Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 16
987
Views
ප්‍රසංග වේදිකාවට බොහෝම හුරුපුරුදු කේ. සුජිවා ඉඟි මරන තරු රෑන ගීතයෙන් එක රැයකින් ජනප්‍රියත්වයට පත් වුණු ගායන ශිල්පිණියක්. ඇය විවාහ වෙලා ඉන්නෙ 'සුදු අරලියා මල' කී සැණින් කවුරුත් දැන හඳුනන, කාලයක් තරුණ තරුණියන් අතර ජනප්‍රියත්වයේ ඉහළම හිටපු ගායක අජිත් මුතුකුමාරණ එක්කයි. ඉතින්... මේ දෙන්නා සතිඅන්ත පුවත්පතකට ඔවුන්ගේ අලුත්ම තොරතුරු කියා තිබුණේ මෙහෙමයි.සුජීවා.. ඔයයි අජිතුයි මුලින්ම මුණගැහුණෙ ප්‍රසංග වේදිකාවෙනෙ. මුල් කාලෙ තිබුණු ඒ මතකයන් එක්ක අපි මේ කතාබහ පටන් ගත්තොත්..?
මම ඉඟි මරණ සින්දුව කියන්න පටන් අරගෙන දැන් අවුරුදු දහ අටක් වෙනවා. ඒ නිසා අජිත් අයියව මම හඳුනන්නෙ අවුරුදු දහ අටක් තිස්සෙ. ඒ කාලෙ මට අජිත් අයියගේ සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමත් එක්ක ප්‍රසංග වේදිකාවේ සින්දු කියපු මතකයන් තියෙනවා. මට තාම මතකයි.. මුල් කාලෙ දී අපි ඩුබායිවල තිබුණු ප්‍රසංගයකට ගියා. ඒ ගමනට සංගීත කණ්ඩායම් දෙකක් සහභාගි වුණා. මමත් ඒ ටුවර් එකට සහභාගි වුණා.
 
අපිව එයාර්පෝට් එකෙන් බෑන්ඩ් එකත් එක්ක බාරගත්ත වෙලාවෙ ඉඳන් ආයෙ ලංකාවට එනතුරැම අජිත් අයියා මාව පුදුම විදිහට පරිස්සම් කළා. කොහේවත් යන්නවත්, කවුරුහරි හම්බවෙන්නවත් අපි කාටවත් ඉඩ දුන්නෙ නැහැ. යනකොට, එනකොට ඒ බෑන්ඩ් එක ඉඳගෙන ඉන්න තැනම තමයි මටත් ඉඳගන්න සිද්ධ වුණේ. අජිත් මුතුකුමාරණ කියන ගායකයා ගැන ඒ වනතුරැම මට තිබ්බෙ කලාකරුවෙක් කියන වටිනාකම විතරයි.
 
නමුත් ඒ ගමනෙන් පස්සෙ ඒ මනුස්සයා තුළ තියෙන හොඳ ගතිගුණ ගැන මම පුදුම විදිහට පැහැදුණා. මම ගෙදර ඇවිල්ලත් අජිත් අයියගේ ඒ ගතිගුණ ගැන ආයේ හිතුවා. තාත්තා කෙනෙක් වගේ හරිම පරිස්සමෙන් අපිට බලාගත්තා. එතන ඇතිවන ඕනෑම ප්‍රශ්නයකදී, අපේ ගෙවීම්වලදී පවා අජිත් අයියා හොයලා බැලුවා. ෂෝ එක ඉවරවෙලා අජිත් අයියා මම ළඟට ඇවිත් නංගි.. ඔයා සල්ලි ගත්තා නේද? ගනුදෙනු බේරාගත්තද? කියලා හොයලා බැලුවා. ඒ වගේ හරිම වගකීමෙන් වැඩ කරන කෙනෙක් හැටියට එදා මට අජිත් අයියා ගැන දැනුණා. ඒ මතකය කවදාවත් මට අමතක වෙන්නෙ නැහැ.
 
හැබැයි.. ඊට පෙර ප්‍රසංගයකදී අජිත් එක්ක සුජීවාට කේන්ති ගිය මතකයකුත් තියෙනවා නේද..?
ඔව්.. ඒ වගේ සිද්ධියකුත් වේදිකාවේ වෙලා තියෙනවා. ඒකත් සුන්දර මතකයක්. ඒ කාලෙදී අජිත් අයියගේ බෑන්ඩ් එකත් එක්ක මම සින්දු කියලා තිබුණෙ නැහැ. ඒ මම ෆීල්ඩ් එකට ආපු අලුතයි. අපි ප්‍රසිද්ධ නාලිකාවකින් කරපු සංගීත ප්‍රසංගයකට අම්පාරෙ ගියා. ඒක සජීවීව පෙන්නපු ප්‍රසංගයක්. එදා මමයි තව ගායිකාවකුයි සින්දු කියන්න හිටියා. හැබැයි අපිට කලින් සින්දු කියන්න තිබුණෙ අජිත් අයියට.
 
ඒ ප්‍රසංගයෙ දී හැම ගායක ගායක ගායිකාවකටම සාමාන්‍යයෙන් සින්දු තුනක් ගායනා කරන්න තිබුණා. අයියා සින්දු කියන්න පටන් අරගෙන තුන්වැනි සින්දුව කියලා ඉවර වෙද්දීම මම ස්ටේජ් එකට නඟින්න ලෑස්ති වුණා. හැබැයි අම්පාරෙ කට්ටිය එයාට බහින්න දුන්නෙ නැහැ. සින්දු හතරක් කිව්වා. ආයෙ කට්ටිය කෑගැහුවා. ආයෙත් අජිත් අයියා තව සින්දුවක් කියන්න පටන් ගත්තා. එතකොට මට පුදුම තරහක් ඇති වුණේ.
 
අයියෝ.. මේ මනුස්සයා ස්ටේජ් එකෙන් බහින්නෙ නෑනෙ කියලා මාත් එක්ක හිටපු අනෙක් ගායිකාවත් එක්ක මම අජිත් අයියට බැන්නා. ස්ටේජ් එක වටකරගෙන අජිත් අයියගෙන් සින්දු ඉල්ල ඉල්ලා කට්ටිය නැටුවා. ඒ වෙද්දී ඒ සින්දු ගැන මට අවබෝධයක් තිබුණෙ නැහැ. ඒ කාලේ මම සුදු අරලියා මලයි කියන සින්දුව විතරයි දන්නෙ. එදා තමයි මම මෙයා තමයි මේ සින්දුව කියන්නෙ කියලා දැනගත්තෙ. එදා දැකපු අජිත් මුතුකුමාරණ එක්ක මට පුදුම තරහවක් තිබුණෙ. මම බෑන්ඩ් එකත් එක්ක සින්දු කියන්න පටන් ගත්තට පස්සෙ ඒ හැඟීම ක්‍රමයෙන් වෙනස් වුණා. ඇත්තටම ඒකත් මට සුන්දර මතකයක් වුණා.
 
සුජීවා ඔන්න ඔහොම අජිත් ගැන කතා කරද්දී කිසිම සද්දයක් නැතිව හිනාවෙවී මේ කතාබහ අහගෙන හිටපු අජිත්ගෙනුත් සුජීවා ගැන අහන්න අපි අමතක කළේ නැහැ.
 
අජිත්.. සුජීවා කියන්නෙ ප්‍රසංග වේදිකාවෙ ගීත ගායනයෙ වෙනසක් ඇති කරපු ගායිකාවක්නෙ. සංගීත කණ්ඩායමක නායකයෙක් විදිහට මුල් කාලෙදී ඇගේ ඒ වෙනස ඔයා දැක්කෙ කොහොමද..?
සුජීවා නංගි වෙනත් භාෂාවලින් පවා ගීත ගායනා කරනවා. ඒ වගේ ගායිකාවන් ලංකාවෙ බොහොම අඩුයි. ඒ නිසා බෑන්ඩ් එකේ කෙනෙක් විදිහට මම නංගිව දකින්නෙ ස්ටේජ් එක හරියට පාවිච්චි කරන ගායිකාවක් විදිහට. ප්‍රේක්ෂක ආකර්ෂණය හරියටම තමන් වෙතට ගන්නවා. බෑන්ඩ් එකත් අමතක කරලා, මියුසික් ඔක්කොම අමතක කරලා, හැම ප්‍රශ්නයක්ම අමතක කරලා තමන් ගාවට ප්‍රේක්ෂකයා ඇදගැනීමේ විශාල හැකියාවක් සුජීවා නංගිට තියෙනවා.
 
එවැනි ගායිකාවන් හරි අඩුයි. මුල් කාලෙදී ඒ තැනට එන්න සුජීවා නංගි ගොඩක් දුක් විඳලා තියෙනවා. ඒ දුක් විඳීමත් එක්ක, මුහුණදීලා තියෙන ප්‍රශ්නත් එක්ක එයා අද ඉන්න තැනත් එක්ක, කේ. සුජීවා කියන තවත් කෙනෙක් බිහිවෙන්නෙ නැහැ.
 
අද ඉන්න ගායක ගායිකාවන් ස්ටේජ් එක හරියට පාවිච්චි කරන්න දන්නෙ නැහැ. ඉදිරිපත් කිරීම වගේම ගායනය පැත්තෙනුත් සුජීවා නංගි ඉදිරියෙන්ම ඉන්නවා. කියන්නා කෙසේ කීවත් බලන්නා සහ අසන්නා තමන්ගෙ බුද්ධියෙන් බලන්න ඕනෙ. සංගීතය ඉගෙනගෙනයි නංගි සංගීතය කරන්නෙ. ඒ නිසා මේක කොහෙත්ම වරදින්න විදිහක් නැහැ. එයාටම ආවේණික ගීත රටාවක් එයාට තියෙනවා.
 
ජීවිතේ ආපු ප්‍රශ්නවලදී සුජීවා කියන චරිතයත් එක්ක එකතු වීමෙන් ජීවිතේ ශක්තිමත් වේවි කියලා අජිත්ට විශ්වාසයක් ආවෙ කොහොමද..?
මුල් කාලයේ ප්‍රසංගවලදී මට සුජීවා නංගි මුණගැහුණා. අපි මියුසික් කරපු හැම ප්‍රසංගයකදීම සුජීවා නංගි ගායිකාවක් විදිහට ගීත ගායනා කරලා ඉවරවෙලා මට වැඳලා අයියේ.. ගිහින් එන්නම් කියලයි යන්නෙ. ඒ කාලේ ඉඳන්ම ඒ ගතිගුණ එයාට තිබුණා. කාටහරි අසනීපයක් වුණත් බෑග් එකේ බෙහෙත් පෙත්තක් තිබුණොත් ටක් ගාලා දීලා යන කෙනෙක් තමයි සුජීවා කියන්නෙ.
 
අපේ ආගමේ අපේ ජාතියේ නොවුණත් දහමට ළැදිව ජීවත්වෙන කෙනෙක් විදිහට මට හරිම ළෙන්ගතුයි. අපි දෙන්නගෙම ජීවිත හැලහැප්පීම් මැද තමයි ගෙවුණෙ. ඒ ප්‍රශ්නවලට මුහුණ දුන්නෙ අපි දෙන්නම එකතුවෙලයි. තාමත් ඒ බැම්ම ඒ විදිහට තියෙනවා. හැමවෙලේම සුජීවා නංගි මම ගැන හොයලා බැලුවා. ප්‍රශ්නවලට මාත් එක්කම මුහුණ දුන්නා.
 
ඒ විදිහට අවුරුදු ගාණක්ම සුජීවා නංගි මගේ පස්සෙන් හොඳ යාළුවෙක් විදිහට හිටියා. ඒ නිසයි ප්‍රශ්න මැදින් අපේ ජීවිතේ ගලාගෙන යද්දී අපි දෙන්නා එකතු වෙන්න උත්සාහ ගත්තෙ. ඒ හැම ප්‍රශ්නයකටම අපි එකතුවෙලා මුහුණ දුන්නා. අදටත් එහෙමයි. කේ. සුජීවා කියන්නෙ ප්‍රශ්නවලට බයේ පැනලා යන චරිතයක්වත්, ප්‍රශ්නවලට හැංගෙන චරිතයක්වත් නෙමේ.
 
සුජීවා.. මේ ආදර කතාවට ඔයත් වචන ටිකක් එකතු කළොත්..?
ඔව්.. අපි දෙන්නගෙම හිතේ ඇතිවුණු ආදරය ආදරෙයි කියලා අපි වචනවලට පෙරළුවේ නැහැ. අජිත් අයියයි මායි සෑහෙන කාලයක් කතා කළා. අපි අතරේ ආදර සම්බන්ධයක් ඇති නොවුණු කාලයෙත් අපි අපේ ප්‍රශ්න ගැන කතා කළා. අයියා කොළඹ මොන වැඩකට ආවත් මට කෝල් එකක් දීලා, නංගි කොහෙද ඉන්නෙ? කියලා මම ඉන්න තැනකට ඇවිත් බලලා යනවා. මම ෂෝ එකකට වෙන බෑන්ඩ් එකක් එක්ක මාතර පැත්තෙ ගිහිල්ලා අයියේ.. මම අද මාතර කිව්වාම අයියා අනිවාර්යයෙන්ම විනාඩි දහයකට හරි ඇවිත් මම සින්දු කියනවා බලලා කතා කරලා තමයි යන්නෙ.
 
ඔහොම තමයි මුලින් අපි දෙන්නා කතාබහ කරලා එකතු වුණේ. අපේ ආදරේ අපි දෙන්නගේ ජීවිතවල තිබුණු ප්‍රශ්නත් එක්ක ඇතිවුණු ආදරයක්. දෙන්නෙක් එකතු වුණාට පස්සෙ අතීතය ගැන කතා කරන්න කවුරුවත් කැමති නැහැ. අතීතයේ වෙච්ච දේවල්, සුන්දර දේවල්, අසුන්දර දේවල් කට්ටිය හංගනවා.
 
ඒත් අපි දෙන්නා එහෙම නැහැ. අදටත් ජීවිතේ කාලයකට කලින් වෙච්ච සුන්දර දේවල් අපි දෙන්නා එකතුවෙලා බොහොම සරලව කතා කරනවා. ඒවා ගැන කවදාවත් දුක් වෙන්නෙවත්, තරහ ගන්නෙවත් නැහැ. අපි දෙන්නට ඕනෙ දෙයක් ගැන කතා කරන්න පුළුවන්.
 
සුජීවාට මතකද.. අජිත් දීපු මුල්ම තෑග්ග..?
ඔව්.. අජිත් අයියා මට ගණ දෙවියන්ගෙ රූපයක් දුන්නා. ඒ වෙනකොට අපි අතරේ ආදර සම්බන්ධයක් තිබුණෙ නැහැ. ඒ පිළිමය තාමත් මගේ බුදු මැඳුරෙ තියෙනවා.
 
සුජීවා අජිත්ට දුන්නෙ මොනවද..?
අපි දෙන්නා අතරෙ ආදර බැඳීමක් ඇති වුණාට පස්සෙ මම අජිත් අයියට මුද්දක් දුන්නා. ඒක දැන් එයාට හිරයි. හැබැයි තාමත් ඒක ගලවන්නෙ නැතිව අයියා ඇඟිල්ලෙ දාගෙන ඉන්නවා.
 
සුජීවාගෙ දුවලා දෙන්නාට අජිත් හොඳ තාත්තෙක් වුණා නේද..? ඒ බැඳීම කොහොමද..?
ඔව්.. ඇත්තමයි. මම අජිත් අයියාට ආදරේ කරන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ මියුසික් නිසාවත්, එයාගේ එඩිතරකමවත්, ප්‍රශ්නවලදී හැංගෙන්නෙ නැති නිසාවත් නෙමෙයි. අයියා ගැන ලොකු ආදරයක්, ලොකු අභිමානයක් ඇතිවුණේ ඒ පිය සෙනෙහස නිසාමයි. අයියා එයාගේ දරුවන් දෙන්නා ගැන හොයලා බලලා සලකන විදිහට මම ආදරය කළා.
 
අපි දෙන්නා ජීවිතේ එකතු වෙන්න තීරණය කරපු ගමන් එයා මගෙන් එකම එක ඉල්ලීමක් කළා. ඒ මම වගේම මගේ ළමයි දෙන්නව හොඳින් බලාගන්න කියලයි. ඒ ඉල්ලීම නිසා මට අජිත් අයියා ගැන ලොකු විශ්වාසයක් වගේම ගෞරවයක් ඇති වුණා. ඒ වෙද්දී තාත්තලා ළමයින්ව අතහැරලා දාන, අඩුම තරමේ කෝල් එකත්වත් දෙන්නෙ නැති, බැඳීමක් නැහැ කියලා කියන තරම් ජීවිතයක් මම ගත කළේ.
 
අදටත් එහෙමයි. හැංගෙන තාත්තලාවයි ජීවිතේ මම දැකලා තිබුණෙ. ඒ අය අතරේ මගෙන් අජිත් අයියා කරපු ඉල්ලීමට මම ගොඩක් ආස කළා. මම එයාගෙ දරුවන්ව බලාගනීවි, ඒ දරුවන් දෙන්නව අතහැරලා නොයාවි කියලා අජිත් අයියා විශ්වාස කළා. ඒක නිසයි මට අජිත් අයියට වැඩියෙන්ම ආදරයක් ඇති වුණේ. අජිත් අයියා එයාගේ දරුවන්ට විතරක් නෙමේ.. මගේ දරුවො දෙන්නටත් හරි ආදරෙයි.
 
අජිත් එයාලට තාත්තා කෙනෙක් වගෙයි. වෙලාවකට යාළුවෙක්. වෙලාවකට ගුරුවරයෙක්. වෙලාවකට එයා දරුවන්ට අම්මා කෙනෙක්. ඇඳගෙන යන ඇඳුම ගැන පවා එයා හිතනවා. මේක හරියන්නෙ නැහැ පුතේ.. ඔයා මේක ඇඳගෙන යන්න එපා කියලා කියනවා. මට කියන්නෙ නැතත් අජිත් අයියට නොකියන දෙයක් එයාලට නැහැ. අයියා කියන දේකට උඩින් කිසිම දෙයක් එයාලා කරන්නෙ නැහැ.
 
රෝස්ගෙ ජීවිතේදී එයාට තාත්තා කෙනෙක්ගෙ ආදරය ලැබිලම නැහැ. රෝස් තාත්තගෙ ආදරය කියලා දැක්කෙම අජිත් අයියගේ ආදරයයි. සමහර වෙලාවට අජිත් අයියා ගැන අපි මොනවහරි පොඩි වැරැද්දක් කිව්වොත් රෝස් ඒක ඇත්තද බොරුද කියලා බලන්නෙ නැහැ, එයා ගන්නෙ අජිත් අයියගේ පැත්තයි. ඒ තරම් එයාගේ දරුවන් දෙන්නා ගැන වගේම මගේ දරුවො දෙන්නා ගැනත් අජිත් අයියා බලනවා. මට පුළුවන් විදිහට මමත් අයියගේ දරුවන් දෙන්නා ගැන බලනවා.
 
ඒ කතාව ඇත්තද අජිත්..?
ඔව්.. මම හිතුවාටත් වැඩිය සුජීවා නංගි මගේ ඉල්ලීම ඉටු කළා. මුලදී ඒ අය වැඩිය කතා කළේ නැහැ. මට දුවලා දෙන්නා කතා කළා විතරයි. නමුත් කාලයත් එක්ක ඒ දෙන්නා ඇවිත් අපි හැමෝම එක්ක එකට ඉඳලා යන වෙලාවල් තියෙනවා. ඒකෙ සම්පූර්ණ වගකීම ගත්තෙ සුජීවා නංගි. දැන් අපි දෙන්නට දරුවන් හතරදෙනයි. ස්ටූඩියෝ එකේ වැඩ කළත් අපි හයදෙනාම එකට වැඩ කරන වෙලාවල් තියෙනවා.
 
ඔය දෙන්නා ආගම් දෙකක..?
ඔව්.. සුජීවා නංගි කතෝලික. මීට අවුරුදු දහයකට කලින් එයා බුද්ධාගමට නැඹුරුවෙලා තියෙනවා. අපි පොත්වල ලියාගෙනම කැලණි ගිහින් තියෙනවා. තව පොඩි කාලයකින් තුන්සිය හැට හතර වතාවක් කැලණි ගිහින් තියේවි. ඒ තරමට අපි කැලණි පන්සල් යනවා. සුජීවා නංගි සතුන්ට හරි ආදරෙයි. අසරණ සතුන්ව බලාකියා ගන්නවා.
 
සුජීවා එක්ක ගත කරන ජීවිතේ ගැන අජිත්ට අද මොකද හිතෙන්නෙ..?
ජීවිතේ කියන දේ මට ලැබුණෙ සුජීවා නංගි නිසයි. බිරිය කියන දේට වැඩිය දෙයක් එයා මට දුන්නා. මම දැන් වැඩිය යාළුවො ඇසුරු කරන්නෙ නැහැ. ඇත්තටම කිව්වොත් ඇසුරු කරන්න වෙලාවක් නැහැ. පවුල් ජීවිතේ සහ ආදරේ කියන දේ මට දැනෙන්න ගත්තා. එයා කිසිම දේකට බලපෑම් කළේ නැහැ.
 
ඒ ගැන සුජීවා මොකද හිතන්නෙ..?
අයියගේ ගතිගුණවලින් ජීවිතේ ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. අයියට ගොඩක් නපුරුකම් කරපු කෙනෙකුට වුණත් එයාට කරදරයක් වුණාම අයියා කෝල් කරලා එයා ගැන හොයලා බලනවා. අජිත් අයියා එක්ක ජීවත්වෙන හැම මොහොතකම හැම තත්ත්පරයකම මට දෙයක් ඉගෙන ගන්න තියෙනවා. අජිත් අයියා කියන්නෙ දෙවියන් මට දුන්නු ලොකු තෑග්ගක්.
 
සටහන: දිශානි ( දේශය පුවත්පත.)
Image may contain: 3 people, people smiling, people standing
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top