයට කවදාවත්ම හිමිවුණේ නෑ. ඒ වෙනුවට ඇයට සිද්ධ වුණේ සියලු වේදනාවන් සිතේ තුරුලු කරගෙන අවුරුදු 36ක් වැනි අඩු වයසකින් මෙලොව හැර යන්නයි.
චාල්ස් කුමරු කැමිලා සමඟ පෙම් පළහිලව්වට පැටලී සිටියේ විවාහයටත් පෙර සිට බව කවුරුත් දැනගත්තේ පසුකාලෙකයි. ඒත් ඩයනා නම් විවාහයට පෙර එය දැනගත්තා. එනිසාම මේ රාජකීය විවාහයෙන් ලොවක් සතුටුවුණත් ඇයට නම් සතුටක් දැනෙන්න නැතිව ඇති.

කැමිලාගේ පළහිලව්ව දැනගන්න කලින් ඇය සිතා සිටියෙත් ලොව වාසනාවන්තම තරුණිය තමා බවයි. ඇත්තටම ඔටුන්න හිමි කුමරකුගේ බිරිය වීමට ලැබීම කොයි තරම් නම් වාසනාවක්ද..?

ඩයනාට කැමිලා ගැන වටින් ගොඩින් ආරංචි වෙලා තිබුණේ 1981 පෙබරවාරියේ දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීමටත් පෙරයි. ඉන් ඇය දැඩි කම්පාවට පත්වුණා. මේ මානසික ව්‍යාකූලතාව නිසා බ්ලේඩ් තලයකින් අත කපාගන්නත් ඇය උත්සාහ කළා.

‘මේ රහස දැනගත් මොහොතේ මම සෑහෙන්න මානසිකව කඩා වැටුණා. ඒකයි මම බ්ලේඩ් තලයකින් අත කපාගන්න උත්සාහ කළේ. එදා හොඳටෝම වැස්සා.‘ විවාහ වනවිට 20 හැවිරිදි වියේ පසු වූ ඩයනා කුමරියට මේ කම්පනය දරාගත නොහැකි තරම් බර වැඩිවුණා.

ඊට මාස කිහිපයකට පස්සේ ජූලි මාසයේ 29 වැනිදා මංගල ඇඳුමින් සැරසී පල්ලියේ අල්තාරය ඉදිරියට ඇවිද යද්දී පවා අන්තිමට ඩයනා කුමරියට සිද්ධවුණේ මෙය ජීවිතයේ අඳුරු කාලපරිච්ඡේදයක උදාවදැයි සිතමින් දෙගිඩියාවට පත්වෙන්නටයි.

එදා රාත්‍රි විවාහ මංගල උත්සවය පැවැති ශාලාව පුරා ඇගේ දෑස් සෙව්වේ කැමිලා කුමරියගේ රුවයි.

‘ඇය එහි සිටින බව මම දැන සිටියා. කවුරුත් සිටියේ සතුටින්. ඒත් මා සිටියේ සතුටින් නෙවෙයි. උත්සව ශාලාවේ ආසන අතරින් ඇවිද යද්දි ඔන්න මං දකිනවා කැමිලා කුමරිය ඉන්නවා. ලා අළුපාට හිස් වැස්මක් පැලඳ ඇය ඔහු දෙස ආදරයෙන් බලා සිටියා. ඇගේ පුත් ටොම් පුටුවක නැග අප දෙස බලා සිටින අයුරු මා දුටුවා. ඒක අමතක වෙන්නැති සිද්ධියක්.‘ පසුකාලෙක ඩයනා කුමරිය මිතුරියන් සමඟ එසේ කියනවා.

විවාහයෙන් පසුව වුණත් ඩයනා කුමරියට චාල්ස් ගැන කිසිම විශ්වාසයක් තිබුණේ නෑ. ඔවුන් මධුසමය ගත කරමින් සිටියදි පවා කැමිලාගේ රුව ඩයනාගේ සිතට මහා වදයක් වුණා.

‘මට හිතුණේම මිනිත්තු පහෙන් පහට ඔහු කැමිලාට දුරකතන ඇමතුමක් දී මධුසමය ගත කළ යුතු ආකාරය ගැන අහන්න ඇති කියලයි.‘

ඩයනා සිය සැමියා සමඟ කෙන්සින්ටන් මාළිගාවේ පදිංචියට යන්නේ මේ සියලු දුක් දෝමනස්සයන් සිතේ තුරුලු කරගෙනයි. ඒ සියල්ල මැද විලියම් සහ හැරී කුමරුට උපත දුන් ඩයනාගේ ජීවිතයේ කඩා වැටීම ඇරැඹෙන්නේ චාල්ස් - කැමිලා එළිපිටම නටන්නට පටන් ගැනීමත් සමඟයි.

ඒත් අන්තිමේදි ඇය මේ හැලහැප්පීම විඳ දරාගන්නේ ආසියාවේ බොහෝ විවාහක කාන්තාවන් මෙන් දරු දෙදෙනා ගැන සිතමිනුයි. කුඩා විලියම් සහ හැරී කුමරුවන් සමඟ වැඩිපුර කාලය ගත කරමිනුත්, ‍ලොව පුරා විවිධ සුබසාධන වැඩකටයුතුවලට සහභාගි වෙමිනුත් ඇය මේ දුක තුනී කරගත්තා.

ඊට හරියටම අවුරුදු 8කට පස්සේ ඔන්න ඩයනාට ඇගේ ජීවිතයේ වඩාත්ම නිර්භීත රාත්‍රිය උදාවුණා. එදාත් හොඳටෝම වැස්සා. කැමිලා කුමරියගේ සොයුරියගේ 40 වැනි උපන්දින සාදයට චාල්ස් කුමරු සමඟ ඩයනා කුමරිය සහභාගි වුණේ අවුරුදු ගණනාවක් සිතේ ගුළිකරගෙන සිටි වේදනාව මුදා හැරීමේ චේතනාවත් සිතේ හංඟාගෙනයි.

ඇගේ ජීවිතය අඳුරට තල්ලු කළ පෙම්ලොව ප්‍රතිවාදිනිය එදා රාත්‍රියේදි ඩයනා කුමරියට මුහුණට මුහුණ හමු වනවා.

‘එදා කවුරුවත් හිතුවේ නෑ මම ඒ විදියට හැසිරේවි කියලා. ඒත් මට පුදුම ආත්ම ශක්තියක් දැනුණා. ඒ කවුරු නිසාවත් නෙවෙයි මගේ දරු දෙන්නා නිසා.‘

‘මම හිතාගත්තා මේ ‘ගෑනිට‘ හාද්දක් දීලා ‘හෙලෝ‘ කියන්නෙ නෑ කියලා. ඒ වෙනුවට මම සාමාන්‍ය විදියට අතට අත දුන්නා. ඒක මම කරපු ලොකු දෙයක් හැටියටයි මට දැනුණෙ. හැමෝම අපි දෙන්නා දිහා බලාගෙන හිටියා. ඒ වෙද්දි හැමෝම දැනගෙනයි හිටියේ කැමිලාගෙත් චාල්ස්ගෙත් සම්බන්ධය ආපහු අලුත් වෙලා කියලා. මට කිසිම බයක් දැනුණේත් නෑ.‘

ඇය අමුත්තන් සමඟ චකිතයකින් තොරව සිනාව බෙදා ගත්තා. වෙනදාටත් වඩා සුහදව කතා බස් කළා. එහෙත් මොහොතකින් ඇයට පෙනුණේ සැමියා සහ කැමිලා කුමරිය ශාලාවේ නොමැති බවයි. ඇය තැති ගත්තා. ඇය වහා ඔවුන් සොයා ගියා. ඔවුන් සිටියේ පහළ මාලයේ යම්කිසි කතාබහක නිරත වෙමිනුයි. එතැන තවත් අමුත්තෙක් හිටියා.

‘ඉතිං මම හිතුවා ඔන්න දැන් තමයි මගේ වාරය කියලා. මම ඔවුන් අතරට ගිය සැණින් ඔවුන් ආපහු උත්සව ශාලාවට යෑමට සූදානම් වුණා. එතකොට තමයි මම කිව්වේ කැමිලා මට ඔයත් එක්ක කතා කරන්න ඕනෑ කියලා. චාල්ස් සහ අමුත්තා බිමට නැඹුරු කරගත් හිසින් යුතුව එතැනින් නික්ම ගියේ හරියට කුකුළු පැටවු දෙන්නෙක් වගෙයි.

ඊළඟට මම කැමිලා දිහාවට හැරුණා. කැමිලා මේ බලන්න. මෙතැන මොකක්ද වෙන්නෙ කියලා මම හොඳටම දන්නවා. එතකොට එයා මා දිහා පුදුමයෙන් වගේ බලලා මෙහෙම කිව්වා.

ඩයනා ඔයා මොනව ගැනද කතා කරන්නෙ කියලා මම නම් දන්නෙ නෑ කියලා. මම කිව්වා කැමිලා ඔය දෙන්නා අතර මොනවද වෙන්නෙ කියලා මම දන්නවා කියලා. එතකොට එයා මට මෙහෙම කියනවා.

‘ඩයනා ඔයාට හැමදේම ලැබිලා තියෙනවා. හොඳ සැමියෙක්. ලස්සන හුරුබුහුටි ළමයි දෙන්නෙක්. තව මොනවද ඔයාට ඕනෙ?

‘මට මගේ සැමියා ආපහු දෙන්න...‘මම කැමිලාට එහෙම කිව්වා. ‘ඔයාට මාව මෝඩියක් වගේ පේනවා ඇති. මම තමයි ඔය දෙන්නා අතර එකම බාධකය කියලා ඔයාලා හිතන බවත් මම දන්නවා. මේ විදියට කතා කරන එකට මට සමාවෙන්න. ඒත් මට මෙහෙම කතා නොකර බෑ.‘ එහෙම කියලා මම උත්සව ශාලාවට ගියා.

එදා රාත්‍රියේ මම හොඳට කෑවා බීවා. හොඳට සතුටුවුණා. ඒත් කැමිලා පැත්තකට වෙලා බලා හිටියා. ඒක මගේ සතුටට හේතුවුණා.

‘කොහොම නමුත් චාල්ස් - කැමිලා පෙම් පළහිලව්ව නවත්වන්න ඇයට පුළුවන් වුණේ නෑ. අන්තිමට 1992 දි චාල්ස් ඇගෙන් වෙන්වුණා. ඔවුන් දික්කසාද වෙන්න තීරණය කළා. දෙදෙනාගේ දික්කසාදය සිද්ධ වෙන්නේ 1996 වසරේදියි.

ඇයට ඇගේ සැබෑ ආදරය හමුවන්නේ ඊටත් වසරකට විතර පස්සේ. 1997 ජූලි මාසයේ ඇය ඩොඩී අල් ෆයිඩ් සමඟ පෙමින් බැඳෙනවා. ඒත් ඇයට ජීවත් වෙන්න වාසනාව තිබුණේ, ඒ ආදරය විඳින්න වාසනාව තිබුණේ මාසයක් වගේ කෙටි කාලයක් විතරයි.

ඩයනා කුමරිය ගැන කොයි කවුරුත් විවිධ අදහස් පළ කරනවා. සමහරුන්ට ඩයනා කියන්නේ තවත් ගැහැනියක් විතරයි. තවත් සමහරුන්ට ඩයනා කියන්නේ මෝස්තරකාරියක්. පිරිමි පහස නැතුවම බැරි, ආශාවන්ට වහල් වුණු ගැහැනියක් විදියට තවත් සමහරු ඇය ලේබල්ගත කරනවා. ඒත් ඇගේ පෞද්ගලික ජීවිතය ගැන හරියටම දන්නා ඇගේ සමීපතම මිතුරියන්ට අනුව නම් ඩයනා කියන්නේ පුදුමාකාර සංවේදි හිතක් ඇති ජීවිත කාලය පුරාම සැබෑ ආදරය සොය සොයා ගිය අහිංසක ගැහැනියක්.

ෆවුස් මොහොමඩ්
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top