Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 06
482
Views
ඇල්පිටිය - අලුත්ගම මාර්ගයේ අටකොහොට - 8 කණුව ප්‍රදේශයේදී බස් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය, පාතාල නායකයෙකු වන කොස්ගොඩ සුජීගේ ක්‍රියාවක් බවට පොලීසිය සැක කරනවා.

අලුත්ගම - ඌරගස්මං හන්දිය හරහා ඇල්පිටිය දක්වා අද උදෑසන ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංගම බස් රථයක යමින් සිටියදී යතුරුපැදියක පැමිණි පුද්ගලයෙකු සිදුකළ මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ ඇල්පිටිය - වල්ඉඟුරුකැටිය ප්‍රදේශයේ පදිංචි රංජිත් ජයවර්ධන නැමැති 41 හැවිරිදි දෙදරු පියෙක්.

වෘත්තියෙන් කුරුඳුතලන්නෙකු වන මොහු ඇල්පිටිය දිසා අධිකරණයේ විභාග වන ඉඩම් නඩුවකට පෙනී සිටීම සඳහා සිය මව සහ නැගණිය සමඟ යමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

බස් රථයේ රියදුරා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු බස් රථයේ පිටුපස දොරටුවෙන් නැග මෙම වෙඩි තැබීම සිදුකර යළි යතුරුපැදියේ නැගී පළා ගිය බවයි.
එම අවස්ථාවේ මිය ගිය පුද්ගලයා පිටුපස දොරටුවට වම් පසින් ඉදිරියේ ඇති අසුනේ රැඳී සිට තිබෙනවා.
වෙඩි තැබීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් උපයෝගී කරගෙන ඇති අතර, එම උණ්ඩ කොපු 5ක් අදාළ ස්ථානයේ තිබී සොයා ගැනුණා.
සිද්ධිය වන අවස්ථාවේ බස් රථයේ මගීන් විශාල පිරිසක් ද සිට ඇති අතර, වෙඩි තැබීම සිදුවනවාත් සමඟම ඔවුන් හිස්ලූ ලූ අත දිව ගිය බවයි බස් රථයේ රියදුරු කියා සිටියේ.

 වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ රංජිත් ජයවර්ධන නැමැත්තා 2018 වසරේ සැප්තැම්බර් මස 30 වන දා ඌරගස්මංහන්දිය - ඉහළමාලවල - රන්තොටුවිල ප්‍රදේශයේ නිවසක් තුළ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී ඇති බවට විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියා.

එම සිද්ධියෙන් චමිල දීපාල් රණසිංහ සහ සමන් සුරේෂ් නැමැති දෙදෙනෙකු මිය ගිය අතර ඔවුන් දැනට විදේශගතව සිටින පාතාල නායකයෙකු වන කොස්ගොඩ සුජීගේ සමීපතමයින් දෙදෙනෙකු ද වනවා.

මෙම වෙඩි තැබීම ඊට පළි ගැනීමක් ලෙස සිදුකරන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ. යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මේ වන විට මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.

 මේ අතර, අකුරැස්ස - තිබ්බටුවාව ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා පලාගිය සැකකරුවන් සොයා මේ වන විටත් මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
මාතර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් ඒ සඳහා යොදවා ඇති බව සඳහන්.
අද අලූයම එම ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටියදී අණ නොතකා ධාවනය වූ යතුරුපැදියක් ලූහුබැඳ යන අවස්ථාවේදීයි මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා වෙඩි ප්‍රහාරයට ලක්වූයේ.
අදාළ යතුරුපැදිය අංක තහඩු නොමැතිව ධාවනය වූ අතර එහි පුද්ගලයින් 3 දෙනෙකු ගමන් කර තිබුණා.

 පසුව එය ලූහුබැඳ ගිය පොලිස් නිලධාරීන් දෙදෙනාට පළා ගිය යතුරුපැදියේ මැද ගමන් කළ පුද්ගලයා විසින් වෙඩි තබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සිද්ධියෙන් තුවාල ලැබූ අකුරැස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා මේ වන විට මාතර මහරෝහලේ 5 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා.

ඔවුන්ගේ දකුණු පාදවල දණහිසට වෙඩි වැදීමෙන් තුවාල සිදුවී ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top