Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 21
540
Views
මේ ප්‍රශ්න දෙකට පිළිතුර ටිකක් කල්පනා කරලා බලන්න. පළමු ප්‍රශ්නයට පිළිතුර ඇපල් ඉන්කෝපරේෂන්. දෙවැනි ප්‍රශ්නයට පිළිතුර ස්ටිව් ජොබ්ස්. ඇපල් සමාගමේ 2015 වසරේ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 233ක්. 2015 ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය ආසන්න වශයෙන් ඩොලර් බිලියන 80ක්. 1976 මෝඩයාගේ දවසේ එනම් 1976 අප්‍රේල් 1දා ඔහු නිර්මාණය කළ ඇපල් සමාගම ගැන හිතාගත හැකිය. පරිගණක ලෝකය, සිනමාව, සංගීතය, ජංගම දුරකථනය වැනි අංශවලට නව අරුතක් දුන්න මේ ව්‍යාපාර දාර්ශනිකයා ගැන බොහෝ දේ අපි කතා කරලා තියෙනවා. තවත් වසර සිය දහස් ගණනක් යනතුරු ඔහු ගැන මිනිස්සු තවත් බොහෝ දේ කතා කරයි. ඉතින් අද ලිපිය තුළින් අප හෙළි කරන්නේ ඔහු ගැන කතා කළ යුතු තවත් අපූරු දෙයක් ගැනයි.

බොහෝ සාර්ථක පුද්ගලයන් සාර්ථක වෙලා තියෙන්නේ ඔවුන් ජීවිතයේ සියලු අංශවලින් පරිපූර්ණ වුණ නිසා නෙවෙයි. ව්‍යාපාර විශිෂ්ටයකු මෙන්ම ලෝකය වෙනස් කළ මිනිසෙක් ලෙස සලකන ස්ටිව් ජොබ්ස් ජීවිතයේ සෑම දෙයක් බින්දුවෙන් පටන් ගත්ත කෙනෙක්. සිටිව් ජොබ්ස් අතිශය සාර්ථක පුද්ගලයෙක් වුණත් ඔහුගේ ජීවිතය තුළ අසාර්ථක වීම් රාශියයි. ඔහු පැරදුණේ නැතත් ඔහුට බොහෝ වරක් වැරදුණා. එහෙත් ඔහු බලාපොරොත්තු වුණ ලෙසම ඔහුගේ පරිමාණයෙන් ලෝකය වෙනස් කළා. ඔහු කීයක් හරි ලාභයක් තියාගෙන පරිගණක අලෙවි කරන්නෙක් පමණක් නොවී ලෝකයට නව නිපැයුම් සහ නව සංකල්ප හඳුන්වා දී ලෝකය ප්‍රගමනයට දායක වුණා. අන්න ඒ නිසා තමයි හාවර්ඩ් සරසවියේ විශ්ලේෂණ අනුව ලොව එතෙක් මෙතෙක් බිහිවූ හොඳම ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඔහුව නම් කරන්නේ.

2011 ඔක්තෝබර් 5දා පිළිකා රෝගය හේතුවෙන් ස්ටිව් මරණයට පත්වෙනවා. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 56යි. එහෙත් ඒ මරණය තවත් ලොකු සල්ලිකාරයෙක්ගේ මරණයක් පමණක් වුණේ නැහැ. ජාති, ආගම් භේදවලින් තොරව ඇපල් සමාගමට ළබැඳි බොහෝ රටවල පාරිභෝගිකයන් ඔහුගේ මරණය පිළිබඳ පණිවුඩය සැලවූ සැණින් කඳුළු සැලුවේ ඔහු ව්‍යාපාරිකයෙක්ට එහා ගිය යමක් මෙලොවට දායාද කළ බව සපථ කරමින්. ලොව ධනවත්ම ව්‍යාපාරිකයන් 50ක් අතර හිටිය මේ දැවැන්තයා මිහිදන් කළ තැන සොහොන් කොතක් හෝ වෙනත් කිසිම සලකුණක් නැහැ. ඔව් ඔබ එය එක්වරම විශ්වාස නොකරයි. එහෙත් ඇත්ත ඒකයි. පාලේ ඇල්ටෝ පෙදෙසේ ඇල්ටා මේසා සුසාන භූමියේ තමයි ඔහුගේ නිසල සිරුර මිහිදන් කළේ. නමුත් ඔහු වෙනුවෙන් අගනා සොහොන් කොතක් නම් එතැන ඉදිවුණේ නැහැ. ලොව දැවැන්තම සමාගම හදපු මිනිහට පුංචි සොහොන් කොතක් ඉදිවුණේ නැත්තේ ඇයි? පුදුම වෙන්න දෙයක් නැහැ. ඒ ඔහුගේ හැටි. ඒ වගේම ඒ ඔහුගේ කැමැත්ත. සමහර විට ඔහු අධ්‍යයනය කළ සෙන් බුදු දහමේ සැබෑ බලපෑම නිසා වෙන්න ඇති.

සමහර මිනිස්සු මිය ගියාම රනින් නිම කළ මහා සොහොන් කොත් එහෙමත් නැත්නම් දැවැන්ත ප්‍රතිමා නිර්මාණය කරමින් තම සලකුණ මෙලොව ඉතිරි කරලා යන්න මහා අසාර්ථක උත්සාහයක් ගන්නවා. එහෙත් ලෝකයට සැබෑ දායකත්වයක් ජීවත් වෙලා ඉදීද්දී තමා දක්වපු බව හදවතින්ම දන්නවා නම් මරණයෙන් පස්සේ එහෙම අනවශ්‍ය දේවල් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ස්ටිව් ජොබ්ස් ලෝකයේ වැඩිම පරිගණක සහ ජංගම දුරකථන ප්‍රමාණයක් නිර්මාණය කරන සමාගම හදන්න උත්සාහ නොකර ලොව විශිෂ්ටතම පරිගණක හදන සමාගම හදන්න උත්සාහ කළා. එම නිසා ඔහු ව්‍යාපාර ලොව විශිෂ්ටයෙක් පමණක් නොවී ලෝකය වෙනස් කළ නායකයෙක් වුණා. අපි හැමෝම අදත් ඔහු ගැන නොමිලේ කතා කරන්නේ ඔහු කළ බලපෑම නිසා මිසක ඔහුගේ සොහොන් කොතේ ලස්සන නිසා නෙවෙයි. එහෙමත් නැත්නම් ඔහු සතපවා තිබුණ කළු පාට මිනී පෙට්ටියේ වටිනාකම නිසා නෙවෙයි.

“මම තරුණ කාලේ ඉඳලම වැඩ කළේ උදාවෙන සෑම දවසක්ම මගේ ජීවිතයේ අවසාන දවස කියලා හිතාගෙන. පිළිකා රෝගයෙන් මම පීඩා විඳිද්දී පවා ඊට අවනත නොවී මම ලෝකය වෙනුවෙන් වෙනස් දේවල් කරන්න මරණය පිළිබඳ මගේ ඒ සිතිවිල්ල බලපෑවා” ස්ටිව් වරක් මරණය ගැන කිව්වේ එහෙමයි. ඔහු තවත් අවස්ථාවකදී මරණය ගැන මෙහෙම කියනවා. “මම හිතන්නේ මරණය තමයි ලෝකයේ හොඳම නිර්මාණය. අපි කාටවත් ඒකෙන් ගැලවෙන්න බැහැ.”

තවමත් ස්ටිව්ට ආදරය කරන පිරිස් පැමිණ ඔහු වළදාපු තැන හොයන බව එම සුසාන භූමියේ සාමාන්‍යාධිකාරි මර්ලින් ටැල්බොට් පවසනවා. නමුත් කාටවත් එය සොයා ගන්න බැහැ. මරණයෙන් පස්සේ සදාතනික වෙන්න උත්සාහ කරනවා වෙනුවට ජීවත් වෙලා ඉඳිද්දී අඩුම තරමේ තමා වටේ ඉන්න මිනිස්සු හතර පස් දෙනාගේ හිත් තුළවත් අමරණීය මතකයන් තබන්න හැකි දේවල් එකක් හෝ දෙකක්වත් කරන්න උත්සාහ ගන්න. ඔබට එය කළ හැකියි. ඔබ එහෙම කළොත් මරණය ගැනවත්, සොහොන් කොත් ගැනවත් වද වෙන්න දෙයක් නැහැ. කෙටියෙන්ම කිව්වොත් එවිට ඔබට මල් වඩම් අනවශ්‍යයි.

සොහොන් කොතක් යට සැතපුණේ නැති ස්ටිව් ජොබ්ස් ගැන මට හිතුණ දේ පුංචි කවි පෙළකට මෙන්න මෙහෙම ගන්න හිතුවා.



“මා මළ පසු

සොහොන් කොතක්

තනනු එපා...

ඔබගේ හදේ

ලස්සන මල්

පිපෙන තැනක

මගේ මතක

මිහිදන් කර

තබනු මැනවි...”

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top