Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 21
1,007
Views

“අපි බුදු බණට හීලෑ වුණු යක්කු බොලව්” කියපු නිළියට හැමෝම හිනා වෙනවා. එහි දේශපාලනික සන්දර්භය පසෙකලා කල්පනා කළොත් අපි සියලුදෙනා තුළ සිටිනවා කවුරුත් නොදන්නා වෙනස් ප්‍රතිරූපයක්. සමහර විට ඒ කිව්වත් වගේ හීලෑ වුණු යක්ෂයෙක් වෙන්නත් පුළුවන්. ඒ යක්ෂයා අවදි වෙලා සිදුවෙන්න ගිය මාරාන්තික ව්‍යසනයකින් අපේ අසල්වාසී රාජ්‍යයේ ජීවත් වන ඇය මිදුණා. ඇය සුරූපී ඉන්දීය නිළි ඉලියේනා ඩී’ කෲස්. 

1987 වසරේ නොවැම්බර් 1දා ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායිහිදී ඉලියේනා ඩී’ කෲස් උපත ලබනවා. ඇගේ පියා වෘත්තියෙන් නීතිඥයෙක්. මව සේවය කළේ හෝටලයක. එහි කළමනාකරුගේ නෙත ගැටෙනවා මේ රූමත් යොවුන් තරුණිය. ඔහු ඉලියේනාගේ මවට කියා සිටිනවා, අෑව නිරූපණ ක්ෂේත්‍රයට යොමු කළහොත් සාර්ථක විය හැකියි කියලා. ඒ අනුව අෑට උපකාරයක් වශයෙන් ඔහු විසින් සුප්‍රකට ඉන්දීය මෝස්තර නිරූපණ ශිල්පී කළමනාකරුවෙක් වන මාක් රොබින්සන් මුණගැසීමට අවස්ථාවක් උදා කර දෙනු ලබනවා. මට සේවය කළ හෝටලයේ කළමනාකරු දුටු පෙරනිමිත්ත සැබෑවක් බවට පත්කරමින් ඉලියේනා නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට අවතීර්ණ වෙනවා. ඉලියේනාට මුලින්ම ලැබෙන්නේ රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටීමයි. ඒක සිනමාවට පිවිසෙන්න ඉතා හොඳ ක්‍රමයක්. මොකද භාණ්ඩ හා සේවා ප්‍රචාරණය කිරීමේදී බොහෝ පිරිසකගේ නෙත ගැටෙන්න අවස්ථාව ලැබෙන නිසා. වාසනාවන්ත වුණොත් සිනමා අධ්‍යක්ෂවරයෙක්ගේ නෙත ගැටෙන්නත් පුළුවන්. ඒ අනුව ඇය මුලින්ම අවතීර්ණ වෙන්නේ තෙලිඟු සිනමාවට. ඒ 2006දී Y.V.S. චෞදී විසින් අධ්‍යක්ෂණය කරනු ලබන Devadaasu  ඔස්සේ. මේ චිත්‍රපටය වෙනුවෙන් ඉලියේනා විශාල වෙහෙසක් දරනවා රංගන අභ්‍යාසකරණයට වගේම චරිත අධ්‍යයනය කිරීමේ කටයුතුවලට. ඒ දැරූ වෙහෙස කොපමණද කියනවා නං එක මොහොතක ඇය හිතා ගන්නවා සිනමා හීනය අතහරින්න. නමුත් ඒ මොහොතේ අෑව දිරිගන්වමින් සවියක් වෙන්නේ ඇගේ මව. ඒ අනුව ඇය දිගටම සිනමාවට කාලය යොමු කරනවා. ඇගේ කැපවීමේ ප්‍රතිඵලයක් විධියට Devadaasu  චිත්‍රපටය අතිසාර්ථක ලෙස තිරගත වෙමින් ඉලියේනාට වසරේ හොඳම නවක නිළියට හිමි ෆිල්ම්ෆෙයා තෙලිඟු සම්මානයත් 2007දී ලැබෙනවා. 

ඉලියේනා ඉන්පසු රංගනයෙන් දායක වෙනවා Pokiri චිත්‍රපටයට. මේ තෙලිඟු චිත්‍රපටය ඇසුරින් තමයි තමිල්නාඩුවේ යුවරජු විජේ රඟන අතිශය ජනප්‍රිය Pokiri දමිළ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. Pokiri චිත්‍රපටයත් ආදායම් වාර්තා තබමින් තිරගත වූ සාර්ථක චිත්‍රපටයක්. මේ අයුරින් Kharnatak, Rakhi, Munna, Aata  ආදී චිත්‍රපට රැසක් ඔස්සේ උස් පහත්වීම් මැද ඉදිරියට එන ඉලියේනා 2011 වසර වනවිට දකුණු ඉන්දියාවේ වැඩිම අයකිරීමක් සිදුකරන නිළිය බවට පත්වෙනවා. 

ඉලියේනා කොලිවුඩ් සිනමාවට එන්නේ 2012දී. ඒ විජේ රඟන Nanban හරහායි. එය අමීර් ඛාන්ගේ අතිවිශිෂ්ට චිත්‍රපටයක් වන 3  Idiots  දමිළ ප්‍රතිනිර්මාණයයි. එමෙන්ම 2012දී ඇය බොලිවුඩ් සිනමාවටත් අවතීර්ණ වෙනවා. බොහෝ විචාරක පැසසුම් ලැබූ Brafi!  චිත්‍රපටය හරහා. හැඩැති සිහින් සිරුරකට මෙන්ම පියකරු හිනාවකට හිමිකම් කියන මේ රූමත් නිළියගේ සාර්ථකත්වය ගැන විතරමද කතා කරන්න තියෙන්නේ කියලා හිතෙනවා ඇති. නෑ. ඇගේ රූමත්කම, හිනාව අපට හොඳින් පෙණුනත් ඇගේ හිත ඇතුළේ තිබුණු අඳුරු තැන් අපට පෙනෙන්නේ නෑ. ඒ අඳුරු තැනක අෑටත් හොරෙන් සැඟ වී සිටියා කවුරුත් නොදන්න, කිසිවෙක් නොදකින යක්ෂයෙක්. ඒ යක්ෂයා තවත් පැතිරී වැඩුණා නම් අද ඉලියේනා ජීවතුන් අතර නොසිටින්නත් ඉඩ තිබුණා. 

ඉලියේනාට Body Dimorphic Disorder හෙවත් ශරීරයේ හැඩය පිළිබඳව අනවශ්‍ය ලෙස වදවීමේ මානසික රෝගී තත්ත්වය තිබුණා. ඇය මෙතරම් හැඩවෙලත් “මම හැඩ මදි නේද? මිනිස්සු මම කැතැයි කියලා හිතනවා ඇති. මගේ අඟපසඟ විකාරරූපී ස්වරූපයකින් පෙනෙනවා ඇති” යනුවෙන් තමන්වම සිතින් අවතක්සේරු කරගන්නා මානසික ව්‍යාධියකට ඇතුළු වී සමාජයෙන් අෑත්ව ජීවත් වීමට යොමු වෙනවා. මේ තත්ත්වය අෑට ඇති වී තිබෙන්නේ වයස අවුරුදු 15 පටන්. අෑව නිතර නිර්මාණ ඔස්සේ දක්නට නොලැබීමට හේතු වී තිබෙන්නේ මේ මානසික ව්‍යාධියයි. මෙහි ඇති භයානක පැතිකඩ කොතෙක්ද යත් ඉලියේනා සියදිවි හානි කරගැනීමටත් කිහිප වතාවක් පෙලඹී තිබෙනවා. 

නමුත් ඉලියේනාගේ මොනයම් හෝ වාසනාවකට අෑටම වැටහෙනවා තමන්ට මානසික ආබාධයක් තිබෙන බව. තමන්ගේ වැරැද්දක් ඇති බව තමන් විසින්ම අවබෝධ කරගනු ලැබීම තමයි වැරැදි නිවැරැදි කරගැනීමේ පළමු පියවර. ඇය වහාම යොමුවෙනවා වෛද්‍ය ප්‍රතිකාර වෙත. ඒ හේතුවෙන් කාටත් හොරා ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිටි තවත් සුරූපී සිනමා තාරකාවක් අදටත් ඉහළින් බැබළෙමින් වැජඹෙනවා. 

අපි සියල්ලෝම පෘථග්ජන මිනිස්සු. සර්ව සම්පූර්ණ චරිත අපි අතරේ නෑ. අඩු වැඩි වශයෙන් විවිධ අඩුපාඩු අපේ ජීවිතවල බහුලයි. ඒවාට නිසි ලෙස ප්‍රතිකර්ම කරලා ඉදිරියට යෑම මතයි ජීවන ගමනේ සාර්ථකත්වය තීරණය වෙන්නේ. සියල් සපිරි සුරූපී ඉලියේනා ඩිකෲස් ඇතුළාන්තයේ සැඟවුණු යක්ෂයන් පරාජය කරමින් ඒ බව ලෝකයට පසක් කරනවා. යකා හීලෑ කරගෙන තියාගන්නවා වෙනුවට සදහටම එළවා දැමීම හැම අතින්ම නුවණක්කාරයි. 

ෂෙනාල් ගුණසේකර

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top