Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 09
858
Views
සාමාන්‍යයෙන් හෝටලයක කොත්තු, රයිස් දැමීම මෙන්ම කෑම වර්ග හැදීම පිරිමින් අතින් සිදුවන කාර්යයක් වුවත්, උඩවලව හන්දියේ විශ්ව මාතර හෝටලයේ කටයුතු නම් සම්ප්‍රදායෙන් ටිකක් වෙනස්.
 අනෙක් හෝටල්වල පිරිමින් අතින් සිදුවන බොහෝ රාජකාරී මෙහි සිදුවන්නේ කාන්තාවක අතිනි. නමින් ශෂිකලා නම් වූ ඇයට කොත්තු, රයිස් දැමීම සාමාන්‍ය දෙයක් වන අතර, ඇය එම කටයුතු සිදුකරන්නේ පිරිමියෙකුටත් වඩා වේගවත් ලෙසිනි.
 
කෙසේ නමුත් ශෂිකලා කොතරම් උත්සාහවන්ත කාන්තාවක වුවත්, ඇය අද ජීවත්වන තත්ත්වයට පත්වීම හා බැඳුණු කඳුළු කතාවක්ද වෙයි. උඩවලව හන්දිය විශ්ව මාතර හෝටලයේදී අහඹුවෙන් අපට හමුවූ ඇගේ කතාවයි මේ.....

රංජනී ශෂිකලා පීරිස් නම් වූ ඇයට හයහතර නොතේරෙන කාලයේම දෙමාපිය රැකවරණය අහිමි විය. මේ වනවිට 37 වැනි විය ගෙවා දමමින් සිටින ඇය ඇඹිලිපිටිය, කොළඹගේආර ප්‍රදේශයේ ජීවත් වුවත්, ඇගේ උපන් ගම වන්නේ බලන්ගොඩයි.
 
"මට අවුරුදු පහක් වෙනකොට අම්මයි, අප්පච්චියි දෙන්නම නැතිවුණා. අප්පච්චි නම් මම කුඩා කාලයේදීම මිය ගිහින්. ඒත් අම්මා නම් හිටියා මතකයි. මගේ අම්මා මම පුංචි කාලයේදීම ටික දවසකට මාව බලාගන්න කියලා දොස්තර මහත්තයෙක් ළඟ නතර කරලා ගිහින් තියෙනවා. ඒත් ආර්ථික අපහසුතාවක් හරි වෙන හේතුවක් නිසා හරි අම්මා ආයේ කවදාවත් මාව එක්කගෙන යන්න ආවෙ නැහැ. ඒ දොස්තර මහත්තයත් ටික දවසක් මාව තියා‍ගෙන ඉඳලා තියෙනවා. නමුත් වැඩි කාලයක් මට දොස්තර මහත්තයලත් එක්ක ඉන්න ලැබිලා නැහැ. එයාලත් එක්ක දවසක් මම කොළඹ ආපු වෙලාවක එයාලට මාව අතරමං වෙලා තියෙනවා..."
 
"මම තනියම කොළඹ අතරමං වෙලා ඉන්නවා දැකපු නැන්දා කෙනෙක් මගේ දෙමාපියන්ව හොයලා දෙන්න කියලා කොටුව පොලීසියට මාව භාරදීලා තියෙනවා. පොලීසියේ අයත් මගේ දෙමාපියෝ හොයන්න උත්සාහ ගත්තත් බැරි වෙලා. ඒ නිසා ඔවුන් මාව නුගේගොඩ, දෙල්කඳ ළමා සංවර්ධන ආයතනයට භාරදීලා තියෙනවා. එතැන් සිට මට අවුරුදු 18ක් වෙනකම් එහි අධ්‍යාපනය ලබමින් හැදී වැඩුණා. මට අයියා කෙනෙක් හිටියා කියල මතකයි. නමුත් අද ඒ කිසි කෙනෙක්ගේ තොරතුරු මගේ ළඟ නැහැ...."
 
"දෙමාපියන් නැති කම්පනයෙන් හිටපු නිසා මාව ළමා නිවාසෙට භාර දීපු මුල් කාලයේ මම ගොළුභාවයට පත්වෙලා තිබෙනවා. ඒ නිසා මට පාසලකට ඇතුළත් වෙලා හරියට ඉගෙන ගන්න බැරි වුණා. නමුත් මට පාසල් යන්න බැරිවුණා කියලා, එහි භාරකරුවන් මාව අතහැරියේ නැහැ. මට උගන්වන ගමන් කොහොම හරි සනීප කළා. මට දෑතේ රැකියාවනුත් ගොඩක් කියලා දුන්නා...."
 
ශෂිකලාට උවමනාව තිබුණේ අවුරුදු 18 සම්පූර්ණ වුණාට පසුව ඩුබායි ගිහින් රැකියාවක් කරන්න. ඒ අනුව වැඩි කල් නොගොස්ම ඇගේ ආශාව සම්පූර්ණ විය.
 
නමුත් වසරක් පමණ ඩුබායිහි රැකියාවක් කළ ඇය නැවත ලංකාවට පැමිණ ඇඟලුම් කර්මාන්තශාලාවක රැකියාවක නිරත වූවාය. ඉන් ශෂිකලා, ඇයට අවශ්‍ය සෑම රත්‍රන් ආභරණ සකසාගෙන විවාහයකට සූදානම් වූවාය.
 
ශෂිකලා කුඩා කාලයේදීම ආදරය අහිමි වූ කාන්තාවකි. ඒ නිසාම ඇය වැඩිපුර ආදරය සෙව්වාය. නමුත් ඇය සෙවූ ආදරය තරමක් වෙනස් වූවකි. සමහර විට ඇගේ බලාපොරොත්තු ගැන ඔබ පුදුම වේවි.
 
"මම කුඩා කාලයේදීම ආදරය, කරුණාව අහිමිව ජීවත් වූ කෙනෙක්. ඒ නිසා මාව ආදරයෙන් බලාගනියි කියල හිතල මට කැමැත්තක් තිබුණේ සාමාන්‍ය තත්ත්වයක ඉන්න කෙනෙක්ට වඩා ආබාධිත කෙනෙක්ව කසාඳ බදින්න. නමුත් මගේ කැමැත්තට ළමා නිවාසෙ අය කැමති වුණේ නැහැ...."
 
"නමුත් දිගින් දිගටම තිබුණු මගේ ඉල්ලීම නිසා ඒ අය මට කිව්වා ඔයා කැමති කෙනෙක් කියන්න විවාහ කරලා දෙන්නම් කියලා. ඒ අනුව පාදයක් නැති කෙ‍නෙක්ගෙන් මට ආපු යෝජනාවකට කැමති වුණා. අවුරුදු 26දී මම විවාහ වුණා. එයාව කසාඳ බැදලා කොළඹගේආර (ඇඹිලිපිටිය නගරටය ආසන්නයේ) පදිංචියට ආවා. අපි දැන් බැඳලා මෙහෙට ඇවිල්ලා අවුරුදු 13ක් වෙනවා. මට පුතුන් දෙන්නෙක් ඉන්නවා, එක්කෙනෙක්ට අවුරුදු 12යි, අනෙක් කෙනාට අවුරුදු 07යි. මගේ මහත්තයට අවුරුදු 45යි...."
 
ශෂිකලාගේ ස්වාමියා ත්‍රිරෝද රථ රියදුරෙක් ලෙස රැකියාවක නිරත විය. නමුත් එම රැකියාවෙන් පවුලේ සියලු අඩුපාඩු පිරිමසා ගත නොහැකි විය. දරුවන් දෙදෙනෙක්ද සිටින නිසා ශෂිකලාගේ පවුලට අවශ්‍ය වූයේ හැකි ඉක්මනින් ඔවුන්ටම කියා නිවහනක් තනා ගන්නටය.
 
නමුත් ශෂිකලාගේ සැමියා අබාධිත තත්ත්වයෙන් සිටි නිසා ඔහුට වැඩි ආදායමක් ඉපයිය හැකි ස්වයංරැකියාවක් කිරීම අපහසු කටයුත්තක් විය. ඒ නිසාම ශෂිකලාටද උවමනාව තිබුණේ ස්වාමියාටත්, ගෙදර ආර්ථිකයටත් හයියක් වෙමින් කුමක් හෝ රැකියාවක් කිරීමටය.
 
මමත්, මට පුළුවන් හැම රස්සාවක්ම කළා. මුලින්ම රෙදි විකුණුවා, ස්වයං රැකියාවක් විදියට සබන් හදලා විකුණුවා. නමුත් ඒවායෙන් හරිහැටි ආදායමක් ලැබුණෙ නැති නිසා ඒ එකක්වත් වැඩි කාලයක් කරගෙන යන්න බැරි වුණා.
 
"මම ළමා නිවාසේ ඉගෙන ගත්ත කාලේ මනමාලියන්ට අන්දන්න, මැහුම් ගෙතුම් වැඩ හැමදෙයක්ම ඉගෙනගෙන තිබුණා. නමුත් ඒ දේවල් ව්‍යාපාරයක් ලෙස කරන්න තරම් සල්ලි තිබුණේ නැහැ. ඒ නිසා මම කල්පනා කළා නිතරම අතේ සල්ලි ගැවසෙන, පවුලත් ගොඩනගාගෙන ජීවත් වෙන්න පුළුවන් රැකියා මොනවද කියලා...."
 
"ඒ අනුව මම මුලින්ම හෝටලයක වේටර් රස්සාවට ගියා. දවසට රුපියල් 600ක් ලැබුණා. එහෙම වැඩ කර කර ඉන්නකොට මම නිතරම දැකපු දෙයක් තමයි කොත්තු, රයිස් හදන හැටි. ඒවා හදන කෙනාටත් වැඩි ගාණක් දෙනවා කියලා මම දැනගත්තා. ඒ නිසා මම ගිහින් බැලුවා කොහොමද මේවා කරන්නේ කියලා. කොත්තු, රයිස් දැම්මෙත් මම වගේම දුප්පත් මල්ලි කෙනෙක්. එයා රෝල්ස්, එළවළු රොටී මේ හැමදෙයක්ම හදන්න පිටි අනන එකේ ඉඳන් කොත්තු ගහන හැටි දක්වා සියලු දේ කියලා දුන්නා. කාලයත් එක්ක මටත් ඒ දේවල් කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ මම ඒ හෝටලයෙන් අයින් වෙලා වෙනත් තැනක වැඩට ගියා. මට කොත්තු, රයිස් හැමදේම කරන්න පුළුවන් කියලා මම ඒ රස්සාව ඉල්ලුවේ. එතකොට මට දවසට රු. 1500ක් දුන්නා...."
 
"දිගින් දිගටම මම මේවා කරනකොට මගේ අතට සෑහෙන හුරුවක් ආවා. හැමදාම හවස හතරේ ඉඳන් පාන්දර හතර, පහ වෙනකම්ම වැඩ කළා. වැඩ වැඩි දවස්වලට දවසට රු. 2000කුත් දුන්නා. නමුත් ටික දවසක් එතන රස්සාව කරනකොට මට නිවාඩු දෙන්න අදිමදි කළා. මගේ මහත්තයාගේ තත්ත්වයක් එක්ක මට නිවාඩු අවශ්‍ය වුණා. නමුත් දවසේ පඩියට වැඩ කළ නිසා නිවාඩු ගත්තොත් සල්ලි නැහැ. ඒ කොහොම වුණත් මම නිදිමරාගෙන, අපහසුවෙන් වුණත් අවුරුදු එකහමාරක් විතර ඒ හෝටලයේ වැඩ කළා.."
 
"මේ කාලයේදීම තමයි මම උඩවලව හන්දියේ හෝටලයේ වැඩට ආවේ. ඒ අය මගේ දෙමාපියෝ වගේ. කඩේ අයිතිකාර නෝනා අම්මා කෙනෙක් දරුවෙක්ට සලකනවා වගේ හරිම ආදරෙන් මට සලකනවා. කවදාවත් අදිමදි කරන්නේ නැතිව නිවාඩු දුන්නා. අඩුපාවක් නැතිව සල්ලි දුන්නා. මට ආදරයෙන් සලකන අයත් එක්ක ජීවත් වෙන්න මමත් කැමතියි. ඒ නිසා දැන් අවුරුදු එකහමාරක විතර ඉඳන් මම හරිම කැමැත්තෙන් මේ හෝටලයේ වැඩ කරනවා. මමයි, මහත්තයයි අපිටම කියලා පොඩි ගේකුත් හදා ගත්තා..."
 
කොත්තු, රයිස් දැමීම ශෂිකලාට සරල කටයුත්තක් වන අතර, ඒ ගැන ඇය කතා කරන්නේ හරිම සැහැල්ලුවෙන්.
 
"මුලින් නම් පොඩි බයක් තිබුණා. පිරිමි අය වගේ හොඳින් මටත් කරන්න පුළුවන් වෙයිද කියලා. නමුත් මම හිතුවේ මේ ලෝකෙ ලෙහෙසියි කියලා රස්සාවක් නැහැ, හැමදේම අමාරුවෙන් තමයි කරන්න වෙන්නේ. ඒ නිසා මගේ හිතට හයියක් තිබුණා මට කරන්න බැරිවෙන එකක් නැහැ කියලා...."
 
"මම සමහර දවසට පිටි කිලෝ 50ත් වැඩ කරනවා. මම හිතන්නේ මේක මගේ සහජ හැකියාවක් කියලා. අනික මම පුංචි කාලේ ඉඳන්ම කෑම හදන්න කැමතියි. ඒ නිසා මම හිතුවා මට කරන්න බැරිවෙන එකක් නැහැ කියලා. මම පිරිමි අයටත් වඩා හොඳින් කරනවා කියල හිතාගෙන තමයි මේ වැඩ පුරුදු වුණේ. හැමෝම කියනවා මගේ කොත්තු, රයිස් රසයි කියලා. කී දෙනෙක් රයිස්, කොත්තු කන්න ආවත් මම පොඩ්ඩක්වත් බය වෙන්නේ නැහැ. අද මම ගොඩක් සතුටින් මේ රස්සාව කරන්නේ..."
 
"මට දැන් කොත්තු, රයිස් දානවා කියන්නේ සාමාන්‍ය දෙයක්. මට තියෙන්නේ දැන් වෙනස් ඉලක්කයක්. මම ඩුබායි හිටපු කාලේ විදේශ කෑම වර්ග හදන්න ඉගෙන ගත්තා. ඒ දැනුමත් ප්‍රයෝජනයට අරගෙන කවදාහරි දවසක කඩකාමරයක් සමග මගේම කියලා ව්‍යාපාරයක් අරඹන්න අදහසක් තියෙනවා. ඒ වගේම මුදල් අපහසුතාව නිසා මම කරගෙන ගිය සබන් ව්‍යාපාරයත් අතරමැද නැවතිලා තියෙන්නේ. ඒකත් ගොඩනගාගෙන කොහොමහරි ඉස්සරහට යන්න තමයි බලාපෙරොත්තු වෙන්නේ. මොකද මගේ රස්සාව කියන්නේ කවදාහරි කඩා වැටෙන්න පුළුවන් එකක්..."
 
"එදා සිට අද දක්වාම මට පිහිටවූ අමතක කරන්න බැරි කිහිපදෙනෙක් ඉන්නවා. ඒ අතරින් සරත් වීරගම සර්, එයාගේ බිරිඳ චාන්දනී මැඩම් හා පුතුන් දෙදෙනා විශේෂයි. ඒය අය මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ගොඩක් උදව් කරනවා. ඔවුන් මගේ අම්මයි තාත්තයි වගේ නිතරම මම ගැන හොයලා බලනවා..."
 
ජීවිතය මහා පුදුමාකාරය. දහසක් සුන්දර බලාපොරොත්තු, ප්‍රාර්ථනා, කඳුළු බවට පත්වන්නේ නිමේෂයකිනි. නමුත් ඇතැමුන් අතීතයට වෛර නොකර අනාගතය වෙනුවෙන් තම ජීවිතයට නව අරුතක් ලබාදෙයි.
 
අභියෝග හමුවේ නොසැලී නැගී සිටින ඔවුන් තම ජීවිතයට පමණක් සීමා නොවී තවත් බොහෝ දෙනෙකුට ආදර්ශයක්ද වෙයි. ශෂිකලාද එවන් චරිතයකි. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සමස්ත කාන්තාවන්ට අදර්ශයකි.
 
සංජීව ධර්මසේන
('අද' පුවත්පත.)
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top