Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 19
679
Views
"අපේ බෑනා අපිට ගහන්න ආවා. අපි ඌට ගැහුවා. අන්න මිදුලේ වැටිලා ඉන්නවා.." පසුගිය හය වැනිදා රාත්‍රී හතයි කාල පමණ වෙද්දි දුරකථන ඇමතුමක් ඔස්සේ එම පහරදීම පිළිබඳ තොරතුර ලැබෙන්නේ ඇල්පිටිය මුලස්ථාන පොලීසියට යි. ඇමතුම ලබා දුන් කාන්තාව තව දුරටත් පවසා සිටියේ මෙම සිද්ධිය වූයේ නවදගල, අක්කර 37 ප්‍රදේශයේ බවයි.
තොරතුර ලද වහාම ස්ථානාධිපතිවරයා කණ්ඩායමක් ද සමඟ සිද්ධිය වූ නවදගල බලා පිටත් වුණා.

රාත්‍රීය උදාවී වැසි බර ගතියක් තිබූ බැවින් ප්‍රදේශය දැඩි අඳුරේ වෙළි තිබුණා. යම් සිද්ධියක් වූ විට කෑ ගහස ශබ්ද ඇසෙන විට අසල්වාසීන් එම ස්ථානයට එක් රොක් වීම සාමාන්‍ය සිරිතක්. එහෙත්... මේ නිවස සොයා ගැනීම පවා පොලීසියට තරමක අපහසු කටයුත්තක් වූයේ පාර තොටේ කිසිවකුත් දකින්නට නොලැබුණූ නිසයි.
 
සිද්ධිය වූ ගෙවත්තට ඇතුලු වූ පොලිස් කණ්ඩායම දුටුවේ පහර කෑමට ලක් වූ පුද්ගලයා නිවසේ ඉදිරිපස දොර අසළ මිදුලේ වැටී සිටින අයුරුයි. ඔහුගේ හිස කුඩුපට්ටම් වී තිබුණා. ඒ අසළ පොල්ලකින් ගැලවී ගිය කැබැල්ලක් ද වැටී තිබුණා.
 
මෙලෙස ඝාතනය වී තිබුණේ ඇල්පිටිය පොලිස් වසමේ නවදගල කුමාරසිංහ මාවතේ පදිංචිව සිටි ඉලන්දරි දේව චින්තක රුවන් කුමාර නම් 35 හැවිරිදි පුද්ගලයෙක්. ඔහුට පහර දී තිබුණේ ඔහුගේ බිරිය වන 29 හැවිරිදි පයාගල ගේ අනෝජා කුමාරි හා නැන්දාම්මා වන පේරු තන්ත්‍රිගේ ආරියලතා යන දෙදෙනායි.

පොලීසිය මේ දෙදෙනා අත්අඩංගුවට ගත් අතර ප්‍රශ්න කිරීම්වලදි හෙළි වූයේ රුවන් කුමාරගෙන් දික්කසාද වීම සඳහා අනෝජා නඩු පවරා තිබූ බවත්, එසේ තිබියදි මොහු බලහත්කාරයෙන් නිවසට ඇතුළු වීමට උත්සහා කළ නිසා පහර දීම සිදු වී ඇති බවයි.
 
විමර්ශනවලදී හෙළි වූ තොරතුරුවලට අනුව අනෝජාත්, රුවන් කුමාරත් අසල්වැසියන්. කඳු, තැනිතලා වගුරු ආදියෙන් සමන්විත ඇල්පිටිය පොලිස් වසමේ රුවන් කුමාරගේ නිවස පිහිටා තිබුණේ අනෝජාගේ නිවට උඩහට වන්නට කඳු ගැටයේ යි. අනෝජාගේ නිවස ඊට පහළින් පිහිටා තිබූ අතර රුවන් කුමාර ආවේ ගියේ අනෝජාගේ නිවස අසළිනු යි.
 
ඒ වනවිට යොවුන් වියේ පසු වූ අනෝජා වෙත රුවන් කුමාරගේ සිත ඇදී ගියා. ඒ.. මීට අවුරුදු අටකට පමණ ඉහතදී.
 
රුවන්ගේ පියා කුලී කම්කරුවෙක්. මේ පැතිවල බොහෝ පිරිමින් සේම ඔහුද මතට ඇබ්බැහි වී සිටියා.
 
පියා මෙන්ම රුවන් ද අඩිය ගැසීම අරඹන්නේ සුජාත පුත්‍රයකු වූ නිසාම පියාගේ අඩිපාරේම යා යුතු බව සිතමින් විය යුතුයි.
 
උදේ කුරුඳු වාඩිවල වැඩට ගොස් හවසට මත්වතුර තොල ගා වැනි වැනි සිය නිවසට වෙත යන රුවන් ව එදා අනෝජාට පෙනෙන්නට ඇත්තේ නියම පිරිමියෙකු ලෙසිනුයි.
 
මීට වසර හතකට පමණ ඉහතදී අනෝජා හා රුවන් කුමාර විවාහ දිවියට එළැඹැන්නේ දෙදෙනාට දෙදෙනා නොමැතිව කල් ගෙවීම ඒ වනවිටත් දෙදෙනාටම අපහසු කරුණක් වී තිබූ නිසයි.
 
විවාහයෙන් පසු රුවන්, අනෝජාගේ නිවසේ පදිංචියට එන අතර ඒ වන විට එම නිවසේ ඇයගේ මවත්, සහෝදරයෙකු හෝ දෙදෙනෙකුත් පදිංචිව සිට තිබෙනවා.
 
මේ දෙදෙනා සතුටින් කල් ගෙවූයේ විවාහ වූ මුල් දින කිහිපය පමණයි. ඉන් අනතුරුව විවිධ හේතුන් නිසා දෙදෙනා අතර ආරවුල් හටගත්තා. මේ නිසාම ඔවුන්ගේ විවාහය දෙදරා යන්නට වැඩි කාලයක් ගතවූයේ නැහැ.
 
ආරවුල් හේතුවෙන් රුවන් කුමාර අනෝජාගේ නිවසින් පිටව මවුපිය නිවසේ පදිංචි වන අතර ඊට ටික කලකට පසු ඔහුගේ මව මිය යන්නේ ඒ වනවිටත් දීග නොගොස් සිටි දියණියට තිබූ ආරක්ෂාවද අහිමි කරමිනුයි.
 
රුවන්ගේ බීමත්කම නිසාම අනෝජා ඥාති නිවසක නැවැත්වීමට පියා කටයුතු කර තිබුණා.
 
බිරියගේ නිවසින් නික්ම ගිය ද රුවන් කුමාර එහි ගොස් ආරවුල් ඇතිකර ගැනීම නැවැත්වූයේ නැහැ. අනෝජාගේ නිවස දෙසින් නිතර නිතරම රණ්ඩු කෑ ගහන ශබ්ද ඇසෙන්නට වූ අතර මුල් අවදියේදී අසල්වාසින් පැමිණි ගෝරි බේරිමට කටයුතු කළා.
 
අනෝජා රුවන් කුමාරගෙන් දික්කසාද වීමට ඇල්පිටිය දිසා අධිකරණයේ නඩුවක් ගොනු කරන්නේ ඔය අතරතුරයි.
 
රුවන් කුමාර වැනි පුද්ගලයින්ට නීතියක් රීතියක් කියා දෙයක් නැහැ. ඇත්තේ තමන්ගේ සිතට දැනෙන දෙය පමණයි. අනෝජා පැවරූ දික්කසාද නඩුවද ඔහුට මහ දෙයක් වූයේ නැහැ.
 
අනෝජා ගේ දික්කසාද නඩුව දෙතුන් වරක් කැඳවා තිබුණත් එයට සහභාගි වීම සඳහා රුවන් කුමාර ගොස් තිබුණේ නැහැ. පැවති සෑම නඩු වාරයකටම සහභාගි වූ අනෝජා නිවසට එන්නේ බලාපොරොත්තු සුන් වූ සිතිනුයි. ඒ... රුවන් කුමාර නොපැමිණෙන නිසා දිනෙන් දින නඩුව කල් ගතවෙන හේතුවෙනුයි.
 
පසුගිය හය වැනිදා සිකුරාදා දිනයක්. එදින ද අනෝජාගේ දික්කසාද නඩුව ද කැඳවා තිබුණා.
 
එදිනද රුවන් පැමිණ සිටියේ නැහැ.
 
නඩුවට නොආ රුවන් කුමාර අනෝජාගේ නිවස අසලට ඒමට මැලි වූයේ නැහැ.
 
"ආ උඹලා දැන්ද ආවේ.. මම හවසට ඇවිත් බලාගන්නම්කෝ.."
 
ඒ වනවිටත් රුවන් හිටියේ බීමතිනුයි. අසභ්‍ය වචන ද එක්කොට එලෙස මවටත් දියණියටත් තර්ජනය කළ රුවන් කුමාර වැනි වැනි යන්නට ගියේ තව තවත් මොනවාදෝ දොඩවමිනුයි.
 
හවස එන බව කීවත්, රාත්‍රිය උදා වුවත් රුවන් කුමාර අනෝජාගේ නිවස දෙසට ආවේ නැහැ. මේ අම්මත් දුවත් නිවසේ ඉදිරිපස දොර විවෘතව තබාගෙන සිය වැඩකටයුතු වල නිරත වී සිටියා.
 
එලෙස හිරු අවරට ගොස් හෝරාවකට වැඩි වෙලාවක් ගෙවි යද්දි රුවන් කුමාරගේ හඬ ඇසුණා.
 
"ඌ පිහියකුත් අරගෙන එකපාරම ගේ ඇතුළට පනින්න හැදුවා. මම දොර වහන්න හැදුවා. ඌ දොර තල්ලු කරගෙන ඇතුලට ආවා. ඒ වෙලාවේ තමයි ගේ ඇතුලේ තිබුණ පොල්ල අරගෙන ගැහුවේ.."
 
"ඌ පොලු පාර කාගෙන ගිහින් මිදුලේ වැටුණා. නැගිටලා ඇවිත් අපිව මරයි කියලා බයට තමයි ආපහු පොල්ලෙන් ගැහුවේ.."
 
ප්‍රශ්න කිරීම්වලදී මවත් දියණියත් පවසා තිබුණා.
 
පොලිසිය මේ දෙදෙනා අත්අඩංගුවට ගත්තේ පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සම්බන්ධයෙනුයි. පොල්ල කැඩී තිබූ ආකාරය අනුව මේ දෙදෙනා ඉන් රුවන්ගේ හිසට හොඳ හැටි පහර දී ඇති බවක් පෙනෙන්නට තිබුණා.
 
පොලු පහර රැසක්ම එල්ල කර ඇති නිසා මවටත් දියණියටත් ආත්මරක්ෂාවේ අයිතිය ලැබේදැයි සැක සහිතයි.
 
පහරක් එල්ල කළ ඔහුට යළි නැගිටින්නට නොහැකි වන ලෙස පහර දිය යුතුද නැති ද යන්න බුද්ධිමත් කෙනෙක් හොඳින් දැන සිටිය යුතුයි. මොවුන් දෙදෙනා කරන්නට ඇත්තේ ඒ දෙයමයි. එනම් ඔහුගෙන් තමන් දෙදෙනාට අත්විය හැකි ඉරණමින් ගැලවීම සඳහා ඔහුට යළි නැගිටගන්නට බැරි වෙන්නට පහර දීමයි. එය එසේ වුවත් අද අම්මයි දුවයි සිරගතව පසුවනවා.
 
දිවි ගලවා ගත් නමුත් මේ දෙදෙනාට කවදා හෝ නීතියෙන් පිහිටක් ලැබෙනු ඇති බව තතු දන් අයගේ අදහසයි.
 
විමර්ශනවලට එක් වූ ඇල්පිටිය සොකෝ අංශයේ නිලධාරියෙකු පැවසුවේ පහර දුන් පොල්ල හැර වෙන කිසිම ආයුධයක් සිද්ධිය වූ ස්ථානයෙන් හමු නොවූ බවයි. ඒ අනුව කණ්ඩායමේ අදහස වන්නේ ඔහු මවටත් දියණියටත් යම් කරදරයක් කිරීමට පැමිණියත් ඔහු ආයුධයක් රැගෙන විත් නොතිබූ බවයි.
 
තක්ෂිලා ජයසේකර
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top