Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 16
692
Views

ආසියාවේ ආර්ථික දැවැන්තයා වන චීනයේ ධනවත්ම මිනිසා ලෙස සැලකෙන්නේ ජැක් මා ය. සුප්‍රකට අලිබාබා සමාගමේ නිර්මාතෘවරයා වූ ඔහු පසුගිය 10 වැනි දින දක්වාම එම සමාගමේ සභාපතිවරයා ද විය. මේ වනවිට ඔහුගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 35 කට ආසන්න බව පැවැසේ. එය ලංකාවේ මුදලින් රුපියල් බිලියන 6 කට හෙවත් මිලියන 6,000කට කිට්ටු ය. මේ සා ධනවත් ජැක් මා දැන් අලිබාබා සමාගමෙන් විශ්‍රාම ගෙන ගුරු වෘත්තියට යෑමට සූදානම් වෙයි. ඔහු සුපිරි ධනවතකු වුවත් තරමක් වෙනස් ගති ඇති පුද්ගලයකු බවක් දැකිය හැකි වෙයි.

ජැක් මා ගේ උපන් දිනය යෙදී තිබුණේ සැප්තැම්බර් 10 වැනිදාට ය. දැන් ඔහුට වයස අවුරුදු 55 කි. ඒ නිසා ඔහු එදින, ලෝකයේ ඉහළම පෙළේ සමාගමක් ලෙස ගෞරවය දිනා සිටින අලිබාබාහි සභාපති ධුරයෙන් සමුගත්තේය. තමා මේ වසරේ මේ ආකාරයෙන් විශ්‍රාම ගන්නා බව ජැක් මා නිවේදනය කර තිබුණේ පසුගිය වසරේ උපන් දිනය දා ය. ඔහු 1999 වසරේ අලිබාබා සමාගම අරඹන්නට පෙර කාලයක් ඉංගී්‍රසි ගුරුවරයකු ලෙස ද කටයුතු කර තිබිණි. දැන් ඔහු පවසන්නේ විශ්‍රාම ගැනීමෙන් පසු නැවතත් ඉගැන්වීමේ කටයුතුවල නිරත වීමට  අදහස් කරන බවයි. එය තමා වඩාත්ම ආදරය කරන කටයුත්තක් බව ඔහු කියයි. තමා උපයා ගත් ධනයෙන් කොටසක් ද චීනයේ දිළිඳු, ගම්බද ප්‍රදේශවල අධ්‍යාපන කටයුතු නඟාසිටුවීම සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව ද ඔහු පවසා තිබේ. එමෙන්ම වැඩි වැඩියෙන් සමාජ සේවා කටයුතුවල නිරත වීම ද ඔහුගේ තවත් සිහිනයකි. ඒ වෙනුවෙන් පිහිටුවා ගත් ‘ජැක් මා පදනම’ නම් සංවිධානයක් ද තිබේ.

ලෝකයේ සුපිරිම ධනවතකු වුවත් ව්‍යාපාරික ජීවිතය ගැන ඔහු තුළ යම් පසුතැවිල්ලක් තිබුණා දැයි සිතෙන විදියේ ප්‍රකාශ පවා පසුගිය කාලයේ ජැක් මා ගේ මුවින් පිට වී තිබිණි. තමා ජීවිතයේ වඩාත් සතුටින් ජීවත් වූයේ මාසයකට ඩොලර් 13 ක් (දැන් කාලයේ ලංකාවේ මුදලින් රුපියල් 2,200 ක් පමණ) උපයමින් දුප්පත් ඉංගී්‍රසි ගුරුවරයකු ලෙස සිටි කාලයේ බවට වරක් ඔහු කළ ප්‍රකාශය බෙහෙවින් ප්‍රසිද්ධියට පත් විය. ඔහු පවසා තිබුණේ තමාට නැවතත් එම සරල ජීවිතය වෙත යෑමට අවශ්‍යව ඇති බවයි.

“මට මේ කන්තෝරුව අස්සේ මැරෙන්න වුවමනා නැහැ. ඊට වඩා මං ආසයි මුහුදු වෙරළක මැරෙන්න.” යැයි පවසන ජැක්  තවදුරටත් කියන්නේ තමා ජීවිතයේ කළ ලොකුම වැරැද්ද මෙම සමාගම පටන් ගැනීම  බවයි. මේ තරම් විශාල සමාගමක් පවත්වාගෙන යෑමේදී දරාගැනීමට සිදුවන පීඩනය, ආතතිය, වගකීම් ආදිය මෙවැනි කතාවක් කියන්නට බලපා ඇති බව පෙනේ. 90,000 කට කිට්ටු සේවකයන් පිරිසක් මේ වනවිට එහි රැකියාව කරන බව ද සඳහන් වේ. අලිබාබා සමාගම අන්තර්ජාලය හරහා වෙළෙඳ කටයුතු කරන ඊ-වාණිජ්‍යය 

(ඥ-ජධථථඥපජඥ) සමාගමකි.   ‘මට තව ආත්මයක් තිබුණොත් ආපහු කවදාවත් මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්නෙ නැහැ. මම මගේම වූ ජීවිතයක් ගත කරනවා. මට ඕනෙ මං හැටියට ජීවත් වෙන්නයි. ජීවිතය රස විඳින්නයි‘ මේ ජැක් මා දැන් සිතන හැටි ය. 

මෙම සුපිරි බිලියනපතියා විවාහ වී සිටින්නේ ෂැංග් යිංග් සමඟයි. ඔවුන් දෙදෙනා මුණගැසී ඇත්තේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේයි. ඇය නිතරම සිය සැමියාගේ ව්‍යාපාරික කටයුතුවලට සහාය දුන් තැනැත්තියකි. මේ දෙදෙනාට දරුවෝ  තිදෙනෙක් සිටිති.

තරුණ කාලයේ ජැක් අධ්‍යාපන කටයුතුවලදී බොහෝ ගැටලුවලට මුහුණ දී ඇත. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ විභාගයෙන් සිවු වරක්ම ඔහු අසමත්ව ඇති බවට ද කතාවක් තිබේ. පසු කාලයේ රැකියා බොහෝමයකට ඉල්ලුම් පත්‍ර යවා ඇති නමුත් ඒ එකකින්වත් ඔහු සමත් වී නැත. පොලිසිය වැනි ආයතනවල පවා රැකියාවලට තමා ඉල්ලුම් කළ බවත්, තේරුණේ නැති බවත් ඔහු වරක් පවසා තිබිණි. කේ.එෆ්.සී සමාගමේ රැකියාවක් සඳහාද වරක් තමා අයැදුම් කළ බවත් ඔහු කියා ඇත. 

ඔහු ව්‍යාපාරිකයකු වුව ද කලා කටයුතුවලට ද විශාල ළැදියාවක් දක්වන්නෙකි. 2017 වසරේ ජැක් මා කිසියම් කෙටි චිත්‍රපටයක චරිතයක් රඟපා ඇති බවක් ද සඳහන් වේ. ‘ගොංග් ෂූ දෝ’ නමැති එම චිත්‍රපටය කුංෆු සටන් කලාව පිළිබඳ තේමාවක් ගත් එකකි.  එමෙන්ම අලිබාබා සමාගමේ සංවත්සර උත්සවවලදී ඔහු ඉදිරිපත් කරන නැටුම් ද මාධ්‍ය තුළ විශාල වශයෙන් කතාබහට ලක් වූ අවස්ථා තිබිණි. ජැක් මා ගීත ගායනා තරගවලට පවා ඉදිරිපත්ව ඇති බව පැවැසේ.

ඔහුගේ විශ්‍රාම ගැනීමෙන් පසු දැන් අලිබාබා සමාගමේ සභාපති ධුරයට පත්ව සිටින්නේ එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පසුගිය කාලයේ කටයුතු කළ ඩැනියෙල් ෂැංග් ය.

සනත් වික්‍රමගේ

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top