Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 16
1,432
Views
රෂ් නිර්මාණයට රංගන ශිල්පියෙකු ලෙස සේම නිෂ්පාදක අංශයෙනුත් ඔබේ දායකත්වය ලබාදීලා තිබෙනවා. අපි ඒ ගැන මුලින්ම කතා කරමු?

මේ චිත්‍රපටය නිර්මාණය කිරීමේදී මුහුණපාන්න වූ අපහසුතා එමටයි. මේ රටේ ස්වභාවය ඒකයි. මේකෙදි මුහුණදුන් පළමු ප්‍රශ්නය තමයි ‘රෂ්’ කියන නම. නම සම්බන්ධව ඇතැමුන් ප්‍රශ්නකර සිටියත් අපි එක අදහසක සිටියා. අපි දාන්නෙ ‘රෂ්’ කියන නම තමයි කියලා. මොකද ලෝක සිනමාව ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට අපට ගමන් කරන්න බැහැ. කොහොම වුණත් මේ වනවිට ඒකම අලුත් විදිහේ දැනෙන නමක් බවට පත්වෙලා තිබෙනවා. ඒ නමත් එක්කම චිත්‍රපටයේ රූපරාමු දකිනකොට මිනිසුන්ගේ ආකර්ෂණය ඊට හිමිවෙනවා. නමුත් ඉදිරි දැක්මක් සහිතව තමයි කොපමණ බාධක ආවත් අපි මේ චිත්‍රපටය කරගෙන ගියේ.

අපි නිර්මාණකරුවන් නම් නිර්මාණයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සමාජ යහපත නම් සමාජ යහපත යන්නෙන් අර්ථගැන්වෙන්නේ සමාජයේ ජීවත්වන මිනිසුන්ගේ යහපත නම් නිෂ්පාදකවරයාගේ යහපතත් අපි සිතිය යුතුයි. නිෂ්පාදකවරයාත් සමාජයේ ජීවත්වන මනුෂ්‍ය‘යෙක්. ඒ වෙනුවෙන් වගකීමක් සිනමාකරුවාට තිබෙනවා. චිත්‍රපටය තිරගත වී අවසන් වනවිට නිෂ්පාදකගේ බලාපොරොත්තුව ඉටුවිය යුතුයි. එය ලොකු වගකීමක් වුණත් බොහෝ දෙනෙක් පැහැරහරින බලාපොරොත්තුවක්. ඒක අපට පුරුදු නැහැ. අපි පුරුදු වෙලා තියෙන්නේ පොලු තියලා. නමුත් ‘රෂ්’ නිසා අපි පොලු කියන සංස්කෘතියෙන් මිදිලා නිෂ්පාදකවරයෙකු රැකගැනීමේ සංස්කෘතියට එළඹෙනවා.

මේ චිත්‍රපටය මුදාහරින්නේ එළඹෙන 15 වැනිදා. මේ ගෙවෙන්නේ ජනාධිපතිවරණ මැතිවරණ කාලසීමාවක්. ලෝකේ සෙසු රටවල නම් මැතිවරණය සමාජයේ සාමාන්‍ය ජනජීවිතයට කිසිදු බාධාවක් උදා කරන්නේ නැහැ. හැමදෙනාටම අවශ්‍ය නිදහස ලැබී තිබෙනවා. එය තමයි නිවැරදි ප්‍රජාතන්ත්‍රවාදය ලෙස මම දකින්නේ. නමුත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මුලාවක්. මිනිසුන් අයාලේ යැවීමක්.

කොහොම වුණත් අපි ලොකු වගකීමක් අරගෙන මේ නිෂ්පාදකවරයාව චිත්‍රපටයට යොමු කරගෙන තිබෙනවා. ඔහුට පොරොන්දු දීලා ති‍යෙනවා. ඒ පොරොන්දු වූ ලෙසට හොඳ චිත්‍රපටයක් නිර්මාණය කරලා තියෙනවා. ප්‍රේක්ෂක රසවින්දනයට සාධාරණයක් කළ හැකි චිත්‍රපටයක් නිර්මාණය කරලා තියෙනවා. රංගන ශිල්පීන් ශිල්පිනියන් ලෙස අපේ අත්දැකීම් තුළින් අපට තෘප්තිමත් විය හැකි නිර්මාණයක් හදලා තියෙනවා. අධ්‍යක්ෂවරයා ඔහුට තෘප්තිමත් විය හැකි චිත්‍රපටයක් නිර්මාණය කරලා තියෙනවා.

මේ නිසා මම ප්‍රේක්ෂක ඔබට කියන්නේ අපට තිබෙන විවිධ බාධක මධ්‍යයේ වුණත් මේ චිත්‍රපටය බලන්න. මොකද ජනාධිපතිවරණය නිමිත්තෙන් මාධ්‍ය විසින් හදන තදබදය නිසා ප්‍රේක්ෂක ඔබ අවුල් වෙන්න ඉඩ තිබෙනවා. එනිසා මනස නිරවුල් කරගෙන රසවින්දනයට යොමුවන්න. ඡන්දෙට කලින් මේ චිත්‍රපටය රසවිඳින්න කියලා මම මගේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

උද්දික නම් සිනමා වීරයා ‘රෂ්’ සමග අලුතින් සමාජගත වෙනවා. ඒ ගැන ඔබේ දැක්ම මොකක්ද?

මෙගා ටෙලිනාට්‍ය කියලා චිත්‍රපට ටිකක් හදාගෙන අපි ඒවම කර කර ඉන්නවා. නමුත් ඊට වඩා හොඳ දේවල් මේ ලෝකේ තියෙන්න පුළුවන්. අපි අත්හදා බැලීම් කරන්න ඕනි. එකම කර කර ඉන්න එක නෙවෙයි නිර්මාණකරුවාගේ වගකීම. නිර්මාණයක් කියන්නේ මානයක් නැති දුරකට. ඒ නිසා පුළුල්ව හිතලා නිර්මාණ කරගෙන ගියොත් තමයි රටේ මිනිසුන්ගේ රසවින්දනය පුළුල් වෙන්නේ.

කොහොම වුණත් සිංහල බෞද්ධ අනන්‍යතාව නියෝජනය කරන චරිත රැසක් සිනමාව තුළ පසුගිය සමයේදී මම නිර්මාණය කළා. සමහර අය මම රජ චරිත විතරයි කරන්නෙ කියලා හඳුන්වන්නත් ඇති. නමුත් අපේ රටේ ඓතිහාසිකව වැදගත්ම චරිත ටික තමයි මම නිරූපණය කලේ. ඒ ගෞරවය මගේ හිතේ තියෙනවා. එය නැරඹූ ඔබටත් මම ඒ ගෞරවය දෙනවා.

නමුත් රංගන ශිල්පියෙක් ලෙස මට එකකම රැඳිලා ඉන්න අමාරුයි. ජයන්ත චන්ද්‍රසිරි කියන පර්යේෂණාත්මක අද්විතීය අධ්‍යක්ෂවරයා සහ ශිවගුරුනාදන් කියන විකල්ප නිර්මාණ අත්හදා බලන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයා හැරෙන්න මාව වෙන විදිහකට පාවිච්චි කරන්න ඕනි කියලා හිතපු අධ්‍යක්ෂවරු අඩුයි. එතනදි මට තිබුණු අවශ්‍යතාව ඉෂ්ට කරගැනීමේ ආසාව මට තිබුණා. ඒක එකක්.

ඒ වගේම මාව බොහෝ අය දකින්නේ සීරියස් කැරැක්ටර් එකක් විදිහටයි. එවන් පසුබිමක මහේෂ් මුණසිංහ කියන නිර්මාණකරුවා මට මුණගැහෙනවා. ඔහු කියනවා ‘රෂ්’ කියන චරිතය කරන්නේ උද්දිකම තමයි කියලා. ඔහුගේ ඒ අදහස වෙනස් කරන්න විවිධ අය උත්සාහ කළත් ඔහු සිය මතය තුළම සිටිනවා. මම ඒ ගැන මගේ ගෞරවය ඔහුට පුදකරනවා.

ඒ වෙනුවෙන් මට මගේ ප්‍රතිරූපය වෙනස් කරන්න සිදුවෙනවා. හීරෝ කියන ප්‍රතිරූපය කොහොමද කියන බටහිර, හින්දි, දකුණු ඉන්දීය සිනමා තුළ අපි දකිනවා. ඔහු තුළින් තමයි අපි මේ සිනමා නිර්මාණයෙන් කියන්න හදන පණිවුඩය ඒත්තු ගන්වන්නේ. ඒ නිසා පැහැපත් ලස්සන රූපයක් හදාගන්න සිද්ධ වුණා. ඒ සඳහා ගොඩගම මසල් පවර් ජිම් ඇන්ඩ් ෆිට්නස් සෙන්ටර් වෙත යනවා. අමිල තමයි ප්‍රධාන උපදේශක වෙන්නේ. ප්‍රසාද් කියන උපදේශකවරයාත් ඇතුළු එහි කාර්යමණ්ඩලය මේ කටයුත්තට ලොකු සහායක් ලබාදුන්නා. අමිල මේ වෙනුවෙන් කිසිදු මුදලක් අය නොකළ බව මෙහිදී සිහිපත් කළ යුතුයි. රෂ්ගේ රූපය හදාගන්න දායක වුණු තැන තමයි අමිලගේ ජිම් එක. ඊට අදාළ රූපය සකසාගන්න මාස 07ක පමණ කාලයක් ගතකළා.

ඒ වගේම චිත්‍රපටයේ කතා තේමාවට අදාළ සටන් ජවනිකා මාස්ටර් සමන් යටතේ මමත්, සාරංගත් හැදෑරුවා. එමෙන්ම මම චිත්‍රපටවල මීට පෙර ඩාන්ස් කරලා නැහැ. මේ සිනමා නිර්මාණයට අවශ්‍ය ඩාන්ස් ඇක්ට් කේ.ජී. ටුවින්ස් විසින් පුහුණු කළා.

රෂ් කියන්නේ උන්මාදනීය වූ ප්‍රේමාදරයක් වෙනුවෙන් සටන් කරන කුඩා කල සිටම මව් සෙනෙහස අහිමි වූ තරුණයෙක්. ඔහුට ලැබෙන පළමු ආදරය රැකගන්න හරි හෝ වැරදි ක්‍රම සොයාගෙන යනවා. අපි මේ සමාජය තුළ එකිනෙකාව තේරුම්ගත යුත්තේ කෙසේද කියලා අපි හිතන්න ඕනි. අනෙකාව තේරුම් අරගෙන කටයුතු කිරීමේ ඉවසීම අප තුළ තියෙන්න ඕනි.   සමාජයේ ජීවත්වෙද්දි අපි ගැන 50කුත්, අනෙකා ගැන 50කුත් හිතන්න ඕනි. එවිට තමයි සමාජය සමබර වෙන්නේ.

මහේෂ්ගේ ඉවසීම හා දරාගැනීමේ ශක්තිය මේ චිත්‍රපටය සාර්ථක කරගන්න බෙහෙවින් බලපානවා.

රෂ් සඳහා නවකයන් රැසක් දායක වෙනවා. නවකයන් රැසක් සමග මේ නිර්මාණය සාර්ථක කරගත්තෙ මොන විදිහටද?

මේ චිත්‍රපටයේ අලුත් කියන අය බොහෝ දෙනෙක් සිටියා. ප්‍රධාන රංගන ශිල්පිනිය වන අසංකි ටෙලි නාට්‍ය කිහිපයක රංගනයේ යෙදී තිබුණත් සිනමාවට අලුත් කෙනෙක්. ඒ වගේම සංගීත අධ්‍යක්ෂවරයා අලුත් කෙනෙක්. අධ්‍යක්ෂවරයා වන මහේෂ්, නිෂ්පාදකවරයා, නර්තන අධ්‍යක්ෂවරයා සේම තවත් රංගන ශිල්පීන් කිහිපදෙනෙක්ම අලුත්.

මෙහි අසංකිගේ රංගනය සම්බන්ධව යමක් කිව්වොත් ඇයගේ රඟපෑම් බොහොම හොඳ මට්ටමක තිබෙනවා. උවමනාවට වඩා රඟපාන්න යන්නෙත් නැහැ, රඟනොපා ඉන්නෙත් නැහැ. ඇයට ලොකු උනන්දුවක් තිබුණා සහ මේ චරිතය වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා.

මම ඇත්තටම කැමතියි අලුත් අයත් එක්ක රඟපාන්න. නමුත් ඔවුන්ට වගකීමක් තියෙනවා. ඔවුන් සිය චරිතය ගැන සෙවිය යුතුයි. සවන්දිය යුතුයි. බලාගෙන සිටිය යුතුයි. පරිශීලනය කළ යුතුයි. මමත් හැම චරිතයක් තුළම අලුත්. එහෙම නොවුනොත් එකම රංගනයක් තමයි එන්නේ.

අපි අලුත් දේවල් නිරන්තර සොයා යා යුතුයි. අපේ සිනමා කර්මාන්තයට අලුත් මංමාවත් විවර කරගත යුතුයි. එහි එක් අවස්ථාවක් තමයි ‘රෂ්’ කියලා කියන්නේ.

රෂ් මාධ්‍ය ප්‍රදර්ශනය හා මංගල දර්ශනය නරඹන ප්‍රේක්ෂකයන්ගේ අලුත් චරිතයට දක්වන ප්‍රතිචාර කෙබඳුද?

සමාන්‍ය රසිකයො මාව වෙනස් විදිහකට දකිනවා කියන කාරණයට බෙහෙවින් ප්‍රිය බව ලැබුණු ප්‍රතිචාරවලින් හැඟී ගියා. නමුත් සමනල සංධ්වනියට දැඩිව ප්‍රියකරන ප්‍රේක්ෂකයන් කියනවා මේක නෙ‍වෙයි ඔබේ ස්වරූපය කියලා.

මගේ වෙනස් රූපයක් දකින්න කැමති පිරිසට මේක අස්වැසිල්ලක්. එහෙම ප්‍රේක්ෂකාගාරයක් තමයි අපට තිබිය යුත්තේ. මම කැමතියි මේ චරිතය ගැන ඔබගේ අවංක අදහස් දැනගන්න.

මැතිවරණ සමයේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරවීම අභියෝගයක් නේද?

ඒක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ. මේ වෙලාවේ ඒ සඳහා ප්‍රේක්ෂකයන් විදිහට ඔබේ සහාය අවශ්‍ය වෙනවා. ඔබට අපිත් එක්ක බද්ධ වෙලා ඉන්න වෙනවා. මොකද සිනමා කර්මාන්තයේ වටිනාකම් ඉස්මතු කරමින් කර්මාන්තය ගොඩනගමින් ඒකට බැදුණු මාධ්‍ය කලාවක් අද නැහැ. ඒකටත් හේතුව දේශපාලනීකරණයම තමයි. මේ නිසා ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලන්නේ ‘රෂ්’ නරඹන්න කියලයි.

රෂ් ඔය කියන ඉලක්ක සපුරාගත්තාද?

ප්‍රශ්න ගැටලු රැසක් තිබුණත් අපි උත්සාහ කරනවා ගඟට බැහැලා පීනන්න. තමන් ගැන හිතන්නෙ නැතුව චිත්‍රපටය ගැන හිතා වැඩ කරන පිරිසක් අපට ඉන්නවා. ඒ නිසා අපේ ඉලක්ක සපුරාගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. අපේ කණ්ඩායම චිත්‍රපටයේ අධ්‍යක්ෂ මහේෂ් හොඳට මෙහෙයවනවා.

උද්දික කියන රංගන ශිල්පියා ඉදිරියට වැඩි වශයෙන් දකින්න ලැබෙන්නේ ආකර්ෂණීය තරුවක් විදිහටද?

නැහැ. කලාත්මක සිනමාව තුළත් ග්ලැමරස් (ආකර්ෂණය) එක ඕනි. ලොකු තිරය තුළ වටිනාකම පේනකොට තමයි ඒ චිත්‍රපටයේ කතාව මිනිසුන්ගේ හදවතට දැනෙන්නේ. අපි දෙවියෝ විශ්වාස කරන්නෙ ඇයි? දෙවියන් අපට නොපෙනෙන නිසයි. ඒ නිසා තමයි ඉන්දියාවේ සිනමාව දේවත්වයෙන් සලකන්නේ. ඇත්තටම සිනමාව දේවත්වයෙන් සැලකිය යුතුයි. මොකද චිත්‍රපටයක් බැලුවම අපි කොච්චර තෘප්තිමත් වෙනවද? ඒ තෘප්තිමත් වෙන්නෙ චිත්‍රපටයේ අවසන් ප්‍රතිඵලය දෙස බලලයි. හැබැයි මනස සුවපත් කරන්න පුළුවන් තැනට සිනමා නිර්මාණයක් හැදීම මොන තරම් භාරදූර කටයුත්තක්ද? එහි එක් අංගයක් තමයි ග්ලැමරස් (බියුටි) කියන කාරණය. හදවතට දැනෙන කතන්දරය තිබිය යුත්තේ බියුටි කියන එක ඇතුළෙයි. කලාත්මක සිනමාව කඩමළු ඇඳගෙන දුප්පත් විදිහට පෙන්වන්න අවශ්‍ය නැහැ කියන එකයි මගේ අදහස.

විවිධ කතා තේමා ඔස්සේ එන විවිධ චරිතවලට පණ පොවන්න මම ආසයි. නමුත් ඒවා අපට අහුවෙන්නෙ නැත්තෙ ඇයි කියන එක තමයි ප්‍රශ්නෙ. සමහර වෙලාවට අපි ජීවත් වුණාට ජීවත් වෙනවා කියලා දැනෙන්නෙ නැද්ද දන්නෙ නෑ. ඒ නිසා හොඳ කතා හොයාගෙන ලස්සන චිත්‍රපට හදමු.

ලස්සන රූපරාමු තියෙන, ලස්සන මිනිස්සු ඉන්න, හැබැයි මිනිසුන්ගේ ඇතුළාන්තයට කතා කරන සිනමාවකට තමයි මිනිස්සු ආකර්ෂණය වෙන්නේ, රස විඳින්නේ. අපි ඒක තමයි හොයාගන්න ඕනි.

අපට අයිති කියලා කිසිම දෙයක් මේ ලෝකයේ නැහැ. නමුත් අපි කළ යුතු වගකීම් ටිකක් තියෙනවා. ඒ කරන්න තියෙන දේ අප කළ යුතුයි. ඒ වෙනුවෙන් වැඩකළ යුතුයි. අලුත් පරම්පරාවට මම හරිම කැමතියි. හොඳ ඇක්ටින් තියෙන, හොඳ ගමනක් යන්න පුළුවන් ඕනි කෙනෙක් එක්ක මම වැඩ කරනවා. මෑතකදී මම තරුණ පිරිසක් සමග කෙටි චිත්‍රපටයකට දායක වුණා.

 

නිරෝෂන් ප්‍රේමරත්න
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top