Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 23
482
Views
වර්තමාන ශ්‍රී ලංකා ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම පාපන්දු ක්‍රීඩිකාවන් අතරේ ඉන්න ක්‍රීඩිකාවක් තමයි ප්‍රවීණා පෙරේරා කියන්නේ. වසර හතක කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කරන ඇය දෙසැම්බර් මාසයේ නේපාලයේ කත්මණ්ඩු නගරයේ පැවැත්වෙන "දකුණු ආසියාතික" තරගාවලිය සඳහා එක්වෙන ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමටද එක්වීමට සූදානමින් ඉන්නවා. මේ ඇය ගැනයි.

"දකුණු ආසියාතික" තරගාවලියට ඔබේ සූදානම කොහොමද?
හොඳ සූදානමක් තියෙනවා. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී තමයි අපිව සංචිත ගත කළේ. මේ දක්වා අපි ජාත්‍යන්තර තරගාවලි කිහිපයකටත් සහභාගි වුණා. ඉදිරියටත් තවත් ජාත්‍යන්තර තරගාවලි කිහිපයක් සඳහා සහභාගි වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මම හිතනවා මමත් කණ්ඩායමේ සියලු දෙනාත් දකුණු ආසියාතික තරගාවලියට හොඳ සූදානමකින් ඉන්නවා කියලා.

"දකුණු ආසියාතික" තරගාවලියේ දී අපිට පදක්කමකට යා හැකිද?
ඔව්, පදක්කමක් ලබා ගැනීමේ විශ්වාසයෙන් තමයි මෙවර දකුණු ආසියාතික තරගාවලියට අපි සහභාගි වෙන්නේ. අපේ මූලික ඉලක්කය වෙලා තියෙන්නේ තරගාවලියේ ලෝකඩ පදක්කම ජයගන්න. කණ්ඩායමක් විදිහට ගත්තොත් අපිට හොඳ දක්ෂ ක්‍රීඩිකාවන් පිරිසක් ඉන්නවා. ඒ වගේම මා වැනි ජාත්‍යන්තර තරග බොහෝමයක් ක්‍රීඩා කරලා අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුත් වර්තමාන කණ්ඩායමේ ඉන්නවා. මම හිතනවා මේ තරගාවලියේ දී අපි සෙසු කණ්ඩායම්වලට ලොකු අභියෝගයක් ලබාදෙයි කියලා.

දැනට ඔබ ජාත්‍යන්තර තරග කොපමණ ප්‍රමාණයකට සහභාගි වෙලා තියෙනවාද?
මම ශ්‍රී ලංකා ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමට සම්බන්ධ වෙන්නේ 2012 වසරේ. එතැන් සිට මම අඛණ්ඩව මෙම කණ්ඩායමේ සාමාජිකාවක් විදිහට ක්‍රීඩා කරලා තියෙනවා. ලංකාවේ වගේම මම විදෙස් රටවල් රැසකදීම ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩා කරලා තියෙනවා. දැනට ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩිකාවක් මම.

පාපන්දු ක්‍රීඩාවට පමණද ඔබ යොමු වුණේ?
නැහැ. මලල ක්‍රීඩා, වොලිබෝල්, එල්ලේ, ක්‍රිකට් වැනි ක්‍රීඩාවලටත් මම යොමු වුණා. නමුත්, පාපන්දු ක්‍රීඩාවට මූලික අවධානය යොමු කළ නිසා අනෙකුත් ක්‍රීඩා මම අත්හැරියා. ඒත්, තවමත් මම එල්ලේ ක්‍රීඩාවේ නිරත වෙනවා.

ක්‍රීඩා ඉසව් බොහෝ ප්‍රමාණයක් තියෙද්දි ඇයි පාපන්දු ක්‍රීඩාවම තෝර ගත්තේ?
මම ක්‍රීඩාවට ගොඩක් කැමැතයි. පාසල් යන කාලේ ඉඳලා ක්‍රීඩා කටයුතු කළා. මුලින් සඳහන් කළ ක්‍රීඩා ඉසව් හැම එකක්ම පාසල් යන කාලේ ක්‍රීඩා කළා. පාසල් ගියේ වැලිවේරිය මද්දුම බණ්ඩාර මහා විද්‍යාලයට. එම පාසලේ සියලු වයස් කාණ්ඩ යටතේ පාපන්දු ක්‍රීඩාව කළා. 2009 වසරේ දී වයස අවුරුදු 19න් පහළ සමස්ත ලංකා පාසල් පාපන්දු තරගාවලියේ දී එහි ශූරතාව මගේ පාසලට හිමිකර දෙන්න මට හැකි වුණා.

ජාතික කණ්ඩායමට ඔබව තෝර ගත්ත හැටි මතකද?
වැලිවේරිය ඩයනමික් පාපන්දු කණ්ඩායමට මම ක්‍රීඩා කරද්දි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන් පිරිසක් මගේ දක්ෂතා අඳුනගෙන මාව ජාතික සංචිතයට කැඳෙව්වා. මාව ඔවුන් කෙළින්ම සම්බන්ධ කළේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට. ඒ 2012 වසරේ දී. එතැන් සිට අද දක්වා මම නොකඩවා ජාතික සංචිතයේ ඉන්නවා.

ක්‍රීඩිකාවක් විදිහට අද ඔබ ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා?
ඔව්, මම දකින්නේ මේ මගේ කැපවීමේ ප්‍රතිඵලයක් විදිහට. මම ක්‍රීඩාව නිසා රැකියාව පවා අත්හැරියා. ඒ වගේම නොකඩවා වසර හතක කාලයක් ජාතික සංචිතවල හිටියා. ගොඩක් වෙලාවට මගේ කාලය වැය වුණේ තරගවලටයි, පුහුණුවටයි. හැබැයි මම හිතනවා මම ගොඩක් වාසනාවන්තයි කියලා. මොකද, ඕනෑම කෙනෙකුගේ හීනය ජාතික කණ්ඩයමකට එන එක. ඒ ආවත් බොහෝ දෙනෙකුට කණ්ඩායම තුළ රැඳෙන්න අමාරුයි.

නමුත්, මම වසර හතක කාලයක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරනවා.

බුද්ධික සේනාධීර
ඡායාරූප - දුලීත ශ්‍රීනාත්
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top